Zakir Hussain සිය දිවි සැරිය නිමාකර ඇත.
සහ මං වාදකයෙක් නොව රසිකයෙකි.
------------------------------
ඉස්කෝලෙ 9 වසර කියන්නෙ දිග කලිසම් අඳින්න අවසර ලැබෙන වසර. ලොකුකමක් දැනෙන වසර. අලුත් පන්තිය 9.B. පන්තිවලට බෙදිල ඊට පහුවදා උදේම ඉස්කෝලෙට යන්නෙ ඩෙස්ක් එකක් හොයා ගන්න. පන්තිවලට ළමයි එකා දෙන්න එන්න කලින් මේ ගියේ එක දෙයක් හොයා ගන්න. ඒ 'සද්දෙ හොඳ' ඩෙස්ක් එකක් ගැන ඉව අල්ලන්න. එක එක ඩෙස්ක්වලට තට්ටු දමා දමා පන්ති ගානෙ රිංගල හොයන්නෙ බේස් සද්දෙ තියෙන ඩෙස්ක් එකක්. ඒක තමයි මගේ තාල වාද්ය භාණ්ඩය. ඕකෙ සද්දෙත් එක්ක තැනින් තැන මික්ස් වෙන පෑන් ගැටෙන, කවකටු පෙට්ටි නාද සහ කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ හීන් ගායනාව සුළගේ ලෙලෙනා මල සේ පාන ඳගයේ සිට සැරයටියෙන් අපි යනෙන තුරාම සදාතනික මතකයක්.
'ඔය බංකුවට තප්පුලන එකා නැගිටපිය..' කියල විදුහල්පති ලබුතලේ සුදස්සන හාමුදුරුවන්ගෙන් අත්ල හිරි වැටෙන්න කාපු වේවල් පාර තමයි..මගේ සද්ද වාදනයේ සද්දෙ ඔප්පු වෙච්ච පළමු වතාව.
විෂයයක් විදියට චිත්ර ඉගෙන ගත්තට ඇඟේ දැවටෙන තාල කෑල්ලක් මටත් තිබුණා. නිවාඩු කාලෙට සොයියාපුර මහල්නිවාසෙ ගෙදරට එකතුවෙන අපි නෑ සහෝදර කීප දෙනා කාමරේ දොරවහං දාන සරල සංගීත සාජ්ජෙත් මං වාදකයා. ගෙදර තිබුණු කුඩා ස්ටූල් දෙක කොට්ටයක් උඩින් තියාගෙන තබ්ලා වාදකයෙක් අනුකරණය කරමින් වාදන රංගනයේ යෙදීම සීරියස් කරපු විනෝද වැඩක්.
ඕලෙවල් කරල ප්රතිඵල එනකං ගෙදර ඉන්න සමය මේ කියන කාලෙ. මාමගෙ කැසට් කලෙක්ෂන් එකේ තිබුණා කවරයක් නැති කැසට් කීපයක්. BASF කියන brand name එකේ කැසට්. උදේ වරුවෙ ඕව එකින් එක මං අහන්න පටන් ගත්තා. ඒ කැසට් එක ඇතුළෙ අතින් ලියල දාපු නෝට් එකක් තියෙනව. ඉන් එකක water girl කියන ටයිටල් එකට අයිති මියුසික් පීස් එකක් ඇහුවා. එතෙක් ගතකළ ජීවිතේ අහපු සංගීතයට ඉඳුරාම වෙනස් සද්දයක් ඒක. ඉන් ලද උද්දාමය, ප්රහර්ෂය, හිත ගිය දුර කෙතෙක්ද..එය අද වන තුරුමත්ය. එහි බටනළා වාදකයා හරී ප්රසාද් චෞරාසියා. තබ්ලා වාදකයා සකීර් හුසේන්. ඒ නම් දෙක මතක තියාගත් පළමු මොහොත එදා. ඉඩක් ලද හැම වෙලාවෙම මේ මියුසික් කොම්පොසිෂන් එක ඇසීම පුදුමාකාර ඉමක් වෙත ගමන් කිරීමක් වුණා.
