ජාත්‍යන්තර සමරිසි, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අන්තර්ලිංගිකයන්ගේ සංගමයට අනුව (ILGA), සමලිංගික සබඳතා යනු අපරාධමය වරදක් යැයි වත්මන් ලෝකයේ රටවල් 64ක් සලකනු ලබන අතර, සිරගත කිරීමේ සිට මරණීය දණ්ඩනය දක්වා ඊට දඩුවම් ද ක්‍රියාත්මක කෙරේ.
කෙසේ වෙතත්, මීට ශත වර්ෂ කිහිපයකට පෙර පැවති දඬුවම් වඩාත් සාහසික තත්ත්වයේ ඒවා විය.
18 වන සියවසේ එක් කැපී පෙනෙන සිද්ධියකික් පාළු දූපතක අතරමං වූ ලන්දේසි ජාතිකයෙකු පිළිබඳ තොරතුරු කියැවෙන අතර, ඉතිහාසඥයින් දෙදෙනෙකු එය නැවත අනාවරණය කරන තෙක් එය ඉතිහාසයට අහිමිව තිබූ කතාවක් විය.
අප්‍රිකානු වෙරළ තීරයෙන් කිලෝමීටර් 1,540ක් පමණ හා දකුණු ඇමෙරිකාවෙන් කිලෝමීටර් 2,300ක් පමණ ඈතින් පිහිටි, ගිනිකඳුවලින් සමන්විත අත්ලාන්තික් සාගරයේ ඉතා දූරස්ථව පිහිටා ඇති ඇසෙන්ෂන් දූපතේ අතරමං වීමෙන් පසු, වසර 300කට පෙර ලීන්ඩර්ට් හේසන්බොෂ් පහත සඳහන් වචන ලියා තැබුවේ ය.
"1725 මැයි 05 වන දා, සෙනසුරාදා. ලන්දේසි නෞකා කණ්ඩායමේ අණදෙන නිලධාරියා හා කපිතාන්වරුන්ගේ නියමයෙන් ලීන්ඩර්ට් හේසන්බොෂ් වන මා විශාල පීඩාවකට ලක් කර මේ පාළු දූපතේ දමා ගියා."
මෙම පළමු දිනපොත් සටහන තබමින් හේසන්බොෂ් තම ජීවිතයේ අවසාන පරිච්ඡේදය ආරම්භ කළ අතර, එය නැවත සොයාගන්නා තෙක් වසර සියවස් ගණනාවක් සැඟව පැවතියේ ය.
18 වන ශතවර්ෂයේදී ඩැනියෙල් ඩිෆෝගේ ප්‍රබන්ධ චරිතය, රොබින්සන් කෲසෝ ඉතාමත් ජනප්‍රියත්වයට පත් විය.
ඒ කාලයේදී මුහුදේ අතරමං වූ යාත්‍රිකයින් පිළිබඳ ප්‍රබන්ධයන් ඉමහත් ප්‍රචලිතව පැවතියේ ය. ඊට වසර කිහිපයකට පෙර ඩැනියෙල් ඩිෆෝ විසින් සත්‍ය සිද්ධියක් ඇසුරින් ප්‍රබන්ධයක් බවට පත් කළ රොබින්සන් කෲසෝ පිළිබඳ කථාව පාඨකයින්ගේ දැඩි අවධානයක් දිනා ගත්තේ ය.
කෙසේ වෙතත්, හේසන්බොෂ්ගේ ඉරණම ඊට හාත්පසින් ම වෙනස් මුහුණවරක් ගත්තේ ය. ඉතිහාසඥයෙකු වන එල්වින් හොෆ්මන්ට අනුව, හේසන්බොෂ් ඇසෙන්ෂන් දූපතේ තනිවීම අහම්බයක් නොවී ය. ඔහුව එහි හිතාමතා ම දමාගොස් ඇත්තේ, එම යුගයේ සමාන ලිංගිකයන් අතර හැසිරීම් ලෙස හැඳින්වූ සමලිංගිකත්වය නමැති වරදට දඩුවමක් ලෙසිනි.
