lan englan tam

පුවත්

වසර 78ක් ඉපැරණි සිනමා මතකය; කඩවුණු පොරොන්දුව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"විවාහය හැරුණු විට මගේ ජීවිතයේ ඉතාම ප්‍රීතිමත් වූත් වැදගත් දිනය මෙයයි. අනෙක් අතට හැම තරුණියක්ම විවාහ වන්නීය. ඒ ප්‍රීතිමත් දිනය හැම ගැහැනියකටම උරුමය. ඉරණම හෝ දුෂ්ට සමාජය හෝ උදුරා නොගතහොත් ඒ ප්‍රීතිය කාටත් උරුමය. එහෙත් එදා අප පෙනී සිටි ප්‍රථම චිත්‍රපටය පෙන් වූ දා අප භුක්ති වින්දේ එසේ මෙසේ ප්‍රීතියක් නොවේ. ප්‍රථම සිංහල චිත්‍රපටයේ කතා නායිකාව වශයෙන් රිදී තිරයේ ප්‍රථම වරට දර්ශනය වීමේ ඒ මහා භාග්‍යය ලද ප්‍රථම කාන්තාවත් එකම කාන්තාවත් වූ විට කෙනෙකුට ප්‍රීති නොවී සිටිය හැකිද?"

ප්‍රවීණ ගත් කතුවර කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද රුක්මණී දේවි මගේ ජීවන විත්ති ග්‍රන්ථයද ඇතුළත් කොට සරසවිය හිටපු කර්තෘ ඒ.ඩී. රංජිත් කුමාර විසින් ලියන ලද යුගයක ස්වර්ණ ගීතය ග්‍රන්ථයෙන් උපුටා ගැනුණ එම වැකියෙහි කියැවෙන වැදගත්ම දිනයට අදට අවුරුදු හැත්තෑ අටකි. ඒ 1947 වසරේ ජනවාරි මස 21 වැනි දිනයය. එදින කොළඹ කොටහේනේ කිංස්ලි සිනමාහල අවට එකම හිස් ගොඩක්ව තිබුණේ මුල්ම සිංහල කථානාද චිත්‍රපටය දැක ගන්නටය. මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූ දිනය එදාය. රුක්මණී දේවිය එහි රංජනී ලෙස රඟපාමින් සිංහල කථානාද චිත්‍රපටයක මුල් වරට ප්‍රධාන චරිතය රඟපෑ නිළිය ලෙස පමණක් නොව මුල්ම ගායිකාව හැටියටද වාර්තාවක් තැබුවාය.
එවකට සභානායක මහාමාණ්‍ය ඩී.එස්.සේනානායක මහතාණන්ගේ හා එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මේ චිත්‍රපටය සඳහා ශාලාව අඳුරු වී චිත්‍රපටය පටන් ගන්නා තුරු ගත කළ අවස්ථාව තරම් හෙමින් ඔරලෝසුව වැඩ කළ අවස්ථාවක් ඊට පෙර හෝ පසුව නොදුටු බව රුක්මණිය සඳහන් කරන්නීය.
"නෝනාවරුනි, මහත්වරුනි. ප්‍රථම සිංහල චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව මම තමුන්නාන්සේලාට පිළිගන්වමි". සිනමාහල අඳුරු වූ සැණින් තිරය මත පතිත වූ රූපය පැවසුවේය. ඒ් එහි නිෂ්පාදක සුන්දරපිල්ලෙයි මධුර නායගම් මහතාය. ඔහුගේ උච්චාරණයෙහි දෙමළ ඌරුව පෙනෙන්නට තිබිණ. ඉන් අනතුරුව චිත්‍රපටය නිපද වූ ඔහුගේ සමාගම වන චිත්‍ර කලා මුවිටෝන් සමාගමේ නම සමඟ නාමාවලිය ගලා ගියේ පොතක පිටු පෙරළෙන ආකාරයටය. පසුබිමින් සිංහල කථානාද චිත්‍රපටයක මුල්ම ගීතය ඇසිණ. 'ශ්‍රී ජය විජය දිනෙති දින අප ශ්‍රී ලංකා මාතා' නම් ඒ ගීතය ගායනා කරන ලද්දේ මිනර්වා සංගීත කණ්ඩායමයි.

