සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ජ්‍යෙෂ්ඨ පරිවර්තකයෙක්, නාට්‍යකරුවෙක්, ලේඛකයෙක්, සහ සාහිත්‍ය විචාරකයකු වූ ආරියරත්න විතාන මහතා අද (13) අළුයම තංගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවා.
සිනමාව වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කල ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ "ඉරැස්මා"ළමා වෘතාන්ත චිත්‍රපටය ඉතාලි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.
චිකාගෝ සහ බැංගලෝ සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ "තෘප්ති" සහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය කළ "අරගලයක සටහන්" වාර්තා චිත්‍රපටය මෙතුමන්ගේ තවත් සුවිශේෂී නිර්මාණයන්.
ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද "අතුරු මිතුරු"ළමා වෘතාන්ත චිත්‍රපටය 1984 වසරේදී ජනාධිපති සම්මාන හතරක් හිමිකර ගන්නට සමත්වුණු නිර්මාණයක්.
'සෙලිනගෙ වලව්ව, බිරිඳ, ඉරැස්මා, උපන් දින තෑග්ග, සිත්තර පැංචා, කළුතර බෝධිය, කැලණි විහාරය, ගිනි කුසුම වැනි චිත්‍රපට මෙන්ම රූපවාහිනී වැඩසටහන් රැසක තිර පිටපත් රචක ලෙස ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, ලේඛකයෙකු සහ පරිවර්තකයෙකු ලෙස කටයුතු කල ආරියරත්න විතානයන් රුසියානු සාහිත්‍ය මෙරට ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඉටු කළේ සුවිශේෂී කාර්‍යභාරයක්.
'කාවල් කාරයා, අවිගත් සමයක, ප්‍රභාකරන් ඉන්නවා කෙටිකතා සංග්‍රහ තුනක්, බිඟුරොඳ හැඬුවා නමින් නවකතාවක් මෙන්ම ඇන්ටන් චෙකොෆ් චරිතාපදානය, මුහුදු ලිහිණියා, එතෙර ජනකතා, ආදර විනිශ්චය, තෝල්යා සහ යහළුවන්ගේ හපන්කම්, චෙකෝෆ්ගේ නාට්‍ය තුනක්, පලස්තීන කෙටිකතා, සිකුරු යුද්ධය, කෙටි නාට්‍ය අටක් ඇතුළු පරිවර්තන කෘතින් රැසක් ආරියරත්න විතානයන් මෙරට ලේඛන සාහිත්‍යයට දායාද කළා.
තම ජීවිතය සහ නිර්මාණකරණය පිළිබඳව රචනා කල 'ආරියරත්න විතාන ආලෝචන', ලුහුබඳින මිනිසා, හිරු සොයා යන මිනිස්සු සහ සකිය මධුවිත වැනි ග්‍රන්ථ රැසක් ද පසුගිය කාලය තුළ එතුමන් අතින් නිර්මාණය වූවා.
මඟුල් හටන, රන් කූඩුව, ජන සම්මත තුලා ලකුණ, කෝච්චිය, තෙල් දොතක්, වලසා සහ පරස්තාව ආරියරත්න විතානයන් විසින් නිර්මාණය කළ වේදිකා නාට්‍යය කිහිපයක්.
1943 නොවැම්බර් 14 වැනිදා බණ්ඩාරවෙලදී උපත ලැබූ ආරියරත්නයන් බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
රුසියානු සාහිත්‍ය රට තුළ ජනප්‍රිය කරවීම උදෙසා සිදුකළ දායකත්වය වෙනුවෙන් "රුසියානු සාහිත්‍ය කවය" මගින් ලියෝ තෝල්ස්තෝයි සම්මානයෙන් පවා ආරියරත්න විතානයන් පුදනු ලැබුවා.
ආරියරත්න විතානයන්ගේ දේහය අද දහවල් සිට බෙලිඅත්ත, පුවක්දණ්ඩාව, අරලිය උයන නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු හෙට දිනයේදී (14) සවස දෙකට බෙලිඅත්ත ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.