ශ්‍රී ලංකාවේ සංගීතඥයකු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන පළමු සිනමාපටය ලෙස සැලකෙන 'ගොවි තාත්තා' චිත්‍රපටය ජනවාරියේදී සිනමා රසිකයින් අතරට එනු ඇතැයි බලාපොරොත්තු තැබුවද චිත්‍රපටය තිරගත වීම කල් යනු ඇති බව පෙනෙන්නට තිබේ.
බොහෝ කලක පටන් ප්‍රදර්ශනය මග හැරුණ චිත්‍රපටය එය නිර්මාණය වූ කාලයේ පටන්ම එය නැරඹූ සැම දෙනාම පාහේ පැවසුවේ 'ගොවි තාත්තා' ඉහළ තත්ත්වයේ පවතින සිනමා නිර්මාණයක් වන බවයි.
'ගුරු ගීතය' සිනමාපටයෙන් පසුව යථාර්ථවාදී සිනමා ප්‍රේක්ෂකයාට උත්තේජනයක් සපයනු ඇති බව සඳහන් කරමින් 'ගොවි තාත්තා' ජනවාරියේදී ප්‍රදර්ශනය වෙනු ඇතැයි අධ්‍යක්ෂක දර්ශන රුවන් දිසානායක විසින්ම සඳහන් කරනු ලැබුවද ජනවාරි අග භාගයට පැමිණ තිබුණද ප්‍රදර්ශන දිනයක් තවමත් දැනුම් දී නොමැත.
කාබනික වගාව අගයන ගොවි මහතකුගේ සැබෑ ජීවිත කතාවක් ඇසුරෙන් 'ගොවි තාත්තා' නිමවා ඇති අතර ජගත් චමිල, හිමාලි සයුරංගි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වන චිත්‍රපටයේ මාධ්‍ය හා විශේෂ දර්ශනයක් හා ජනවාරි මුල් සතියේදී කොළඹ වන් ගෝල් ෆේස් පීවීආර් සිනමා ශාලාවේදී පැවැත්විණි.
'ආදරය අහිමි පොළොවට, ආදරය අරගෙන එන' තේමාව යටතේ ජාතික ආර්ථිකයට සහ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට කරන යෝජනාවක් ලෙසද නිර්මාණය කරනු ලැබ ඇති චිත්‍රපටය සරත් බණ්ඩාර කොක්වැව විසින් නිෂ්පාදනය කරන ලද්දකි.
කාබනික ගොවිතැන යන තේමාව ඔස්සේ නිමවුණ නිර්මාණයට ඇතැමුන්ගේ විරෝධය කලකට පෙරදී එල්ල විය.