පහතින් දැක්වෙන්නේ ලියනගේ අමරකීර්තිගේ නවතම කාව්‍ය සංග්‍රහය වන 'මහ සිහිනයක මිහිරි කරදර' කෘතිය පිළිබඳව ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්තක චූලානන්ද සමරනායක විසින් ලියන ලද සටහනකි.
(උපුටා ගැනීම)
කවියෙහි සංක්ෂිප්තබව සහ වදන් සූක්ෂමතාව පිළිබඳව ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ කවීන්ගේ මූලිකත්වයෙන් ඇරඹි සාකච්ඡාවෙන් පසුගිය දශක දෙක තුනක කාලය තුළ සිංහල කවියෙහි ප්‍රගමනයට වූ බලපෑම බෙහෙවින් සාධනීය බව පැහැදිලිව පෙනෙන්නකි.
එහෙත් එය හුදු වචනාර්ථයෙන්ම පමණක් ගැනීම නිසාම වූ විකෘතතාවන් ද නැත්තේම නොවේ.
සේකර 'ප්‍රබුද්ධ' කාව්‍යයෙහි මෙසේ කියයි.
බුදු කෙනකු වීමේ පහසුම මග
බුදු කෙනකු යයි සිතා ගැන්මය
සිතා එලෙසම දිවි ගෙවීමය
සේකර බෙහෙවින් ජනප්‍රිය අද දවසේ අප හමුවේ තමන් බුදු වූවේ යැයි කියන, මාර්ග පල අත්කරගත්තේ යයි වහසි දොඩන පිරිස් සැලකිය යුතු සංඛ්‍යාවකි.
සේකර මෙහිදී පවසනුයේ බෙහෙවින් ගැඹුරු අදහසකි.
කවියෙහි සංක්ෂිප්තතාව පිළිබඳ සංවාදයෙහි ද මෙවන් පැත්තක් තිබේ.
කවිය යනු සිතට එන කවරක් වුව ලිවීම යයි සලකන, එසේම කවිය යනු පේලි කිහිපයකට සීමාවිය යුතු නිර්මාණයකැයි සිතා මායිම් පණවන ස්වයං මායිම් හී සිරවෙන පිරිස් අපේ කවි කෙතෙහි සිටිති.
එවන් මැදිහත්වීම් නිසාවෙන් සිදුවනුයේ රණවීර-නන්දන වැන්නවුන්ගේ මැදිහත්වීමෙහි විකෘතියක් සමාජගත වීම පමණි.
කවියක සංක්ෂිප්තතාව යනු එහි ඇති පේලි ගණනේ සීමිත බව යයි සිතීම තරම් නොමග යාමක් තවත් නැති.
කවියෙහි සංක්ෂිප්තතාව නැති නම් එහි දිග පලල තීරණය කරනුයේ කවියෙන් පල කරන්නට නියමිත සංකල්පනාව අනුවය.
එහිදී විටෙක පිටු තුන හතරක් පුරා ඇදී යන කවියක් වුව සංක්ෂිප්ත බවේ ගුණය දරා සිටියි. එය තීරණය වනුයේ කවියාගේ දක්ෂතාව මතම ය.
ලියනගේ අමරකීර්තිගේ නව කවි එකතුව කවියෙහි සංක්ෂිප්තතාව, කවියෙහි අරුත්බරබව මෙන්ම කවියෙහි අලංකාරයද එකසේ ගැබ් කරගනිමින් හෘදය මෙන්ම බුද්ධි සංවාදයකද යෙදෙන්නට ඇති අවස්ථාවක් සේ දැක්විය හැකිය.
මේ කවි එකතුවෙහිදී කවියා වදන් භාවිතයේ ලා බෙහෙවින් සැලකිලිමත්ය, එමෙන්ම කවියක් ඇතැම් විටෙක පිටු කිහිපයක් දක්වා දිවෙන සේ දිගුය, එපමණටම ඒ කව සංක්ෂිප්තය.
