lan englan tam

පුවත්

හිතක මතක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
පොඩි එකාගේ ලියුම
"අපේ තාත්ත විස්ව විද්යල කතිකාචාර්ය කෙනෙක්මි"
මීට, පොඩි එකා.

 (චිර පරිචිත කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකු වන ශෂී ප්රභාත් රණසිංහයන් විසින්, ලංකාදීප වෙබ් අඩවිය සඳහා සංස්කරණය කැරෙන 'මතු මහල' සාහිත්ය අතිරේකයෙන්ද මේ ලිපිය කියවිය හැකිය.)

වත්මන් බොහෝ ආධුනික ලේඛකයන්ගේ මෙන්ම ඇතැම් සම්මානිත ප්රවීණ නාමෝපලක්ෂිත ග්රන්ථ කාරයන්ගේද සිංහල භාෂා භාවිතය දෙස බලන මට එක් යුගයක් පුරා 'ලංකාදීප' පුවත්පත බැබළ වූ ආභරණයක් හා සමාන හෙන්රි තෙන්නකෝනුන් "පොඩි එකාගේ ලියුම" මැයෙන් එදා එම පුවත් පතට ලියූ උපහාස-හාස්ය පූර්ණ නිර්මාණාත්මක රචනාවලියෙන් එක් රචනයක් ඉඳුරා සිහියට නැඟෙන්නේ ඉබේය. මන්දපුෂ්ට නිකෘෂ්ට භාෂා භ්රෂ්ටයන් අතෙහි මෙකල දිනෙන් දින අන්ත ක්ලිෂ්ටව යන සාහිත්යමය සිංහල භාෂා භාවිතය කෙරෙහි කාගේත් සැලකිල්ල යොමු කිරීමෙහි ලා තෙන්නකෝනුන් එදා 'ලංකාදීප'යට ලියූ එම "පොඩි එකාගෙ ලියුම" යළි කියවන්නට සැලැස්වීම කාලෝචිත යැයි සිතම්හ. මෙවැනි පරිහානියක් එදාද සිදුවෙමින් පැවති බවක් එමගින්ද ගම්යමාන වන හෙයිනි.
තමන්ගේම අනන්යතාවකින් සමන්විත සුප්රකට, ප්රශස්ත, ශූර කාටූන් චිත්ර ශිල්පියෙක් වූ හෙන්රි තෙන්නකෝනුන්ගේ කාටූන් කලාව මෙන්ම ගීත රචනා කලාවද මට මහත් සේ ආස්වාද ජනක වූවකි. ඔහුගේ කලාවේ හා ජීවිතයේ සුල මුල සෙවීමේ කුහුලක් කලක පටන්ම මසිතෙහි පිළිසිඳ තිබු⁣ණේ එබැවිනි.එය සංසිඳුවා ගැන්මට 2019 වසරේ පමණ මග පෑදු⁣⁣ණේ අහම්බෙනි. මගේ ප්රිය ශිෂ්යා ඉන්ද්රාණී ධර්මරත්න සමග ඇහැළියගොඩ ඇරෑපොළ නම් ගමේ මනරම් වන ගහනයක් මැද පිහිටි ගෙදරට ගොස් තෙන්නකෝනුන්ගේ එක කුස හොත් වැඩිමහල් සොහොයුරිය ලීලා තෙන්නකෝන් මැතිනිය හමුවීමට ලැබීම එහි ඉෂ්ට ඵලයකි. ඇය ඉන්ද්රාණිගේ මවගේ අයියාගේ බිරිඳය. ඕ වනාහි තෙන්නකෝනුන් ගේ බොහෝ නිර්මාණ (කාටූන් සිත්තම්, කවි, ගීත ආදි ) මහත් අදරින් රැක ගත්
ස්නේහාර්ද්ර මානව සංරක්ෂණාගාරයක් වැන්න. අපට හමුවන විට ඇය පසු වූයේ මෝමූහ (92)දශකයෙහිය. එහෙත් මනා සිහියෙනි.සති සම්ප්රජන්යයෙනි. විශ්රාම ලත් විදුහල්පතිනියක් වූ ඕ තොමෝ සිනාවෙන් එකලු වූ මුහුණකින් සැදුණු ඉතා ප්රසන්න කාන්තාවකි. ලීලා තෙන්නකෝන් මැතිනිය තම මල්ලිගේ කලා දිවි තතුත් සැබෑ දිවි තතුත් ආසාවෙන් මතු කරමින් අත්යන්ත තෘප්තව අප සමග කතා කළේ අතිශය අභිමානයකිනි. ඊට වසරකට පමණ පසු ඕ මිය ගියාය. පසු අවස්ථාවක හෙන්රි තෙන්නකෝනුන්ගේ දයාලූ බිරිඳ වන චන්ද්රා තෙන්නකෝන් මැතිනිය ජීවත්වන පානදුරේ පිහිටි ඇගේ ගෙදරට මා කැටුව ගොස් ඇයද මට මුණගැස්සුවේ ඉන්ද්රානිමය. චන්ද්රාවෝද තම ප්රාණප්රිය සැමියාගේ දුර්ලභ කුසලතා පල සුරක්ෂිත කොට ගෙන සිටි පති භක්ති භාරාවනත මානව සංරක්ෂණාගාරයක්මැයි.
