lan englan tam

පුවත්

නිවැරදිව දත් මදින ආකාරය ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිවැරදිව දත් මැදීම නිදන්ගත රෝග වළක්වා ගැනීමට සහ ඔබේ දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.

නමුත් බොහෝ දෙනෙකු එය නිසියාකාරව සිදු නොකරයි. විශේෂඥයින්ට අනුව නිවැරදිව දත් මැදිය යුත්තේ කෙසේ ද?
නාන කාමරයේ ඇති කැඩපතෙන් බැලීමට තරම් උසින් වැඩීමට පෙර සිට හුරුපුරුදු වුව ද, අප නිසි ලෙස දත් මැදීමට පුරුදු වී තිබේ ද?


ස්වීඩනයේ සිදු කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ, දත් මැදීමට සුදුසු ම ක්‍රමවේදය භාවිත කරන්නේ 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බව ය. එක්සත් රාජධානියේ පුද්ගලයින් 2,000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩක් පමණ නිසි ලෙස දත් මදින්නේ කෙසේ දැයි නොදන්නා බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන බූපා (Bupa) හෙළිකර ඇත.
බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ජොසෆින් හර්ෂ්ෆෙල්ඩ් පවසන්නේ, දන්ත වෛද්‍යවරයෙකුගෙන් හෝ සනීපාරක්ෂක වෛද්‍යවරයෙකුගෙන් නිසි මග පෙන්වීමක් නොලැබීම නිසා බොහෝ අය වැරදි ලෙස දත් මදින බව ය. ඇගේ අත්දැකීමට අනුව, මෙය ඕනෑ ම රටක බොහෝ දෙනෙකුට අදාළ වේ.


දත් මදින ආකාරය පිළිබඳව ඇති ව්‍යාකූල උපදෙස් සලකා බැලීමේදී එය පුදුමයක් ද නොවේ. සිදුකරන ලද එක් අධ්‍යයනයකින්, අවම වශයෙන් වෙනස්, ඇතැම් විට පරස්පර විරෝධී, විශේෂඥ උපදෙස් 66ක් සොයා ගන්නා ලදී.
එක්සත් රාජධානියේ මුඛ සෞඛ්‍ය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී නයිජල් කාටර් පවසන්නේ, දිව මැදීමේ උපකරණ සහ දත් අතර පිරිසුදු කිරීමේ උපකරණ වැනි දන්ත සෞඛ්‍ය ආශ්‍රිත නිෂ්පාදනවල විවිධත්වය මිනිසුන්ට තවත් ව්‍යාකූලත්වයක් ඇති කරන බව ය. "මම හිතන්නේ ඒක පාරිභෝගිකයාට හරි ම අවුල්සහගත යි," ඔහු පවසයි.
එසේ නම්, අපගෙන් බොහෝ දෙනෙකු වැරදි ලෙස වටහා ගන්නේ කුමක් ද? සහ ඵලදායී ලෙස දත් මදින බවට වග බලා ගැනීම සඳහා අපගේ චර්යාව වෙනස් කර ගන්නේ කෙසේ ද?


ඔබේ දත් මැදීමට හොඳ ම ක්‍රමය කුමක් ද?

''බොහෝ අය හිතන්නේ දත් අතරේ ඉතිරි වෙලා තියෙන ආහාර කැබලි ඉවත් කරන්න ඕනෙ කියලා. ඒක සම්පූර්ණයෙන් ඇත්තක් නෙවෙයි. ඇත්ත වශයෙන් ම දත්වලින් බැක්ටීරියා ඉවත් කිරීම යි වඩා වැදගත් වෙන්නේ," හර්ෂ්ෆෙල්ඩ් පවසයි.
මෙම බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් සෑම කෙනෙකුගේ ම මුඛය තුළ වර්ධනය වන අතර, මැලියම් (dental plaque) ලෙස පොදුවේ හැඳින්වෙන ඝන ජෛව පටලයක් සාදයි. එය විවිධ බැක්ටීරියා විශේෂ 700කින් පමණ සමන්විත වන අතර, මිනිස් සිරුරේ බඩවැල්වලින් පසු දෙවන වැඩි ම විවිධත්වයක් ඇති ස්ථානය වන අතර, එය දිලීර සහ වෛරස් රාශියකින් සමන්විත වේ. "ඒ දිලීර සහ බැක්ටීරියා දත්වලට සහ මෘදු පටකවලට ඇලී ඇති ඇලෙනසුලු පටලයේ ජීවත් වෙනවා. ඒ පටලය පහසුවෙන් සෝදා ඉවත් කරන්න බැරි නිසා ඒක අතින් පිරිසිදු කළ යුතු යි," හර්ෂ්ෆෙල්ඩ් පවසයි.
1a0072c0 03e0 11f0 a387 437e2fb661fc.jpg
පිරිසිදු කළ යුතු වැදගත් ම දෙය දත් නොව විදුරුමස් රේඛාව ය. විදුරුමස් රේඛාව හරහා බැක්ටිරියාවන්ට විදුරුමස් පටක තුළට ඇතුළු වී වේදනාවක් ඇති වීම සහ අවසානයේ පීරියොන්ඩයිටිස් වැනි රෝග ඇති කළ හැකි යි. ඔබේ "දත් පමණක් නොව ඔබේ විදුරුමස් රේඛාව ද මදින්න, එවිට ස්වයංක්‍රීයව දත් පිරිසිදු වනු ඇති," යැයි හර්ෂ්ෆෙල්ඩ් යෝජනා කරයි.
ඉතින් මෙය කිරීමට ඇති හොඳ ම ක්‍රමය කුමක් ද?

