සන්තාන ගීතිකා නම් නත්තල් තෑග්ග
නත්තල් දාට පෙර දින හවස එනම් ක්‍රිස්ට්මස් ඊව් හිදීම වෙඩිවර්ධනගේ සන්තාන ගීතිකා මගේ අතට පත් කිරීම ගැන ජනක ඉණිමංකඩට ස්තුතියි. ඉතින් ඒ හවස සිට ඇතැම් කවි හඬනගා කියවමින් මං හිටියේ. ගුරුගොඩ සිරවිමල හිමිගේ කවි කියවමින් සතුටින් සිටි මගේ සිතෙහි කවි සතුට තවත් වැඩි කරන කවි සන්තාන ගීතිකා අතර තියෙනවා. වෙඩිවර්ධන අපේ කිතුණු සංස්කෘතිය ඇසුරින් මවන රූපකාර්ථවත් යෙදුම් සහ ජීවන අවස්ථා ගැන මම මීට පෙර අගය කොට තිබෙනවා. මෙවර වෙඞ්ඩා අපේ රටේ දෙමළ ජනයා මුහුණ දුන් පීඩාවේ නිශ්චිත තනි තනි අවස්ථා ගැන ලියන්නේ නෑ. ඒවා ලිවීම හොඳ වුණත් වෙඩ්ඞා ඒවා ලියන කවියා බවට ඌන විය යුතු නෑ. අනික ඒවා නිශ්චිත අද්දැකීමේ බරින් මැඩෙනව. එතකොට කවියේ රූපකමය ප්රකාශනය නින්නාද දී ගුවන්ගත වීම නවතිනවා. අර නිශ්චිත අත්දැකීම දිහාට ආපහු වැටෙනවා.
මෙවර කවි එවන් නිශ්චිත තැනකට නැංගුරම් දාලා නෑ. කවියෙහි රූපක යාන්ත්‍රණය දැල උසුලගෙන ගුවනට නගින කුරුලු රෑන වගේ නිශ්චිත අද්දැකීම වෙතින් ඉවත්ව කවියත් සමග පරිකල්පනීය ගුවනකට නගිනවා. රසිකයාත් ඒ සමග නගිනවා. සමහරු වගේ දුරවබෝධයේ ව්‍යාජ බරක් කවියෙහි ගොඩ නැගීම වෙඩිවර්ධනගේ කවියෙහි කවදත් නොතිබුණු නිසා අර ගුවන්ගතවීම පහසුයි.
අනික වෙඩ්ඞා දිගට ලියනවා. බැලූබැල්මට කතන්දර වගේ. ඒත් ඒවා කතන්දර හෝ ආඛ්‍යායිකා වගේ රේඛීය අක්ෂයක විකාශනය වෙන්නේ නෑ. එකවර කාව්‍යමය අක්ෂ කිහිපයක් වැඩෙනවා, සිරස් අතටත් තිරස් අතටත්. දිග කවියක ඇතැම් පුංචි ස්ටැන්සාවක අනපේක්ෂිතව පැන නගින කණිකාව වුණත් ඇති ඒ කවිය කවියක් වෙන්න. ඒක ස්ටැන්සාමය එෆිපනියක් වගේ.
සංවාද සංලාප වරනගන අප දෙදෙන කියා කවියක් මේ පොතේ තියෙනවා. ඒක එවැනි කවි කිහිපයකින් එකක්. ආදරවන්තයන් එක්ව කරන දේවල් ගැන ඉතාම ගතානුගතික දේවල් තමයි සාමාන්‍යයෙන් අපේ කවිවල තියෙන්නෙ. සිපගැනීම, රමණය, පන්සල්යාම, ෂොපින් යාම වගේ එකම දේවල්. වෙඞ්ඩාගේ ආදරවන්තයො අමුතු දේවල් කරනවා. දමිත් දහනායක සහ සුදර්ශන සමරවීර දෙන්නාගෙ ඇතැම් කවිවලත් අමුතු දේවල් කරන ආදරවන්තයො ඉන්නවා. නමුත් ඒ අර පරණ ලිස්ට් එකට අයිති දේවල්ම වෙන විදියකට කරන අය. වෙඩ්ඞාගේ කවිවල ආදරවන්තයො කරන දේවලුත් ඒවාගේ විමර්ශක කලාපය (Range of reference) හුඟක් වෙනස්. ඒ නිසා නැවුම් කවිතාවක් අපට දැනෙනවා. සංවාද සංලාප වරනගන අප දෙදෙන කියන කවියෙ එක තැනක් මේ:
“සුළඟට ඇහුම්කන් දෙන
සංසාර පුරුද්දෙන්
ගැළවෙන්න අකමැති ඇය
ඇස් පියාගෙන
සන්තානයට අමතයි
“ඇහෙනවද ඔබට
සුළඟ මුමුණන හඬ”
අසන්නී ඇය
ස්වර්ගීය ස්වරයෙනි.
ඒ තරම් ආදරෙන් ඈ
සුළඟ අමතන විට මට සිතෙයි
ඊර්ෂ්‍යා කරන්නට සුළඟට පවා
“ඔබේ ජයකොන්තය
පටලන්න මා අත්ලෙහි
ඉදින් අපි නැගයමු
ස්වර්ගීය හිණිපෙළ”
රැගෙන එන්නී ඈ
අනෙක විධි උත්ප්රාසය
මුරණ්ඩුම හඬෙකිනි
“ඔබට ස්වර්ගයෙන් තිළිණ ලැබුණේ
මුරණ්ඩුකම ම විතරද” මම අසමි
ඈ සිනහ පුපුරයි
“පිච්චමල් මත
විලවුන් ඉසින්නේ කවුද?
