‘විසේකාරි’ කියන්නේ මේ දවස් වල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රී 9.00 ට විකාශය වෙන ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. රෝශන් දිල්රුක්ෂණ ගේ අධ්‍යක්ෂණයක් වන මේ ටෙලි නාට්‍යයේ තිර රචනය ලියන්නේ ලක්ෂාන් වත්තුහේවා.
තරින්දි ප්‍රනාන්දු, යෂ් වීරසිංහ, චානුක ප්‍රබුද්ධ, නිමන්ති පෝරගේ වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ ටෙලි නට්‍යයට රංගනයෙන් එක් වෙනවා.
මේ ටෙලි නාට්‍යයේ කතාව ගත්තහම විශ්ව විද්‍යාලයක සිදු වන සිදුවීම මාලාවක් පාදක කර ගෙන තමයි මේ ටෙලි නාට්‍ය ඉදිරියට ගලා ගෙන යන්නේ.
විශ්ව විද්‍යාලයක ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතා වගේම සමහර වෙලාවට විශ්ව විද්‍යාලයේ ඉන්න ආචාර්‍ය වරුත් මේ අතරට සම්බන්ධ වෙන ආකාරය මේ ටෙලි නාට්‍යයේදි අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෝ වගේම ගුරුවරුන්ගෙත් ජීවිතවල ඇතුලාන්තයේ තියන කතා මේ හරහා ප්‍රේක්ෂකයන්ට ගෙන එනවා.
මේ කතාව බලද්දි කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ පෙන්නන්නේ විශ්ව විද්‍යාලයක ඇත්තම ස්වරූපයද කියන එක. එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් ද?
පසුගිය දවසක තමන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් මේ ටෙලි නාට්‍යයේ තිර රචකයා මේ ගැන අදහස් පළ කරලා තිබුණා. ඔහු තමයි ලක්ෂාන් වත්තුහේවා. ලක්ෂාන් තමයි මේ පාර රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශිෂ්ටතම ගීත රචකයා බවට පත් උනෙත්.
ඒ වගේම ලක්ෂාන් මේ සටහන හරහා මේ ටෙලිනාට්‍යය ගැන විවේචන එල්ල කරන පිරිස් වලට ප්‍රතිචාර දක්වන්නත් උත්සාහ කරලා තියෙන බව පේනවා.
පහතින් දැක්වෙන්නේ ලක්ෂාන් විසින් ‘විසේකාරි’ ටෙලි නාට්‍ය ගැන අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිය මුහුණු පොතේ පළ කරලා තිබුන සටහන.
(උපුටා ගැනීම)“මම අවුරුදු හතරක විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ තව අවුරුද්දක ශාස්ත්‍රපති උපාධියකුත් අවසන් කරපු විද්‍යාර්ථියෙක්.සරලවම සිංහල විශේෂ වේදි උපාධියක් සහ සිංහල ශාස්ත්‍රපති උපාධියක් තියෙනවා.
මං ඒක කිව්වේ මගේ කැටයම් පෙන්වන්න නෙමෙයි.
විශ්ව විද්‍යාල ඇතුලේ තියෙන සංස්කෘතිය උපසංස්කෘති වගේම ඒවා ඇතුලේ ඇත්තටම සහතික ලාබී වැඩ්ඩොයි කටපාඩං කුඩ්ඩොයි දෙගොල්ලොම ඉන්නවා කියන එක හොඳටම දන්නව කියන්න.
බුදුවරු වගේම දෙව්දත්තරලත් අඩු නැතිව ඉන්න විශ්ව විද්‍යාල පද්ධතිය ගැන නොදැන මම විසේකාරී ලියන්නෙ නෑ.
සමහරු අහනවා විසේකාරී නාට්ටියෙ සමහර චරිත සමහර සිදුවීම් සහ සමහර ඇඳුම් විලාසිතා ඇත්තටම විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලෙ තියෙනවද කියලා.
සමහර ඒවා තියෙනවා සමහර ඒවා නෑ.අපි මේක ලියන්නේ මහා සමාජෙට.තිත්ත බෙහෙත් පැණි රස තවරලා සමාජගත කරනවා කියන එකට කවුරුහරි මගෙන් ප්‍රශ්න කරොත් උදාහරණ සීයක් දෙන්න පුළුවන්.
මේකේ ඉන්න චේතිය වගේම චලනිත් හුදු ප්‍රබන්ධ නෙමෙයි.සමහර දේවල් මගේ මනසින් නිර්මාණය කරලා ලිව්වට ඒවට ප්‍රතිවිරෝධ මතුවෙද්දී දෙයියෝ අදහන්නේ නැති මට කොහේවත් ඉන්න දෙවි කෙනෙක් ඒ චරිත ඇත්තටම මේ මොහොතෙත් නිරූපණය කරන සැබෑ කථිකාචාර්යවරු මහාචාර්යවරු ලැයිස්තුවක් ගෙනහැර පාලා තියෙනවා.
මං ආයෙත් කියනවා.
විශ්ව විද්‍යාල පද්ධතිය කියන්නේ බුදුවරු වගේම දෙව්දත්තරලත් හිඟ නැති තැනක්.