තෙන්නකෝනුන්ගේ ලොකු දුව ලලංගිගේ පාසල් මිතුරියක වන වෛද්ය නිශා ප්රනාන්දු තමා ලියූ පුවත්පත් සමරු ලිපියෙක්හි ලා චන්ද්රාවන් කෙරෙහි තමා තුළ හට ගත් අති මහත් වූ බැති සිත හෙළි කරන්නේ මෙලෙසිනි.
"1978 ජූනි 28 වැනි දින ජීවිතයේ තවත් එක් අමතක නොවන දිනයක් බවට පත් කරමින් ඔහු (48 වැනි වියේදී) අපෙන් සමුගත්තේය. උපාධි ධාරී ගුරුවරියක වූ තෙන්නකෝන් මහතාගේ බිරිඳ චන්ද්රා තෙන්නකෝන් මහත්මිය එතැන් සිට තනියම ජීවන බර කරට ගෙන දරුවන් ( ලලංගි, ලසංගි, තිමාල්)තිදෙනාටම අඩුපාඩුවක් නොකර හොඳින් ඉගෙනීම ලබාදීමට වෙහෙසුණු හැටි මම හොඳින් දනිමි. ඔවුහු තිදෙනාම විශ්වවිද්යාල අධ්යාපනය ලබා ඉතා හොඳ තනතුරු හොබවති. එපමණක් නොව තෙන්නකෝන් මහතා මිය යන විට අත්තිවාරම පමණක් තිබූ නිවසද සාදා නිම කර ගැනීමට ඈ දෑරූ වෙහෙස අද කාන්තාවන්ට ආදර්ශයකි. සැබවින්ම ඇය ආදර්ශවත් දිරිය කාන්තාවකි."
අද පරපුර නාඳුනන,එසේම හඳුනන අයට ද අද අමතකව ඇති හෙන්රි තෙන්නකෝනුන් පිළිබඳ තතු බිඳකි මේ. 1930 මැයි මස පස් වැනි දින උපන් හෙන්රි පියදාස තෙන්නකෝන්හු ඇඹිලිපිටියේ ඕමල්පේ ගමේ විදුහල්පතිවරයෙකුගේ පුතෙකි. ඕමල්පේ පාසලෙන් ඉගෙනීම ඇරඹූ තෙන්නකෝනුන් වැඩිදුර අධ්යාපනය ලැබුවේ රත්නපුර සීවලි මහා විදුහලෙනි. ඔහු විකට කවි ලියා
විකට සිත්තම් ඇඳීමේ කලාවට අත පොත් තැබුවේ සීවලී විදුහලේ සිසුන් තම අතින් ලියා පළ කළ මාසික සඟරාවකිනි. එහි කතුවරයා වූයේ ජයරත්න විලේගොඩ නම් සිසුවාය. ඔහු අන් කිසිවෙක් නොව පසු කලෙක කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකු මෙන්ම අදීන සිනමා විචාරකයෙකු ලෙසද කිතු ගොස නැගූ ජයවිලාල් විලේගොඩයන් බව කවුරු දනිත්ද? තෙන්නකෝනුන් සහ විලේගොඩයන් සමග එකම පාසලේ එකට ඉගෙන ගත් විහිළුකාර තවත් මිතුරු මුකරියෙක්ද සිටියේය. දුර්ලභ ගණයේ ප්රතිභා සම්පන්න නළුවෙකු වශයෙන් පසු කලෙක සිනමා ලොව එකලු කළ ජෝ අබේවික්රමයෝ ඒ මිතුරුතුමෝය. මේ ගිහි මිතුරන් අතර බඹරකොටුවේ සුධර්ම නම් හිමි නමක්ද විය. පසු කලෙක කොළඹ යුගයේ මුල් පෙළේ කවියෙකු ලෙස ප්රකට වූ බඹරකොටුවේ සුධර්ම සෙනවිරත්න කවියා එහිමිය.
