” අරෝග්‍යා පරමා ලාභා” නිරෝගීකම යනු මිනිසෙකු ලබන උතුම්ම ලාභයයි
එහෙත් විසිඑක් වන ශත වර්ෂයේ දිවි ගෙවන අපි නිරෝගීමත් දිවියකට හිමිකම් කියන්නේද යන්න ගැටලුවකි. මන්ද විවිධාකාරයේ කායික මෙන්ම මානසික රෝගාබාධ වලටද බොහෝ දෙනා ගොදුරු වී සිටින බැවිනි.
සෞඛ්‍ය සම්පන්න බව මානව ප්‍රජාවගේ පැවැත්ම තහවුරු කරන්නා වූ තීරණාත්මක සාධකයකි. එහිදී රටක සංවර්ධනය මැනීමේදී සෞඛ්‍ය පිළිබඳ දර්ශක වලට ප්‍රමුඛත්වය ලැබෙයි.මේ අනුව මිනිසාගේ පරම සෞඛ්‍යයට කායික යහපැවැත්ම පමණක් නොව මානසික යහපැවැත්මද අදාළ වේ.
කායික රෝගාබාධයන්හිදී විවිධ ක්ෂේත්‍රයන් මඟින් වෛද්‍යවරුන් ඊට ප්‍රතිකාර කරන්නා සේම මානසික ආබාධ,අක්‍රමතා ආදියේදී උපදේශනයේ අවශ්‍යතාවය මතුවේ. එවන් පසුබිමක් තුළ මනෝවිද්‍යා උපදේශනය ශ්‍රී ලංකා සමාජය තුළ භාරදූර කර්තව්‍යයක් ඉටු කරයි.
මේ වන විට සොයාගෙන ඇති දත්තයන්ට අනුව ලෝකයේ සියලු මානසික රෝගීන් ගණන මිලියන 450 කි. අපේ රටේ සාමාන්‍ය ජනගහනයෙන් 100ක් ගත්විට එයින් 90ක් පමණම කිසියම් මානසික ගැටලුවකට ගොදුරුව ඇති බව සොයාගෙන ඇත. එයින් දහයක් පමණ හඳුනාගත් මානසික රෝගවලින් පෙළෙති.
එහිදී මානසික රෝග සඳහා මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වුවද වඩාත් ප්‍රායෝගික වන්නේ මනෝවිද්‍යාත්මක උපදේශනය කරා යොමු වීමයි.
ජනගහන වර්ධනය සමස්ත පුද්ගලයින්ගේම දායකත්වයක් ලැබෙන ස්වභාවික සංසිද්ධියකි. මෙම සාධකයේ ගැටළුකාරී ස්වභාවය උපදේශනයට හේතුවක් වේ.
වත්මන් ජීවන රටාවත් සමඟ පවුලක ආදායමෙන් මුල් කාලීනව අඹුසැමින් හොඳින් සැප සේ ජීවත් වුවද පසුකාලීනව දරුවන් පවුලට එක් වීමේදී ආදායම වැඩි නොවුණහොත් ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක්වේ. එක් එක් අය ලබා ගන්නා වරප්‍රසාද සීමා වේ. පළමු දරුවාට ලබා දුන් වරප්‍රසාද දෙවන දරුවාට ලබා දීමේ ගැටලු මතු වේ. මේ නිසා බොහෝ විට දෙමව්පියන් කුසගින්නේ සිටිමින් දරුවන් පෝෂණය කිරීම සුලබ කරුණකි.