අතරමං වූ යාත්‍රිකයා
හේසන්බොෂ්ගේ කතාව පළමු වරට අනාවරණය වූයේ, 1726 ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍ය නාවිකයින් පිරිසක් ඇසෙන්ෂන් දූපතට ගොඩබැසීමෙන් පසු තාවකාලික කූඩාරමක් හමුවූ පසු ය. එම කූඩාරම තුළ තිබී ඔවුන්ට දිනපොතක් හමු වුව ද, එහි හිමිකරු පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබිණි.
පසුබිමින් ග්‍රීන් මවුන්ටන් කඳුවැටිය පෙනෙන ඇසෙන්ෂන් දූපතේ ලෝන්ග් බීච් වෙරළ තීරයෙහි දර්ශනයක්
පසුව, එම දිනපොත එංගලන්තයට රැගෙන ගොස් ආකර්ෂණීය සංස්කරණ කිහිපයක් යටතේ පරිවර්තනය කොට පළ කරන ලදී. ඊට Sodomy Punished නමැති සංස්කරණය ද ඇතුළත් ය.
එම කෘතීන් සියල්ලෙන් ම හේසන්බොෂ්ගේ දුක්ඛිත ඉරණම පිළිබඳ ශේෂයන් ඉතිරි කළ ද, ඔහුගේ නාමය සම්පූර්ණයෙන් ම මකා දමනු ලැබූයේ, නිර්නාමික හා අනතුරුදායක චරිතයක් ලෙසින් ඔහු ජනතාවගේ පරිකල්පනයට ලක් කරමිනි.
වර්ෂ 1695දී පමණ හේග්හිදී ලීන්ඩර්ට් හේසන්බොෂ් උපත ලැවුවේ, ජොහැන්නස් හේසන්බොෂ් හා මරියා වෑන් බර්ගන්ඩ්ගේ එක ම පුත්‍රයා ලෙසට ය.
මවගේ අභාවයෙන් ගැටවර වියෙහි පසුවූ ලීන්ඩර්ට් එහි රැඳී සිටියදී, ඔහුගේ පියා පවුලේ අන් අය සමගින් බැටේවියා වෙත (වත්මන් ජකර්තා නගරය) සංක්‍රමණය විය.
18 හැවිරිදි වියේදී ඔහු Dutch East India Company (VOC) සමාගමට සෙබළෙකු ලෙස එක් වූ අතර, පසුව ඔහු විශ්වාසදායක පොත් තබන්නෙකු (bookkeeper) දක්වා උසස්වීම් ලැබී ය.
ලොව පළමු බහුජාතික සමාගම ලෙස බොහෝවිට සලකනු ලබන VOC ආසියාව මුළුල්ලේ ම තම වෙළෙඳ අණසක පැතිරවූ නමුත්, එහි සේවකයින් ඉතා කුරිරු අන්දමේ සැලකුම්වලට භාජනය වූ බව සඳහන් වේ.
දශකයකට ආසන්න කාලයක් VOCහි බැටේවියා සහ කොචින් (වර්තමානයේ ඉන්දියාවේ කෝචි) නගරවල පිහිටි ප්‍රත්‍යන්ත ශාඛාවල සේවය කිරීමෙන් අනතුරුව කිසිවෙකුත් නොදන්නා හේතුවක් නිසා හේසන්බොෂ් නෙදර්ලන්තය බලා යාත්‍රා කිරීම ඇරඹීය. කෙසේ වෙතත්, ඔහු තම මව්රටට කිසි දා පෙරළා නොපැමිණියේ ය.
කැස්බෑ මස්, රුධිරය සහ මුත්‍රා
තම චාරිකාව අතරමගදී හේසන්බොෂ් සමලිංගිකත්වය නමැති එවකට වඩාත් ම දරුණු පාපකර්මයක් ලෙසින් සලකනු ලැබූ චෝදනාවට ලක් විය.
සාමාන්‍යයෙන් VOC සමාගම එවැනි වරදකට දෙන දඩුවම වූයේ, මරණීය දණ්ඩනය වූ නමුත් ඔහුට ලැබුණු දඬුවම දූපතක හුදෙකලා වීම ය.
වර්ෂ 1725 මැයි 05 වන දා ඔහු ඇසෙන්ෂන් දූපතෙහි තනිකොට දමනු ලැබුයේ, කූඩාරමක්, බයිබලයක්, ඇට වර්ග කිහිපයක් හා හිස් වෙමින් පැවති ජල බඳුනක් සමග ය.
