lan englan tam

විශේෂාංග

“ළමයින්ට නිකං ඉන්න දෙන්න” සෝමලතා සුබසිංහ මිස් නිතර එහෙම කියනවා - නදී කම්මැල්ලවීර-

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අපේ ආදරණීය ගුරුතුමිය, සෝමලතා සුබසිංහ මිස් අප අතරින් වෙන්ව ගොස් අදට වසර දහයකි.

වසර ගණනාවක් පුරා සෝමලතා මිස් ඇසුරේ හිදිමින්, ඇගේ ළමා නාට්‍ය නිර්මාණ බෙහොමයකට දායක වීමේ භාග්‍ය ලද මා මේ උත්සහ කරන්නේ, විශිෂ්ට ගුරුවරියක සහ අධ්‍යාපනවේදිනියක ලෙස සෞන්දර්ය අධ්‍යාපනය තුළින් ළමා මනස සංවර්ධනය ප්‍රවර්ධනය උදෙසා ඈ කළ විශිෂ්ට නිර්මාණාත්මක මැදිහත්වීම සිහිපත් කරන්නටයි.

දරුවන්ට ඉගැන්වීමේ මාධ්‍යයක් ලෙස නාට්‍ය කලාව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබදව දිගින් දිගටම පර්යේෂණ කරමින් අධ්‍යයනයේ නිරත වූ ඇය, ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලා සැකසීමේදී නාට්‍ය කලාව අනිවාර්යයෙන්ම ඊට ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබදව නිරන්තරයෙන් අවධාරණය කළාය. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් සමග අනවරතයෙන් අරගල කළාය.

දියුණු සංස්කෘතික පුරවැසියෙකු ගොඩනැගීමේ අරමුණ පෙරදැරිකරගෙන තීරණාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවක් රටේ ඇති වී තිබෙන පසුබිමක සෝමලතා සුබසිංහ මිස් කළ කී දෑ මඳක් විමසා බැලීම කාලෝචිතයැයි මට හැඟේ.

සෝමලතා ටීචර්

somalatha subasinghe

අපි බොහෝ දෙනෙක් ඇය ඇමතූවේ ‘සෝමලතා මිස්‘‘ නැතිනම් ‘‘සේමලතා ටීචර්‘‘ කියායි. මා දන්නා හැටියට සෝමලතා මිස් ඇගේ ජීවිතයෙන් හතරෙන් තුනකටත් වඩා කාලයක් කොහෝ හෝ දරුවන් රොත්තකගේ ගුරුවරිය ලෙස සේවය කර ඇත.

අසාධ්‍ය අසනීප තත්ත්වයෙන් පසුවෙද්දීත්, ඈ තම ආත්මයට කිදා බැස තිබූ ගුරු භූමිකාවෙන් කිසිදා අත්මිදුනේ නැත. මහත් ශාරීරික අපහසුතාවෙන් සිටිද්දී පවා, රංග පීඨයේ කෙරෙන නාට්‍ය පුහුණුවක් බලන්නට වෙහෙස නොබලා පහළට පඩි බසින ඇය, වේදිකාවේ හරියට හිටගන්නේ කෙසේද යන්න හෝ වේවා, කටහඩ පාලනය පිළිබදව හෝ වේවා, භාවයන් ඈතට ප්‍රක්ෂේපණය කිරීමේ උපක්‍රම පිළිබදව හෝ වේවා ආධුනික නළු නිළියන්ට කුමක් හෝ අතිශයින් තීරණාත්මක ඔවදනක් ලබා දෙන්නේ, ඒක්ෂණයෙන් ඔවුන් වෙත මහත් ප්‍රභාවක් විහිදුවමිනි.

සෝමලතා මිස් පසුකාලීනව ජාතික මට්ටමින් මහත් ප්‍රසිද්ධියට පත් වූ ඇගේ නාට්‍ය නිර්මාණ සියල්ලම පාහේ අරඹන්නේ තමන් එවකට සේවය කරමින් සිටි කොහේ හෝ දුප්පත් පාසලක කුඩා දරුවන් සමගිනි.