මේ නිසා පවුලේ පියාට අමතර රැකියාවක් මෙන්ම මවටද රැකියාවක් කිරීමට සිදු වේ. අඹුසැමියන්ට ආදරයෙන් බැඳෙන්නට, ලිංකික කාර්යයන්හි නිරත වීමට, දරුවන් සමඟ කාලය ගත කිරීමට, අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට, තම දෙමව්පියන් රැක බලා ගනිමින් යුතුකම් ඉටු කිරීමටත් නොහැකි වීම නිසා පුද්ගලයා අතිශය පීඩනයෙන් කටයුතු කරයි. එම පීඩනය නිසා ආහාර නොගැනීම, හුදකලාව, නින්ද ප්‍රිය කිරීම, අධික ලෙස තරහා ගැනීම, තමාට හානි සිදු කර ගැනීම, නිතර රණ්ඩු වීම ආදිය සිදුවේ.
මේ නිසාද මානසික බිඳ වැටීමකට ලක් වේ. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ මනෝකායිකමය රෝගියෙක් වීමයි.
ජනගහන වර්ධනය නිසාවෙන් සෞඛ්‍ය අංශයන්හිද ගැටලු ඇතිවේ. ආහාර හිඟවීම හේතුවෙන් මන්දපෝෂණයත් ප්‍රතිශක්තිය හීන වීම මත ලෙඩ රෝගත් ඇති වේ. එය මොළයේ වර්ධනයට පවා බලපෑම් එල්ල කරයි.
තවද ඉඩකඩ ගැටලුව නිසා සනීපාරක්ෂාවටත් ගැටලු මතුවේ. කුණු කසල නිසි ලෙස බැහැර කළ නොහැකි වීමත්, අපද්‍රව්‍ය නොයෙක් ස්ථාන වල බැහැර කිරීමෙන් මැස්සන්, ගෙමැස්සන් බෝවීම නිසා ලෙඩ රෝග වැඩි වශයෙන් සම්ප්‍රේෂණය වීමක් දැකගත හැකිය.
පසුගිය කොරෝනා වසංගත සමයේදී මෙය මහත් ගැටළුවක් විය.
ජනගහන වර්ධනය නිසා ළමා ශ්‍රමකයින්ද වැඩිවේ. බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල මෙන්ම ලංකාව තුළද ළමා ශ්‍රමිකයින් මේ වන විට බිහිවී ඇත. අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් ගණන වැඩිවීම නිසා අවුරුදු 18ට අඩු ළමා ශ්‍රමිකයන් සුලබ වේ. ඒ හරහා අඩන්තේට්ටම්, තාඩන පීඩන වලට ලක් වීම නිසා ළමා ශ්‍රමිකයන් මානසික අවපීඩනයන්ට ලක්වේ.
තවද කඳුකරය වැනි ප්‍රදේශයන්හි වතුකර ආශ්‍රිතව ළමා විවාහ, ඉහළ නිලධාරීන් අතින් දූෂණය වීම නිසා ළමා ගර්භණී තත්ත්වයන්ද වැඩි වී ඇත. මේ නිසාද ඔවුන් මානසික ව්‍යාකූලත්වයට පත් වෙති.
ජනගහනයේ වර්ධනයේ අනිසි ප්‍රතිඵලයක් නිසා ඇති වන මෙම තත්ත්වය සඳහාද උපදේශනය අවශ්‍ය වේ.
පුද්ගලයෙක් තම ජීවිතයේ වර්ධනයත් සමඟ පසු කරන මුල් ළමාවිය, තරුණ විය, වැඩිහිටි විය ආදී අවධි තුළදී ඊට ආවේණික සංවර්ධන කෘත්‍යයයන්, අවශ්‍යතාවයන් ඇත.
උදාහරණයක් ලෙස අවුරුදු හයක මුල් ළමා වියේ පසුවන දරුවෙක්ගේ සංවර්ධන අවශ්‍යතා ලෙස ආහාර ලැබීම, ආරක්ෂාව, ආදරය, සෙනෙහස, රැකවරණය, සනීපාරක්ෂාව ආදිය දැක්විය හැකිය. ඒවා ඉටු නොවීම තුළ යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇතිවේ. ඒ සඳහා ආර්ථික අර්බුධ, නිසි දැනුමක් නොතිබීම, දෙමාපියන් අතර ගැටුම්, පියාගේ බීමත්කම, දෙමාපියන් විරසක වීම හා අනියම් සබඳතා ආදිය හේතුවේ.