අනවශ්‍ය ලෙස වදන් අතර අතරමං නොවන හේ ඇවැසිම වදන් වලට සීමා වන්නේ එ වදන් හරහා අර්ථය ඉහලින්ම මතු කරගැනීමට සමත් වෙයි.
ඒ අතරම ඔහු කවියට විෂය කරගන්නා කරුණු පාඨක පරිකල්පනයටද ඉඩ සලසන අතරම පාඨකයාගේ බුද්ධියටද එකවර ආමන්ත්‍රණය කරයි.
සිය සිවුවන කවි එකතුවට එළඹෙන විට ඔහුගේ කවිය ස්වකීය අදහස් ප්‍රකාශනයේ ලා කවිය උපස්තම්භක කරගන්නට අදහස් කරනා ආධුනික කවි කිවිඳියන්ට වැඩ බිමක් බවට පත් කරන්නට සමත්ව තිබේ.
ඔහුගේ කවිකාරකම වටහා ගන්නට මේ කෘතියේ එන පළමු කවියම වුව සෑහෙයි. ඔහු එය නම් කරනුයේ 'අලංකෘත සිර ගෙදර' යනුවෙනි.
මේ මාතෘකාවම කවියෙහි අරුත එක මිටට කැටි කොට දක්වන්නකි. එසේම සියුම් කියවන්නෙකුට නම් ඒ මාතෘකාව නොමැතිව වුව කවියෙහි අරුත පාදාගත හැකිය.
ජීවිතය , කුටුම්භය, ආදරය ආදී විවිධ වගවාසගම් යටතේ අප විසින්ම තනාගෙන ඇති ජීවිතයෙහි ඇති සීමිතබව, එහි ඇති වෙහෙසකරබව, රැවටිලිකාරීත්වය ආදී විවිධ අංශ සියුම්ව විමසන ඒ කවිය වර්තමාන ජීවිතයේ බොල් ස්වභාවය පෙලින් පෙල දිගහරියි.
ඒ කවිය යනු වර්තමාන ජීවීන් හට තමන්ව මුණගස්වන විවේචනාත්මක මං සන්ධියකි.
අර්ථවත් හැමදේම
පනින්නකි සීමාව
පිටින් පනවනු ලබන
අර්ථවත් හැමදේම
රකින්නකි සීමාව
එය වෙතින් පැන නගින
ඉදින් මේ අප අපේම ජීවිතය තනාගන්නා? බිඳ දමාගන්නා ආකාරයයි.
ඇතුලතින් නැගී ආ
සීමාවෙ සිහින් ඉර
කොනහමින් හාරමින්
පාරමින් පාදමින්
ගැඹුරු දිය අගලකට
පෙරළුවෙද අප දෙදෙන
එය නොවෙද දිය අගල
අපේ දිවි හිර කරන
මිනීමරු කිඹුලන්ද
බෝවෙලා තලු මරන?
ගලින් ගල තබමින් මේ නූතන මානවයා තමන්ගේම සන්තුෂ්ටිය උදෙසා යයි තනා ගන්නා බලකොටුව කවියාගේ නිරීක්ෂණයට ලක් වෙයි. බලන්න.
අර්ථවත් දේ තුළම
අනර්ථය පැවති බව
නොදැන උන් අප දෙදෙන
සිරව හිඳිමු ද මෙදින
අපම සැදු බලකොටුවෙ
අලංකෘත සිරගෙදර
සිරගෙවල් තනමින් එහෙත් ඒ සිරගෙයම ස්වර්ගය මෙන් හඟින, තමන්ගේ සිරගත බව නොහඟින ජීවත්වීම යයි ජීවත් නොවීමම තෝරාගන්නා සමාජයක ජීවිත දෙස හෙලන මේ ස්වයං/විවේචනාත්මක කවිය බුද්ධිගොචර කවියකි.
