පුබුදු ,ළඟදිම දවසක විවාහ වෙන්න සූදානම් වෙනව කියන්නෙ ඇත්තද?
ඔව් එහෙම සූදානමක් තියෙනවා .කාලයක් බලාගෙන ඉඳල ගත්ත තීරණයක්. මොකද තනිකඩ ජීවිතේ ගත කරපු ඕනෙම කෙනෙක්ගෙ හිතේ විවාහ වීමේ බලාපොරොත්තුව තියෙනවා .මම තනිකඩ ජීවිතේ උපරිමව වින්ඳ කෙනෙක් විදියට විවාහ ජීවිතේ විඳින්නත් බලාගෙන ඉන්නවා .
පුබුදු මේ තීරණය ගන්න ටිකක් කල්ගත්ත කෙනෙක්.ඇත්තටම ඒ ගත්ත කාලය වැඩියි කියල හිතෙන්නෙ නැද්ද?
නැහැ .මම ඉංග්‍රීසි කියමනක් අහල තියෙනව.පිරිමියෙක් නම් ඔබ හැකි තරම් කාලයක් කසාද නොබැඳ සිටිය යුතුයි. ගැහැනියක් නම් ඉක්මනින් කසාද බැඳිය යුතුයි කියල.මොකද දැනුම සහ අත්දැකීම් ගෙදරට අරගෙන ඉන්නෙ පිරිමියා.ඒ අත්දැකීම් ලබාගන්න කාලයක් ගතවෙනවා. දෙන්නෙක් එක්ක ගෙවන ජීවිතේ සාර්ථක වෙන්නෙ ඒ අත්දැකීම් මත.ඒ නිසා පිරිමියෙක් විදියට මම ගත්ත ඒ කාලය හොඳයි කියල මම හිතනව.කොහොම වුණත් මම හොඳ තනිකඩ කාලයකුත් ගත කළා.
ඔබ ගත කරපු ඒ තනිකඩ කාලය ගැන අද මොකද හිතෙන්නෙ ?
ඒ තනිකඩ ජීවිතේ ඉතාම හොඳින් ගත කළා .ඒ ජීවිතේ මම උපරිමව වින්ඳා.හැබැයි ජීවිතේ බරක් පතළක් තේරුනෙත් නැහැ . බයක් ඇති වුණෙත් නැහැ. ඒත් දැන් ජීවිතේ වගකීම් එක්ක ගත කරන කාලයට මූණ දෙන්න වෙනවා. මොකද දැන් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්නෙ.
ඇත්තටම විවාහයට දින වකවානු නියම කරගෙනත් ඉවරයිද?
මාර්තු මාසයේදි විවාහයට දින නියම කරගන්න හිතාගෙන ඉන්නවා.
අද බොහොමයක් ජනප්‍රිය චරිත චාම් විවාහ උත්සව ගන්න එක කලාවක් බවට පත්වෙලා. පුබුදුත් විවාහ වෙන්න හිතාගෙන ඉන්නෙ ඒ වගේද?
අපේ විවාහයෙදි දන්න කියන හැමෝටම කියන්න පුළුවන් නම් කැමැතියි. ඒත් එහෙම කළොත් ලොකු වියදමක් යනවා. ඉතින් විවාහය ලොකුවට ගන්නවට වඩා එතනින් එහාට ජීවත් වෙන්නෙ කොහොමද කියල සැලසුම් කරන එක වැදගත්. ඒක නිසා බොහොම චාම් උත්සවයක් ගන්නයි හිතෙන්නෙ. ඒත් චාම් වුණාට නිර්මාණශීලි උත්සවයක් ගන්න හිතාගෙන ඉන්නවා . මගෙ ජීවිතේට හමුවුණු ළඟම මිතුරන්ට ආරාධනා කරල ඒ අයත් එක්ක සතුට බෙදාගැනීමේ උවමනාව මට තියෙනවා .
මාෂි පෙම්වතිය විදියට තෝරාගැනීම ගැන අද මොකද හිතෙන්නෙ ?