නව යොවුන් විය සංවර්ධන අවශ්‍යතා ලෙස රැකවරණය, සමවයස් මිත්‍ර සබඳතා මෙන්ම ඇතැම් විට ආදර සබඳතාද දැක්විය හැකිය. මේ කාලය වන විට ඔවුන්ට සවන් දීම, සමීපවීමට යමෙක් අවශ්‍යවේ. ඒ පෙම්වතෙක් හෝ හොඳම මිත්‍රයෙක්ම පමණක් නොව තම දෙමව්පින්ද විය හැකිය.
නමුත් ඒ ආකාරයට ජීවිතයට එවැන්නෙක් සම්බන්ධ නොවීම මත ඉච්ඡාභංගත්වය, හුදකලාව, මානසික විකෘතිතා, අයහපත් ලිංගික චර්යාවන්, බීමත්කම ආදියට හුරුවේ.
විවාහ වන වයසේ පසුවන අයෙක් නම් වර්තමාන රටේ පවතින මූල්‍යමය අර්බුද නිසා විවාහ මංගල උත්සවයක් පැවැත්වීම අතිශය දුෂ්කර කාර්යයකි. තම සිතැඟි විවාහ මංගල උත්සවය පැවැත්වීමට නොහැකිවීම නිසා බොහෝ දෙනා සිත් තැවුලට පත්ව සිටිති.
එමෙන්ම පසුගිය කාලයේ පැවති කොරෝනා තත්ත්වය හා දේශපාලනික තත්ත්වයන් මත පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල උත්සව පවා දින නියමයක් නොමැතිව කල් දැමීමටත්, ආරාධිත පිරිස අවම කිරීමටත් සිදුවීම නිසා මානසික පීඩනයකට ලක් වීම දැක ගත හැකිය.
තවද ලංකාවේ පවත්නා අධ්‍යාපනයේ අඬුලුහුඬුකම් මත විශ්වවිද්‍යාල විද්‍යාර්ථිකුට පවා එයින් නික්මීමට බොහෝ කාලයක් ගතවේ. මේ නිසා රැකියා අර්බුධයක් ඇති වේ. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් නිවසට වී කාලය ගත කිරීම, සියදිවි හානි කර ගැනීම් ආදිය සිදු කරයි.
එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේදී දරුවන් තුළ මතක තබා ගැනීමේ, ධාරණය කර ගැනීමේ, තේරුම් ගැනීමේ ගැටලු ආදී චින්තන හා ප්‍රජානන හැකියාවන්ට අදාළ ගැටලු, අවධානය එක ලෙස පවත්වාගෙන යාමේ ගැටලු, අවධානය හීනතාව දැක ගත හැකිය.
එමෙන්ම ඇතැම් දරුවන් අධික්‍රියාකාරී ලක්ෂණයන්ගෙන් යුක්ත වන අතර දෙමව්පියන්ගේ ගැටලු හේතුවෙන් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, ගුරුවරයාට අවනත නොවීම, මිතුරන් සමඟ නිතර රණ්ඩු වීම, පන්තියේ අනෙක් දරුවන්ට හිරිහැර කිරීම, අන්‍යයන්ගේ බඩු බාහිරාදිය සොරකම් කිරීම ආදී විනයවිරෝධී බොහෝ කාර්යයන්හිද නිරත වේ.
මෙහිදී දරුවන්ගේ තත්ත්වය මනෝවිද්‍යාත්මක සංවර්ධන යන පැතිකඩයන්ගෙන් විමසීමෙන් ළමයෙක් සිතන ආකාරය එක් එක් දේට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ අවබෝධයක් උපදේශකවරයාට තිබෙන නිසාවෙන් දරුවන්ට සහය වීමේ ශක්‍යතාවක් ඔවුන් සතුව පවතී. ඒ අනුව පාසල් දරුවෙකුගේ මානසික අක්‍රමතා, හැසිරීමේ ගැටළු, ආතතිය යනාදී සියල්ලටම මැදිහත්කරණයක් ලෙස මනෝ විද්‍යා උපදේශනය සහය වන බව මින් පෙනේ.