ඉන් පස්සෙ තබ්ලාව ගැන උණ හැදුණා. අපේ පවුලේ ඉතාම කිට්ටුවන්තයින් ගාල්ලගේ පවුලෙ අය. එයාලත් හිටියෙ සොයිසාපුරයේ. හේමපාල ගාල්ලගේ එවකට නිතර රූපවාහිනියෙ දකින තබ්ලා වදෙකයෙක්. එයාගෙ පුතා අප බාල මිතුරු හර්ෂාන් ගාල්ලගේ කියන අපූරු ඩ්රම්ස් වාදකයා. (මේ යකා එක්ක මල පැනල ඉන්නෙ) හේමපාල අයියගෙ, අයියා එවක බලපිටියෙ ගුරු විද්යාලයක සංගීත කථිකාචාර්ය වරයෙක්. එයාගෙන් සති අන්තයේ තබ්ලා වාදනය ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන සේයාවක් තිබුණා. ඒත් ඒ අවස්ථාව අරගත්තෙ අපේ අයිය කෙනෙක්. එයත් ඒ ගමන මගදි නැවැත්තුවා. ඒ මොහොත මිනිහටත් නෑ. මටත් නෑ.
උසස් පෙළට නුගේගොඩ රොටරියට යන්න පටන් ගත්තා. ඔතනදි හම්බවුණා නුගේගොඩ 'කලාභූමියේ' මිතුරන් (රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, සංගීතවේදීන් මෙහෙයවපු සංගීත පන්තිය). භූගෝල විද්යාව ක්ලාස් එකේදි මට සෙට් වුනා යාලුවෙක්. මිනිහා සිතාර් වාදකයා. සෙන් පීටර්ස් එකේ. මිත්රකමේ දුර යෑමත් එක්ක හවස මාත් යසා හොයාගෙන හවස් යාමෙ යනව බම්බලපිටියෙ පීටර්ස් එකට උන්ගෙ මියුසික් ප්රැක්ටිස් බලන්න. පීටර්ස් එකේ සංගීත ගුරුවරයා සමන්ත අමරජීව. සමන්ත අයිය තබ්ලා වාදකයා. කලාභූමියෙත් උගන්වනවා. මේ සම්බන්දෙ නිසා ආයෙම තබ්ලාව ඉගෙන ගන්න ආසාව දැල් වුණා. ඒත් සමන්ත අයියගෙ යෝජනාව 'උඹ ගාව තබ්ලාවක් නැතුව කොහොමද මේක කරන්නේ..' ඒ කාලෙ හිටි තත්ත්වය එක්ක තබ්ලාවක් ගන්න බෑ.
අවසානයේ මං තබ්ලා රසිකයෙක් වුණා. එය කොපමණ දැයි කියතොත් tv එකේ යන සංගීත වැඩසටහන්වල බලං ඉන්නෙ තබ්ලා වාදකය දිහා. විජේරත්න රණතුංග, හේමපාල ගාල්ලගේ, ප්රේම්නාත් කොඩිතුවක්කු, මනොජ් පීරිස්, ධනංජය සෝමසිරි නිතර රූපවාහිනියෙ දැකපු තබ්ලා වාදකයින්. මේ අයගෙ පැටර්න් පවා ඇසට කනට හුරු කර ගත්තා. මාවම ගෙස් කර ගන්න සමහර සිංදු යද්දි ඇස් වහං අහං ඉඳල හිතා ගන්නව මේ ප්ලේ කරන්නෙ අහවලා කියල. ඇත්තටම ඒ ගෙස් කිරිල්ල සෑහෙන්න මට්ටමකට හරි ගියා. ඒක ස්වයං තෘප්තියක්. ස්ටීරියෝ සෙටප් එකේ සෙපරේෂන් පවා ඇහෙනව අදටත්.
ඔය අතරේ විහඟ විජේසේකර මගේ හොඳම යාළු සමාගමයට එකතු වෙනවා. විහඟය තබ්ලාවට අත තිබ්බම ඇහෙන සද්දෙ වෙනමම එකක්. විහඟය දන්නව මගේ මේ උණ. අපේ පාටිවල යම් පදමකදි අදටත් කහෝන් එක ප්ලේ කරන්න විහඟය මටත් ඉඩක් දෙන්නෙ ඕක නිසා. (අතර මැද හිතාමතාම මිස්කරපු කොටස් කීපයක් ඇතිබව කරුණාවෙන් සලකන්න.) / පන්සිළු පරපුර හදපු හැටිත් පැහැසර මතකය කොන්සර්ට් එක ගැනත් ලියමි ළඟදිම./
ඉතින් සකීර් හුසේන් නමැති වාදකයාණෙනි.
ස්තුතියි.
මං වෙනුවෙන් සහ විශ්වය වෙනුවෙන් තාලයේ ළය තබා ගියාට.
............
සංජය ඈපා සෙනෙවිරත්න.