ඉතාලි ජාතික රංගන ශිල්පිනියක වන මොනිකා බෙලුචි සතුව ඇත්තේ, වටා සිටින්නන් නිරන්තරයෙන් නොසන්සුන්තාවකට ඇදදමන තරම් සිත් වශීකරනසුලු සුන්දර රූපයකි. ඇය නිරූපණ ශිල්පයේ සිට රංගන කාර්යයට අවතීර්ණ වන්නේද තම රූපය පිළිබඳව සහ ගතානුගතික සමාජය ඒ හා ගොඩනඟා ගන්නා විශ්වාසයන් පිළිබඳවද සවිඥානිකවය. ඒ නිසාම ඇය හිමිකම් කියන්නේ සුන්දර රූපයකට පමණක් නොවේ. ඈ සතුව බොහෝ සමත්කම් ඇති බවද, සිය රූපයේ තරමටම තමා වටා පවතින ලෝකය තේරුම් ගැනීමට ඇය සබුද්ධික වන බවද මෙතෙක් දායක වූ සිනමා නිර්මාණ හරහා ඇය පෙන්වා දී ඇත.
1968 වසරේ ඉතාලියේ උපත ලද ඇය ප්‍රථමයෙන් නීතිවේදිනියක වීමේ අදහසින් සිය හැදෑරීම ආරම්භ කළාය. ඒ අතරවාරයේ නිරූපණ ශිල්පයට නැඹුරු වූවා, සිය අධ්‍යාපනය වෙනුවෙන් මුදල් සොයාගැනීම සඳහාය. එහෙත් නොදැනීම නිරූපණ ශිල්පය විසින් ඇයට, චිත්‍රපටලෝලීන් ඉමහත් ආදරය කරන, අභියෝගාත්මක චරිතවලට පණ පොවන සුන්දර රංගන ශිල්පිනියක වීමේ මාවත එළිපෙහෙලි කරදී තිබුණි. Malena” Irreversible” Tears of the Sun” The passion of the Christ” Matrixඇය රඟපෑ අභියෝගාත්මක චිත්‍රපටවලින් සමහරකි.
භාෂා හතරක් (ඉතාලි, ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ) කතාකළ හැකිවීමත්, එම භාෂා ඥානය යොදාගනිමින් විවිධ භාෂාවලින් නිෂ්පාදනය වන අසීරු චරිතවලට දායකවීමත් නිසා ඇයට ලෝක සිනමා කර්මාන්තයේ වැඩි වපසරියක වැඩකිරීමට හැකිවූ බව චිචාරකයන්ගේ අදහසයි.
පහත දැක්වෙන්නේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු විටින් විට මොනිකා බෙලුචි හා කළ සම්මුඛ සාකච්ඡා ඇසුරින් කළ සංස්කරණයකි.
වැඩියෙන් අවස්ථාව ලැබෙන්නේ ඔබ ලස්සන නිසාද?
ලස්සන කිසියම් කුතුහලයකට මඟපාදනවා. ඒත් ඔස්කා වයිල්ඞ් කිව්වා වගේ, ඔබ තුළ වෙන යමක් නැති නම් ඒ කුතුහලය රඳවා පවත්වාගන්න, එය පවතින්නේ මිනිත්තු පහයි. මට මේ වගේ වෘත්තීයමය තත්ත්වයක් ලැබෙන්නේ නැහැ, ලස්සන විතරක් තිබුණා නම්. අධ්යක්ෂවරු රංගන ශිල්පීන් තෝරා ගන්නේ ඔවුන්ගේ ලස්සන නිසා නෙමෙයි, හැකියාව නිසයි.
පෙනුම ඔබට කවදාහරි බාධාවක් වෙලා තියෙනවාද?
