lan englan tam

පුවත්

'බාලවයස්කාරියක සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීමේ චෝදනාව' ගැන කිම් සූ හ්‍යුන් ගෙන් පළමු වරට ප්‍රකාශයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට මාසයකට පමණ ඉහතදී මිය ගිය කොරියානු නිළි කිම් සේ රොන් බාලවයස්කාරියකව සිටියදී ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව කොරියාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන කිම් සූ හ්‍යුන් පළමු වරට අදහස් දැක්වීමක් සිදු කොට තිබෙනවා.


මාර්තු 31 වන දා සවස සෝල්හි හෝටලයක පැවැත්වූ මාධ්‍ය හමුවකදී, කිම් සේ රොන් සමග ඔහු මීට පෙර ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවට කිම් සූ හ්‍යුන් පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, ඔවුන් වසරක කාලයක් පමණක් ප්‍රේම සබඳතාව පැවැත්වූයේ ඇය වැඩිහිටියෙකු වූ පසුව බව පවසමින් ඔහු වයස් සීමාව සඳහන් කළේ ය.


"මුලින් ම, මට කනගාටු යි. මම හිතනවා මම නිසා ගොඩක් අය විඳවනවා කියලා," යනුවෙන් පවසමින් "මරණයට පත්වුණු කෙනාට සමාදානයෙන් සැතපෙන්න බැරි වුණු එක ගැනත් මට කනගාටුයි," යැයි කිම් සූ හ්‍යුන් පැවසුවේ ය.
"අපි ආදර සම්බන්ධයක් පැවැත්වූයේ මරණයට පත්වුණු කෙනා බාලවයස්කාරියක් විදිහට හිටිය කාලයේ නෙවෙයි," සහ "මියගිය පුද්ගලයා මෙම ඛේදජනක තේරීම කළේ මගේ නොදැනුවත්කම නිසා හෝ අපේ ඒජන්සිය ඇයගේ ණය ගෙවීමට ඇයට බලපෑම් කළ නිසා කියන එක ඇත්තක් නොවෙයි," යැයි පවසමින් කිම් සූ හ්‍යුන් (කිම් සේ රොන්ගේ) මරණයෙන් දුකට පත් පවුල විසින් සිදුකරනු ලබන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේ ය.

"කිම් සේ රොන්ගේ පවුලේ අය සාක්ෂි ලෙස ඉදිරිපත් කරන හැම දෙයක් ම විමර්ශන බලධාරීන් හරහා සත්‍යතාව විමසා බැලීමේ ක්‍රියාවලියක් අපි කරනවා," ඔහු පැවසුවේ ය. "එම පවුලේ අය ඉදිරිපත් කරන සාක්ෂි ඇත්ත නම්, අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ සියලු ම දේවල් විමර්ශන බලධාරීන්ට ඉදිරිපත් කරන්න සහ නීතිමය ක්‍රියා පටිපාටි හරහා ඒවා ඇත්ත බවට ඔප්පු කරන්න කියලා."
කිම් සූ හ්‍යුන්ගේ නීතිඥයා වන LKB & Partners නීතිඥ සමාගමේ නීතිඥ කිම් ජන්ග් බොක් නිවේදනය කළේ, කිම් සූ හ්‍යුන් බාලවයස්කාරියක සමග පෙම් සබඳතාවක් පැවැත්වූ බවට සැකයක් නිර්මාණය කළ 'Garosero Research Institute' නම් යූ ටියුබ් නාලිකාවේ ක්‍රියාකරුට සහ කිම් සේ රොන්ගේ පවුලට එරෙහිව අපහාස නඩුවක් ගොනු කර ඇති බව ය.


තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට ඔවුන්ට එරෙහිව වොන් බිලියන 12ක වන්දි ඉල්ලා නඩු පවරා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මෙහිදී, කිම් සූ හ්‍යුන්ගේ පාර්ශවය ප්‍රශ්න විමසීමේ සැසියක් ලබා දුන්නේ නැත.

1a754bd0 0e2c 11f0 b851 29ea4ea8a4cd.jpg
මීට පෙර සිදුවූයේ කුමක් ද?

