lan englan tam

පුවත්

අම්මාවරුන් වෙනුවෙන් "මදර් ලංකා"තිරයට..

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය මැයි 11වන  දිනට යෙදී තිබුණ ලෝක අම්මාවරුන් ගේ දිනයට සමගාමීව අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කල " මදර් ලංකා" චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සැවෝයි සිනමා ශාලාවේදී පැවත්විණ.

ආදරණීය අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවා වෙනුවෙන් උපදින දාරක ප්‍රේමයත් , බැඳීම හා සෙනෙහසත් කුමන අවහිර බාධක පැමිණියද නොබිඳී නොසැලී තම ලෙයින් උපන්  දරුවාගේ  යහපත වෙනුවෙන් දහසක් දුක් ඉසිලූ අම්මා වරුන් කොතෙකුත් අපවටා නොවෙත්ද ? එවන් අම්මා කෙනෙකුගේ කඳුළු කතාවයි  " මදර් ලංකා " සිනමා කෘතිය.

ශාලු නම් ඇය තම මව් බිම රනින් සැරසූ අභිමානවත් ජාත්‍යන්තර  තලයේ ක්‍රීඩිකාවක්ව සිටියදී , සියළු සිහින එක් නිමේෂයකින් දියව යන්නේ හදිසි ගැබ් ගැනීමක් හේතුවෙනි.

දරුවෙක් කියන්නෙම අම්මෙකුට රටක් හා සමාන බව නොරහසකි. ඇය පිළිසිඳ ගත්තේ  කෙළෙසද , කුමන ආකාරයෙන් ද යනු ඇයට අදාලම නැත. සියල්ල අ'තැර හුදකලා සටනක නිරතවන ශාලු ගේ එකම අරමුණ තම දියණිය එමී ව , තමන් හිටි ලෙසම ඉහල තලයකට ඔසවා තැබීමයි.

පියා කවුරුද නොදත් එමීටත් , ශාලුටත් සහයට එන්නේ, තවත් අසරණ වු ගැහැණියක් වන සත්‍යායි.

දක්ෂ බැඩ්මින්ටන් සූරියක් වන එමී , ලෝක ශූරතාවය දක්වා බාධක මැද  රැගෙන යන දිරිය මවක වු ශාලු ගේ අනුවේදනීය කඳුළු කතාව " මදර් ලංකා " ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.

මෙහි ශාලු ලෙසින් තරින්දි ප්‍රනාන්දු , එමී ලෙසින් සෙනුකි දිශල්‍යා ( හඳුන්වා දෙන ),සහ සත්‍යා ලෙසින් ධනංජ සිරිවර්ධන විශිෂ්ඨ රංගනයක යෙදෙන අතර , බිමල් ජයකොඩි , සනත් ගුණතිලක ,දිල්හානි අශෝකමාලා , හර්ෂිකා රත්නායක , ධර්මප්‍රිය ඩයස් , කළණ ගුණසේකර ,චතුරංග කොඩිතුවක්කු ,හේෂානි ලියදිපිට ,මාදිනි මල්වත්ත , සරත් කොතලාවල ,කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන්‍ රැසක් රංගනයෙන් දායකව ඇත .

3d1107ba 41d8 45a1 91d6 4bb802ddadf8

තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත් , කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන් , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න , සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන ,සමූහ  අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි  එක්වී ඇති " මදර් ලංකා "  ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි .

සටහන - ඇන්ටන් .ජේ. ප්‍රනාන්දු

 

පහතින් දැක්වෙන්නේ මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පසුගිය 11 වෙනිදා පැවති 'Mother Lanka' චිත්‍රපටයේ විශේෂ දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.

(වීඩියෝ මූලාශ්‍රය - Deshan V යූ ටියුබ් නාළිකාව ඇසුරිනි)

 

 

 

Back to top
Go to bottom