බාස් තාක්ෂණය

නවීකරණය කරන ලද බාස් (Bass) තාක්ෂණයට අනුව දත් බුරුසුව ඔබේ දත්වලට අංශක 45ක කෝණයකින් අල්ලා ගැනීම කළ යුතු ය. (පහළ හකු සඳහා එය පහළට සහ ඉහළ හකු සඳහා ඉහළට ඇලවීම, විදුරුමස් යටින් මදින්නට උත්සහ කරන්නාක් මෙන්). ඉන්පසු, ඔබ විදුරුමස් රේඛාවේ ඉදිරියට සහ පසුපසට සුළු කම්පනයක් සහිත චලනයක් සිදු කළ යුතු ය.


ස්ටිල්මන් තාක්ෂණය

ඉන්පසු, මම නවීකරණය කරන ලද ස්ටිල්මන් තාක්ෂණය භාවිත කරන්න උත්සහ කරමි එය නවීකරණය කරන ලද බාස් තාක්ෂණයට සමාන වේ. නමුත් ඉඳහිට විදුරුමස් රේඛාවෙන් ඉවතට මෘදු චලනයක් එහිදී සිදු කෙරේ.
මගේ උනන්දුව වැඩිකම නිසා, මා අවශ්‍ය තරමට වඩා තදින් දත් මැද ඇති බව වැටහෙයි.
හර්ෂ්ෆෙල්ඩ් පවසන්නේ, මැදීමේ පීඩනය ග්‍රෑම් 150-400 අතර විය යුතු බව ය. නමුත් පරිපූර්ණ පීඩනය තවමත් විවාදයට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් තද බුරුසුවකින් අධික ලෙස දත් මැදීමෙන් විදුරුමස්වලට හානි විය හැකි ය. එය විදුරුමස් පටකවල හානි ඇති කළ හැකි අතර එමගින් බැක්ටීරියා රුධිරයට ඇතුළු වීමට ඉඩ සලසයි. එසේ ම, අධික ලෙස තද කිරීමෙන් කාලයත් සමග දතෙහි එනමලය ගෙවී යා හැකි ය. අතින් දත් බුරුසු භාවිත කරන පුද්ගලයෝ බොහෝ විට විදුලි දත් බුරුසු ඇති අයට වඩා තදින් දත් මදිති. සාමාන්‍යයෙන් පීඩනය අධික වූ විට අනතුරු ඇඟවීමට සංවේදක ඇත.


ෆෝනෙස් තාක්ෂණය

දින කිහිපයක් තිස්සේ, මම ළමයින්ට සහ සීමිත අතින් වැඩ කිරීමේ කුසලතා ඇති අයට නිර්මාණය කර ඇති වෙනස් තාක්‍ෂණයක් උත්සාහ කරමි. මෙම ක්‍රමයට බුරුසුව අංශක 90ක කෝණයකින් අල්ලාගෙන දත් මත රවුම් චලනයන් සිදු කරමින්, විදුරුමස් රේඛාව මෘදු ලෙස මැදීමක් සිදු කෙරේ.


කොපමණ කාලයක් ඔබ දත් මැදිය යුතු ද?

ඇමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය, බ්‍රිතාන්‍යයේ NHS (ජාතික සෞඛ්‍ය සේවය), ඉන්දියානු දන්ත වෛද්‍ය සංගමය, ඔස්ට්‍රේලියානු දන්ත වෛද්‍ය සංගමය සහ තවත් බොහෝ ජාතික සෞඛ්‍ය සංවිධානවල නිර්දේශය වන්නේ, දිනකට දෙවරක් අවම වශයෙන් මිනිත්තු දෙකක්වත් දත් මැදිය යුතු බව ය.


ගැටලුව වන්නේ, අපගෙන් බොහෝ දෙනෙක් මිනිත්තු දෙකක් කොපමණ කාලයක් දැයි තක්සේරු කිරීමට දුර්වල වීම ය. නිවැරදි පීඩනය සහ චලනය සමග ප්‍රමාණවත් කාලයක් දත් මදින්නේ 25%ක් පමණි.වාසනාවකට මෙන්, දුරකතන යෙදුමක් හෝ ටයිමරයක් සහිත විදුලි දත් බුරුසුවක් භාවිත කිරීම වැනි සරල විසඳුම් ඒ සඳහා ඇත.

8e816380 03df 11f0 bbde f372f8924428.jpg
වැදගත් වන්නේ ළඟා වීමට අපහසු ප්‍රදේශ ඇතුළුව සෑම දත් මතුපිටක් ම පිරිසිදු කිරීම ය - ඒ සඳහා මිනිත්තු දෙකකට වඩා බොහෝ කාලයක් ගත විය හැකි ය - ජොසෆින් හර්ෂ්ෆෙල්ඩ්


දත් සහ විදුරුමස්වල සියලු ම මතුපිට පිරිසිදු කිරීමට මිනිත්තු දෙකක් ප්‍රමාණවත් බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, විදුරුමස් රෝග හෝ වෙනත් මුඛ සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින්ට, දත් මත බැඳෙන ජෛව පටලය සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇති බව සහතික කිරීමට වැඩි කාලයක් ගත වනු ඇත.


"පරිපූර්ණ දත් මැදීමේ කාලය එක් එක් පුද්ගලයාගේ දත්වල ස්වභාවය මත රඳා පවතිනවා. ඒකට ඇත්තට ම නිශ්චිත පැහැදිලි කිරීමක් නැහැ, මොක ද හැම කෙනෙකුගේ ම දන්ත සහ මුඛ අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා," හර්ෂ්ෆෙල්ඩ් පවසයි.


කොපමණ වාරයක් ඔබ දත් මැදිය යුතු ද?

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ලබා දෙන උපදෙස නම්, ප්‍රවේශමෙන් නියමිත වේලාවට, කඩිසරව ක්‍රියාත්මක කරන ලද දත් මැදීම දිනකට දෙවරක් සිදු කිරීම ය. කෙසේ වෙතත්, ඉන්දියානු දන්ත වෛද්‍ය සංගමය උපදෙස් දෙන්නේ, දිනකට තුන් වරක් දක්වා (දිවා ආහාරයෙන් පසුව ද ඇතුළුව) දත් මැදීම ප්‍රයෝජනවත් විය හැකි බව ය. ප්‍රධාන මුඛ සෞඛ්‍ය ගැටලු නොමැති බොහෝ දෙනෙකුට, මෙම මාර්ගෝපදේශය ඉක්මවා යාමෙන් කිසිදු ප්‍රතිලාභයක් නොමැත.

3ed5c500 03e0 11f0 bbde f372f8924428.jpg
කෑමට පෙර හෝ පසු දත් මැදිය යුතු ද?

උදෑසන ආහාරයට පෙර හෝ පසුව දත් මැදීම කළ යුතු ද? දන්තාලේප නිෂ්පාදකයින්ගේ සිට දන්ත රෝහල් දක්වා බොහෝ දෙනෙකු උදෑසන ආහාරයට පෙර දත් මැදීම වඩා හොඳ බව පවසයි. නමුත් මෙය තවමත් විවාදයට තුඩු දෙන කරුණකි.
උදේ ආහාරයට පෙර හෝ පසු දත් මැදීම යන්න රඳා පවතින්නේ, ඔබ ආහාරයට ගන්නා දේ සහ ආහාර ගත් වේලාව මත ය.
කෙසේ වෙතත්, උදෑසන ආහාරයෙන් පසු දත් මැදීමෙහි ඇති ප්‍රධාන අවාසියක් වන්නේ, ආහාර ගැනීම සහ දත් මැදීම අතර සුදුසු පරතරයක් පවත්වා ගැනීමට ඉන් අවස්ථාව නොලැබී යාම ය. ඇමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය නිර්දේශ කරන්නේ, මිනිත්තු 60ක පරතරයක් පවත්වාගත යුතු බව ය. ඊට හේතුව, ආහාරවල ඇති අම්ල සහ ක්ෂුද්‍ර ජීවීන් විසින් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කිරීමේ අතුරු නිෂ්පාදනවල ඇති අම්ල, දත් තාවකාලිකව අවදානමට ලක් කරන බැවිනි.