අධ්‍යාපන අංශයෙහි විශාල තරගකාරීත්වයක් ඇති නිසා දෙමාපියන් විශාල පීඩනයක් තම දරුවන්ට ලබා දෙති.
ලකුණු ප්‍රතිඵල පරමාර්ථයෙන් දරුවන්ව පාසල් අධ්‍යාපනයෙන් නොනැවතී අමතර පන්ති බොහෝමයකට යොමු කරති.
මේ හේතුවෙන් දරුවන්ට අමතර ක්‍රීඩාවක යෙදීමට, පොත් පත් කියවීමට, යහළුවන් හා සහෝදරයින් සමඟ සෙල්ලම් කිරීමට, ඥාති නිවසකට යාමට, විනෝද වීමට ඇති අවස්ථාවන් අවමවේ.
මහත් පීඩනයකින් ජීවත් වන දරුවා ඉතාම කෙටි කාලයකදී මානසික රෝගියෙක් බවට පත් වන්නේ එකී පීඩනය හා ඒකාකාරී දිවි පැවැත්ම නිසාවෙනි.
මේ තත්ත්වය උග්‍ර වුවහොත් හුදකලා වීම, යමක් දෙස වැඩි වේලාවක් බලා සිටීම, තනියෙන් කතා කිරීම, සිහිනෙන් බිය වීම වැනි තත්ත්වයන් දැකගත හැකිය. මෙවැනි තත්ත්වයන්හිදී උපදේශනයේ සහය පැතීම අනිවාර්යය වේ.
තවද ගුරුවරුන්ද විශාල පීඩනයක් දරුවන්ට යොමු කරමින් ප්‍රතිඵල හා ගුරුවරයෙක් ලෙස තමාගේ කීර්තිනාමය පිළිබඳ සිතා නිතර නිතර ලබාගත යුතු ප්‍රතිඵල ප්‍රකාශ කිරීමද දරුවාට මානසික පීඩනයක් ගෙන දෙන්නකි. මේ සඳහාද උපදේශනය ලබා දීම අනිවාර්යය වේ.
තවද වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් ලෙස දික්කසාදය දැක්විය හැක.
මේ වන විට ලංකාවේ දෛනික දික්කසාද වීම් 400 පමණ සිදුවන බව සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වී ඇත.
දික්කසාද වීම මඟින් බලපෑමට ලක්වන ප්‍රධානතම පිරිස වන දරුවන්ගේ ජීවිතයට, සංවර්ධනයට හා මානසිකත්වයට මෙය සෘජුවම බලපායි. ලංකාවේ පවත්නා නීතියට අනුව දික්කසාදයක් නීතිය නිර්ණය කරනුයේ ද්වේශ සහගත ලෙස හැරයාම, ලිංගික බෙලහිනතාව හා අනියම් සබඳතා හේතු ත්‍රිත්වය මතයි.
නමුත් අන්‍යෝන්‍ය අවබෝධය නොමැතිකම, කළමනාකරණය කර ගැනීමේදී ඇතිවන ගැටලු, විශ්වාසය පළුදු වීම, මනා සන්නිවේදනයක් නොමැති වීම, අභියෝග වලට මුහුණ දීමේදී ආතතිය කළමනාකරණය කරගත නොහැකි වීම, මූල්‍යමය ගැටළු, ජීවන බර දරා ගත නොහැකි වීම, අධික ලෙස සීමාවන් පැනවීමෙන් නිදහස සීමා කිරීම යනාදී හේතු සාධකද දික්කසාදයකට බලපායි.
