විහිළුවක් නොවන විදියට කොමඩි ෆිල්ම් එකක් කරනව කියන්නෙම සීරියස් වැඩක්.ඒක චිත්රපටි කරන හැම කෙනාටම අල්ලන්න අමාරු නාඩියක්.අපේ සිනමා ඉතිහාසයේ එහෙම රහටම නාඩිය අල්ලපු සිනමාකාරයො හිටිය.ඒ වගේම කරන්නං වාලේ කොමඩි ෆිල්ම් කරන්න ගිහින් විහිළුකාරයො වෙච්ච උදවියත් නැතුව නෙවෙයි.
මේ පූර්විකාව කිව්වේ කොමඩි චිත්රපටියක් හදන එකේ අමාරුව කොච්චර කියල කියන්න වගේම එහෙම කොමඩි කියල හදන සමහර ෆිල්ම් නරඹන්න ගිහින් ඒව අපිට විසාල කරදරයක් වුණාම අපිට ඒ චිත්රපටිකාරයො ගැන ඇතිවෙන හැඟීම ගැනත් කියන්න.
මේ අටුවා ටීකා ඔක්කොම කියල මේ කියන්න යන්නෙ ගිරාගෙයි සිවාගෙයි අලුත්ම ෆිල්ම් එක ගැන.ඒ තමයි "කාසි වාසි".හදපු අය ඒක කොමඩියක් කියල කිව්වට බැලුවට පස්සෙ ඇතිවුණෙ ලොකු කණගාටුවක්.ඒ ගිරා සහ සිවා ගැන.ඒකට හේතුව මේ ජෝඩුව මීට කලින් විහිළුවට විහිළු කරපු දෙන්නෙක් නොවන නිසා.ටෙලිවිෂන් එකේ මේ දෙන්නගෙ හවුලෙන් හැදුණු හාස්ය කතා මාලාවන් ටික විතරක් වුණත් ඒකට උදාහරණ.එහෙව් ජෝඩුව කාසි වාසි කියල මේ කෙරුවෙ මොන හත්තිළව්වක්ද කියල තමයි අහන්න වෙන්නෙ.අපිට පේන ඇත්ත කෙලින්ම නොකිය බොරුවට ගිරාල සිවාල අන්දන්න වොයිස් කට් දෙන අය වගේ වෙන්න බෑ.
පළවෙනියටම වැඩේ චොර කරගෙන තියෙන්නෙ ස්ක්රිප්ට් එකෙන්මයි.හරියට ස්ටෝරි එකක් බිල්ඩ්අප් වෙන්න නොදී මොකද්දෝ විකාරයක් තමයි කරල තියෙන්නෙ.මේ සිකුරු හතේ ලියපු ගිරා නම් වෙන්න බෑ.එහෙන් මෙහෙන් අමුණපු කෑලි බෑලි ටිකක් ෂුට් කරපු මේ ජයප්රකාශ් සිවගුරුනාදන් වෙන්නත් බෑ.එහෙම තමයි මේ දෙන්නගෙ අතීතය දන්න ඕන කෙනෙකුට හිතෙන්නෙ.හිටි ගමන් කතාවෙ තැනින් තැන මතුවෙන චරිත උන්හිටිගමන් අතුරුදන් වෙලා යන්නෙ තමන්ට මොකද වුණෙ කියල ඒ අයටවත් හිතාගන්න බැරි විදියට.ඒ කිසිම චරිතයකට අතපය දිගඇරල හාස්ය ශිල්පයේ නිපුනතා පෙන්නන්න ඉඩක් ලැබිල නෑ.එහෙම ඉඩක් ලැබුණා නම් ගිරා ඇතුළු රොඩ්නි වර්ණකුල ප්රියන්ත සෙනෙවිරත්න ගිහාන් ප්රනාන්දු සරත් කොතලාවල සම්පත් ජයවීර වගේ සෙට් එකක් එක්ක මොන තරමෙ චිත්රපටියක් හදන්න තිබුණද.