බැක්සයිඩ් නාට්‍යයේ තමන්ගේ දුවව දූෂණය කරන තාත්තගේ චරිතය රඟපාන්නේ මම.මට මේ ලංකාවේ තාත්තලා අවි උස්සගෙන ආවේ නෑ තාත්තලට ගරහනවා කියලා.මොකද දරුවෝ දූෂණය කරන තාත්තලා ඉන්නවා.
බුදුවරු වගේ කථිකාචාර්යවරු මහාචාර්යවරු ආචාර්යවරු ගොන්නක් මගේ ජීවිතයේ ඉන්නවා.ඒ කිසිම කෙනෙක් මට අද වෙනතුරු කිසිම චෝදනාවක් එල්ල කරල නෑ.මොකද ඒ බුදුවරු වගේ උත්තම ගණයේ මිනිස්සුන්ට ඒවා අයිති නෑ.
හිතවතුනි,
මම සමාජයේ ඉන්න තක්කඩි මිනිස්සු පාදක කරගෙන ලියනවා.මගේ නිර්මාණය ඇතුළේ උන්ගෙ හෙළුව පෙන්නනව.කාටහරි ප්‍රශ්නයක් තියෙනවනම් මගේ මුහුණු පොතෙන් අයින් වෙන්න පුළුවන්.උන් අවුරුදු ගානක කොච්චර කාලෙක මගේ කොච්චර හොඳ යාළුවෝද කියන එක අදාල නෑ.මං ගලවන්නේ හෙළුවැලි වැඩ කරන සළුපිලි ඇඳ ගත්ත මිනිසුන්ගේ රෙදි මිසක් කසාවත දරා ගත්ත උත්තම යතිවරුන්ගේ චරිත නෙමෙයි.
කථිකාචාර්යවරු,මහාචාර්යවරු,ආචාර්යවරු කියන මිනිසුන් මේ කතාවේ චරිත වලට අදාලයි.දවසක මම සමාජයේ වෙනස් ස්තරයක් ගැන ලියද්දි ඒ ස්තරය ගැන විවේචන එල්ල කරයි . මේ වෙලාවෙ මාතෘකාව තක්කඩි මහාචාර්යවරයෙක් සහ නිශ්චිත අරමුණක් වෙනුවෙන් වැඩ කරන එක්තරා විශේෂ ආචාර්යවරියකගේ කතාව.
සම්පූර්ණ කතාව කියන්න මම ලෑස්ති නෑ.
හැබැයි මෙගා ඇතුලේ classic වැඩක් කරන්න මම ට්‍රයි කරනවා.මට කරගන්න බැරි උනොත් සමාවෙන්න.
හැබැයි අඩුගානේ අනුර කුමාර මහත්තයා කියනවා වගේ මේ සිස්ටම් එක වෙනස් කරන්න පොරබැදපු මිනිහෙක් විදියට මැරෙන්න මම කැමතියි.ඒකෙදි මට මේ යන බෝට්ටුවට බහින්න වෙනවා.
මහත්වරුනි,
ගොඩ ඉදන් බෝට්ටු පදින්න මම දන්නෑ.හැබැයි ආචාර්ය උපාධිය කියන්නේ නිවන් දකින්න දෙන නියත විවරණයක් නෙවෙයි කියන එක දන්නවා.
තව කියන්න දේවල් ගොඩයි,හැබැයි මෙතනින් නතර කරනවා.
මේ පල්ලෙහා වීඩියෝ එකේ ඉන්නෙ විශ්ව ප්‍රභාත් රාජපක්ෂ,
දක්ෂ ගුරුවරයෙක්,හොඳ සිහිකල්පනාවෙන් ඒකෙ රඟපාන දක්ෂ කොල්ලෙක්.
විශ්ව විද්‍යාල චේතියල චලනිල විශ්වල ඩීන්ල වගේ එක එක ජාතියේ අය ඉන්නවා.මහා සමාජයට ගැලපෙන විදියට මම ඒක අමුණනවා.
කැමති අය බලන්න.අකමැති අයට තව ඔප්ෂන් ගොඩක් තියෙනවා.
මේ නාට්‍යවල රඟපාන උන්ට මේ නාට්‍ය බලන උන්ට රෙදි ඇඳගෙනද කියලා අහන පත්තිනි මෑණිවරුන්ට මම මේ කියන්නේ,
තරුණ කෙල්ලෙක්, තමන්ගේ ශිෂ්‍යාවක් දැක්කම නැට්ටට කිරි උරන ආචාර්ය හොරුන්ට,මහාචාර්ය හොරුන්ට යෙස් සර් කියද්දි රෙදි ඇඳගෙනද දන්නෑ හිටියේ.
කතන්දර කියද්දි ඇත්තුත්තිරි තියෙන පත්තිනි සළු කුස්සිය දොරමුල්ලේ එල්ලලා එන්න.
හිතවතුනි මේක කතාවක්,මේ කතාව ඇතුලේ ඇත්ත සිදුවීම් තියෙනවා.මං ඒවා නාට්‍යානුසාරීව සැර බාල කරලා කියනවා.
අයිස් දාලා ෂැන්ඩි කරලා බොන විස්කි වීදුරුව මට කියලා අමුවෙන් ඉල්ලගන්න එපා.
එච්චරයි!”(උපුටා ගැනීම අවසන්)
(ලක්ෂාන් වත්තුහේවාගේ මුහුණු පොත ඇසුරිනි)