 

ඒ කිසිදු පාලසක ඈ නාට්‍ය ගුරුවරිය වූයේ නැත. ප්‍රාථමික ගුරුවරියක වූයේත් නැත. ඇගේ විෂය වූයේ උසස් පෙළ ආර්ථික විද්‍යාවයි. ආර්ථික විද්‍යාව උගන්වා ගෙදර නොයා, හවස් වරුවේත් පාසලේ රැදෙන ඈ කුඩා දරුවන් එක් රැස් කරගෙන නාට්‍ය වැඩමුළු, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පවත්වයි.

සෞන්දර්යයාත්මක ක්‍රියාකාරකම්වලට සහභාගි කරවාගැනීමෙන් කුඩා දරුවන් තුළ හික්මීම සහ අධ්‍යාත්මික සංවර්ධනය උදා කළ හැකි බව සෝමලතා මිස් විශ්වාස කළාය. ආගමික දේශනා, දීර්ඝ අවවාද, දඩුවම්, ඇල්මැරුණු උපදේශාත්මක පාඩම් ආදියට වඩා නාට්‍ය කලාව මාර්ගයෙන් කුඩා දරුවන් තුළ ආත්ම ශක්තියත්, යහපත් මනුෂ්‍යයකු වීම සදහා අවශ්‍ය ගුණාංගත් රෝපණය කළ හැකි බව ඇය පසක් කරගෙන සිටියාය.

එපමණක් නොව, විද්‍යාව, සෞඛ්‍ය, ගණිතය, විදේශ භාෂා වැනි විෂයන් ඉගැන්වීමට පවා නාට්‍ය කලාව යොදා ගත හැකි බවත්, ලෝකයේ දියුණු රටවල ඉගැන්වීමේ මාධ්‍යයක් ලෙස නාට්‍ය කලාව ඉතා නිර්මාණාත්මක ලෙස යොදාගන්නා බවත් ඇය දැන සිටියාය. දිගින් දිගටම තම නිර්මාණ තුළින් ඇය මේ පිළිබදව අත්හදා බැලීම් කළාය.

දරු සිත් නොරිදවා

ඇගේ මුල්ම ළමා නාට්‍ය අතර ඇති ‘‘තොප්පි වෙළෙන්දා‘‘ සහ ‘‘පුංචි අපට දැන් තේරෙයි‘‘ නාට්‍ය දෙකම ඈ මුලින්ම නිෂ්පාදනය කළේ මරදානේ ඉතා දිළිදු පාසලක දඩබ්බර කොලු රෑනක් සමගයි.

දිළිදු බවත් සමග උරුම වන සියලු කෙණෙහිලිකම් වලට ගොදුරු වෙමින් ගුරුවරුන්ගේද අවධානයෙන් ගිලිහී සිටි දරුවන් කණ්ඩායමක් ආම්බාං කරගෙන සංගීතය සහ නැටුම් සහිත පූර්ණ නාට්‍යයක් නිෂ්පාදනය කිරීම කළ හැක්කේ දරුවන් තුළ පවතින නිසග විභවයත්, ඒ විභවය අවදි කිරීම උදෙසා නාට්‍ය මාධ්‍යයට ඇති මායා වී ශක්තියත් කෙරෙහි බලවත් විශ්වාසයක් දරා සිටි සෝමලතා මිස් වැන්නියකටම පමණි.

පසු කලෙක ඇය තමන් ආරම්භ කළ ළමා හා යොවුන් රංග පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදාගෙන මේ නාට්‍යවල ජාතික මට්ටමේ නිෂ්පාදනයන් කළාය. මේ නාට්‍ය ද්වය අන්තර්ජාතික ළමා නාට්‍ය උළෙලවල් ගණනාවක වේදිකා ගත වී මහත් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් අතර, පසුකලෙක ‘‘පුංචි අපට දැන් තේරෙයි‘‘ පිටපත ලංකාවේ ප්‍රාථමික විෂය මාලාවට ද ඇතුළත් කෙරුණි.