ඇත්තෙන්ම. මගේ පටන් ගැන්ම තියෙන්නේ විලාසිතා ව්‍යාපාරය තුළින්. එය මගේ ප්‍රශ්න දෙගුණ කළා. මෙවැනි වෘත්තියකට එද්දී, විලාසිතා සහ ලස්සන කියන්නේ නරකම කාරණා දෙකක්. ලස්සන නිසා බොහෝ අය හිතුවා මම මෝඩයි කියලා. ඒක හරියට වෙස් මුහුණක් වගේ. ඔබට එය බිඳදමන්න වෙනවා, ඊට පිටුපසින් ඔබ තුළ යමක් තියෙනවා කියලා පෙන්වන්න. ඔබ පෙන්වන්න ඕනෑ ‘ඔබ’ කියන පුද්ගලයා කියන්නේ අනෙක් අයට ඇවිත් ඔබ තුළ ඇති දේ සොයාගන්න සලස්වන කෙනෙක් කියලා.
ඒ නිසාද ඉතාමත් දුෂ්කර චරිත ඔබ තෝරාගන්නේ?
වෙන්න ඇති.
තවමත් හිතනවාද ඔබ ඒ සම්බන්ධයෙන් තහවුරු කළ යුතුයි කියලා?
අනිත් අයට නොවෙයි. මටම.
ඇත්තටම?
ඔව් ඇත්තටම. මා මාව සොයා යන්න ඕනෑ. කවුරුහරි මා වෙත එනවා නම් අවදානමක් සහිත නව අදහසක් එක්ක, මම එයට කැමති නම් මම එය කරනවා. මම කැමතියි බොහෝ සංවාදයන්ට තුඩුදෙන චිත්‍රපටවලට. මගේ අත්දැකීමට අනුව මම කිසියම් චිත්‍රපටයක් කළ වහාම ඔවුන් මෙවැනි ආකාරයේ තත්ත්වයක් නිර්මාණය කරනවා. Irreversible” The Passion
of the Christ” Malena වැනි චිත්‍රපටවලදී වගේ. එය හරිම සිත්ගන්නාසුලුයි. මම කැමතියි මනුෂ්යත්වගේ අඳුරු පැතිකඩ ගවේෂණය කරන්න. එවිටයි මම නිළියක් වෙන්නේ.
විටින් විට ඔබ රඟපෑ චිත්‍රපට ඔබ නරඹනවාද?
මට එක චිත්‍රපටයක් දෙපාරක් බලන්න බැහැ. සමහර විට අවුරුදු ගණනාවකට පස්සේ එහෙම බලන්න පුළුවන් ඇති. මොකද මම Malena එහෙම බැලුවා, හරිම විනෝදජනකයි. මට හිතන්නේ සෑහෙන කාලයක් ගතවුණාට පස්සේ තමයි චිත්‍රපටයක් දෙවනවරට බලන්න පුළුවන්. මට එයට තිබෙන මානසික බැඳීම නැති කරගන්න අමාරුයි. ඒ නිසා මට ඒක එපාවෙනවා.
ඔබගේ එවකට ස්වාමි පුරුෂයා, වින්සන්ට් කසල් ඔබ මෙන්ම රංගන ශිල්පියෙක්. ඔහු තිරය මත චරිතයකට පණ පෙවීම ඔබට කොහොමද දැනෙන්නේ?
Mesrine චිත්‍රපටය නැරඹු මොහොතේ මම කම්පනයට පත්වුණා, ඔහුගේ විශිෂ්ට රංගනය දැකලා. මට හිතාගන්නවත් බැරි වුණා ඒ ඔහුයි කියලා. නමුත් එක් ජවනිකාවකදී, එනම් ඔහු සිරගෙදරදී තම දරුවන් හා කතාබහ කරන අවස්ථාවේදී මට සිහිපත් වුණා, ඔහු කොහොමද ඔහුගේම දරුවන් හා හැසිරෙන්නේ කියලා. ඒ හැරෙන්න….. එම රංගනය ඉතාම ලස්සනයි, සජීවීයි.
ඔබ දෙදෙනා ඔබගේ රංගන කාර්යයන් ගැන එකිනෙකා හා කතාබහ කළාද?
