අයර්ලන්ත ජාතික සිනමා අධ්යක්ෂ Martin McDonagh ගේ The Banshees of Inisherin පසුගියදා අවසන් වුණු 95 වන ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන අටක් සඳහාම නිර්දේශ වූ කෘතියකි.මිතුරන් දෙදෙනෙකු අතර ජීවිත කාලයක් පුරා පැවති මිත්‍රත්වය අවසන් කිරීමට එක් මිතුරෙකු විසින් තීරණය කිරීමත් සමඟ එය දරා ගැනීමට අපොහොසත්වන අනෙක් මිතුරා පත්වන ආත්මීය අර්බුධය හා ඒ හරහා මතුවන ව්‍යාකූලත්වය මූලික කතා තේමාව කරගනිමින්, අයර්ලන්තයේ කුඩා ගමක (මාර්කේස්ගේ මැකැන්ඩෝව වැනි ප්‍රබන්ධිත ගමක) 1923 වසරේදී, එරටෙහි සිවිල් යුද්ධය අවසන් අදියරේ පවතින යුගය තුළ සිදුවන මේ සිදුවීම හරහා, අතිශය පුද්ගලික ප්රකාශනයක් තුළ පුළුල් දේශපාලන විවරණයක් සිදු කරන සිනමා නිර්මාණයකි The Banshees of Inisherin.
විසිවන සියවසේ මුල් භාගයේ සිදුවූ අයර්ලන්ත සිවිල් යුද්ධය පිළිබඳ යම් අවබෝධයකින් යුතුව මෙම සිනමා නිර්මාණය නරඹන රසිකයෙකු හට කෘතිය වඩාත් පුළුල් අරුත් සම්පාදනය කර ගත හැකිලෙස විඳිය හැකිබව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
වෙන්වීම, අහිමිවීම මෙන්ම මනුෂ්‍ය සබඳතා දුරස්වීම තුළ තනි පුද්ගල ජීවිත මතු නොව පුළුල් සමාජ ජීවිත වුව එහි නිවැරදි ප්රකාශනය වෙනුවට දළ, රළු ප්රකාශනයක් දක්වා විකෘතිවීම අතිශය මානවවාදීව හා දේශපාලනිකව The Banshees of Inisherin හී දී Martin McDonagh අප වෙත ඉදිරිපත් කරන්නේ අවසන් දර්ශන තුළ එන සංගීත ඉදිරිපත් කිරීම තුළය.
Colm, Padreic ගෙන් දුරස් වන්නේ ඔහුගේ ඇසුර ඒකාකාරීවීම හා පළ රහිත වීම නිසාත්, සංගීත ශිල්පියෙකු වන තමන් නිර්මාණය කරන සුවිශේෂ සංගීත ඛණ්ඩයක් නිදහසේ නිර්මාණය කිරීම වෙනුවෙනි. නමුත් අවසානයේ තමා විසින්ම තම වමතෙහි ඇඟිළි පහම අහිමිකර ගැනීම තුළ එම නිර්මාණය නොපුහුණු සංගීත කණ්ඩායමකට කියා දළව, රළුව ඉදිරිපත් කිරීමට සිදුවීම හේතුවෙන් මානව සබඳතා හී බැඳීම් අහිමි වීම තුළ එහි සෞම්‍ය, නිර්ව්‍යාජ ප්රකාශනය අහිමිවීමේ ඛේදවාචකය නිර්මාණකරුවා ප්‍රේක්ෂක අපට ප්‍රකාශ කරයි.
අවසානයේ උත්ප්රාසාත්මක ලෙස Colm ට තම ආත්මීය ප්රකාශනය ඉදිරිපත් කිරීමට ජීවිත කාලයක් පුරා තමා ළඟ ගැවසුනු වයලීනය එකී ආත්මීය ප්රකාශනය ඉදිරිපත් කිරීමේ සංවෙිදී සංගීත මෙවලම ලෙස නොව අනෙකා මෙහෙයවන රළු උපකරණයක් ලෙස භාවිතා කිරීමට සිදුවෙයි.
මේ සිදුවීම් සියල්ල අතර තම සහෝදර ජනතාව වෙතින් බෙදී වෙන්වීමට කරන අයර්ලන්ත සිවිල් යුද්ධයේ වෙඩි හඬ වරින් වර අපට ඇසෙයි.
අතිශය සිනමාත්මකව, අතිශය රූපිකව මෙන්ම සංඛේත ගුණයෙන් අති පොහොසත්ව ගොඩ නඟන රූපමය බසකින් නිර්මිත මෙම සිනමා කෘතිය සිනමා ළැදි සැමකෙකු විසින් මෙන්ම, තම සහෝදර ජනතාවගෙන් බෙදී වෙන්වී තනි ගමන් යාමට, ඉඩ ලැබෙන සෑම විටෙකම වෙර දරණවුන් මෙන්ම, තම සහෝදර ජනතාවගේ ඔළුගෙඩි උඩට බර අවි ප්‍රහාර එල්ල කර ප්‍රශ්න විසඳිය හැකියැයි එදා විශ්වාස කළ, අද එය ව්‍යාජව සඟවාගෙන සිටින ජන බලවේගයන්ද මෙවැනි සිනමා කෘති නරඹා තම හෘද සාක්ෂිය ප්‍රශ්න කරගත යුතුය.
ජනක ඉණිමංකඩ- උපුටාගැනීම සිනෙරූ පිටුවෙනි