හෙන්රි තෙන්නකෝන්හු තම පාසල් වියේ සිටම චිත්ර ඇඳීමට පමණක් නොව කවි ලිවීමටත් හිටි වන කවි කීමටත් එක සේ දස්කම් පෑහ. සහජ කවිත්වයක් උරුම කොටගෙන සිටි නිත්ය විනෝදප්රිය රසිකයෙක් වූ ඔහුගේ කටින් කියැවුණු හිටිවන කවි මෙන්ම අතින් ලියැවුණු කවිද හාස්ය උපහාස රසයෙන් ආර්ද්ර විය. ඒවා කෙනෙකුගේ සිත විනෝදයෙන් ඔද වඩවන රසාත්මක රචනා මැයි.වරක් පාරේදී මුණගැසුණු මිතුරෙක් යන්නේ කොහේදැයි ඔහුගෙන් විමසීය. පිළිතුර හිටිවන කවියකිනි.
කාලා රස මුසු බෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසි ලෙස සැරසුම්
ලීලාවතී හමුවන්නට යමි මම්
අ.පො.ස සාමාන්ය පෙළ සමත් වී පාසල් හැර ගිය සිසුවියකගේ සමරු පොතේ ලියූ කවියක් අසන්න.
සාරාසංඛ්ය කප් ලක්ෂය පෙරුම්
පුරා
සොලසාසංබ්ය කප් ලක්ෂය පෙරුම්
පුරා
සූවිසි සංඛ්ය කප් ලක්ෂය පෙරුම්
පුරා
ලෝරා සීනිියර් යන්තම් පාස්
කරා
වැස්සේ තෙමෙමින් කුල සිරිත් රැකි විශාඛා සිටු දුව සිහිකොට
තෙන්නකෝන් කවියා කළ ස්ත්රී තක්සේරුව.
විකුණන්නට තිබෙන කෙළි බඩුවකි මේක
සෙලවුණ හොතින් විකුණනු බැහැ කිසි දාක
ඒකයි ගැහැනියට හෙල වෙන එක
නාක
කියමින් විසාකා ගෙට ගොඩ වුණු
සේක.
පාසල හැර ගිය තම පන්ති මිතුරු බඹරකොටුවේ සුධර්ම හිමියන්ට.
මහ විදුහලින් පිටවී යන හැටි
දුටුවා
ඔබෙ හිස මතට කළු ගලකුත් පෙරළනවා
ඔබ යන යන තැනට මම පස්සෙන් එනවා
ඔබ බුදු වුණොත් මම දෙව්දත් තෙර
වෙනවා
ණයක් දී එය ආපහු නොදුන් මිතුරාට.