එයින් පසු මතුවන රූපයෙහි රංජනී මරණ මංචකයෙහි වැද සිටින ඇගේ පියා‌ ජයසේන පාමුල හඬමින් සිටින්නීය. සමීපයෙහි රංජනීගේ මව වූ සුමනා හා ඇගේ පෙම්වතා වන සැම්සන්ද සිටිති.
"පිස්සු කෙල්ල රංජනී ඇයි අඬන්නේ. හැඬීමෙන් ඇති ඵලය කුමක්ද? සුමනා මා ගැන කණගාටුවෙන්න එපා. මට බය මරණයට නොවෙයි. එහෙත් නුඹලාට මහ මඟ සිඟාකෑමට මාර්ගය සලසා දී මා කෙසේ නම් මිය යන්නද?" ජයසේන පවසන්නේ ඇස් පියා ගන්නට කලින්ය. මව හා දුව විලාප දෙද්දී එතැනට ණයකරුවෝ කඩා වදිති.

"මාතියා මගේ සල්ලි දෙන්න කියාපන්. නැත්නම් මම හොඳ වැඩේ තමා කරනවා."

"මට මගේ මුදල් ඕනෑමයි. නැත්නම් මම යන්නේ නැහැ."
ණයකරුවන් දෙස රවා බලන සැම්සන් ජයසේනගෙන් අය විය යුතු මුදල ගෙවා දමයි.

"තම පියාගේ මළ සිරුර අසල වැළපෙමින් සිටින ඒ අහිංසක තරුණියගේ අනාථ විලාශය ගැන පවා නොතකා මුදල් ඉල්ලා කෑ ගසන නුඹත් මිනිහෙක්ද මිනිහෝ? රෝම නගරය ගිනි ගනිද්දී වීනා වාදනය කළාහු දුෂ්ටයෙකි. ඇහැලේපොළ කුමාරිහාමිගේ බොළඳ දරුවන් වංගෙඩියෙහිලා කොටද්දී සුරා යකා හිස මුදුනට නංවාගෙන ප්‍රීති වූ ශ්‍රී වික්‍රමත් දුෂ්ටයෙකි. නුඹ වැනි දුෂ්ටයන් ලෝක ඉතිහාසයේවත් ලංකා ඉතිහාසයේවත් නැති බව සිතාගනු. මේ මුදල් රැගෙන මේ ස්ථානයෙන් පිට වී පලයන්." සැම්සන් කෑ ගසයි.
අනතුරුව සැම්සන්ට පෙනෙනුයේ තම ස්වාමියාගේ මරණය ගැන විලාප නඟන මනප්පුය.

"දුක්වෙන්න එපා මනප්පු. දුක්වෙන්න එපා. ඔය දැන් මේ දොරටුවෙන් පිටවී ගිය මුදල් නමැති හතුරා යම් දිනෙක මිතුරු වී අනෙක් දොරටුවෙන් එන්නට බැරි කමක් නැහැ."
අනතුරුව තිරයේ දිස්වන්නේ රංජනී සිය පියාගේ සොහොන මත ඉඳ හඟඩමින් ගයන ගීයකි.

'ප්‍රේම දයා මාගේ පියා‌ණෝ'