කොරියානු නිළි කිම් සේ රොන් අභාවප්‍රාප්ත වී මාසයකට පමණ පසුව මාර්තු 10 වන දා ඇයගේ මරණයෙන් ශෝකයට පත් පවුලේ අය 'Garosero Research Institute' යූ ටියුබ් නාලිකාවේ වීඩියෝවක් ඔස්සේ කියා සිටියේ, මිය ගිය තැනැත්තිය සහ කිම් සූ හ්‍යුන් 2015 සිට වසර 6ක් පමණ පෙම් සබඳතාවක් පැවැත්වූ බව ය. ඒ වන විට කිම් සූ හ්‍යුන්ගේ වයස අවුරුදු 27ක් වූ අතර, කිම් සේ රොන්ගේ වයස අවුරුදු 15ක් වූ නිසා එය බාල වයස්කාරියක සමග ආදර සබඳතාවක් පැවැත්වූ බවට සැකයක් ඇති කළේ ය.
මේ අතර, 2022දී බීමත්ව රිය පදවා සිදුකළ අනතුරකට මිය ගිය තැනැත්තිය දඬුවම් විඳිමින් සිටියදී, එහි වන්දිය වශයෙන් ඔහු විසින් [කිම් සූ හ්‍යුන්] විසින් ගෙවනු ලැබූ වොන් මිලියන 700ක මුදලක් ආපසු ගෙවන ලෙස ඉල්ලා 2024 දී ඔහුගේ ඒජන්සියෙන් සහතික කළ ලිපියක් ලැබීමෙන් පසු, මියගිය තැනැත්තිය 2024 දී කිම් සූ හ්‍යුන්ට සිදුකළ අයාචනා කිරීම් අඩංගු කෙටි පණිවිඩ අදාළ යූ ටියුබ් නාලිකාව විසින් අනාවරණය කරන ලදී.
කිම් සූ හ්‍යුන්ගේ ඒජන්සිය වන Gold Medalist ආයතනය, මුල් අවස්ථාවේදී එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කළ නමුත් පසුව තම ස්ථාවරය වෙනස් කරමින් කිම් සූ හ්‍යුන් 2019 සිට 2020 දක්වා වැඩිහිටියෙකුව සිටි කිම් සේ රොන් සමග ආදර සබඳතාවක් පැවැත්වූ බව ප්‍රකාශ කළේ ය.

කිම් සේ රොන්ගේ මරණයෙන් ශෝකයට පත්වූ ඇයගේ පවුල නියෝජනය කරන නීතිඥවරයා විසින් ඇගේ මරණයෙන් 27 වන දින මාධ්‍ය හමුවක් පවත්වා, මිය ගිය කාන්තාව සහ කිම් සූ හ්‍යුන් අතර 2016 KakaoTalk (මැසෙන්ජර්) සංවාදයක් ඉදිරිපත් කරනු ලැබුවේ මිය ගිය කාන්තාව බාලවයස්කාරියකව සිටියදී ඔහු සමග ආදර සබඳතාවක් පවත්වා ඇති බවට සාක්ෂියක් ලෙස ය.
කෙසේ වෙතත්, කිම් සූ හ්‍යුන් කියා සිටියේ, "කිම් සේ රොන්ගේ පවුලේ අය ඉදිරිපත් කරපු, 2016 සහ 2018 දී සහ මේ අවුරුද්දේදී මම දන්නා අඳුරන අය එක්ක හුවමාරු කර ගත්ත KakaoTalk පණිවිඩ වැනි දේවල්, මෙවැනි ප්‍රකාශවල සත්‍යතාව විද්‍යාත්මකව විශ්ලේෂණය කරන ඒජන්සියකට මම භාර දුන්නා," යනුවෙනි.
"එහි ප්‍රතිඵලයක් විදිහට 2016 සහ 2018 දී ඇය පණිවිඩ හුවමාරු කර ගත් පුද්ගලයා එක ම පුද්ගලයෙකු නොවන බව ඒජන්සිය නිගමනය කරලා තියෙනවා."
"මුල් පිටපත් නොවන සංස්කරණය කරන ලද KakaoTalk ඡායාරූප වගේ ම සිද්ධියේ කාලය දක්ෂ විදිහට වෙනස් කරන ෆොටෝ සහ වීඩියෝ සාක්ෂි විදිහට මතුවෙමින් තියෙනවා," ඔහු පැවසීය. "බොරු වාචික සාක්ෂි සහ බොරු සාක්ෂි මුවාවෙන් මිය ගිය කෙනා සමග ආදර සම්බන්ධයක් පැවැත්වූවා කියන එක දිගට ම කියනවා."


කිම් සූ හ්‍යුන්ගේ වෘත්තීය කටයුතුවලට 'රතු එළියක්'

