"අම්මා....... හම්කෝ බචාලීජියේ......!!!" (අම්මේ........ මාව බේරගන්න.......!!!")
රාජ් කුමාර් සංතෝෂිගේ "ලජ්ජා"වට අදට අවුරුදු විසි දෙකක්...!!
අතීතය, සංස්කෘතිය, ආගම , දර්ශනය විසින් සමාජ සම්මතයේ ලියා තැබූ ස්ත්රියගේ නීති රීතීන් බිඳ දැමූ බොලිවුඩ් කථිකාව..
ස්ත්රී චරිත හතරක්.. වෛදහී, මෛතලී, ජානකී සහ රාම් දුලාරී.. ඔබට දැන සිටියාද..? මේ චරිත හතරම අතීතයේ "සීතාව" හැඳින්වීමට භාවිතා කළ විවිධ නම් බව..
රාම් දුලාරී.. ගමේ ගොඩේ ගැහැනියක්.. වින්නඹු අම්මා කෙනෙක්.. තමන්ගෙ දෑතින් බිහි කළ දරුවන් අතින් කෙලෙසෙන්නට තරම් ඈ කෙතරම් අවාසනාවන්ත ගැහැණියක් වන්නට ඇතිද..?
" පුතේ මම උඹේ අම්මගෙ බඩෙන් උඹව එලියට ගත්තු උඹේ දෙවනි අම්මා.. අනේ මට යන්න දීපං..."
'"
ඈ අවාසනාවන්ත වූවාට ඈ බිය වූයේ නැත.. අසාධාරණයට එරෙහිව ඈ දන්නා තරමින් ලද උගත් කමින් අරගල කළාය.. "නි"ර්භීත රාම් දුලාරී.. ඈ සීතාවගේ නිර්භීත අවතාරය වූවාය..
ජානකී... වේදිකාව ජීවිතය කරගත් , කවදා හරි බොලිවුඩයට යන්න හීන දකින කෙල්ලෙක්.. කෙල්ලෙක් නෙමෙයි ආදරය වෙනුවෙන් නීතියෙන් නැතත් මවක් වීමට පෙරුම් පුරණ ගැහැනියක්. ආදරය වෙනුවෙන් ආදරයේ සංකේතයට තම කුස කුළියට දුන් තවත් සීතාවක්.. රාම්ට අභියෝග කළ සීතාවක්..
"වනවාසයට ගියේ උඹයි.. මම ආවෙ උඹේ තනියට.. අශෝක් වාටිකාවෙ මම තනියම දුශ්ඨ රාවණ එක්ක සටන් කළා.. ඒත් රාම් උඹ.. උඹ මේ කැලේ මොන මොන නාඩගං නැටුවද කවුද දන්නෙ..? ඇයි මම විතරක් අග්නි පරික්ශාවට යන්නෙ.. වරෙන් මාත් එක්ක උඹත් ගින්නට පනින්න..ඇයි මගෙ විතරක් පාරිශුද්ධ බව මනින්නෙ.. උඹත් වරෙන් මාත් එක්ක ගින්නට පනින්න.."
උඹ එදා වේදිකාවෙ රාම්ගෙන් අහපු ප්රශ්ණෙ ඇත්තටම එදා සීතා මාතාව රාම්ගෙන් ඇහුවා නම් ස්ත්රිය වෙනුවෙන් ලියැවුනු සාම්ප්රදායික අච්චුව මොන තරම් වෙනස් වෙන්න තිබ්බද?. ඒ "නි"දහස් අදහස් ඇති සීතාගේ අවතාරය.. ජානකී.....
මෛතලී... කෙල්ලෙක්ට විවාහය කියන්නෙ මහ මෙරක්.. ඒකට සංස්කෘතිය ජාතිය, ආගම, රට කියලා කිසි වෙනසක් නෑ.. ඒත් ඉන්දීය සංකෘතියෙ එන දෑවැද්ද කෙල්ලගෙ මේ හීනෙට කොයි තරම් බාධාවක්ද..?
" උඹලාට දෑවද්ද දෙන්න ඕනැ නම් මම තව මිනිස්සු කීදෙනෙක් එක්ක බුදිය ගන්න ඕනැද..? ඒත් මදි නම් මාව බැඳලා අරන් ගිහින් එහෙදිත් මාව මිනිස්සුන්ට විකුණපන් පර බල්ලා...ඔව් උඹට කිව්වෙ... බැහැපන් මණ්ඩපෙන් බිමට..කාලකන්නියා... මනමාලිගෙ පවුලෙන් දෙන මඟුලෙන් නිකම් කකා දෑවැදි ඉල්ලන නපුංසකයා..."
මඟුල් මණ්ඩපේ උඩ ගිනි ගෙන දැවෙන ගිනි මැලේ වටේ යනු වෙනුවට මඟුල් සාරියෙන්ම සැරසිලා තමන්ගේ ආත්ම ගෞරවේ බල්ලට දාලා කාලකන්නි දෑවද්දට සහ දෑවද්ද ඉල්ලන කාලකන්නි මනාල පවුලට දෙකක් කියන්න තරම් මෛතලී නිර්භය වුණා..
ඒ සීතාගේ "නි"ර්භය අවතාරය මෛතලී...
මේ ඔක්කොම කතා බලාගෙන බලාගෙන ඒ මැද්දෙන් තමන්ගෙ දරුවාගෙ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා හැල්මෙ දුවන වෛදහී..
"උඹට ඕනෑ මාව නෙමේ මගෙ දරුවා..එ්කත් පිරිමි දරුවෙක් වුණොත් විතරයි.. චී.... ලැජ්ජයි උඹ ගැන.. උඹේ පිරිමිකම ගැන.. උඹට තව දරුවො හදන්න බැරි නිසාද උඹට මේ දරුවා ඕනෑ.. ? බැරි වෙලාවත් උඹට ඕක පුළුවන් වුණා නම් මායි මේ දරුවයි දෙන්නම කුණු පල්ලෙ.."
පටු අරමුණක් වෙනුවෙන් කළලය රැක ගන්න එන තමන්ගෙ සැමියා ගැන නිවහල්ව කට ඇරලා දෙකක් කියන්න පුළුවන් දෛර්යක් තියෙන වෛදහී.. ඒ සීතාගේ "නි"වහල් අවතාරය...!!
මේ මෑතක ඊරෝස් නිශ්පාදන සමාඟම රාජ්කුමාර් සංතෝශි ගේ "ලජ්ජා" චිත්රපටයේ චරිත හඳුන්වා දුන් අයුරුයි මේ...
ලජ්ජා බැලුවාද...? ඔබත් එකඟද..?
© චරිත් මොරගොඩ
භාරත රසික සිනමා සංසදය වෙනුවෙන් රචනා කළ ලිපියකි.
ඡායා : භාරත රසික සිනමා සංසදය