සෝමලතා මිස් විසින් රචිත ළමා නාට්‍ය පිටපත් වලට බොහෝ විට පාදක වී ඇත්තේ ලොව සුපතල සුරංගනා කතාවකි. නැත්තම් ලංකාවේ ගැමි ජන කතාවකි.

කෙසේ වෙතත්, හුදෙක් පවතින කතාව පිටපතකට ලියනවාට වඩා මහත් වූ නිර්මාණාත්මක පරිවර්තනයක් පිටපත රචනයේදී ඇය අතින් සිදුවෙයි.

දරුවන්ගේ ලෝකයේ ක්‍රීඩා, සෙල්ලම්, සොදුරු දඩබ්බරකම්, දගකාරකම්, අහිංසක රැවටිලි, ඇතුළත් කළ හැකි සිදුවීම් ඇය නිර්මාණය කරයි. ‘‘පුංචි අපට දැන් තේරෙයි“නාට්‍යයේ දගකාර මී පැටවුන් හතර දෙනා කුකුල් හාමි වී කොටාගෙන එන්නට ගිය වේලේ එල්ලේ අතක් සෙල්ලං කරති.

බෝලයක් පිත්තක් අතේ නැතිව, අභිනයෙන් සියල්ල අගවමින් එල්ලේ ගසන මේ අවස්ථාව කුඩාවුන්ගේ පරිකල්පනීය ශක්තිය ඔප දමන අවස්ථාවකි.

විටෙක ඔවුන් හතර දෙනා දඩිං බිඩිං ඩෝං පොල් කඩති. මේ නාට්‍යෙය් කුකුළාගේ චරිතය නිරූපණය වන්නේ බොහෝම කඩිසර, පිළිවෙළ, අභිමානවත් ජීවිතයක් ගෙවන සාරවත් ගැමියෙකුගේ වෙසිනි.

සාමාන්‍ය කතාවේ නැති, සෙනෙහෙබර පිය පුතු සම්බන්ධතාවක් සෝමලතා මිස්ගේ, නාට්‍යයේ මී පැටවුන් සහ කුකුල් හාමී අතර නිරූපණය වෙයි.අප දන්නා කතාවේ නැති, මානූෂීය සම්බන්ධතාවන් ඇය ඇගේ පිටපතේදී ඉතා අපූරු ලෙස ගොඩ නංවයි.

සුපුරුදු කතාවේ අවසානය හැමවිටම සෝමලතා මිස්ගේ නාට්‍යෙය්දී වෙනස් වෙයි. නරඹන කුඩා දරුවන්ගේ සිත් නොරිදෙන සේ, කිසිවෙකු පරාජිත නොවී, හැමෝම අලුතෙන් යමක් ඉගෙන ගන්නා, අවබෝධ කරගන්නා සහන් අවසානයක් ඇය ඉදිරිපත් කරයි.

උදාහරණයක් හැටියට 'පුංචි අපට දැන් තේරෙයි' නාට්‍යයේ කැවුම් හදන්නට කිසි උදව්වක් නොකර දාංගල් කර කර සිටි මී පැටවුන්ට අවසානයේ කුකුල් හාමි කැවුම් දෙයි. කැවුම් දෙන්නට පෙර ‘‘වැඩපල නොකර, නිකම් ඔහේ පුටු පිට ඉද කන්ට හොද නැති‘‘ බව ආදරෙන් කියා දෙයි.

නාට්‍යෙය් ආම්භයේ සිටම දගකාර මී පැංචන් සමග යාලු වී, අනන්‍ය වී සිටින කුඩා ප්‍රේක්ෂකයෝ, තමන්ගේ යාළුවන්ට කැවුම් ලැබුණේ නැතිනම් රගහලෙන් පිට වී යන්නේ සිත් වේදනාවෙනි. එවිට ඔවුන් නාට්‍ය විශ්වාස කරන්නේ නැත.