උඹට නැති බැරි වෙලාවට මම මට තිබුණු සේ සතම දුන්නා
උඹේ අක්කත් දූව පෙන්නා මගේ චැක් කොළයකට ඇන්නා
ගත්තු ණය මගෙ අද දෙතැයි හෙට දෙතැයි මං ඔහෙ බලා උන්නා
සල්ලි බැරි නම් ලේලිවත් මට දියං මම ඈ බාර ගන්නා
හෙන්රි තෙන්නකෝනුන් ගීත රචනයෙහි ලා දැක් වූ අපූරු සමත්කම කොතරම්ද යන්න සනාථ කරන මනා නිදසුනකි කිසි දින නොව පැරණිය ,දින දින වන රමණිය, "බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිපිලා" නම් අවුරුදු ගීය. එය යුග යුග පවතින ගීයක් නොවෙතියි කාට නම් කිය හැකිද? ඒ ගීය වූකලී හෙන්රි තෙන්නකෝනුන් ගේ නාමය අමරණීය වන රමණීය නිර්මාණ මාණික්යයක් නොවේ ද?අවුරුදු කාලෙට කොහා ගේ ගීයට නොදෙවෙනි වන සේ ගුවන් විදුලියෙන් ඇසෙන මේ ගීය මගේ කල්යාණ මිත්ර පියසිරි විජේරත්න ගායකයාණන් විසින් තනුව තනා තම මධුර ස්වරයෙන් ගයන ලද්දේ මගේ සුහදිනී අමිතා වැදිසිංහයන්ගේ හෘදයහාරී ස්වරයේ සමවායෙනි.
තෙන්නකෝනුන් මේ ගීය මුලින්ම ලියන ලද්දේ ඉංගිරියේ ගාමිණි විද්යාලයේ රඟ දැක්වූ 'රන් කැකිර' නම් ගීත නාටකය සඳහාය. එම ගීත නාටකයද ඔහුගේම රචනයකි. 'රන් කැකිර' නිෂ්පාදනය කළ, එකල ඒ පාසලේ සංගීත ගුරුවරයා වූ පියසිරි විජේරත්නයන් එහිදී ඒ ගීය ගැයුවේ තම ශිෂ්යා රංජනී පොල්ගම්පල සමගිනි.
හෙන්රි තෙන්නකෝනුන් අපගේ පැරැණි ගද්ය පද්ය සාහිත්යය මෙන්ම ජන කවි සාහිත්යයද මැනැවින් පරිශීලනය කළ බහුශ්රැත සාහිත්ය රසිකයෙකු බැව් ඔහුගේ රචනා විශේෂයෙන් විශද කරන ලකුණකි.
තෙන්නකෝනුන්ගේ කවි ගී හැරෙන විට ඔහුගේ හෘදයංගම නාමය අමරණීයත්වයට පත් කරන ඔහු සතු අනෙක් ප්රතිභා විභූතිය විජෘම්භමාන වන්නේ ඔහු විසින් නිර්මිත කාටූන් චිත්ර සම්භාරයෙනි. ඔහු විසින් මුලින්ම පුවත් පතක පළ කරන ලද්දේ කුඩා පොකට් කාටූනයකි.එය වනාහී "තෙන්නකෝන්ගේ විහිළු තහලු"ය. එකල එය පළ වූයේ දිනපතා නිකුත් වුණු 'ලංකාදීප' පත්තරයේය. දේශපාලකයන්ගේ රූපවලින් තොර එය අතිශයින් ජනප්රිය විකට රසාංගයක් විය. මෙහිදී විශේෂයෙන් හෙළි කළ යුතු කරුණක් වෙයි. එනම් හෙන්රි තෙන්නකෝනුන් එකද දේශපාලන කාටූනයක් වත් නිර්මාණය නොකළ බවය.එහෙත් ඔහුගේ කාටූන් නිර්මාණවල ආත්මය වූයේ සමකාලීන දේශපාලන හා සමාජ යථාර්ථය මිස අනිකක් නොවේ. ඔහුගේ කුඩා පොකට් කාටූනය වන "තෙන්නකෝන්ගේ විහිළු තහලු"මෙන්ම පනහේ දශකයේ මුල් අවධියේ පටන් හැත්තෑව දශකයේ අග භාගය තෙක් (පළමු) 'ඉරිදා ලංකාදීප' පුවත්පතේ පළ වූ "තෙන්නකෝන්ගේ සමාජ සමයං"විකට රසාංගයද ඊට ප්රත්යක්ෂ සාක්ෂි සපයයි. දේශපාලකයන්ගේ මුහුණුවලින් යුත් දේශපාලන කාටූන් නොවුණද තෙන්නකෝනුන්ගේ ප්රබල උපහාස රසය කරණකොටගෙන ඔහුගේ සරදම් විකට සිත්තම් කෙරෙහි එකල දේශපාලකයෝ නොමඳ සැලකිල්ලක් දැක්වූහ.