එමෙන්ම දෙදෙනා අතර ගැටලුවක් ඇති වූ පසු එක් පාර්ශවයක් පමණක් ඒ සඳහා මැදිහත් වීම ප්‍රමාණවත් නොවන අතර දෙදෙනාගේම මැදිහත් වීමෙන් එම ගැටලු නිරාකරණය කර ගැනීමට පෙළඹීම අත්‍යවශ්‍යවේ.
තවද විවාහය තුළදී නොවැළැක්විය හැකි තත්ත්වයන් ඇති බවට දෙදෙනාම තේරුම් ගත යුතු වේ. බොහෝ විට විවාහයක් තුළ පවතිනුයේ සබඳතා හා අවබෝධය හා සම්බන්ධ ගැටලු ය. එහිදී පවුල් උපදේශනය වැදගත් වේ.
තවද දික්කසාදයන්ට අඹුසැමියන් අතර පවත්නා අපිරිසිදුකම, අපිළිවෙළ ආදිය මෙන්ම නැන්දම්මා සමඟ ඇති කර ගන්නා ගැටුම්ද විවාහයට දෙමව්පියන්ගේ අනිසි මැදිහත් වීම්ද ඉවහල් වේ. මේ නිසා ඇති වන ක්ලමථකාරී, විෂාදීය, කාංසාමය තත්ත්වයන් හමුවේ අඹුසැමියන් දෙදෙනාම උපදේශනයට යොමු වීම වැදගත්ය.
තවද නිසි අධ්‍යාපනයක් නොමැතිවීම නිසා ලිංගිකත්වයේ පවතින දුර්වලතා මත බොහෝ යුවළවල් ඉක්මනින් දික්කසාදයකට යොමු වේ. මේ නිසා ඇති වන මානසික අවපීඩනයන්ගෙන් අත් මිදීමට උපදේශනය අවශ්‍ය වේ.
පුද්ගලයෙක් වයස්ගත වීම සමඟ තම සනීපාරක්ෂාව, රැකවරණය හා ආහාර සපයා ගැනීම ආදිය නිසාත් මේ අවධියේදී සන්නිවේදනයට කෙනෙක් නොමැති වීමත්, හුදෙකලා වීමත්, තම බිරිඳගේ හෝ සැමියාගේ වියෝවීම් නිසාත් ඉච්ඡාභංගත්වයටත්, මානසික අවපීඩනයන්ටද ලක්වේ.
මේ වියේදී ඔවුන් බලාපොරොත්තු ආත්මඅභිමානය, නිදහස සීමා වීම, ශාරීරික දුබලතාවයන්, මූල්‍යමය ස්වාධීනත්වයක් නොමැති වීම යනාදී ගැටළු නිසා ඔවුන්ට අත්වන මානසික ගැටලු නිසා උපදේශනය අත්‍යවශ්‍ය වේ.
කාලය ගත ගතවීමත් සමඟම වැඩිහිටි වියේදී සම රැලි වැටීම, එල්ලා වැටීම, දීප්තිය අඩුවීම, දුර්වර්ණ වීම රුධිර පීඩනය ඉහළ යාම, සංවේදන හැකියාවන් අඩුවීම වැනි කායවිද්‍යාත්මක සාධක වල වෙනස්කම් ඇතිවීම මෙන්ම ස්වාධීනව ජීවත් වීමේ හැකියාව, සෞඛ්‍ය ප්‍රශ්න පාලනය කිරීම, චාලක හැකියා, ශ්‍රවණ දෘශ්‍ය ආදී හැකියාවන් වල වියැකීමත් සමඟ මේ අවධියේ පුද්ගලයින් දැඩි ලෙස මානසික ව්‍යාකූලත්වයකට පත් වෙනු දැකිය හැකිය.
මෙවැනි තත්ත්වයන් සඳහාද උපදේශනයේ අවශ්‍යතාවය මතුවේ.