එබැවින් ඔවුන් සන්තෝස කරන අතරම, ඔවුන් කැමති දේ නාට්‍යෙය් සිද්ද වෙන්නට දෙන අතරම යහපත් පාඩමක්ද කියා දීමට සෝමලතා මිස් අවස්ථාව නිර්මාණය කරගනියි.

මේ ඇය විශ්වාස කළ දර්ශනයයි. කුඩා දරුවන්ගේ ලෝකය, එහි ධර්මතාවන් ඇය හොදින් අවබෝධ කරගෙන සිටියාය.

DRAMA NEWS THOPPY WELENDA Oct 31 Borella 2

මේ පරිදිම තොප්පි වෙළෙන්දා නාට්‍යයේ අවසානයේ තොප්පි වෙළෙන්දා වදුරන්ට තොප්පිය බැගින් බෙදා දෙයි. මෙහි මුල් දර්ශනවලදී තොප්පි කූඩයත් අරගෙන තොප්පි වෙළෙන්දා දිව ගිය පසු වේදිකාවේ දුකින් බලා සිටින වදුරන් ගැන කුඩා ප්‍රේක්ෂකයෝ වේදනාවට පත් වූ බවත්, එනිසා තොප්පි වෙළෙන්දා අපසු පැමිණ වදුරන්ට තොප්පි බෙදාදෙන දර්ශනය පසුව ඇතුළත් කළ බවත් සෝමලතා මිස් කියනවා මට මතකය.

සුරංගනා කතාවල සද්දන්ත රාජමාළිගාවල මහේශාක්‍ය රජුන්, බිසෝවරුන්, ඇගේ පිටපත් තුළ දයාබර තාත්තලා, රෑට කතන්දර කියන අත්තම්මලා බවට පත්වෙති. නපුරු මායාකාරියන්, ඊර්ෂ්‍යාව, තරහව ජය ගත නොහැකි මොහොතක නපුරට ඇදෙන, අනුකම්පා කටයුතු සාමාන්‍ය දුර්වල මනුෂ්‍ය චරිත ලෙස නිරූපණය වෙයි. ඇගේ නාට්‍ය තුළ කිසිවිටෙකත් නිසගයෙන්ම නපුරු මිනිසුන් නැත.

ලොව සුපතල ස්නෝවයිට් ඇන්ඩ් සෙවන් ඩ්වෝප්ස් කතාව ඇසුරින් නිර්මිත ‘‘හිමකුමරිය නාට්‍යය, සෝමලතා මිස්ගේ ළමා නාට්‍ය අතර මනස්කාන්ත දැවැන්ත නිෂ්පාදනයකි.

ඇය හිමකුමරියගේ කුඩම්මා සාම්ප්‍රදායික කතාවේ පරිදි නපුරු ගැහැණියක කරනවා වෙනුවට, දුර්වල නොමේරූ කාන්තාවක ලෙස නිරූපණය කරයි. හිමකුමරිය ඇගේ කුඩම්මාට බෙහෙවින් ආසා කරයි. ඇය තමන් ගැන ඊර්ෂ්‍යවෙන් පසුවෙන බවක් මේ අවිහිංසක ළදැරියට දැනෙන්නේ නැත. නාට්‍ය අවසානයේ කුඩම්මා හිමකුමරියට ඊර්ෂ්‍යා කිරීම ගැන රජුන්ගෙනුත් හිමතුමරියගෙනුත් සමාව ඉල්ලා සිටියි.

අහිංසක ළමා ලෝකයේ නපුරක් නැත. ඔවුන් හැමදේටම සමාව දෙති. ඔවුන් තුළ මනුෂ්‍යයන් පිළිබද පූර්ව විනිශ්චයන් නැත.

සෝමලතා මිස්ගේ මේ නාට්‍යය ළමා නාට්‍ය පිටපත් රචනය පිළිබද මහා පාසලක් වැනිය.