සැම්සන් එයින් පසු සිංගප්පූරුවට යන්නේ තමන් සතු සියලු දේපළ විකුණා රංජනීලාගේ ණය ගෙවා දැමූ හෙයින්ය. මේ උපකාරය කිසි කලෙක අමතක නොකරමු යැයි අම්මාත් දුවත් දිවුරති. ඔහු යන්නේ මනප්පු හා ජොසී බබා ද නිවසේ තනියට නතර කරලමින්ය. හේමපාල මුදල් ඉල්ලා ගන්නේ වික්ටර්ගෙනි. ‌හේමපාල විසින් රංජනීට වික්ටර් හඳුන්වා දෙන්නේ ඔහු විවාහක එක් දරු පියෙකු බව සඟවාලමින්ය. සැම්සන්ගෙන් ගත් ණය ගෙවන්නට එකඟ වන වික්ටර් රංජනී හා විවාහ වන්නට මනාප වෙයි. ඒ සිය භාර්යාව ටෙක්ලා හා දියණිය හිල්ඩාද අමතක කරලමින්ය. නැවත ලංකාවට පැමිණෙන සැම්සන් රංජනී හා වික්ටර් අතර සබඳතාව ගැන විමසුවද සුමනා ඔහු එළවා ගනියි. සැම්සන් උමතු බවට පත්වෙයි. විවාහයට පෙර දින වික්ටර් විවාහකයකු බැව් දැන ගත් රංජනී නිවසින් පිටව ගොස් සාත්තු සේවිකාවක බවට පත්වේ. මේ අතරවාරයේ රෝගාතුර වන හිල්ඩාගේ සාත්තු සේවයට යෑමට රංජනීට සිදුවෙයි. දරුවා අසනීප වීමට හේතුව තමන් බව අවබෝධ කර ගන්නා රංජනී ඇය වෙනුවෙන් කැපවෙයි. දියණියගේ අසනීපය ආරංචී වී වික්ටර් එහි පැමිණියද හිල්ඩා ඔහු ඉදිරියේම මිය යයි. රංජනී දිවි නසා ගැන්මට තැත් කරද්දී එහි පැමිණෙන සැම්සන් ඇයව බේරා ගනියි. අවසානයේ සැම්සන් හා රංජනීද වික්ටර් හා ටෙක්ලාද නැවත එක්වෙති. මේ කඩවුණු පොරොන්දුවට පාදක වූ කථාවයි.
කඩවුණු පොරොන්දුවට දායක වූ පිරිස මෙපරිද්දෙන්ය. නිෂ්පාදක මණ්ඩලය -එස්.එම්. නායගම්, රොබට් පරාක්‍රම සේනානායක, ශ්‍රීමත් සුසන්තා ද ෆොන්සේකා, ආර්.එෆ් ද මැල්, එස්. රාමනාදන්, චෛත්‍යලිංගම්, වී. සුබ්‍රමානියම්, උප අධ්‍යක්ෂ ඇස්. සෞන්දර්රාජන්, සංගීතය නාරායන අය්යර්, සංගීත මෙහෙයවීම, ගීත ප්‍රබන්ධය කේ. හියුගෝ ප්‍රනාන්දු, කැමරාව කේ. ප්‍රභාකර්, සංස්කරණය පාකර් සාලි, රංගනයෙන් දායක වූවෝ රුක්මණී දේවී, බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න, එඩී ජයමාන්න, ජෙමිනි කාන්තා, පීටර් පෙරේරා, ජී.තිමෝසියස් පෙරේරා, ඇසිලින් බාලසූරිය, බර්ට්‍රම් ප්‍රනාන්දු, හියුගෝ ප්‍රනාන්දු, ජේ.බී. පෙරේරා, ප්‍රබාකර්, ස්ටැන්ලි මල්ලවආරච්චි, රූපා දේවි, විසිඩෝර් ෆොන්සේකා, මීඩා පෙරේරා, මීරියම් ජයමාන්න වෙති.

චිත්‍රපටය පිළිබඳ ප්‍රචාර අරඹන ලද්දේ තිරගත වීමට මාසයකට මත්තෙන්ය. 'කොළඹ සහ වෙනත් නගරවල එකවර නිදහස් කිරීමට චිත්‍රපටිය එනවා. චිත්‍රකලා පළමු සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව, ලංකාවේ කෝකිල පක්ෂියා නමින් ප්‍රකට රුක්මණි දේවි සහ සුප්‍රකට විකට නළුවා එඩී ජයමාන්න ඇතුළු මිනර්වා නාට්‍ය කණ්ඩායම මෙහි පෙනී සිටී. අධ්‍යක්ෂත්වය ජේ.සී. සිංහ, නාටක සංස්කාරක බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න සීමාසහිත චිත්‍රකලා මුවිටෝන් කොළඹ සහ මදුර කිංස්ලි සිනමාහල හැරුණු විට පිටකොටුවේ මයිලන්, මරදාන නිව් ඔලිමිපියා , පානදුර ටෝකිස්, ජින්තුපිටිය ටෝකිස්, අව්ස්සාවේල්ලේ චන්ද්‍රා ටෝකිස්, මීගමුවේ නඩරාජා ටෝකිස්, මොරටුව චන්ද්‍රා ටෝකිස්, නුගේගෝඩ ක්වීන්ලන්, බදුල්ල මෝඩර්න්, කුරුණෑගල රොක්සි, ත්‍රිකුණාමලය නඩරාජා ටෝකිස්, රත්නපුර භාරත ටෝකිස්, කැලණියේ කැලණි ටෝකිස් සහ බෝගම්බර නෘත්‍ය ශාලාවේද ප්‍රදර්ශනය කෙරිණ.

චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩල නොමැති එකල චිත්‍රපට පිටපත් කිහිපයක් මෙලෙස සිනමාහල් කිහිපයක තිරගත වූ බව පෙනෙන කරුණකි. කෙසේ වෙතත් කිංස්ලි සිනමාහලේ පමණක් චිත්‍රපටය නොකඩවා දින 127ක් තිරගත විය. විශේෂම සිදුවීම නම් 1947 නොවැම්බර් මස 26 දින සිට මරදානේ ක්‍රවුන් සිනමාහලේ අමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවුණු පොරොන්දුව වර්ණ පිටපතක් තිරගතවීමය. මේ පිළිබඳ දැන්වීමේ සදහන්ව ඇත්තේ බටහිර චිත්‍රපට හැර සම්පූර්ණයෙන් වර්ණ කළ චිත්‍රපටයක් ලංකාවට ගෙන්වා ඇත්තේ මෙපමණක් බවය.
මේ පිටපත් නැවත 1948 දෙසැම්බර් මස 13 වැනි දින සිට මරදානේ සෙන්ට්‍රල් සිනමාහලේ ද ප්‍රදර්ශනය විය. චිත්‍රපටය මුල් වටයේ ලද ආදායම ලක්ෂ 22ක් බැව් පැවසේ.
කඩවුණු පොරොන්දුව මෙරට මුල්ම කථානාද සිනමාවේ ආරම්භය වීම එක්තරා ආකාරයක අහම්බයක් හා එහි නිෂ්පාදන කණ්ඩායමේ වාසනාවක් බැව් ඒ දෙස සොයා බලන්නෙකුට පෙනෙන කරුණකි. ලොව මුල්ම චිත්‍රපටය නිපදවා වසර 52කට පසු හා ලොව මුල්ම කථානාද චිත්‍රපටය නිපදවා වසර 21කට පසු බිහිවන මුල්ම සිංහල කථානාද චිත්‍රපටය ලෝක සිනමා කර්මාන්තයේ බොහෝ භාෂාවලින් චිත්‍රපට තනා හමාර වූ පසු එළි දකින්නකි.

ඒ වන විට මෙරට චිත්‍රපට ව්‍යාපාරය නිෂ්පාදනය හැරුණු විට ස්ථාවරව තිබිණ. සිනමා මන්දිර (Picture palace) ආකෘතියෙන් යුත් සිනමාහල් ද්විත්වයක් ඇතුළුව (එල්ෆින්ස්ටන් සහ රීගල්) රටේ සෑම නගරයකම ස්ථාවර සිනමාහල් තිබුණු අතර බොහෝ ගම් නියම්ගම් පුරා නිරන්තරයෙන් සංචාරක සිනමා ප්‍රදර්ශකයෝ සැරිසැරූහ. මේ වකවානුවේ චිත්‍රපට පිළිබඳ උනන්දුව නෙකතරම් ද යත් සෑම දිනපතා පුවත්පතකම සහ සති අන්ත පුවත්පත්වල ද සිනමා පිටුවක් තිබිණ. එමෙන්ම ඉන්දියානු සිනමා සමාගම් මෙරටින් සහමුලින්ම ඉවත්ව ගොස් තිබුණු අතර දේශීය සිනමා සමාගම් මෙරට සිනමා ව්‍යාපාරයේ ආධිපත්‍යය ගෙන සිටියේය. මේ අතරින් වඩාත් වැදගත් වනුයේ 1928 වසරේ ආරම්භ කරන ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් විසින් ආරම්භ කරන ලද සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමයි. මුල්ම ශ්‍රී ලාංකේය චිත්‍රපටය ලෙස සැලකෙන රාජකීය වික්‍රමය හා මෙරට තිරගත කරන ලද මුල්ම ලාංකේය චිත්‍රපටය ලෙස සැලකිය යුතු 1929 අප්‍රේල් මස 21 වැනි දින මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ තිර ගත කරනු ලැබූ රොමානිස් යන චිත්‍රපට ද්විත්වයත් 1933 වසරේ මැයි මස 19 වැනි දින කොටහේනේ ගෙයිටි සිනමාහලේ තිරගත කරනු ලබන පළිගැනීම යන චිත්‍රපට ත්‍රිත්වයත් හැරුණු විට මේ අතරවාරයේ කථානාද චිත්‍රපටයක් නිපදවීමේ සිහිනය සැබෑ නොවුයේ මන්ද? එයට ප්‍රධානම හේතුව සේ සැලකිය යුතු එකම කරුණ නම් දෙවැනි ලෝක මහා සංග්‍රාමය පමණකි. ඒ අවදියේ චිත්‍රපට සදහා දළ සේයාපට සැපයීම වෘත්තිය නිෂ්පාදකයන්ට පමණක් සීමා වූ බව ලෝක සිනමා ඉතිහාසය පෙන්වා දෙයි. එය ඉන්දියාවට ද බලපෑ කරුණකි. එහෙත් එයින් පසු කඩවුණු පොරොන්දුවට මුල් තැන ලැබීම දෛවෝපගත කරුණකි.

