රවින්ද්‍ර රන්දෙණිය යනු ලාංකේය සිනමාවේ අඩ සියවසක කාලයක් දිදුලන පහනකි. තම සිනමා භාවිතාව තුළ කවර ආකාරයේ හෝ රාමුගත රංගන ශිල්පියකු නොවූ ඔහු විවිධ චරිත අතුරින් සිනමාත්මක ගමන්මඟ එළිපෙහෙළි කරගැනීමට සමත්විය.
රවීන්ද්‍ර රන්දෙණිය යනු ව්‍යාපාරික පවුල් පරිසරයක තම කුඩා කල ගෙවා දැමුවෙකි. ඒ සන්දියේ පටන් පොතපත කියවීමට මෙන්ම සාහිත්‍යයට හා සංගීතයට දැඩි ඇල්මක් දැක්වූ ඔහුට සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුතු පිරිසක්ද විය. 60 දශකය යනු සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා වැනි මනා පරිකල්පනයක් තිබූ සාහිත්‍යවේදීන් සිටි කාලවකවානුවකි. මේ කාලයේදී රවීන්ද්‍ර නිරන්තරයෙන් මෙවන් සාහිත්‍යවේදීන්ගේ පොතපත කියවීමට උනන්දුවක් දැක්වීය. මේ අතර 1969 වසරේදී ඔහු සෞන්දර්යාත්මක කලාව පිළිබඳ දැනුම ලබාගැනීමේ පාඨමාලාවකට සම්බන්ධ වූ අතර එහිදී ඔහුගේ අධ්‍යයන කටයුතු අන්තර්ගත වූවේ වේදිකා සැරසිලි, තිරපිටපත් ලිවීම් හා අධ්‍යක්ෂණය ප්‍රගුණ කිරීමේ වැඩ කටයුතු වුවද දිනපතා පැයක කාලයක් වෙන් වෙන්ව රංගනය සම්බන්ධයෙන් ද අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිවිය. මෙම අධ්‍යයන කටයුතු සිදු කරන අතරවාරයේ වැඩි අවස්ථාවක් ඔහු වෙනුවෙන් ලබාදීමට ධම්ම ජාගොඩ මහතා උත්සුක විය. කෙසේ හෝ මේ කාලයේදී සෑම දිනකම පාහේ රවීන්ද්‍ර රන්දෙණිය වැඩි වශයෙන් ඉදිරිපත් කීරීම් සඳහා යොමුවිය. කෙසේ නමුත් වේදිකා සැරසලි, තිරපිටපත් ලිවීමේ දැනුම ලබා ගැනීමට පැමිණි ඔහු වසර දෙකහමාරක කාලයක් අවසානයේදී නතර වූයේ “මූදු පුත්තු” වේදිකා නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ වීමෙනි.
ඉන් අනතුරුව සිනමා අඹරේ පෙර ගමන්කරුවකු මෙන් ඉහළ චරිතාංග නිරූපණයක නියැළුණු රවීන්ද්‍ර, සිනමාව හා සම්බන්ධ වූයේ කළුදියදහර චිත්‍රපටයෙනි. රවීන්ද්‍රගේ දක්ෂතාවයන් අවබෝධ කර ගත් ඔහු දෑස නිසා (1975) චිත්‍රපටයේ තාපසයාගේ චරිතයට සම්බන්ධ කරගන්නේ මේ වකවානුවේදීය. රවීන්ද්‍ර පවසන ආකාරයට එදත්, අදත් ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම අධ්යක්ෂවරයා යන්න ඔහුගේ අදහසයි. කවර අයුරින් චිත්‍රපට නිර්මාණයන් හා සම්බන්ධ වුවද රවීන්ද්‍රව බොහෝ දෙනෙකු හඳුනාගනු ලැබුෙව් සිරිපාල හා රන් මැණිකා චිත්‍රපටයේ ‘සිරිපාලගෙ’ චරිතයෙනි. නමුත් ඔහුව, තාරුණ්‍යය විසින් ආකර්ෂණය කර ගනු ලැබුවේ දුහුළු මලක් හා එක්ටැම්ගේ චිත්‍රපටයෙනි.
එමෙන්ම ‘සිරිමැඳුර’ චිත්‍රපටයෙන් ඔහුට රඟදැක්වීමට ලැබුණේ වෙනස්ම ආකාරයේ චරිතයකි. එයද බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන්නක් විය. චිත්‍රපටයේ චරිතයේ ආකාරයට රංගනය වෙනුවෙන් මූලික වන අභිනයන් දෙක වූ ශාරීරික අභිනය සහ වාචික අභිනය නොමැතිව චරිතය වෙනුවෙන් සාධාරණයක් කිරීමට ඔහු සමත් විය. චිත්‍රපටය වෙනුවෙන් කළ සාධාරණය වෙනුවෙන් වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට ලැබුණි. විශේෂම කාරණාව වන්නේ හොඳම නළුවා වෙනුවෙන් වෙනත් කිසිම අයකුගේ නම් එම වසරේදී නිර්දේශ නොවීමයි. තවත් විශේෂිතම කාරණාව වන්නේ සිරිපාල සහ රන් මැණිකා, ආරාධනා, ජනේලය, දුහුළු මලක්, එක්ටැම්ගේ, සිරිමැඳුර වැනි සිනමා නිර්මාණ නැරඹූ අයකුට පසක් වන කාරණාව වන්නේ රවීන්ද්‍ර රන්දෙණිය යනු යම් චරිතයකට පමණක් රාමුගත රංගන ශිල්පියකු නොවන බවය.
ගාමිණී, ටෝනි, ජෝ, විජය වැනි ප්රතාපවත් චරිත තම දක්ෂතාවයන් පිළිබිඹු කරමින් සිටින අවධියක නවකයෙක් ලෙසින් සිනමාවට එක් වූ රවීන්ද්‍ර මේ වන විට වසර 50ක සිනමාත්මක ඉතිහාසයක් සපුරා අවසන්ය. පසුගියදා චිත්‍රපට සංස්ථාවේ පැවති 53 වන සංවත්සර සැමරුම් උත්සවයේදී මෙරට සිනමාව වෙනුවෙන් කළ කාර්යභාරය අගයමින් මේ ප්‍රවීණ රංගධරයා රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වූයේය.
රජිත බස්නායක