රජ බිසවගේ අණින් හිමතුමරිය කැලයට රැගෙන යන දඩයක්කාරයාගේ චරිතය, දුන් අණ ඉටු නොකළොත් සේව්‍යාගේ උදහසට ලක් වීමෙන් තම ජීවිතය පවා අහිමි වීමේ අනතුර අබිමුව සිටින, අහිංසක දුප්පත් කම්කරුවෙකුගේ මනුෂ්‍යත්වයත්, හෘද සාක්ෂිය පිළිබද වේදනා සහගත අරගලයත් ඉතා තීව්‍ර ලෙස ප්‍රකාශිත වන ලෙස ගොඩ නංවා ඇත.

රෙඩ් රයිඩිං හුඩ් කතාව ඇසුරින් සෝමලතා මිස් ලියූ ‘‘රත්මලී‘‘ නාට්‍යෙයේ වෘකයා කෙරෙහි පවා දරුවන් තුළ අනුකම්පාවක් ජනිත වෙයි. මෙහි වෘකයා රත්මලී අල්ලා ගන්නේ කන්නට නොවේ. ඔහුගේ වයසක හාමිනේට ගෙදර වැඩපලට උදව්වට කවුරුන් හෝ ඕනෑ නිසායි. පැරණි කතාවේ මෙන් වෘකයාගේ බඩ පලා නොව, වෘකයා ලවා වමනය කරවා අත්තම්මාව බේරා ගනියි. අවසානයේ වෘකයාට පවා සමාව දී, තදින් අවවාද කොට යන්නට හරියි.

සෝමලතා මිස්ගේ ළමා නාට්‍ය පිටපත් ගැන කතා කිරීම වෙනම දීර්ඝ ශාස්ත්‍රීය නිබන්ධනයකට මාතෘකාවක් වන බැවින් මා මේ කෙටි සැමරුම් සටහන තුළ තවදුරටත් එය කරන්නට යන්නේ නැත.

ළමා අධ්‍යාපන සංවර්ධනය උදෙසා නාට්‍ය කලාව ඉතා ඵලදායී ලෙස යොදාගත හැකිය යන ඇගේ දර්ශනය ඈ ස්වකීය නිර්මාණ තුළින් යළි යළිත් අපට පසක් කර ඇත. ඇගේ සෑම නාට්‍යකම අපේ ජන නැටුම්, ජන සංගීතය, ගැමි ක්‍රීඩා ආදිය ඇතුළත් වෙයි. ඒවා පිටස්තරින් එල්ලූ ආභරණ ලෙස නොව නාට්‍යයේ චරිත තුළින් ඒ ඒ අවස්ථාවල ස්වභාවිකව පැන නැගෙන අවස්ථා ලෙස නිරූපණය වෙයි.

ඇගේ ළමා නාට්‍ය පිටපත් හැමෙකකම සංවාද සිංහල භාෂාවේ, පොහොසත් බවත් අලංකාරයත් කුළුගැන්වෙන ලෙස පරිස්සමින් වියා ඇත. නාට්‍ය තුළ දරුවන්ට ගණිත සූත්‍රයන්, විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීමක්, ඉතිහාසය ගැන කියා දීමක්, පරිසරය හෝ ස්වභාව ධර්මයේ නියාමයන් පහදා දීමක් කළ හැකි අවස්ථා චරිතවලට ලබා දෙන සෝමලතා මිස්, සිය නාට්‍ය නිෂ්පාදනය සෞන්දර්යයයෙන් පිරුණු අධ්‍යාපන අත්දැකීමක් බවට පත් කරයි.

 

ලෝකයෙන් අත්දැකීම්

වරෙක සෝමලතා මිස් දරුවන් යොදාගෙන ඉදිරිපත් කළ ළමා ගීතයක් සහ ඒ ගැන ඇය ඉදිරිපත් කළ පැහැදිලි කිරීමක් අසා සිටි යුනෙස්කෝ ආයතනයේ විදේශික නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන්, දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා නාට්‍ය කලාව යොදා ගැනීම පිළිබද විධිමත් අධ්‍යයනක් සදහා චෙකොස්ලෝවැකියාවට යාමට සෝමලතා මිස්ට අවස්ථාව උදා විය.