මේ කාලය අතරතුර මුල්ම කථානාද චිත්‍රපටය නිපදවීමට වෙහෙස ගත්තන් කොතෙක් සිටිය ද ඔවුන් කිසිවකුට හෝ මෙරට මුල්ම චිත්‍රපටය නිපදවන්නට නොහැකි විය. මේ අතරින් 1935 වසරේ අප්‍රේල් මාසයේ දී ඇරඹෙන සිලෝන් ටෝකිස් සමාගම මෙහි එක් වැදගත් අවස්ථාවකි. ඩේවිඩ් ද සිල්වා මෙහි ආරම්භකයා වන අතර එයට සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර මැනුවෙල් සවරිමුත්තු ඇතුළු තවත් බොහෝදෙනෙක් දායකව සිටියහ. මේ සමාගම මඟින් ශාකුන්තලය හා රාවණා පුවත ඇතුළු චිත්‍රපට කිහිපයක්ම සිනමාවට ගෙන ඒමට සැලසුම් කෙරිණ. 1937 වසර වන විට ලාංකික තරුණියක වූ යාපනයේ තවමණි දේවි රඟපෑ සත් අහල්‍යා චිත්‍රපටය වාර්තාගත ආදායමක් ලැබීය. ඉන්දියානු කථානාද සිනමාවේ වැදගත්ම සිනමා කෘති රාශියක් නිර්මාණය කරන ලද සිනමාකරුවකු වූ ෂොරාබි මෝදි 1937 වසරේ ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී වික්‍රම පුවත සිනමාවට නැංවීමේ අදහසින්ය. සිලෝන් තියටර්ස් සමාගම මෙම චිත්‍රපටය නිපදවීමට සැලසුම් කළේය. කෙසේ වෙතත් මේ සිනමා කෘති සියල්ල සිහින බවට පරිවර්තනය වූවා මිස එළි දුටුවේ නැත. තවත් චිත්‍රපට කිහිපයක්ම සැලසුම් කළද ඒ සියල්ල ව්‍යර්ථ විය. මේ අතරින් රීගල් සිනමාහලේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවකුව කටයුතු කළ ඇන්. තුරෙයිසිංහම් ලයිලා මජ්නු පුවත ඇසුරෙන් දිව්‍යමය ‌ප්‍රේමය නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට 1945 වසරේ ගිය ගමන මේ අතරින් වැදගත්ය. විවිධ බාධක මැද දිව්‍යමය ප්‍රේමය තිරගත වූයේ සිව් වැනි සිංහල කථානාද චිත්‍රපටය හැටියටය. ඒ දිව්‍යමය නොව දිව්‍ය ප්‍රේමය හැටියටය. කඩවුණු පොරොන්දුවට පෙර නායගම් සැලසුම් කරනුයේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න සමඟ අශෝකමාලා නිපදවන්නටය. ඒ වන විට ඉන්දියාවේ කුමරගුරු නමින් චිත්‍රපටයක් නිපදවා තමාගේම කුඩා චිත්‍රාගාරයක් හිමි ව තිබූ නායගම් සිංහල චිත්‍රපටයක් සඳහා පොලඹවන්නේ කල්කටාවේ නිව් තියටර්ස්හි සිනමාව පිළිබද යම් පරිචයක් ලැබූ ශාන්ති කුමාර් විසින්ය. එහෙත් ශාන්ති කුමාර්ට චිත්‍රපට අධ්‍යක්ෂණය වැනි භාරදූර කාර්යක් පැවරීමට නායගම්ගේ අකමැතිවීම මත ඔහු සිලෝන් තියටර්ස් සොයා ගොස් අශෝකමාලා නිර්මාණය කරන්නේ මුල්ම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස ගෞරවය දිනා ගනිමිනි. මුල්ම කථානාද චිත්‍රපටය වනවාට වඩා හොඳ චිත්‍රපටයක් නිපදවීමේ අභිලාෂයෙන් පෙළෙන එහි නිෂ්පාදකයෝ අශෝකමාලා ගෙන එන්නේ දෙවැනි චිත්‍රපටය හැටියටය. කඩවුණු පොරොන්දුව රූපගත කළ මදුරෙයි නගරයේ චිත්‍රකලා චිත්‍රාගාරය ඉන්දියාවේ සෙසු චිත්‍රාගාර හා සැසඳීමේදී එතරම් දැවැන්ත නොවුණ චිත්‍රාගාරයකි. එය පිළිබඳ කිසිදු සටහනක් හෝ ඉන්දියානු සිනමා ඉතිහාසයේ ද සොයා ගත නොහැකිය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සිංහ චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලකයාය. සිනමා කෘතිය නිපදවන්නට යන මිනර්වා කණ්ඩායම එහි යන්නේ ද නාට්‍ය සඳහා යොදා ගන්නා තිර රෙදි ඇතුළු සබ්බ සකලමනාවම කරපින්නාගෙය. එබැවින් සිනමාකරණය පිළිබඳ කිසිදු පළපුරුද්දක් ඔවුන් කිසිවකු හෝ සතු නොවුණ බව පැහැදිලිය.