කිසිවක් කතාකළේ නැහැ. මම සහ වින්සන්ට් ජීවත් වුණේ ලෝක දෙකක. මම දන්නේ නැහැ ඔහුගේ යාළුවෝ කවුද කියලාවත්, ඔහුත් දන්නේ නැහැ මම ඇසුරු කරන්නේ කවුද කියලා. අපි එකම අයව ඇසුරු කළේ නැහැ. අපිට එක සමාන ජීවිත තිබුණේ නැහැ. මම මගේ ලෝකෙන් එළියට ඇවිත්, ඔහු ඔහුගේ ලෝකෙන් එළියට ඇවිත් එක මොහොතකට අපි දෙදෙනා මුණගැහෙනවා. ඒත් අපි එකිනෙකාට වෙනස් සත්වයෝ දෙදෙනෙක්. මම හරිම ස්වාධීන කෙනෙක්. ඔහුත් එහෙමයි. මම හිතනවා අපිට එකට ඉන්න පුළුවන් වුණේ ඒ විදියට විතරයි කියලා.
Malena චිත්‍රපටය ඊර්ෂ්‍යාව ගැනද?
ඔව්.. ඒ වගේම තමන්ට නැති දෙයක් අත්පත් කර ගැනීමේ ආශාව ගැන. අත්පත් කරගැනීමේ ආශාව කියන්නේ මිනිස් ස්වභාවය. එම චිත්‍රපටය එක්දහස් නමසිය ගණන්වල සිසිලියානු ගමක හෝ රූප සොබාව ගැන නිරූපණයක් විතරක් නොවෙයි. මම හිතන්නේ එය මිනිසාගේ අත්පත් කරගැනීමේ ආශාව සහ එය මිනිසුන් අතර තියෙන සබඳතා විනාශ කරන්නේ කොහොමද කියන එක පිළිබඳ නිරූපණයකුත් වෙනවා.
චිත්‍රපටයේ ඔබට තිබූ අල්ප දෙබස් සංඛ්‍යාව සැලකීමේදී එම චිත්‍රපටය තුළ ඔබ මුහුණ දුන් අභියෝගය කුමක්ද?
මුළු චිත්‍රපටයම ගත්තත් එය අභියෝගයක්. මට ඒ චරිතයට පණ පොවන්න ඕනෑ වුණේ මගේ ශරීරයෙන්. එය මට කළ හැකි වුණා. Malena තුළින් මතුවුණ ගොඩක් දේවල් තියෙනවා. මම ඉගෙනගත්තා ශරීරය කතා කරන්නේ කොහොමද කියන එක. රඟපානවා කියන්නෙ දෙබස් නොවෙයි. The Piano චිත්‍රපටයේ හෝලි හන්ටර් කතාකළේ නැහැ. ඒත් ඇය ඔස්කාර් සම්මානය දිනාගත්තා.
Irreversible චිත්‍රපටයට අනුව කාලය හැමදේම විනාශ කරනවා?
ඔව්. මම විශ්වාස කරනවා කාලය හැමදේම විනාශ කරනවා. ඔබ ලස්සන ඇපල් ගෙඩියක් ගන්න. ටික දවසකින් ඒක වේලිලා යනවා, පණුවෝ ගහනවා. අපට සිද්ධවෙන්නේත් ඒකම තමයි.
එම චිත්‍රපටය තුළ ඔබ මොන ආකාරයේ අභියෝගයන්ටද මුහුණ දුන්නේ?