ඒ ගමන පසුකාලීනව ලංකාවේ ළමා අධ්‍යාපන සංවර්ධන විෂයය කෙරෙහි ඇය කළ ප්‍රබල බලපෑම මුවහත් කරන්නට බෙහෙවින් ඉවහල් වී ඇත.

බෙහෝ ප්‍රමාද වී හෝ අපේ අධ්‍යපන බලධාරීන්, සෝමලතා සුබසිංහ, විෂය මාලා සංවර්ධන කමිටුවට එක් කරගැනීම ඇගේ දැනුම සහ දර්ශනය ලාංකීය ළමා පරපුරේ සංවර්ධනය උදෙසා යම්කිසි මට්ටමකින් හෝ යෙදවීමට අවස්ථාව ලබා දීමකි.

 

ළමයින් රවටන්න බැහැ

ලංකාවේ ළමා නාට්‍ය කලාවක් ගොඩනැගීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සෝමලතා මිස්, දැනට අපේ රටේ ඇති නළු නිළියන් පුහුණු කරන ප්‍රධාන ආයතනය වන ළමා හා යොවුන් රංග පීඨය ආරම්භ කළාය.

ඇය එය ආරම්භ කළේ ඇගේ නාට්‍ය නිර්මාණවලට අවශ්‍ය නළු නිළියන් හදාගන්නටයි. අද වන විට එය ලංකාවේ වේදිකාවට සහ සිනමාවට අති දක්ෂ රංගන ශිල්පීන් රැසක් දායාද කළ, විශිෂ්ට රංගන පාසලක් දක්වා වර්ධනය වී තිබේ.

රංගනයේදී නළුවා හෝ නිළිය අවංකව තමන් නිරූපණය කරන චරිතය විශ්වාස කිරීම රංගනය පිළිබද ඇගේ ප්‍රධාන උපදෙසයි. මේ නියාමය කුඩා දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන රංගනයේදීද එසේම වලංගු බවත්, සත්‍යවශයෙන්ම නම්, ව්‍යාජ රංගනයන් කුඩා දරුවන් වෙතින් වහා ප්‍රතික්ෂේප වන බවත් එනිසා දරුවන් ඉදිරියේ රගපෑමේදී ඉතාම පරිස්සම් සහගත විය යුතු බවත් ඇය නිරන්තරයෙන් තම නළු නිළියන්ට කියා දුන්නාය.

ළමයා වනාහි ඉතා බුද්ධිමත්, සංවේදී ප්‍රේහක්ෂකයෙකු බව තරයේ ඇදහූ ඈ ඔවුන්ට වැටහෙන්නේ නැති වෙයි කියා සිතා මහත් අතිශයෝක්තියෙන් යුතුව බොරු රගපෑම් කිරීම ඒ දියුණු ප්‍රෙක්ෂකයාට කරන මහත් අගෞරවයක් බව කීවාය. සෝමලතා සුබසිංහගේ ළමා නාට්‍ය ලාංකීය දරු දැරියන් ඉතා ආදරයෙන් වැළද ගන්නේ, ඇගේ විශිෂ්ට පිටපත් සහ අධ්‍යක්ෂණය සේම දරුවන් පිළිබදව ඇය තුළ තිබූ මේ අපිරිමිත ගෞරවය සහ විශ්වාසය නිසාත් විය යුතුයි.

ඇය තම නාට්‍ය වල චරිතවලට තෝරා ගැනීමේදී නළු නිළියන්ගේ බාහිර පෙනුම, උස මහත නොතැකූ තරම්ය. ඒ වෙනුවට චරිතය සහ එහි භාවයන් අවංකව විශ්වාසයෙන් යුතුව නිරූපණය කළ හැකි අය ඇය තෝරා ගත්තාය.

