කූඹියෝ කියපු ගමන් ඉස්සර අපිට මතක් වුණේ කළු කූඹි, රතු කූඹි හෝ තෙල් කූඹි. නමුත් දැන් මතක් වෙන්නේ එනමින් තියෙන ටෙලි නාට්‍යය. ඒතරම්ම එක ජනප්‍රියයි. කූඹියෝ නාට්‍ය ජනාදරයට පත් වු නිසාම එහි චරිතවලට ද ලැබෙන්නේ ඊට නොදෙවෙනි වූ රසික ආකර්ෂණයක්. එහි අංජානාටත් එහෙමමයි. සුජීවා ඩයස් නමැති රංගන ශිල්පිනියයි අංජානාට පණ පොවන්නේ. සුජීවාගේ සුජීවා කියන නම දන්නේ නැති වුණාට අංජානාව නම් හැමෝම දන්නවා. ඇයට මේ දිනවලදී කතා කරන්නෙම ඒ නමින්.
සුජීවා දැන් අංජානා වෙලා. ඔබ කැමැති ද එහෙම අමතනවට?
කැමැති වුණත් අකැමැති වුණත් එහෙම තමයි මට කතා කරන්නේ. ඇත්තම කිව්වොත් නිහතමානී සතුටක් තියෙනවා අංජානා කියලා අමතද්දී. මොකද සාමාන්‍යයෙන් චරිතයක නමක් ඔස්සේ රංගන ශිල්පියකු හෝ ශිල්පිණියක අමතනවා කියන්නේ ඒ චරිතය සමාජගත වෙලා කියන එක. කූඹියෝ නාට්‍යයත් ඉතාම ජනප්‍රියයිනේ. හොඳ දෙයක් හොඳ විදිහට ප්රේක්ෂකයො බාර අරගෙන තියෙනවා.
කූඹියෝ නාට්‍යය ගැන සුජීවා මොන වගේ අදහසක් ද තියෙන්නේ?
කූඹීයෝ නාට්‍ය ගැන අදහසක් දක්වන එක එහි රංගන ශිල්පිණියක විදිහට එක අතකින් හරි නැහැ. ඒක කියන්න ඕනෑ ප්‍රේක්ෂකයන්. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. ඉතාම ඉහළ රස වින්දනයකින් යුතුව ප්‍රේක්ෂකයෝ කූඹියෝ රස විඳිනවා.
සුජීවාට කෙහොමද අංජානාව හිමිවන්නේ?
මට පළමු ආරාධනාව ලැබෙන්නේ කූඹියෝ අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්නගෙන් නෙවෙයි. ඔහුගේ බිරිය චමරි තමයි මට කූඹියෝ නාට්‍ය කණ්ඩාමට එකතු වන්නට කතා කරන්නේ. ඇය මගේ මිතුරියක්.
හිතුවද අංජානා මෙතරම් ජනප්‍රිය වේවි කියලා?
කොහෙත්ම නැහැ. හැබැයි වෙනස්ම චරිතයක් කියලා හිතුණා.
කූඹියෝ රඟපාන්න ගිහින් එහි රඟන කලණව තේරුම් ගන්න බැරුව ගියා කියන්නේ ඇත්තද?
කලණ කියන්නේ දක්ෂ නළුවෙක්. ප්රියන්තනෙ ඔහුගේ චරිතය. ඉතින් කලණ ඒ චරිතයට ගැඹුරින් කිඳා බැහැලා රඟපෑවේ. ඇතැම් අවස්ථාවලදී මේ කලණ ද නැත්නම් ප්‍රියන්ත ද ඉන්නේ කියලා හොයා ගන්න බැරි වුණා.
සුජීවාගේ ගෙවල් කොළඹ නෙවෙයි නේද?
ඔව්. මං නුවර. ෂූටිංවලට කොළඹ එනවා. දැන් ඒක පුරුද්දක් වෙලා. කාලයක් තිබුණා නුවර කොළඹ යන එක එපා වුණා. නමුත් දැන් එහෙම නැහැ. කොළඹ ෂූටිං තියෙන දවස්වල මගේ ඥාතියකුගේ ගෙදර නවතිනවා.
සුජීවා විවාහ වෙලා දැන් ටිකක් කල්. ඒ වගේම ලොකු පුතෙකුත් ඉන්නවා. ඒ ගැන විස්තර කියමු?
මගෙ පුතා කෙවින්. ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මං ක්ෂේත්රයට එනකොටත් මවක් වෙලා හිටියේ. මගේ මහත්තයා ගිහාන්. ඔහු තමන්ගේම ආයතනයක් පවත්වාගෙන යනවා.
පුතා කෙවින්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබෙන්නේ ඔබේ රඟපෑම්වලට?
එක එක දේවල් කියනවා. පුතා වැඩිපුරම ඇද කියන්නේ මං අඳින ඇඳුම්වලට. කෙටියෙන්ම කිව්වොත් හරියට නීති දානවා. මං ඇඳුම් තෝරද්දි මමත් එයා ගැන හිතලා තමයි විලාසිතා කරන්නේ.
විවාහකව සිටියත් ඔබේ ගෙදරින් තවමත් විරුද්ධයි නේද ඔබේ රංගන කාර්යයට?
මගේ අම්මටයි තාත්තටයි මං කොච්චර ජනප්‍රිය ද කියන එක වැදගත් නැහැ. එයාලට ඕන මං හොඳින් ජීවත් වෙනවා දකින්න. ඒ නිසා අදටත් කියනවා රඟපෑවා ඇති. ඔන්න ඔහේ ගෙදර ඉන්න කියලා.
මහත්තයත් එහෙම කියනවද?
ගිහාන් යවන නිසයි මං රඟපාන්න යන්නේ. ඒ වගේම එයාගේ පැත්තෙ අයත් මං රඟපානවට කැමැතියි. ඔවුන් මාව යවන්නේ මං විශ්වාස නිසානෙ. ඉතින් මං ඔවුන්ගේ විශ්වාසය මෙන්ම වෘත්තීය ගරුත්වය රකිමින් රංගනයේ යෙදෙනවා.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
මං තෝරා බේරගෙන රංගනයේ යෙදෙන කෙනෙක්. ඒ හින්දම ලැබෙන සෑම ආරාධනාවක්ම බාර ගන්නේ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණයක් හරහා මතක හිටින චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සටහන - ප්‍රසාද් සමරතුංග