තවද වයස්ගත වීම සමඟ ඇතිවන ප්‍රජානන හැකියා දුර්වල වීම, මතකය නැතුව යාම, සංවිධාන බව හා සැලසුම්කරණය වැනි ඉහළ මානසික හැකියාවන්හි සංකූලතා ඇතිවීම නිසා නියුරෝශීය ස්නායු ප්‍රජානන අක්‍රමතා තත්ත්වයක් ඇති විය හැකිය. එය නිට්ටාවට සුව කළ නොහැකි තත්ත්වයක් නිසා එයින් වැළකී තම ජීවිතය කළමනාකරණය කර ගැනීමට, නිසි චර්යා රටාවක් අනුගමනය කිරීමට උපදේශනය අවශ්‍ය වේ.
මත්ද්‍රව්‍ය වලට හුරු වූ පුද්ගලයෙක්ට ඉන් ගැලවීම අසීරු කාර්යයකි. පවුලේ, රැකියාවේ හා සමාජමය ප්‍රශ්න මත පුද්ගලයෙක් බීමත්කමට හුරු වීමෙන් පවුල් ජීවිතය, වෘත්තීයමය ජීවිතය ගැටලුකාරී වන්නා සේම සමාජ පිළිගැනීම පවා නැතිව යයි.
පුද්ගලයෙක්ගේ මොළයේ තෘප්ති මධ්‍යස්ථානයට මත්ද්‍රව්‍ය පහර දෙනු ලැබේ.
ඩොපමින් යන ස්නායු සම්ප්‍රේෂක ද්‍රව්‍ය හරහා පුද්ගලයාගේ සතුට, තෘප්තිය දැනේ. මෙයට මත්ද්‍රව්‍ය මඟින් බාධා ඇති කරයි. එහිදී මත්ද්‍රව්‍ය තෘප්තිය බවට පත්වේ.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා පුද්ගලයෙක් තුළ මානසික අවපීඩනය, මනෝභාවය කැළඹීම, නින්ද නොයාම, ඇනරොක්සියා, ලිංගික දුර්වලතා, ලිංගික බෙලහීනතාව, ව්‍යාකූල ස්වභාවයන් සහ මායාවන් භ්‍රාන්තියෙන් ඇතිවේ.
ගෝලීයකරණයේ ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ අපගේ අනන්‍යතාව වෙනස් වීමයි. මෙමඟින් අනෙකුත් සංස්කෘතීන්ගේ ලක්ෂණ අපටද භාවිතයට හුරු වේ. ඒ අතර ඔවුන්ගේ ආහාරපාන රටා, ජීවන රටා, නව ප්‍රවණතා ආදියවේ. වීඩියෝ ගේම් ක්‍රීඩාවන්, අන්තර්ජාල භාවිතයට තරුණ පරපුර අතීතයට සාපේක්ෂව වර්තමානයේදී යොමු වන්නේ ගෝලීයකරණය හරහාය.
එමෙන්ම මේ හරහා බොහෝ දෙනෙක් ලිංගික සංක්‍රාන්තියට පත් වීමට උත්සුක වූ අතර සමාජයෙන් එල්ල වෙන බලපෑම, මානසික පීඩනය, සමාජ ගැරහුම්, පවුලෙන් නෙරපා හැරීම් හේතුවෙන් ඔවුන් මානසික ව්‍යාකූලත්වයට පත් වීම නිසා උපදේශනය කරා යොමුවීමට හේතු විය.
පසුගිය කොරෝනා වසංගත සමයේදී අනෙකුත් ක්ෂෙත්‍රයන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයද ඔන්ලයින් තාක්ෂයට සීමා වීම නිසා දරුවන් දුරකථන, පරිගණක සමඟ ගනුදෙනු කිරීම නිසාත් ඇතැම් දරුවන්ට තාක්ෂණික පහසුකම් නොමැතව අධ්‍යාපනය අඩාල වීම නිසාත් මානසික ගැටලු බොහෝමයකට මුහුණ දුණි.