අගමැති තනතුර හොබවන අවධියේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයකදී එස්.ඩබ්ලියු.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා මේ ප්ර්රකාශය කළේය.
"මම ඉල්ලා සිටිනව ලංකාදීපයෙ තෙන්නකෝන් මහත්තයගෙන් එයාගෙ 'සමාජ සමයං' කාටූන් එකෙන් මේ අයවැය ගැනත් විවේචනයක් කරන්න කියල."
පසු දිනෙක පාර්ලිමේන්තු සභා වාරයකදී එවක නිවිතිගල මන්ත්රී
ඩී. එෆ්. හෙට්ටිආරච්චි මහතා ඉරිදා ලංකාදීප පත්රයක් දිග හැරගෙන මෙසේ ප්රකාශ කළේ බණ්ඩාරනායක අගමැතිවරයා අබියසය.
"මෙන්න තෙන්නකෝන් මහත්තයගෙ සමාජ සමයමෙන් හොඳට බලාගන්න පුළුවන් අයවැයේ කෙරුවාව"
කීර්තිමත් චිත්ර ශිල්පී බන්ධුල හරිශ්චන්ද්රයන් තම කලා ජීවිතය භාග්යවත් කළ සන්මිත්ර හෙන්රි තෙන්නකෝනුන්ට පුවත්පත් ලිපියක් මගින් පිදූ අප්රමාණ කෘතඥ පූර්වක ප්රණාමය මෙයයි.
"පහර ලබන්නාටද සිනහ නොවී සිටීමට නොහැකි වන සේ උපායශීලීවත් වක් මගිනුත් පහර දීමේ කලාව හොඳින් දැන සිටි හෙන්රි තෙන්නකෝන් 'සමාජ සමයං' නිර්මාණයෙන් තමාවද උපහාසයට ලක් කර ගත්තේ වරක් දෙවරක් නොවේ. ඒ කාලයේ පත්තර බලන පාඨකයාට අලුත් අත්දැකීමක්ද ඔහුගේ කාටුන් විසින් හුරු කොට තිබිණි. ඔහුගේ දියණියන් දෙදෙනා හා එකම පුතුගේ උපන්දිනයන් අළලා ඉදිරිපත් කළ කාටූන් මෙයට හොඳම නිදසුන් වේ. චිත්රකතා රසිකයන්ට චිත්රකතා ශිල්පියකු ලෙස මා හඳුනාගන්නට හැකි වෙන පරිදි නිසි වෙලාවේදී නිසි තැනට මා පත් කළෝද මේ සදාදර සොඳුරු මිනිසා වූ හෙන්රි තෙන්නකෝන්මය. ශ්රී ලාංකික කාටූන් කලාවේ රසාලිප්තම කොටසක් වූ තෙන්නකෝන්ගේ 'සමාජ සමයං' 'පොඩි එකාගේ ලියුම' වර්තමාන හා අනාගත පරපුරට දැක ගත හැකි වන සේ යළි මුද්රණයෙන් එළි දැක්විය හැකි වුවොත් ඒ ඔහුගේ නමට කළ හැකි ලොකුම උපහාරය වනු ඇත."
හෙන්රි තෙන්නකෝනුන්ගේ කාටූන් නිර්මාණ අතරෙන් සාමාන්ය පාඨකයන් මෙන්ම දැන උගත් පාඨකයන් ද එක සේ අගය කළ එක සේ රස විඳි රසාංගය වූයේ "පොඩි එකාගේ ලියුම"ය.එය එකල අතිශය ජනප්රිය වූවකි.මවිසින් මෙහි ලා නිදසුන් කොට දැක්වෙන මේ වෙසෙස් "පොඩි එකාගේ ලියුම" මගින් එය ලියැවුණු කාලයේ විසූ සරසවි ඇදුරන් ගේ ආකල්ප විකල්ප, ඔවුන්ගේ ද්වේෂ සහගත විචාර ව්යාපාර,ඇතැමුන්ගේ පර ගැති චින්තනය,අනුකාරක කාව්ය මෝස්තර, අන්ත දූෂිත භාෂා භාවිතය, ව්යාකරණ විරෝධය ආදි කරුණු පොඩි එකාගේ කියමන් ඇසුරින් උපහාසයට ලක් කරන ආකාරය අතිශය නිර්මාණාත්මකය. අත්යන්ත රසාලිප්තය. මෙය එදාට මෙන්ම අදටත් එක සේ අදාළ නොවෙතියි කාට නම් කිව හැකිද? මගේ සුහද රසදත්තෝ කියවා බලත්වා!