පිස්සුද”
...
ඇය අසයි
“නමක්නැති කිසිවක් ඔබට හමු වී නැද්ද?
මඟතොට පමණක් මැ නොව
කිසියම් ම වූ සිහිනයකදී වත්”
මම කියමි
“බොරුවට නිදාගත් විහඟුන්
ඇත්තටම ඇහැරෙන
ඇතැම් පෙරවරු
ගීතිකාමය වසුරු ඉහිරයි”
නව විචාරකයින් හෙවත් නිව් ක්‍රිටික්ස්ලා ඒ කාලෙ කියපු දෙයක් තමයි විශිෂ්ට කවිය පැරාප්රේස් කරන්න බැරිබව. ඒ කියන්නේ කවිය භාවාර්ථයක් විදියට සාරාංශ කරන්න හෝ යළි ගද්‍යයෙන් වාර්ථා කරන්න බෑ. Fallacy of Paraphrase කියල තමයි ඔවුන් ඒක හැඳින්නුවෙ. කවියක් නැවත ගද්‍යයෙන් විස්තර කළ හැකියැයි විස්තර කිරීමේ සාවද්‍යතාව තමයි ඔවුන් ෆොලසි කියල එතන හැඳින්නුවෙ. එරික් ඉලයප්ආරච්චිගෙ හොඳ කවි සාරාංශකරණය කරන්න බෑ. වෙඩිවර්ධනගෙ මේ කවි එක්ක ඕනෑම කෙනෙකුට බැඳෙන්න පුළුවන් තලයක් තියෙනවා. ඒනිසා ඒවා එරිකියානු ප්‍රහේලිකා නෙමේ. ඒත් භාවාර්ථ ලියන්න බැරි කවිතාවක් ඒවාගේ තියෙනවා. ඒඒ සැටැන්සාව හෙවත් කාව්‍ය කණ්ඩය තනිව සපයන අන්තර්දෘෂ්ටි පවා ඇතැයි මා කලින් කීවේ ඒ නිසයි.
මේ පොතේ කවි කියවා ඉවර වූ පසු ආයෙත් කියවන්න හිතෙනවා. සංගීතය පිණිස. ආයෙත් කියවන්න හිතෙනවා දර්ශනය පිණිස. හැම කවියකම ශබ්දයට අමතරම සුන්දර භූමි දර්ශනයක් තියෙනවා. මානව ප්‍රේමය විවාහය නම් බිත්ති හතරක් අතරට දක්කාගෙන ගොස් ගෙවල යක්කුන් හමුවේ බිලිදෙන ආදර කවියක් නෙමේ වෙඞ්ඩා ලියන්නේ. ආදරය නම් දෙයෙහි යම් ආරම්භක විමුක්තිකාමයක් තිබුණා නම් ඒ විමුක්තිකාමය වෙඞ්ඩා ආදර රතිය සමග සංසර්ගයට ගන්නවා. ඒ නිසා අමුතු සම්භෝගයක් ඇති වෙනවා.
මම කලින් මේ කවියෙ විමර්ශක කලාපය ගැන කිව්වනෙ. ඒක හරි පළල්. බලන්නකො මෙතන.
"ඒත් ඇය
කැන්වසය මත
චිත්රසයක් මෙනි
දෙලාකෘවාගේ - කැරකොප්පුවේ අනාථ දැරිය මෙනි
මොදිලියානිගේ- හුරුවලග හිස බැදි රතු පැටික්කිය මෙනි
මනේගේ- වසන්තය රැගෙන ආ පැරිස් නළ්රතගන මෙනි
බසිල්ගේ- නෙත් පියාගත් තුරුණු කත මෙනි
ක්ලිම්ත්ගේ- හාදුව උහුලනා එරන් ළද මෙනි
දාලිගේ- වම් ළැමෙහි මදහාස නංවනා ගැලරිනා මෙනි
ගොගංගේ -විජිනිපත අත රැදි තහිති තරුණිය මෙනි
වැන්ගොගේ- පවන් සලන මනාලිය මෙනි
පිකාසෝගේ- සතරතේ වලප්නා ස්ත්‍රි ය මෙනි
ඉදින් පැතලි බව යනු
ගැඹුර යන්නෙහි
පර්යාය එළඹුම බව
කියා දුන්නාට
ස්තුති කර ගැලවෙන්නට නොහැකිය."
මේ චිත්‍ර ගැන ටික ටික පේරාදෙණියේ සිට කෙල්ලන්ට කොල්ලන් කියන්නට හදන මට වෙඩ්ඩා ප්‍රංශයේ සිට ඒවා කවියක කලාලය මත එළන හැටි පුදුම මිහිරක් ගේනවා.
තවම මම පොත කියවා ඉවර නෑ. මේ කියපු ටිකේ ගතයුත්තක් තිබුණා නම් ඒ මගේ නත්තල් තෑග්ගයි.
අපේ නිල ශාස්ත්‍රාලය තුළ මේ කවි කවි යැයි කියන දවසක් නොඑන්නත් පුළුවන්. අජිත් තිලකසේනගේ අලුත් කවි කියවද්දීත් මට එහෙම හිතුණා. මගේ එක පොතක රාධා වරක් කියනවා වගේ මේ රට ඉස්සරහටයි පස්සටයි එකවර ගමන් කරනවා.
සටහන : ලියනගේ අමරකීර්ති