එහිදීද උපදේශනයේ අවශ්‍යතාව මතුවේ. තවද දරුවන් පරිගණක, වීඩියෝ ගේම්, ජංගම දුරකථන ආදියට දක්වන ඇබ්බැහි වීම් හරහා සියදිවි හානි කර ගැනීම් වලට පවා තැත් කරන අවස්ථා සමාජයේ එමටය. මෙවැනි ඇබ්බැහියන්ගෙන් මිදීමට උපදේශනයේ සහය පැතීමට සිදු වේ.
තවද අඹුසැමියන් අතර පවත්නා සැකය, අනියම් සබඳතා, දරුවන් නොමැතිකම, පවුල් ජීවිතය හා වෘත්තීය ජීවිතය එකිනෙක පටලවා ගැනීම, වෘත්තීය දිවියේ හෝ රැකියා ස්ථානයේ ඇති ආතතිය පවුල තුළට ගෙන ඒම, රෝගී තත්ත්ව, ලිංගික ජීවිතයේ ගැටලු ආදී හේතු කාරණා මත පවුල තුළ ගැටලු මතුවේ.
මේ නිසා දුම්රියට පැනීම, ගෙල වළලා ගැනීම, වස පානය කිරීම ආදිය මගින් සිය දිවි හානිකර ගැනීමට උත්සුක වන අතරම විශාදය, කාංසාවට ගොදුරු වීම ඉතා සුලබව සුලබව දැකිය හැක.
මෙවැනි තත්ත්වයන් මග හැරීම සඳහා විවාහයට සූදානම් වන්නන් අරඹයා පූර්ව විවාහ උපදේශන ක්‍රමයක්ද ලංකා සමාජය තුළ අද වන විට පවතී. මෙමඟින් දෙදෙනා අතර යහපත් සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීමටත් තෘප්තිකර, ස්ථාවර විවාහ දිවියක් පවත්වා ගැනීමටත් අවස්ථාව සලසා දෙයි.
එසේම රැකියා ස්ථානවලදී ඉහළ නිලධාරීන් තම සේවිකාවන්ට ලිංගික ක්‍රියාවන්ට බලකිරීම, බලහත්කාර කිරීම හා අනවශ්‍ය යෝජනා සිදු කිරීම ආදිය නිසාත් එමෙන්ම දැඩි සේ පීඩනයක් ලබා දෙමින් පමණට වඩා කාර්යයන් ලබා දීම, නිවාඩු ලබා නොදීම වැනි කාරණා හේතුවෙන් බොහෝ දෙනෙක් රැකියාව තුළ මානසික ව්‍යාකූලත්වයට පත් වේ. මේ නිසාද උපදේශනය අවශ්‍ය වේ.
වර්තමානයේදී විලාසිතා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා නිසා දර්ශන කාමුකත්වය හා ප්‍රදර්ශන කාමුකත්වයද පවුලේ උදවිය සමඟ ලිංගික කටයුතුවල නිරතවීමේ දාර කාමුකත්වයද මලමිනි ලැදිකම වැනි විකෘති මානසික තත්ත්වයන්ද ආදියද සුලබ වේ.
මේ සියළු කරුණු වලින් පුද්ගලයන් බේරා ගැනීමේ හැකියාව ඇත්තේ උපදේශනය හරහාය. විවිධ වැරදි ක්‍රියාවලට යොමු වූ දරුවන් වැඩිහිටියන් ආදිය පුනරුත්ථාපනයට ලක් කිරීම මගින්ද සිදු කරනුයේ මෙකී උපදේශනයයි.
මිනිස්සුන්ගේ හා සමාජයේ සංකීර්ණ බව මත ඇතිවන කාර්යබහුලත්වය නිසාවෙන් නිරන්තරයෙන් පීඩනයන්ට ලක්ව ජීවත් වන මිනිසා ඉන් අත් මිදීමට උපදේශනයේ සහය පතයි.