පොඩි එකාගේ ලියුම
මෝඩ් ආචාරිගේ විසිනි.
(මුල් ලිපියේ වැකි හා පද බෙදීම් එසේම යොදා ඇත. මුල් පුවත්පත් ලිපියේ සත්ය පිටපතක් හා හෙන්රි තෙන්නකෝනුන්ගේ සේයා රුවක්ද මේ ලිපිය අග පළ වෙයි.)
ගැහැනුයි,බීමයි,සින්දුවයි ති
යනව නම් වෙන මොකුත් ඕන
නැහැ කියල කයියං කියන
පිටරට කයියෙක් කියාපු එකක්
දවසක් තාත්තා වර්නා කලාය.ඕක
ඔයිට ලස්සනට අපේ රටේ හිටපු ක
විකාරයෙක් ලියලා තියෙනවයි කියල එතකොට මාමා ගුත්තිල පොත අරං
"අමරඟනන් රුවට-මා හැඟි අමා රස
යට- එඇදුරු වෙන නදට මෙලොව කවරෙක් නොවන්නෙද
තුට"කියන කවිය කිවුවාය.ඒ උනාට ඒක තාත්තගේ
ගුරුවරෙක්වත් ගොලයෙක්වත් යාලුවෙක්වත් ලියපු එ
කක් නෙවෙයි හින්දා තාත්තා ඒක
පල් කීවාය.අපේ තාත්ත විස්ව විද්යල කතිකාචාර්ය කෙනෙක්මි.තාත්තා විස්ව විදි
යාලෙදි ලෙක්චර් කරති. කේන්ති ගියාම ගෙදරදි අපටත් ලෙක්චර්
කරයි.තාත්තා කතා පවත්තන්න ගියාම අහ
වලා මෙහෙම කිව්වා ය අහවලා මෙහෙම කියා තියෙනවා
ය කිය කියා එක එක වලා
කියපු ඒවාම කියයි.අන්
තිමට බැලුවම තාත්තා කියපු දෙයක්
නැත. තාත්තාට තේරෙන්නෙ නැති කවි පොත් හෙම විවේචනත් කරයි. විවේචන කරනවා කියන්නේ බනින වාටය.තාත්තා කවිත් හදයි. ඒවා හ
රියට අම්මා ලියන බඩු තුණ්ඩු
වගේය. ඉංගිරිස් පොත් බලා
ගෙන තාත්තා කතාත් ලියයි. තාත්තා කොපි කලත් ආබාසය ලැබුවා කියයි. තාත්තා ලිව්වාට වියාකරන නම් පේන්න බෑය.තාත්තට වියාකරනත් බෑය.ඒ හින්දා මම රචනාවල් ලිව්වාම තාත්තට කියල ලියවගෙන ආවා කියා මිස් මට බනිති. සිංහල වියාකරන පේන්න බැරි උනාට දවසක් මම අැන්ටිලයි දිහා ගිහිං එන ගමන් "චෙරියෝ වී ගොයිං" කි
ව්වයි කියල තාත්තා මට හොඳටම බැන්නෙමි.වියාකරන කියල හිතිල තාත්තට ඇකාරෙත් පේන්න බැරිය. ඒ හින්ද අපේ ගෙදර වැඩට හිටිය මැයි නෝනගෙ න මේ ඇකාරෙ අයින් කරල තාත්ත දවසක් කතා කලාය
කියල මැයි නෝනා පහුවදාම ගමට ගියේය.
(මා නොදත් වැදගත් කරුණු උකහා ගැන්මට උපකාර වූ ලීලා තෙන්නකෝන් මැතිනියට හා චන්ද්රා තෙන්නකෝන් මහත්මියටත් බන්ධුල
හරිශ්චන්ද්රයන්ගේ හා නිශා ප්රනාන්දු වෛද්ය තුමියගේ පුවත්පත් ලිපිවලටත් ප්රණාම වේවා!)
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ
Back to top
Go to bottom

Popular News