18 වන සියවසේදී නාවිකයින් ඇසෙන්ෂන් දූපතේ කැස්බෑවන් දහස් ගණනක් මස් සඳහා අල්ලා ගත්හ
නැවුම් ජලය සොයමින් මුල් මාසය මුළුල්ලේ ම ඔහු එම නිසරු දූපත ගවේෂණය කළ අතර, තමන් බේරා ගැනීමට කිසිවෙකු හෝ පැමිණේවා යැයි යාඥා කළේ ය. නොබෝ කාලයකදී ඔහු විඳි හුදෙකලාව දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්විය. තම සගයා ලෙසින් පක්ෂියෙකු හීලෑ කිරීමට ඔහු උත්සහ කළ නමුත්, එම පක්ෂියා ද මරණයට පත් විය. ලුනූ, මෑ හා බෝංචි වර්ගයක් වගා කිරීමට ඔහු ගත් ප්‍රයත්නයට දූපතේ නිසරු පස හරස් විය.
ජූනි මාසය වන විට හේසන්බොෂ් ඉමහත් බියකට පත් වූයේ, වරදකාරී හැඟීම් සහ නොයෙකුත් මන:කල්පිත දර්ශනවලින් මහත් පීඩාවකට පත් වෙමිනි. "ටික කලක් මා සමග සිටි" එක් අමනුෂ්‍ය ආත්මයක් පිළිබඳව ඔහු ලියා තැබුවේ "එක කාලයකදී මම දැන සිටි කෙනෙක්" ලෙසට ය.
සත්‍ය වශයෙන් ම ඔහු එසේ ලියා තැබුවා ද, එසේ නැතහොත් කතාවට ආකර්ෂණීයභාවයක් ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය සංස්කාරකවරුන් එය එක් කළා ද? යන්න ස්ථිරව කිව නොහැකි ය.
ඩැම්පියර් ඩ්‍රිප් ලෙස හැඳින්වූ එම දූපතේ පැවති එක ම ස්වභාවික ජල උල්පත සිඳී යාමෙන් පසුව හේසන්බොෂ් වඩාත් දුර්වල විය. ආහාරය සඳහා එළුවන් අල්ලා ගැනීමට නොහැකි වීමත්, තමන් සතු අල්පයක් වූ බෝග මීයන්ට ගොදුරු වීමත් හේතුවෙන් ඔහු අපේක්ෂාභංගත්වයට පත් විය.
"අගෝස්තු 22 වන දා: මම ලොකු කැස්බෑවෙක් අල්ලගෙන, උගේ ලේවලින් කාලක් විතර බිව්වා. මම මගේ මුත්‍රාත් බිව්වා."
ඔක්තෝබර් මාසය වන විට ඔහුගේ ප්‍රාණය යාන්තමින් රැඳී තිබුණේ කැස්බෑ මස්, රුධිරය සහ මුත්‍රාවලිනි. ඔහුගේ අවසාන දිනපොත් සටහන 1725 ඔක්තෝබර් 14 වන දා සටහන් වූයේ, කෙටි හා අසුබ ලකුණක ආකාරයෙන් ය.
"මම ඉස්සර වගේ ජීවත් වුණා."
ඉතිහාසය අනාවරණය කිරීම
සියවස් දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ හේසන්බොෂ්ගේ කතාව මතකයෙහි පැවතියේ මඳ වශයෙනි. බ්‍රිතාන්‍යයේ පළවූ Sodomy Punished (1726) හා An Authentick Relation (1728) ග්‍රන්ථ ද්විත්වයෙන් ම ඔහුගේ ඉරණම පිළිබඳ තොරතුරු කොටස් වශයෙන් සංරක්ෂණය වුව ද, ඔහුගේ අනන්‍යතාව ඉන් කිසිවකින් හෝ හෙළි නොවේ.