සිකුරු හතේ ඉදල සුහද කොකා කතුරු මිතුරු හරහා කාසි වාසි දක්වා ගිරාගෙ සිනමා ගමන යන්නෙ අවරෙට කියල නම් නොකිය බෑ.යාළුකමට බොරුයට "මාරයි ගිරා" කියල කියන අයත් ඇති.එහෙම කියල ගිරා ගඟේ යවන එකෙන් අපිටවත් ගිරාටවත් හොදක් වෙන්නෙ නෑ.මම ගිරාට මෙන්න මෙහෙම යෝජනාවක් කරන්න කැමතියි.අපි කියනවට නෙවෙයි ගිරාම සිකුරු හතේ ඉදල හදපු චිත්රපටි හතර එක පෙළට නරඹල තමන්ට වුණෙ මොකද කියල පොඩ්ඩක් නිවිසැනසිල්ලේ හිතල බලන්න කියල.
මේ දවස්වල ටෙලිවිෂන් එකේ අම්බානක බිසී ඩිරෙක්ටර් වෙච්ච සිවගුරුනාදන් මේ වැඩ අස්සෙ චිත්රපටියකුත් කෙරුවද කියලත් හිතෙනව.හැබැයි මොන කාර්යබහුලකම්වත් ෆිසිකලි බැරි අමාරුකමවත් චිත්රපටිය නරඹන ප්රේක්ෂකයාට වැඩක් නෑ.ප්රේක්ෂකයට අවශ්ය සුපිරි අවුට්පුට් එකක්.මේච්චර නොසැලකිලිමත්ව කාසි වාසි හැදුවට සිවාටයි ගිරාටයි කිසිම සමාවක් දෙන්න බැරි ඒ දෙන්නටම සැපට චිත්රපටියක් හදන එක මහ ලොකු අමාරු වැඩක් නොවන නිසා.
කතුරු මිතුරු චිත්රපටිය බැලුවට පස්සෙ මම ලිව්ව ඒ චිත්රපටියෙන් චිත්රපටි පසුබිම් ගීතයට ගැලපෙන කදිම ස්ක්රීන් වොයිස් එකක් ඇහුණ කියල.ඒ ගිරාගෙ දුව අමන්ද්යා උත්පලී ගැන.මම ඒක ලිව්වෙ මීට අවුරුදු හතකට විතර උඩදි.අද අමන්ද්යා ගායිකාවක් විදියට යන ගමනත් එක්ක ඒ කතාව ඇත්තක් වෙලා.ඒ වගේම කාසි වාසි චිත්රපටියෙ අමන්ද්යා නිළියක් විදියට කළඑළි බැසීම වගේ පුංචි පුංචි කාරණයක් දෙකක් තමයි චිත්රපටිය ගැන සතුටට තියෙන්නෙ.
මුලින් මුලින් සිරාවට චිත්රපටි කරගෙන ඇවිත් පස්සෙ පස්සෙ බුල් කෙලින්න ගත්ත පළවෙනිය සිවාවත් ගිරාවත් නොවන නිසා මේක සාමාන්ය තත්ත්වයක්.මේ ඉරණමට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ ඉදල සුනිල් සෝම පීරිස් දක්වා බොහෝ චිත්රපටිකාරයින්ට මුහුණ දෙන්න වුණා.නිධානය වගේ චිත්රපටියක් හදපු ලෙස්ටර් අන්තිමට අවරගිර අම්මාවරුනේ වගේ ටෙලිනාට්ය පන්නයේ වැඩ කෙරුව.අසූව දශකයේ බොක්ස් ඔෆිස් බයිස්කෝප් හදපු සුනිල් සෝම නැවතුනෙ අලි සුරතල් වගේ බඩකඩුත්තු හදල.පතිරාජ පවා අන්තිම කාලෙ හැදුවෙ සංකාරං වගේ චිත්රපටි.වසන්ත ඔබේසේකර පවා අන්තිම කාලෙ හැදුවෙ සෙව්වන්දි වගේ චිත්රපටි. මේක එක්කෙනෙකුට දෙන්නෙකුට වෙච්ච ඉරණමක් නෙවෙයි කියල තමයි අපිට හිත හදාගන්න වෙන්නෙ.
ප්රියන්ත කොඩිප්පිලි
02/02/2025 ඉරිදා ලංකාදීප බුලට් එක