‘‘හිමකුමරිය‘‘ ලෙස කළු සමක් සහිත නිළියක් තෝරා ගන්නා ඇය, ඒ නිළියට උපදෙස් දෙන්නේ ‘‘ඇගේ හදවතයි සුදු....ඇගේ අහිංසක නිර්මල හදවත දෑසින් පෙන්නන්නට හැකි නම්, ඔබේ හම කලු වුණාට ප්‍රේක්ෂකයො ඔබව හිම කුමරිය ලෙස විශ්වාස කරනවා“ කියායි.

කම්මැළි වෙන්න වෙලාවක් නැති අපේ දරුවෝ

තමන්ගේ නිර්මාණ ජීවිතයෙන් සෑහෙන කාලයක් ලංකාවේ ළමයින් සහ යෞවනයන් වෙනුවෙන් කැප කළ සෝමලතා මිස්, අපේ රටේ පවතින අති ධාවන තරගකාරී අධ්‍යාපන ක්‍රමය ළමා අධ්‍යාත්මයට කරන හානිය පිළිබදව මහත් විවේචනයෙන් යුතුව කතා කළාය.

මීට දශක තුනකට පමරණ පෙර සෝමලතා මිස් නිර්මාණය කළ ‘‘විකෘති‘‘ නාට්‍යය, සෞන්දර්යයයෙන් ඈත් කොට පොත පතටම හිර කරවනු ලැබූ දරුවන්ටත්, අනවබෝධයෙන් යුතුව ඔවුන් එවැනි ජීවිතයකට තල්ලු තරන දෙමාපියන්ටත් අනාගතයේ අත්විය හැකි ඛේදනීය ඉරණම පිළිබද කතා කළ නිර්මාණයකි.

41111677

දරුවන්ට පාසල් කාලය කුළදී නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වලට ඉඩක් ලබා දෙන ලෙස විෂය මාලාවන් වහාම සංශෝධනය කළ යුතු බව ඇය අධ්‍යාපන බලධාරීන් සමග තර්ක කළාය.

කායික මානසික සමබර බවින් යුතු, සංවේදී මනුෂ්‍යයන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් ඇති නොකර, අද අප රටක් ලෙස මුහුණ දී සිටින ගැඹුරු සමාජ අර්බුදයන්ගෙන් ගොඩ ආ නොහැකි බව ඈ විශ්වාස කළාය. සාහිත්‍යය, නාට්‍ය කලාව, සංගීතය, නර්තනය, චිත්‍ර කලාව වැනි සෞන්දර්යය විෂයන් පාසල් අධ්‍යාපනයේ ප්‍රධාන කොටසක් කළ යුතු බවත්, සෞන්දර්යය නොහදුනන යාන්ත්‍රික මිනිසුන්ගෙන් සමාජයක සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බවත් සෝමලතා මිස් අවධාරණය කළාය.

අද අපේ රටේ දරුවන් සුපර් හීරෝ කාටූන්, වීඩියෝ ගේම් ආදියට උමතුවෙන් ඇබ්බැහි වී තිබීම පිළිබදව කණගාටුවෙන් කතා කළ සෝමලතා මිස්, ප්‍රචණ්ඩත්වය සහ කලබලකාරී අවුල් වියවුල් වලින් පිරුණු එවැනි විනෝද මාර්ගවලින් කුඩා දරුවන් ඈත් කළ හැක්කේ, ඔවුන්ගේ ලෝකයට කතා කළ හැකි රසවත් සෞන්දර්යයාත්මක අත්දැකීම් වෙතට ඔවුන් යොමු කිරීමෙන් පමණක් බව කීවාය.

එක් අවස්ථාවක ඇගේ ළමා විය පිළිබදව කතා බහ කරමින් සිටි අවස්ථාවක ඈ කියූ දෙයක් මෙහි සටහන් කිරීම උචිත යයි සිතමි.