"අම්ල ඔබේ දත්වල එනමලය යම් කාලයකට දුර්වල කරනවා," යනුවෙන් හර්ෂ්ෆෙල්ඩ් පවසයි. මෙය එනැමලයේ ප්‍රධාන සංරචක කිහිපයක්, එනම් කැල්සියම් සහ පොස්ෆේට් ඉවත් කරන නමුත් මේවා පැය කිහිපයක් පුරා කෙළවල ඇති ඛනිජ මගින් යළිත් සැකසෙයි.
ඛේටය ඔබේ ස්වාභාවික ආරක්ෂක යාන්ත්‍රණය යි... රාත්‍රී කාලයේදී ඛේටය ගැලීම අඩු වෙයි. ඒ නිසා ඔබ නින්දට යාමට පෙර සියලු ම දත් පිරිසිදු කොට මැලියම් ඉවත් කිරීම ඉතා වැදගත් ය – නයිජල් කාටර්

da651a00 03dd 11f0 bbde f372f8924428.jpg
දත් මැදිය යුත්තේ, උදෑසන ආහාරයට පෙර ද? පසු ද? යන ප්‍රශ්නයට වඩා වැදගත් වන්නේ, සවස දත් මැදීම ය, එයට සරල පිළිතුරක් ඇත: ඒ සෑමවිට ම නින්දට යාමට පෙර අවසන් වරට දත් මැදීම ය.
"ඛේටය ඔබගේ ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණය. ඒවා මුඛයේ බැක්ටීරියා පාලනය කිරීමට සහ දත් දිරායාම අඩු කිරීමට වගේ ම, ඔබේ මුඛය ආරක්ෂා කිරීමට උපකාරී වනවා. රාත්‍රියේදී ඛේටය ගැලීම සිදුවන්නේ හෙමින්, ඒ නිසා ඔබ නින්දට යාමට පෙර දත්වල මැලියම් ඉවත් කිරීම වැදගත්," කාටර් පවසයි.


ඔබ භාවිත කළ යුත්තේ කුමන ආකාරයේ දත් බුරුසුවක් ද?

"මධ්‍යම ප්‍රමාණයේ කෙඳි සහිත බුරුසු වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන අතර, දත් සීරීමට ලක්විය හැකි අංශු නැති දන්තාලේප වඩාත් සුදුසු යි. හැම දතකට ම ළඟා වෙන්න පුළුවන් කුඩා බුරුසු හිසක් සහිත බුරුසුවක් භාවිත කිරීමත් වැදගත්. ඒ වගේ ම බුරුසුව ගෙවී යාමට පෙර අලුත් බුරුසුවක් ගැනීමට මතක තබා ගන්න," හර්ෂ්ෆෙල්ඩ් පවසයි.

613a3e50 03e0 11f0 bbde f372f8924428.jpg
අප්‍රිකාවේ, මැද පෙරදිග සහ දකුණු ආසියාවේ භාවිත කරන සාම්ප්‍රදායික දත් බුරුසු හෝ මිස්වාක් වැනි විකන කූරු මගින් මැලියම් ඉවත් කර කුහර ඇති වීම වළක්වා ගත හැකි ය. කෙසේ වෙතත්, ඒවා නිසි ලෙස භාවිත නොකළහොත් ඔබේ විදුරුමස්වලට හානි සිදුවිය හැකි ය.
අතින් භාවිත කරන දත් බුරුසුවලට වඩා විදුලි දත් බුරුසු මිල අධික වුණත් ඒ මගින් මැලියම් ඉවත් කිරීම වඩාත් ඵලදායී වේ.
එක් හේතුවක් වන්නේ, කම්පන චලිතය ස්වයංක්‍රීය වීම යි. තවත් සාධකයක් ඇත. ඒ, බුරුසු හිසේ ප්‍රමාණය යි. බොහෝ ඒවායේ පීඩන සංවේදක ද ඇති අතර, ඒවා විදුලි බුරුසුව භාවිත කරන පුද්ගලයා එනමලයට හානි වන ආකාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා තද කරන විට අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර යි.


හොඳ ම දන්තාලේප වර්ගය කුමක් ද?