මට තිරපිටපතක් කියවන්න ලැබුණේ නැහැ. මොකද එහෙම එකක් තිබුණේ නැති නිසා. ඒත් ඇත්තටම මට ගැස්පර් එක්ක වැඩ කිරීමේ උවමනාව තිබුණා, මොකද ඔහු ඉතාම දක්ෂ කෙනෙක්. මම ඔහුගේ ප්‍රථම චිත්‍රපට දෙක Carne,
I Stand Alone නරඹලා තියෙනවා. මම හිතුවා මේ මිනිහාට ඇත්තටම පිස්සු, ඒත් එයා දක්ෂයි කියලා. ඔහුට මාත් එක්ක නිර්මාණයක් කරන්න ඕනෑයි කියලා දැනගත්තාම මට හරිම සතුටක් දැනුණා. ඉතින් අපි වැඩ කරන්න පටන්ගත්තා පිටු 15ක චිත්‍රපට සාරාංශයත් එක්ක. ඔබට එවැන්නක් එක්ක විතරක් වැඩකරද්දී තමන් ගැන පූර්ණ විශ්වාසයක් ඇති කරගන්න සිද්ධවෙනවා. ඒත් එහෙම හැම තිස්සේම කරන්නත් බැහැ. නැවත මට එහෙම දෙයක් සිද්ධවුණේත් නැහැ. ඉතින් තිරපිටපතක් නැහැ, මම කතාව විතරයි දැනගෙන හිටියේ. ඉතින් කැමරාව නවත්වන්නේ නැතිව මිනිත්තු 15, 20 ක්‍රියාත්මක වෙනවා. ඒක එක විදියකට නාට්‍ය රඟහළක වැඩකරනවා වගෙයි. අපි කළේ එක දවසක අපට හිතට එන දේ පුහුණු වෙනවා, ඊළඟ දවසේ එය රූගත කරනවා. ඉතින් ඒක මට මුළුමනින්ම අලුත් අත්දැකීමක්, ඒත් ඒක හරිම සුන්දරයි, මොකද සිනමාව තුළ ඔබට කවදාවත් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ චරිතයක් ඒ විදියෙන් ගොඩනඟන්න.
කොහොමද Irreversible චිත්‍රපටයේ දර්ශන තලයකදී සහ.. අපි කියමු Matrix වගේ චිත්‍රපටයක දර්ශන තලයකදි ඔබගේ මනෝභාවය වෙනස් වෙන්නේ?
මම කියන්න ඕනෑ, කැමරාව ඉදිරියේදී, එය අඩු වියදම් හෝ වැඩි වියදම් සහිත සිනමා නිර්මාණයක්ද කියන එකේ වෙනසක් නැහැ. ඔබ කැමරාව ඉදිරියේ ඉන්නවා නම් ඔබ රඟපාන්න ඕනෑ. අනික භාෂාව. මම හිතන්නෙ රංගන ශිල්පියෙකුට එයත් වැදගත්. ඔහු හෝ ඇය වැඩ කරන්නේ ඔහුගේ අධ්‍යාත්මය, සිතුවිලි සහ භාෂාව ඇසුරෙන්.
ඔබට හාස්‍යෝත්පාදක චිත්‍රපටයක රඟපෑම වැනි සරල තැනකට යන්න පුළුවන්ද?
ඕහ්… හාස්‍යෝත්පාදක චිත්‍රපටය සම්බන්ධයෙන් මට කිසිදු විරෝධයක් නැහැ. ප්‍රංශයේදී මම එවැනි නිර්මාණයක් එනම් Asterix චිත්‍රපටය සඳහා දායකවුණා. එය ඉතාම දැවැන්ත හාස්‍යජනක චිත්‍රපටයක්. මම නිතරම වෙනස් දේවල් සොයනවා. ඒ කියන්නේ එය හාස්‍යමය, නාට්‍යමය, ත්‍රාසජනක හෝ වෙන ඕනෑම ආකාරයක් විය හැකියි. ඇත්තටම මම සොයන්නෙ නිවැරදි දේ. මට අනුව නිවැරදි තෝරාගැනීම කරන්න ඕනෑ අධ්යක්ෂවරයා සම්බන්ධයෙන් සහ ඊට පස්සෙ තිරපිටපත ගැන. තිරපිටපත විශිෂ්ට එකක් නොවුණත් ඔබට ඉන්නේ විශිෂ්ට අධ්යක්ෂවරයෙක් නම් ඔබට පුළුවන් හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒත් හොඳ තිරපිටපතක් තිබුණත් ඔබට දක්ෂ අධ්යක්ෂවරයෙක් නැත්නම් ඔබට කවදාවත්ම… කවදාවත්ම විශිෂ්ට නිර්මාණයක් කරන්න බැහැ. මට ගොඩක් වැදගත් වෙන්නේ අධ්යක්ෂවරයා සහ ඔහුගේ දැක්මයි.
සුභාෂිණී චතුරිකා
රාවය-