‘‘අපිට පුංචි කාලේ නිකං ඉන්න ඕනෙතරං කාලෙ තිබුණා. කම්මැළි කමෙන්, ඔහේ මිදුලෙ ගස් ගල් උඩ වාඩිවෙලා ඉන්නවා. එහෙම ඉද්දි ඉතිං පොඩි පොඩි නිර්මාණ කරනවා. කවි හදනවා, ඉරටු පොල්කටු වගේ දේවල් වලින් මොන මොනව හරි හදනවා..කම්මැළි කමින් ඉදීම දරුවන්ට හරි අවශ්‍යයි. මුකුත් කරන්න නැති වුණාම, තමයි නිර්මාණාත්මක අදහස් එන්නෙ....හැම තිස්සෙම මොකක් හරි කිරීම හරි බැලීම හරි අලුත් දෙයක් කරන්න දරුවන් තුළ ඇති නිසග උවමනාව යටපත් කරනවා“. අලස සුවය, නිර්මාණාත්මක ප්‍රේරණය අවුලුවාලන බවත්, දරුවන්ට ඊට ඉඩ සලසා දීම අත්‍යවශ්‍ය බවත් සෝමලතා මිස් ඇගේ රංග පීඨයට දරුවන් රැගෙන ආ දෙමාපියන්ට නිරන්තරයෙන් මතක් කර දෙනවා මට මතකය.

අපේ රටේ දරුවන් වෙනුවෙන් සෝමලතා මිස් ඉටු කරමින් සිටි මහරු මෙහෙවර අනාගතයේදී අදට වඩා යම් පමණකින් හෝ ඵල දරනු ඇතැයි අපි අපේක්ෂා සහගත වෙමු. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින්, විෂය මාලා සංවර්ධනය පිළිබදව ඇය ඉදිරිපත් කළ යෝජනා වගකීමේන් යුතුව සලකා බලනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.

අවසාන වශයෙන් සෝමලතා මිස් පිළිබදව එක් දෙයක් සටහන් කොට මම මේ ලිපිය අවසන් කරන්නම්.

අති දක්ෂ රංගන ශිල්පිනියක වූ ඇය, නිළියක ලෙස යා හැකිව තිබූ ප්‍රභාමත් ගමන බාල කොට ඒ වෙනුවට තෝරා ගත්තේ, අපේ රටේ දරුවන් සහ යෞවනයන් වෙනුවෙන් රංග කලා ගුරුවරියක වීමේත්, ඔවුන් වෙනුවෙන් නාට්‍ය නිර්මාණය කිරීමේත් දුෂ්කර අභියෝගාත්මක කාර්යයයි.

තමන්ගේම නිවසේ කොටසක් රංග පාසලක් බවට පත් කරගෙන, නාට්‍ය ගැන ඇති ඇල්මෙන් රටේ දස දිග්බාගයෙන්ම එහි පැමිණෙන දරුවන්ට නොමිලේ ශිල්ප මතු නොව ඇතැම් විට කන්ට ඉන්ට පවා දෙමින් ඔවුන් රැකබලා ගත්තාය. අද ඒ අය අතුරෙන් බොහෝ දෙනෙකු ලාංකීය කලා ක්ෂේත්‍රයේ දීප්තිමත් තාරකාවන්ව බැබළෙති.

z p22 Doyen 01

 

සෝමලතා මිස් මේ සියල්ල කරන්නේ, විසි වන සියවසේ හැටේ දශකයෙන් පමණ පසු කලා ක්ෂේත්‍රයට පිවිසි කාන්තාවක හැටියට බව සිතන විට ගැහැණියක හැටියට ඇය තුළ තිබුණු අප්‍රතිහත ධෛර්යයත්, තමන් විශ්වාස කළ දේ ක්‍රියාවට නැංවීමට ඈ තුළ තිබූ යකඩ ආත්ම ශක්තියක් විස්මිතයකි. ඇය අසිරිමත් දඩබ්බර ආත්මයක් යැයි මා සිතන්නේ එබැවිනි.

කර්තෘ - නදී කම්මැල්ලවීර 

Nadie Kammallaweera මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී.

Back to top
Go to bottom