සාමාන්‍ය දන්තාලේප පැකට්ටුවක පිටුපස ඇති දිගු අමුද්‍රව්‍ය ලැයිස්තුවේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු එක් අමුද්‍රව්‍යයක් තිබේ. ඒ, ෆ්ලෝරයිඩ් ය.


දත් එනැමලය මිනිස් සිරුරේ ඇති තද ම පටකවලින් එකක් වන අතර ස්වභාවධර්මයේ ඇති අමාරුම පටක වලින් එකක් වුවද, අම්ලයේ පහසුවෙන් දිය වේ. ෆ්ලෝරයිඩ්, එනැමලය ෆ්ලෝරපටයිට් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට උපකාරී වන අතර එය අම්ලවලට වැඩි වශයෙන් ප්‍රතිරෝධයක් දක්වයි. ඔබ දත් මැද අවසන් වූ පසු දන්තාලේප මිශ්‍ර වූ කෙළ ගැසීමෙන් පසුව, මුව සේදීමෙන් වැළකී සිටීමෙන් අමතර ආරක්ෂාවක් සඳහා ෆ්ලෝරයිඩ් දත් වටා දිගු කාලයක් රැඳී සිටීමට උපකාරී වේ.


"දන්තාලේපවලට ෆ්ලෝරයිඩ් හඳුන්වා දුන්නාට පස්සේ, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කරන සෑම අවස්ථාවක ම කුහර ඇති වීමේ සම්භාවිතාව අඩු වී තිබෙනවා," හර්ෂ්ෆෙල්ඩ් පවසයි.

7d972360 03e0 11f0 a387 437e2fb661fc.jpg
කෙසේ වෙතත්, සමහර ප්‍රදර්ශනාත්මක අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් අවධානය යොමු කළ යුතු ය. අඟුරු දන්තාලේපවල ඇති බව කියන ප්‍රතිබැක්ටීරීය, දිලීර නාශක සහ ප්‍රතිවෛරස් ලක්ෂණ පිළිබඳ ප්‍රකාශ සනාථ කළ නොහැක. අඟුරු මගින් දත් සුදු කරන බවට සාක්ෂි නොමැති අතර, එය දත් ඛාදනය හා වෙනත් ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි ය.
බේකින් සෝඩා (සෝඩියම් බයිකාබනේට් කුඩා ස්ඵටික) අඩංගු දන්තාලේප, මැලියම් ඉවත් නොකරන ඒවාට වඩා හොඳින් ඉවත් කරන බව සොයාගෙන ඇති අතර, විදුරු මස් ආසාදන නිසා ඇති වන ලේ ගැලීම තරමක් අඩු කළ හැකි ය.
විදුරුමස් සහ දත් වටා ඇති පටකවල ආසාදනයන් මොළයේ සෞඛ්‍යයට බලපෑ හැකි ය. නිසි ලෙස දත් මැදීමෙන් එම අවදානම අඩු වේ. – බෙයි වූ


මුඛ සෞඛ්‍යය සහ සමස්ත සෞඛ්‍යය අතර සම්බන්ධතාව

ඵලදායී දත් මැදීම, මුඛයෙන් දුර්ගන්ධය වහනය වීම, කහ පැහැති දත් සහ කුහර ඇති වීමේ අවදානම පමණක් නොව, දෙවන අදියරේ දියවැඩියාව, හෘද වාහිනී රෝග සහ සංජානන පරිහානිය වැනි තත්ත්වයන් වර්ධනය වීමේ අවදානම අඩු කිරීමේ බලපෑම්කාරී ක්‍රමයක් ලෙස මතුවෙමින් තිබේ.
"වැඩි වන සාක්ෂි වලින් පෙනී යන පරිදි දන්ත රෝග සහ සංජානන දුර්වලතා සම්බන්ධ කරන එක් මාර්ගයක් තමයි, දන්ත ප්‍රදාහය," නිව් යෝර්ක් විශ් විද්‍යාලයේ රෝරි මේයර්ස් හෙද විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ පීඨාධිපති මහාචාර්ය බෙයි වූ පවසයි.
"ඒ උත්තේජනය සමග හිතුවා ම, මගේ බුරුසු එකතුව, දත් අතර පිරිසුදු කරන මෙවලම් එකතුව සහ නාන කාමරයේ ඇති ටයිමර් නාන කාමරයට වැඩි නැහැ කියල දැනෙනවා."

මූලාශ්‍රය - BBC News (සිංහල) ඇසුරිනි

Back to top
Go to bottom