"කොයිම වෙලාවක වත් මම චිත්රපට නිෂ්පාදකයෙක් විදියට හදුන්වන්නෙ නැහැ.මම මගේ එෆ්බී ප්රොෆයිල් සදහන් කරල තියෙන්නෙත් 'Not an artist’ කියල.මම කරන්නෙ සමාජ දේශපාලනිකමය කන්ටෙන්ට්ස් හදන එක (මම Social-Political Content Creator කෙනෙක්). මගේ පරමාර්ථය තමයි සමාජ-දේශපාලනික තත්වයන් එක්ක ගනුදෙනු කරන එක.ඒ තත්වයන් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන එක. අවධානයට ලක් විය යුතු කාණ්ඩයන්ට ඒ ප්රශ්න යොමු කරන එක සහ ඒ හරහා කතිකාවක් ගොඩනගන එක. කූඹියෝ වුනත් කලා නිර්මාණයකට වැඩිය මම ඒක සලකන්නෙ සමාජ දේශපාලනික කතිකාවතක් විදියට. ඒ නිසා කූඹියෝ ගත්තත්, යම් ආකාරයක සමාජ දේශපාලන අවකාශයන්ට අත තැබීමක් තමා සිද්ධ වෙන්නෙ. මම කරන්නෙ සිනමාව කියන ටූල් එක පාවිච්චි කරලා සමාජ දේශපාලන තත්වයන් එක්ක ගනුදෙනු කරන එක"
අනිද්දා පුවත්පත සමග කළ සම්මුඛ සාකච්චාව තුළ ලක්මාල් ධර්මරත්න දැක්වූ ඉහත අදහසම ඔහු 'වාලම්පූරි' මාධ්ය දර්ශනය අවස්ථාවෙත් පළ කරල තිබුණ.
සිනමාව හා කලාව පිළිබදව ලකා දරන මේ මතය ඉතාම සුවිශේෂී වන්නේ ඔහුගේ දෘශ්ය නිර්මාණ කෙරෙහි යම් ආශක්ත බවක් දක්වන නව පරපුරේ ප්රේක්ෂක සමාජයේ සැලකිය යුතු පිරිසක් කලා නිෂ්පාදනයන් සමග දක්වන අදේශපාලනික ගතානුගතික ආකල්පයන් මෙයින් යම් සසල කිරීමකට ලක් කෙරෙන නිසයි.
ඒ අනුව ලාංකේය දේශපාලන සිනමාවේ (පතිරාජ,හදගම ඇතුළු) පූර්වගාමීන්ගේ යෂ්ටිය වත්මන් 'නව අරාජික යුගය' පිළිබද ආලෝචනයන් මතු කිරීම උදෙසා අද දවසට කැදවීමේ අවශ්යතාවය ලකා විසින් යෝජනා කර සිටියි.
'වාලම්පූරි' සිනමා ප්රකාශනය හෙට දිනයේ (25) සිට ජනගත කෙරෙනව.
දැනට ගොඩක් දෙනෙකු චිත්රපටිය බලල නැති නිසා හා හෙටින් පසුව විවෘත විය හැකි සිනමා-දේශපාලන සංවාදයට ඉඩ තබා පසුගිය දා එහි මාධ්ය දර්ශනය නැරඹූ සහෘදයකු ලෙස පෙර-වචනයක් පමණක් දැනට සටහන් කරන්න කැමතියි.
කූඹියෝ ටෙලි මාලාව හරහා මතු වුණු සංවාද ක්ෂේත්රයේදී මගේ අදහස වූයේ එය සමකාලීන තරගකාරී 'කුමන්ත්රණ දෘෂ්ටිවාදය' උත්කර්ෂණය කරන නිෂ්පාදනයක් වන බවයි. සරලව කිවහොත් පසු නූතන වත්මන් සමාජයේ වීරත්වය ලෙස ඉස්මතු කරමින් ඇත්තේ 'ගේම් ගැසීම්' හා 'කුමන්ත්රණ කිරීම්' ඇතුළු නරුම අවස්ථාවාදය වන බවයි. අද 'පසු නූතන වීරයා' කියන්නෙත් නරුම ලිබරල් උත්ප්රාසකයෙකි (cynical liberal ironist).
කූඹියෝ 'ජෙහාන්ව' (තුමිදු දොඩම්තැන්න) මතක් කරගත්තොත් එය ඊට පැහැදිලි නිදර්ශනයකි. ඔන්ලයින් ෆ්ලැට්ෆෝම්ස් වල ජනප්රිය වෙලා තියෙන ටෙලිමාලා හා සිනමා නිර්මාණ බොහොමයකටත් මේ යුග තර්කණය විකල්ප මාත්තුවක් විදියට බෝ වෙලා තියෙනවා. 'කූඹියෝ' ආඛ්යානය කෙරෙහි වූ ආකර්ශනයට මෙම ඇබ්බැහිය ප්රමුඛ සාධකයක් වුණා. සස්පෙන්ස් ත්රිලර් ශානරමය ගුණයත් එකතු වුණාම එම දෘෂ්ටිවාදය නැගල යනව.