නෙදර්ලන්ත ඉතිහාසඥයෙකු වන මිකීල් කූල්බර්ජන් 1990 දශකයේදී 'An Authentick Relation' නම් වූ විරල ගණයේ ඉංග්‍රීසි කුඩා පොතක් සොයා ගත්තේ, ඇම්ස්ටර්ඩෑම් සාගර කෞතුකාගාරයේදී ය. ඉන් කියැවුණේ, සමරිසි සේවනය නමැති වරදට දඬුවම් ලෙසින් අතරමං කරනු ලැබූ ලන්දේසි ජාතික "රොබින්සන් කෲසෝ" නමැත්තෙකු පිළිබඳ සත්‍ය කථාව ය.
කුතුහලයට පත්වූ ඔහු VOCහි ලේඛනාගාර පිරික්සමින්, අවසානයේදී හේසන්බොෂ්ගේ නම අනාවරණය කර ගත්තේ ය.
VOCහි වැටුප් වාර්තාවක සඳහන් වූ කරුණකින් ඔහුගේ ඉරණම කුමක් වූයේ දැයි සනාථ විය. එහි දැක්වුණේ, "1725 අප්‍රේල් 17 වන දින, ප්‍රැටන්බර්ග්හිදී, ඔහුගේ හිඟ වැටුප රාජසන්තක කිරීමත් සමග, දුෂ්ටයෙකු ලෙස, ඇසෙන්ෂන් දූපතේ හෝ වෙනත් ස්ථානයකට යැවීමට ඔහුට දඬුවම් නියම කරන ලදී."
කූල්බර්ජන් 2002 වසරේදී තම සොයාගැනීම පොතක් වශයෙන් මුද්‍රණය කළේ, "Een Hollandse Robinson Crusoe" හෙවත් "A Dutch Robinson Crusoe" නමිනි. නමුත්, එය නිකුත් වීමට පෙර ඔහු පිළිකා රෝගයෙන් මිය ගියේ ය.
ඉන් තෙවසරකට පසුව ඉතිහාසඥයෙකු හා ලේඛකයෙකු වන ඇලෙක්ස් රිට්සෙමා විසින් කූල්බර්ජන්ගේ කෘතීන් අහම්බෙන් සොයා ගනු ලැබුවේ ඩෙවෙන්ටර්හි පිහිටි පුස්තකාලයකදී ය.
දූපත් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ එක්රැස් කිරීම තම ජීවිතය පුරාවට ම සිදුකළ රිට්සෙමා තම සොයා ගැනීමෙන් ඉමහත් ජනප්‍රිය වූයේ, 2011 දී A Dutch Castaway on Ascension Island නමින් පොතක් ලියා පළ කරමින් එතෙක් කල් සැගව තිබූ හේසන් බොෂ්ගේ කතාව ඉංග්‍රීසි කියවන පාඨකයින් වෙත ගෙන එමිනි.
එහිදී ඔහු තම ග්‍රන්ථය පිළිගැන්වූයේ, "අකාලයේ මිය ගිය ලන්දේසි මිනිසුන් දෙදෙනෙකු වන ලීන්ඩර්ට් සහ මිචියෙල්" වෙතට ය. රිට්සෙමා ද 2022 දී මරුමුවට පත් වූයේ පිළිකාවේ ගොදුරක් බවට පත් වෙමින් ය.
ලීන්ඩර්ට්ගේ කතාව ඉතිහාසයේ සැඟව නොයන බවට සහතික කළ, ශතවර්ෂ කිහිපයකට සම්බන්ධ නෙදර්ලන්ත ජාතිකයින් වන හේසන්බොෂ්, කූල්බර්ජන් සහ රිට්සෙමා යන තිදෙනාගේ නම් අද දිනයේදී ඉතිරිව පවතියි.
'තවදුරටත් අදෘශ්‍යමාන නොවී'
ලීන්ඩර්ට් හේසන්බොෂ්ගේ දුක්ඛාන්තය අපට සමීප කරුණක් නොවූව ද, ඔහු ඊට තල්ලු කර දැමූ බලවේග හුරුපුරුදු ලෙසින් තවදුරටත් අප අතර පවතියි.
18 වන සියවසේදී නෙදර්ලන්තය යනු සමරිසි සේවනය බොහෝවිට නොසලකා හැරි හෝ ඉවසා දරා ගත් හෝ රාජ්‍යයක් වූව ද, දිගින් දිගට ම අත්විඳි යුද පරාජයන් හමුවේ විද්‍යමාන වූ "පුරුෂභාවයේ අර්බුදයක්" හේතුවෙන් කුරිරු වදහිංසාවන් පැමිණවීමේ රැල්ලක් එරට ඇති වූ බව ඉතිහාසඥ එල්වින් හොෆ්මන් පෙන්වා දෙයි.