කඩවුණු පොරොන්දුව පිළිබඳ මුල්ම සිනමා විචාරය මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියනු ලබනුයේ 1947 මැයි මස 4 වැනි දින සිළුමිණටය. 'කඩවුණු පොරොන්දුව සහ සිංහලයේ දිවි පෙවත' මැයෙන් ලියන එහි මෙලෙස සඳහන්ය.
"නොනවත්වා අඬන බිළිඳෙකු බිය ගන්වනු පිණිස ඇතැම් ගැමි ගැහැණියක් දොරමුල්ලට වී ඇස් දෙක විහිදාගෙන ඔන්න බිල්ලෝ එනවා යයි කියයි. කඩවුණු පොරොන්දුව රචනා කළ තැනැත්තාගේ දෘෂ්ටි කෝණය හා විචාර බුද්ධිය අර ගැමි ගැහැණියගේ විචාර බුද්ධිය මෙන් බොළඳය. ඒ සිනමා නාටකය මහා කන්දොස්කිරියාවක් නොවුයේ එඩී ජයමාන්නත් කොමිට් කෑලිවලට සහභාගි වුණ නළඟනන් නිසා යැයි සිතමි"
කෙසේ වෙතත් ඒ අපේ මුල්ම කථානාද චිත්‍රපටයයි. එයට දායක වූ කිසිවකු හෝ අද අප අතර නැත. මංගල දර්ශනය දා එය නැරඹූ කිසිවකු හෝ අද ඉතිරිව නැතැයි සිතමි. එය තිරගත කළ සිනමාහල් ද අද නැත.

සිනමාවේදී අරුණ ගුණරත්න

(පසුගිය ජනවාරි 21 වැනිදා සිංහල කථානාද සිනමාවට වසර 78ක් නිමිත්තෙන් කරන ලද සටහනකි)

Back to top
Go to bottom