වසරේ පළමු ජාත්‍යන්තර ජූරි නියෝජනය සටහන් කළ හෙළ නිළි රාජිනිය...
ශ්‍රී ලාංකිකයෙකු 2020 වසරේ අන්තර්ජාතික සිනමා උලෙළක් තුලදී ජූරියක් නියෝජනය කළ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, සිනමා නිළි මාලනී ෆොන්සේකා ඊයේ(16) නිමාව දුටු 18 වෙනි පූනේ අන්තර්ජාතික සිනමා උලෙළේ දී (Pune IFF) එහි අන්තර්ගත වූ ප්‍රධාන තරග ජූරිය නියෝජනය කිරීමට සමත් වූවා ය . පසුගිය 09 වෙනිදා සිට 16 වෙනිදා දක්වා ඉන්දියාවේ පූනේ නගරයේ පැවති මෙම සිනමා උලෙළේ "ජගත් තරග ජූරියේ" (World Competition Jury) ජූරි සාමාජිකාවක ලෙස කටයුතු කිරීමට ඇයට ඇරයුම් ලැබ තිබුණි. 2002 වසරේ සමාරම්භය සටහන් කළ පූනේ අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරියක් නියෝජනය කළ සිව්වන ශ්‍රී ලාංකිකයා මාලනී ෆොන්සේකා වේ. මීට පෙර බෙනට් රත්නායක 2017 වසරේ මරාති සිනමාපට තරග ජූරිය ද ( Marathi Competition Jury), විමුක්ති ජයසුන්දර සහ ප්‍රසන්න විතානගේ පිළිවෙළින් 2018 සහ 2019 වර්ෂවලදී ජගත් තරග ජූරිය ද නියෝජනය කිරීමට සමත් වූහ.
පූනේ අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනයත් සමග, මාලනී ෆොන්සේකා අන්තර්ජාතික ජූරියක් නියෝජනය කළ තෙවන අවස්ථාව බවට එය පත් වේ. මීට පෙර 2012 වර්ෂයේ ඉන්දියාවේ ගෝවහී පැවති 43 වෙනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ (IFF of India) ප්‍රධාන අන්තර්ජාතික ජූරිය සහ 2013 වසරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හී පැවති 07 වෙනි ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් එවෝර්ඩ්ස්හී (Asia Pacific Screen Awards) ප්‍රධාන අන්තර්ජාතික ජූරිය නියෝජනය කිරීමට ඇය සමත් වූවා ය. එලෙසින් ඉන්දියානු උලෙළ නියෝජනයත් සමග, ෆිඇප්ෆ් ( FIAPF) අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උලෙළක ප්‍රධානතම අන්තර්ජාතික ජූරිය නියෝජනයට සමත් වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකේය කාන්තාව මාලනී ෆොන්සේකා වේ. එසේම ආසියා-ශාන්තිකර කලාපයේ ක්‍රියාත්මක සිනමා සම්මාන උලෙළයන් (Film Award Ceremonies) අතුරින් විශිෂ්ටතම සහ වඩාත් තරගකාරීම සිනමා සම්මාන උලෙළ ලෙසට සැලකෙන "ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් එවෝර්ඩ්ස්"හී ජූරියක් නියොජනය කිරීමට අවස්ථාව ලද පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා ද ඇය වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
https://casite-737679.cloudaccess.net/news/6262-malani-pff-jury-200119#sigProIda8817985c5