තවද නිවසේ ඇති වන ගැටලුකාරී පීඩනයන් නිසා ඔවුන් වෘත්තීමය ජීවිතය තුළද නිරන්තරයෙන් කලහකාරී ලෙස හැසිරීම, තම දෛනික වැඩ කටයුතු මඟ හැරීම ආදිය සිදුවේ. එහිදී අනෙක් පුද්ගලයන් ප්‍රිය නොවීම, නිතර ආයතන ප්‍රධානින්ගේ දෝෂාරෝපණයට ලක්වීම, ඇතැම් විට රැකියාවෙන් නෙරපා හැරීම ආදිය නිසා මානසික පීඩනය දෙගුණ වේ. ඒ සඳහා වෘත්තීමය මැදිහත්වීමක් ලෙස උපදේශනය අවශ්‍යවේ.
නමුත් එලෙස නොමැති වූ කල්හි දැඩි ආවේගශීලීත්වයක් ආරෝපණය වේ. සෘණාත්මක බිඳ වැටීමකට ලක්වීමත් හුදෙකලාව ජීවත්වීම ප්‍රිය කරයි.
මෙලෙස එකම අභියෝගය හමුවේ විවිධ පුද්ගලයන් විවිධ ලෙස ප්‍රතිචාර දක්වයි. මේ නිසා පුද්ගල මට්ටමින් මැදිහත් වීමක් අවශ්‍ය වේ. ආකල්ප වෙනස් කර ගැනීමට සිදුවේ. දෛනික කටයුතු කළමනාකරණය කර ගැනීමේ නව කුසලතා පුහුණු කිරීමට සිදුවේ. මෙවැනි ප්‍රවේශයන් බොහෝමයක් මනෝ උපදේශනය හරහා ගොඩ නැගිය හැක.
මනෝ අධ්‍යාපනය, මුහුණ දීමේ කුසලතා, වැඩ ජීවිතය හා දෛනික ජීවිතය කළමනාකරණය කර කරගැනීම ආදියට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් තුළින් පුද්ගලයාගේ චින්තනය, දරා ගැනීමේ හැකියාව ආදිය ධනාත්මක ලෙස වෙනස් කිරීම නිසා උපදේශනයේ උපයෝගීතාව මනාව විද්‍යමාන වේ.
මේ අනුව විවිධ හේතුන් නිසා නූතන සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්ව වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ආතතිය, ක්ලමතය, විශාදය ආදී මානසික රෝග බොහොමයකින් ඔවුන් පීඩා විඳිති. මෙසේ ඇති වී තිබෙන සමාජ පරිහානිය පුද්ගලයා සහ සමාජය කෙරෙහි බලපානු ලබන්නේ ඉතාමත් අහිතකර ආකාරයකිනි. එහෙයින් සමාජ අසහනය තුරන් කරලීමට නිසි ක්‍රමවේදයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
මනෝ විද්‍යාත්මක උපදේශනය තුළින් සිදු කරනු ලබන්නේ එම ක්‍රියාවලියයි.
තමාට ගැටලුවක් පැන නැඟුන විට ඇතිවන සිත් තැවුල සහ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා එය විසඳගන්නා ආකාරය පිළිබඳ පුද්ගලයාට එතරම් වැටහීමක් නැත. එබැවින් තමන්ට කුමනාකාරයේ ගැටලුවක් තිබුණද එය විසඳාගැනීම සඳහා විධිමත් උපදේශනයකට යොමුවීම ඉතා වැදගත් කරුණකි.
උක්ත කරුණු අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා සමාජයට උපදේශනය අතිශය වැදගත් වන බවයි.
කර්තෘ - එච්. එම්. එන්. දේශානි හේරත්
තාවකාලික සහකාර කතිකාචාර්ය
දර්ශන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය
(මූලාශ්‍රය - lankadailymail.com වෙබ් අඩවිය ඇසුරිනි)