සමාජ පරිහානියට හේතුකාරක වීමේ චෝදනාවට ලක් වෙමින් බිල්ලක් වීමට එවැනි ලිංගික ලැදියාවන්ගෙන් යුත් පුද්ගලයින්ට සිදු විය.
"18 වැනි ශතවර්ෂයේදී නෙදර්ලන්තයේ ඒ පරිහානිය ගොඩක් දැනුණා... ඒකට උත්තරය වුණේ ඒ වගේ අය හිංසාවට ලක් වීම," යැයි හොෆ්මන් පවසයි. "අද වුණත් අපි අර්බුදයක් වෙලාවක ඒ වගේ දෙයක් ගැන කල්පනාවෙන් ඉන්න ඕනෑ. පුරුෂභිමානය නැවත පිහිටුවන්න අපි මිනිස්සුන්ට වඩාත් දරුණු විදියට දඬුවම් දෙන්න යන එකේ අවදානමක් තියෙනවා."
හෙසන්බොෂ්ගේ මරණයෙන් වසර පහකට පසුව Utrecht Sodomy Trials නම් වූ නඩු විභාගයේදී 300කට අධික පිරිසක් චෝදනාවට ලක්වූහ. ඔවුන්ගෙන් පිරිසක් මහජනයා ඉදිරිපිටදී මරණීය දණ්ඩනයට පමුණුවනු ලැබූ අතර, 1803 දී එම නීතිය අහෝසි වන තෙක් වරදකරුවන් රිටක එල්ලා පිළිස්සීම, ගෙල සිර කිරීම වැනි දඬුවම් ද පනවනු ලැබී ය.
වත්මනේදී පවා, රුසියාව, උගන්ඩාව සහ පෝලන්තය වැනි සමලිංගිකත්වයට එරෙහි නීති පවතින රටවල එවැනි පළිගැනීමට ලක්වීම් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ, "සාම්ප්‍රදායික හරයන්" රැක ගැනීම යන කරුණට මුවා වෙමිනි.
තමන් නැවතත් වරක් ජනාධිපතිවරයා ලෙසින් පත් වීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබූ විධායක නියෝගවලින් සමරිසි පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පසුබෑමකට ලක් කරන බව විවේචකයෝ පවසති. ඔහු අවලංගු කළ නියෝග දෙකක් අතරට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම් කිරීම වැළැක්වීම අරමුණු කරගත් නියෝගයක් ඇතුළත් විය.
ට්‍රම්ප් අත්සන් තැබූ තවත් නියෝගයකින් පිළිගැනීමට ලක් වන්නේ, ලිංගිකත්වයන් දෙකක් පමණක් වන අතර, ඒ පුරුෂ හා ස්ත්‍රී යනුවෙනි. ලිංගික භාවය වෙනස් කළ නොහැකි බවට ද එම නියෝගයෙහි දැක්වේ.
එවැනි ආකාරයේ නීති මගින් සමලිංගික ළැදියාවන්ගෙන් යුත් පුද්ගලයින් අකාමකා දැමීමට ඉතිහාසය පුරාවට ම දායකත්වය සැපයූ බවත්, සාමාන්‍ය ජීවිත අවවාදාත්මක ප්‍රබන්ධයන් බවට හැරවීම ඉන් සිදුවූ බවත්, ජාත්‍යන්තර සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අන්තර්ලිංගිකයන්ගේ සංගමයට අනුව (ILGA) විධායක අධ්‍යක්ෂක ජුලියා එරාට් පවසයි.
නමුත් ඇය මෙසේ එක් කළා ය: "අපි දිගට ම මෙතැන හිටියා... LGBTI අය "ගෞරවාන්විත" සමාජයෙන් අයින් කිරීමට ගන්න උත්සාහයන් වෙන දා වගේ ම තියෙනවා. ඒත්, අපි තවදුරටත් හැංගිලා ඉන්නෙ නැහැ."
කර්තෘ - කේන් පියරි
මූලාශ්‍රය - ( BBC News සිංහල ඇසුරිනි)