'වාලම්පූරිත්' එකී ශානරයේම සිනමා වියමනක්. කුමන්ත්රණ හා ගේම් මාලාවක් පැය දෙක හමාරක් පුරා අපි බලන් ඉන්නව.
හැබැයි මගේ අදහස වෙන්නෙ කූඹියෝ වල උත්කර්ෂවත් කළ ඉහත දෘෂ්ටිවාදයෙන් යටපත් කෙරුණු 'නිර්ධනීය බව' , සංක්රමණීය අවදානම් ශ්රමයේ ඛේදය , ප්රභූවාදී අධිපති දේශපාලනයේ පීඩනය ස්වපීඩක නිර්ප්රභූ සමාජ මනසිකාරයක් නිර්මාණය කර ඇති සැටි, පංති අරගලය නව අරාජිකත්වයකින් විස්ථාපනය කර ඇති සැටි ආදී මානයන් කිහිපයක් 'වාලම්පූරි' චිත්රපටිය තුළ පෙරබිමට කැදවා තිබෙන බවයි. ඒ දේශපාලනික අරුතෙන් ගත්විට 'වාලම්පූරි' චිත්රපටියේ දෘෂ්ටිවාදය විසින් 'කුඹියෝ' ටෙලි මාලාව ඉස්සර කර තියෙනව.
විශේෂයෙන්ම 'වාලම්පූරිය' මට අර්ථවත් වන්නේ ධනවාදී හුවමාරු ආර්ථිකයේ අතිරික්ත වටිනාකම (Surplus Value) 'අර්චනයක්' (Fetish) දක්වා ඔසවා මූර්තිමත් කිරීමේ සිනමා උපමාරූපකයක් ලෙසයි. (එහිම වූ කිසිම නිසර්ග වටිනාකමක් නැති 'මුහුදු බෙල්ලෙකු' වෙනුවෙන් මිනිස් ජීවිත හා සබදතා පවා විනාශ කරගනිමින් සිදුකෙරෙන හඹායාම. එසේම එවැනි 'නිකං බෙල්ලෙකු' වෙත ආරෝපණය කළ දැවැන්ත වටිනාකම පැමිණියේ කොයි සිටද ? එම වටිනාකම දිව්යමය ස්වරූපයක් ගත්තේ කෙලෙසින් ද ?)
ඉදිරියේදී එකී තතු 'වාලම්පූරි' සිනමා නිර්මාණය හරහා තවදුරටත් කියවා ගත හැකි වේ.

එහෙත් ඒ අතරම වඩා වැදගත් වන්නේ ඉහත කී දේශපාලන අන්තර් දෘෂ්ටීන් සිනමා වියමන තුළ මිහිදන් වී හා මිශ්ර වී ගොඩනැගෙන සිනමා ප්රබන්ධයේ නිර්ව්යාජ (authentic )-ස්වතන්ත්ර ගුණය කෙසේද යන්නයි.
එසේම සස්පෙන්ස් ත්රිලර් ශානරමය ප්රභේදයේ තිරපිටපතක් ලෙස ගත්විට ආඛ්යානමය හා සිනමාත්මක ගෙත්තම ආකෘතියක් ලෙස ප්රකාශ වීමේ සංගත බව කවරාකාර ද යන්නයි. 'වාලම්පූරි' එහිදී සාර්ථක වී තිබේද ? ලකා සිය සිනමා නිර්මාණය තුළින් යෝජනා කරන දේශපාලන සාකච්චාව වඩා අර්ථවත් විය හැක්කේ එකී මානයන් ද ඇතුළත් කරගත් කියවීමක් තුලය.
වින්දනය හා චින්තනය හඹායන සිනමා ලාලසාව අතින් ගත්විට 'වාලම්පූරි' යනු කිසිසේත්ම මගහැරිය නොයුතු සිනමා නිර්මාණයකි. 'වාලාම්පූරිය' ලුහුබදින්න..නරඹන්න..හැකිතරම් එය චචනයට නගන්න !
(අද සවස 'වාලම්පූරි' මංගල දර්ශනය හැව්ලොක් සිටි ස්කෝප් සිනමා හි තිරගත කෙරෙනවා)
සටහන - සිනමා විචාරක විදර්ශන කන්නන්ගර