මාෂියි මමයි වසර දෙක තුනක් විතරම ආදරේ කළා. අද ඇයව විවාහ කරගන්න ගත්ත තීරණය ගැන මම අද ඇත්තටම සතුටු වෙනවා.
ඇත්තමයි මාෂිට ආදරෙයි කියපු මුල්ම මොහොත ගැන අද මොනවද හිතෙන්නෙ ?
ඇත්තටම දෙසැම්බරයේ 25වෙනිදාවක නත්තල් දවසක මම ඇයට ආදරය ප්‍රකාශ කළා. ඒක හරි අපූරු සිහිවටනයක්. හැම නත්තල් දවසකම අපි ඒ දවස සමරනවා. මෙතෙක් කලක් තනි කකුලෙන් ගිය මම දැන් කකුල් දෙකෙන් යනව කියල දැන් මට හිතෙනවා. මොකද ඇයත් එක්ක ඉදිද්දි මට ගොඩක් ලොකු පහසුවක් දැනෙනවා.
විවාහයත් එක්ක බැඳීම් ඇති වෙද්දි ආදරය වැඩි වෙද්දි තහංචි පැනවෙනවා. ඉතින් රංගනයටත් සීමා මායිම් වැටේවිද?
එහෙම වෙයි කියල මම හිතන්නෙ නෑ. මොකද එයා මට ආදරේ කළේ මම රංගන ශිල්පියෙක් කියල දැනගෙන. ඇය ගොඩක් විවෘතව හිතන කෙනෙක්. ගොඩක් වෙලාවට මීට වඩා හොඳට ප්‍රේමණීය චරිත කරන්න පුළුවන්නෙ කියල මාව ඇය දිරිමත් කරන්නවා. ඇරත් මාෂි කියන්නෙ කුඩා කාලයේ ඉඳලම වෙළෙඳ දැන්වීම් වල පෙනී හිටිය කෙනෙක්. ඇයට ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම මම ක්ෂේත්රයේ කිසිම කෙනෙක් එක්ක සබඳතාවක් තිබුනෙත් නෑ කියල ඇය දන්නවා. ඉතින් මා ගැන සැක කරන්න කිසිම හේතුවක් නැහැ .
වසර ගානක් ක්ෂේත්රයේ කටයුතු කළ ඔබ ක්ෂේත්රයට සම්බන්ධ කිසිවෙකුත් සමඟ ආදර සබඳතාවක් ඇතිකරගත්තෙ නෑ. කොහොමද ඔබ එවැනි තැනකට ආවෙ.?
ඒක හරි අපූරු සිදුවීමක්. කලාවට එන්න කලින් මගෙ මිතුරෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඒ විනයක් ඇතිව ක්ෂේත්රයේ ඉන්නවයි කියලා. ඉතින් හැම මොහොතකම මට ඒක ඔලුවට එනවා. ඒ නිසාම වෙන්න ඇති මම රංගනයෙදි රංගනය විතරක් කළේ. රංගනය නොකර මම වෙන දේවල් කරන්න ගියේ නෑ. මොකද මගේ ඉලක්කය වුණේ මගේ විෂය ජයගන්න එක.
ඔබගෙ පැත්තෙන් ඔබ එවැනි අරමුණක හිටියත් රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රේමාරාධනා ලැබුනෙම නැද්ද?
නැත්තෙම නෑ. ලැබිල තියෙනවා. ඒත් ඒ හැමෝම සලකන්නෙ මගෙ සහෝදරියො විදියට. ඒ සියලු දෙනාටම මම ආදරෙයි. නමුත් එතැන තියෙන්නෙ සහෝදර ප්‍රේමයක් විතරයි. ඒ සුහද සහෘද ආදරයට එහා ගිය සබඳතා කරා යාමේ කිසිඳු අවශ්‍යතාවක් මට නැහැ. එහෙම සබඳතාවක් ඇති වෙන්නෙ ඉරණමට අනුව එක පුද්ගලයෙක් එක්ක විතරයි. ඒ අනුව මාෂි මට හමුවුණා. අපි ආදරය කළා. දැන් අපි විවාහ වෙනවා ඒක තමයි ජීවිතේ කියන්නෙ.
තමාරා පතිරණ