බාලවයස්කාරියක සමග ආදර සබඳතාවක් පැවැත්වීමේ සැකය මතු වූ දා පටන් කිම් සූ හ්‍යුන් දැඩි මහජන විවේචනයට ලක්වූ අතර, ඔහුගේ වෙළෙඳ දැන්වීම් කොන්ත්‍රාත්තුව අවසන් කර ඔහුගේ ඊළඟ වැඩ කටයුතු අත්හිටුවා ඇති බවට ද පුවත් පළ විය.
මිලියන 21.26ක් දක්වා ළඟා වී තිබූ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් සංඛ්‍යාව, චෝදනා එල්ල වීමෙන් සති දෙකකින් පමණ පසු මිලියනයකින් පමණ අඩු විය.
අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතව තිබූ කිම් සූ හ්‍යුන් රංගනයෙන් දායක වන 'Knockoff' ඩිස්නි ප්ලස් ටෙලිකතා මාලාව තිරගත කිරීම කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, කිම් සූ හ්‍යුන් නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ මූල්‍ය, ආහාර සහ රූපලාවණ්‍ය යන ක්ෂේත්‍රවල විවිධ වෙළෙඳ නාමයන් ඔවුන්ගේ කොන්ත්‍රාත්තු අවසන් කිරීමට හෝ නැවත සලකා බැලීමට සැරසෙන බවට පුවත් පළවී තිබේ.
Meta Law Firm නමැති නීති සමාගමේ නීතිඥ ජන්ග් යූන් මි බීබීසී කොරියානු සේවයට පැවසුවේ, ප්‍රසිද්ධ පුද්ගලයෙකු සමාගමක් සමග වෙළෙඳ දැන්වීම් ගිවිසුමක් අත්සන් කරන විට, "ඒවා මූලික වශයෙන් එම ජනප්‍රිය පුද්ගලයාගේ ප්‍රතිරූපය මත සිදුවන දෙයක් නිසා, ජනප්‍රිය පුද්ගලයා එහෙම දෙයක් අදහස් කළත්, එහෙම දෙයක් ප්‍රකාශ කළත්, ඔවුන්ගේ ප්‍රතිරූපය නිෂ්පාදනයට ඍජුව ම සම්බන්ධ වන නිසා ඒ සම්බන්ධ පුළුල් වගන්තියක් ඇතුළත් කිරීමෙන් ඔවුන්ට පුළුවන් හානි පූර්ණයක් ඉල්ලන්න," ලෙස ය.
"මෙම සිද්ධියේදී, බීමතින් රිය පැදවීම හෝ ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් හිතාමතා ම විශාල අනතුරු සිදු කරන අවස්ථාවන්ට වඩා වගකීමේ ප්‍රමාණය තරමක් වෙනස් නිසා දඩය ඇත්තට ම කීයක් වෙයි ද කියන එක දැනගන්න අපට බලාගෙන ඉන්න වෙනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.


කර්මාන්තයට සිදුවන බලපෑම කුමක් ද?

ජනප්‍රිය පුද්ගලයෙකු බාලවයස්කාරියක සමග ආදර සබඳතාවක් පැවැත්වූ බවට මීට පෙර නොවූවිරූ ආකාරයෙන් එල්ල වන චෝදනා වටා ඇති මතභේදය කලක් පවතිනු ඇති අතර, කිම් සූ හ්‍යුන්ගේ පාර්ශවය විසින් මරණයෙන් ශෝකයට පත් පවුලට එරෙහිව නඩු පවරනු ලබන බවත් ඔවුන්ගේ සාක්ෂි ඍජුව ප්‍රතික්ෂේප කරන බවත් නිවේදනය කර තිබේ.
"කොරියානු විනෝදාස්වාද කර්මාන්තය තුළ බීමතින් රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ බොහෝ සිදුවීම් වෙලා තිබුණත් මම හිතන්නේ ගැහැනු ළමයෙක් එක්ක ආදර සබඳතාවක් පැවැත්වීම මේ තරම් විශාල මතභේදයකට තුඩු දුන් අවස්ථාවක් කවදාවත් දැකලා නෑ," යැයි සුන්කොන්හෝ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සහ විකාශනය පිළිබඳ මහාචාර්ය චෝයි ජින් බොන් පවසන අතර, සහ මෙය සත්‍යයක් වුවහොත් සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි අනාවැකි පළ කළේ ය.
කරුණු තවමත් පැහැදිලිව හෙළිදරව් වී නොමැති හෙයින් කිම් සූ හ්‍යුන්ගේ අසත්‍ය ප්‍රකාශ, තත්ත්වය තවත් නරක අතට හැරවූ බව මහාචාර්ය චෝයි පෙන්වා දුන්නේ ය.
"මුලින් ම කිම් සූ හ්‍යුන්ගේ පාර්ශ්වය කිව්වේ එවැනි දෙයක් කිසිසේත් ම තිබුණේ නෑ කියලා. නමුත් පසුව, ඔවුන් ඒක ඇත්ත කියලා පිළිගත් නිසා ඒක බොරුවක් වුණා."
මෙම සැකය වටා ඇති උණුසුම් මතභේදය පිළිබඳව නීතිඥ ජන්ග් කනස්සල්ල පළ කළේ ය. කිසිවෙකු ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැතත්, "මිය ගිය කෙනා [කිම් සේ රොන්] ජීවත් වෙලා ඉන්නා විට, ඇය සමාව දිය නොහැකි අපරාධයක් [බීමත්ව රිය පැදවීම] කර ඇති ආකාරයට, ඇයට ආපහු නැගිටින්න බැරි තරමට මාධ්‍ය විවේචන ලිපි පළ කළා, නමුත් දැන් ඔවුන් [මාධ්‍ය] තවත් වින්දිතයෙක් හොයමින් ඉන්නවා," යනුවෙන් සඳහන් කළේය.

කර්තෘ -ගු යූනා (බීබීසී කොරියානු සේවය
මූලාශ්‍රය - BBC News (සිංහල)

Back to top
Go to bottom