එහි බසෙහි අප වෙලා ගන්නා අලංකාරය නැත, ඒ වෙනුවට කවියා රළු යයි හැඟෙන වදන් හරහා අපට අපේ ජීවිතයේ රළ බව සිහිපත් කරවයි. 'ලේ වැකි කවියක්' නම් නිර්මාණයද මේ කවි අතර අප කැපී පෙනෙයි.
වර්තමානය යනු යළිත් වරක් බල පොරය මත භූමි සිතියම් අලුතින් අඳින්නට බලකාමී පාලකයන් වෙර දරන වේදිකාවකි.
එහි අලුත්ම ඌරා ළිඳ පකිස්ථාන සහ ඉන්දියා භූමියයි. මේ සෑම තැනකම පාලකයා යනු ඌරා ළිඳේ සටන නරඹන්නෙකි.
ජනතාව යනු සටන් වදින, සටනින් මියෙන වහලුන් පමණි.
ගාසා තීරය සහ අපේ උතුර එකට ගෙන කවියා නිර්මාණය කරනා 'ගාසා ගාසාවය' නම් කවිය අපූර්ව නිර්මාණයකි. ඔහු ඊට නිමිත්ත ලෙස ගන්නේ සිය මිතුරු මහැදුරෙකුගේ වදන් පෙලකි.
මේ කවිය මිතුරා දෙසට එල්ල කරනා සේ පෙනෙන එහෙත් අප කාහට වුවත් අදාල වන විවේචනයකි.
කවියා කියනුයේ ගාසාව රූපකයක් සේ ගෙන යුද්ධය කියවීමට යාමෙහි ඇති අනතුර ගැනය.
ඇතැම් විට සකිසඳ
රූපකය සිර ගෙදරකි
අපේ උතුරේ දකුණේ
එතන ගාසාවේ
මැරුණා මැරෙනා දරුවෝ
නොවෙති රූපකයෝ
අන් දෙයක් දක්වන
රූපකයට පළමු
ගනිමු එය වදනරුතින්
ගාසාව ගාසාවය
එය ලොව එකම ගාසාවය!
'එකලා සෙබලා නම්' කවියද අමරකීර්ති කවියාගේ පරිකල්පනය මෙන්ම කවියක් ගෙන යාහැකි දුර සහ ඉන් ආවරණය කළ හැකි වපසරියෙහි පුළුල් බවද මනාව විදහා දක්වන්නකි.
ඒ කවිය ඉතිහාසය, යුද්ධය, වහල් වෙළඳාම, වර්ණභේදවාදය, මනුෂ්‍යත්වය ආදී විවිධ අංශයන් කෙරේ ආලෝක දහරා පතිත කරවන නිර්මාණයකි.
දෙවන ලෝක යුද සමය කේන්ද්‍ර කරගනිමින් අතීතය සහ යුද සමය අතර දෝලනය වන කවිය වර්තමානයටද එකසේ අදාලය.
මේ ඒ කවියෙහි එන සුදු සෙබලාගේ අවසන් වචන ය.
මචං මැරුණම කවුරුත් කළුයි
හැමණෙන්නො! මං උඹට ආදරෙයි
මොන හැමණිල්ලකට බං
අපි මෙච්චර ඈතාවෙ
'කෝ ඔයා?' සහ 'අඩි හයක් උස පිරිමියෙක්'- ඒ කවි දෙකද වරින් වර මගේ සිතෙහි ඇනෙයි. එහෙත් ඒ කවි සහ අනෙක් කවි ඔබට ඉතිරි කරමි. අවසනට මෙසේ කියමි. මෙ කවි ගඟුලට තොටුපොල බොහෝය. කැමති තැනකින් බසිනු මැනවි. කොතනින් බැස්සද ඔබ අපේක්ෂං භංගත්වයට පත් නොවන බව නම් සහතිකය.
(චූලානන්ද සමරනායක ගේ මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)