එක්දහස් නවසිය හැත්තෑව දශකය අපේ සිනමාවේ එතෙක් තිබූ සම්මතයන් වෙනස් කරමින් දේශීය සිනමාවේ සම්ප්‍රදායික ගමන් මග වෙනතකට හැර වූ යුගයක ආරම්භයයි. සම්මත සිනමා චින්තනය බැහැර කළ තරුණ සිනමාකරුවන් රැසකගේ ආගමනය සිදුවූයේද 70 දශකය ඇරඹිමත් සමගය.
ඒ සිනමාකරුවන් ස්වල්ප දෙනා අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය සිනමා චාරිකාව අරඹන්නේ හැත්තෑව දශකය මැද භාගයේදී "අනූපමා" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. ඉනික්බිති "සරුංගලේ", "පොඩි මල්ලි", "සිරිබෝ අයියා", "කිඳුරු කුමාරි", "කෝලම්කාරයෝ", "බඹාකෙටූ හැටි", "සතර පෙර නිමිති", "වජිරා", "බඹර ගීතය", "ජීවිතයෙන් ජීවිතයක්', "කැලෑමල්"," මුහුදු ලිහිණි", "මිහිඳුම් සළු", "ක්‍රිස්තු චරිතය" සහ "සුදු සෙවනැලි" යන ඔහුගේ සිනමා නිර්මාණ අතර චිත්‍රපට රැසක්ම ඔහු දේශීය සිනමාවේ සම්ප්‍රදායික ගමන් මග වෙනස් කිරීමේ ශක්තියක් සහිත කලාකරුවකු බවට අපට සාක්ෂි සපයයි. ප්‍රවීණ සිනමාකරුවකු, ගීත රචකයකු, තිර රචකයකු ලෙසින් අප අතරට පැමිණෙන මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ සිනමා අතීතාවර්ජනය මෙලෙස දිගහැරියෙමු.
1970 අග භාගයේදී 'අනුපමා' තුළින් ඔබතුමා සිනමාවට පිවිසෙනවා?
කේ. ඩී. දයානන්ද කියන කැමරාශිල්පියා මාව මුණගැසෙන්න ආවේ වෙනත් නිෂ්පාදකවරයෙක් සහ අධ්යක්ෂවරයෙක් වෙනුවෙන් දයා රාජපක්ෂගේ 'අනුපමා' කියන චිත්‍ර කතාවේ තිරනාටකය සකසාගන්න. ඊට පසුව කේ. ඩී. දයානන්ද හරහා ඇලරික් ලයනල් ප්‍රනාන්දු කියන නිෂ්පාදකවරයා මට මුණගැසෙනවා. 'අනුපමා' චිත්‍රපටය නිෂ්පාදනය කළේ වාසනා චිත්‍රපට සමාගම වෙනුවෙන් නිෂ්පාදක සමාගමේ ප්‍රධාන කොටස්කරු වන ඇලරික් ලයනල් ප්‍රනාන්දු, මාලනී ෆොන්සේකා සහ විජය කුමාරතුංග. ඒ කාලේ හැටියට මේ චිත්‍රපටය ඉතාම ජනප්‍රිය වුණා. ඒ කාලේ හිටපු ජනප්‍රිය නළු නිළියන් වන විජය, මාලනී, සුවිනීතා, කලංසූරිය වැනි අය මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. වික්ටර් රත්නායක සංගීත අධ්යක්ෂවරයෙක් හැටියට තෝරාගත්තා. ඇත්තටම ඒ තෝරාගැනීම සිදුකළේ නිෂ්පාදකවරයා. මොකද ඇලරික් ලයනල් ප්‍රනාන්දු වික්ටර් රත්නායකගේ ගීතවලට ඉතාමත් ඇල්මක් දැක්වූවා.
ලතා සහ ජෝති පළමු යුග ගීතය ගායනා කළේ මේ අනුපමා හරහා නේද?
ඔව්. තවත් ඉතිහාස ගත වන දෙයක් සිද්ධවුණා. දශක ගණනාවක් සිංහල සිනමාවේ ගායක ගායිකාවන් විදිහට වැඩකරපු ලතා වල්පොල සහ ජෝතිපාල පළමු යුග ගීතය ගායනා කළේ අනුපමා චිත්‍රපටයේදී. "සිහින විලේ නිලුපුලී පැතුම් ජලාශයේ" කියන ගීතය තමයි මෙහිදී ගායනා කළ ගීතය. මෙම ගීතයේ පද රචනය සිදුකළේ කුලරත්න ආරියවංශ. ඔහුගේ පළමු ගීතය.
අනුපමා තිරගතවෙන කොට තවත් චිත්‍රපට දහයක් විතර නිර්මාණය කළා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
ඒක අදටත් කාටවත් නොබිඳිය හැකි වාර්තාවක්. මම එහෙම හිතලා කළේ නැහැ. මගේ වාසනාවට 'අනුපමා' චිත්‍රපටය රූගත කරන කාලය තුළදී තවත් නිෂ්පාදකවරු දස දෙනෙක් මුණගැසුණා. මට මතකයි ඒ කාලේ 'අනුපමා' චිත්‍රපටයේ මංගල දර්ශනයට ගියේ 'බඹර ගීතය' නමැති මගේ දහවැනි චිත්‍රපටයේ ෂූටින් අවසන් කරලා.
ඒ චිත්‍රපට දහය මතක් කළොත් ?
'අනූපමා', 'පොඩි මල්ලි', 'සරුංගලය', 'සිරිබෝ අයියා',' බඹාකෙටූ හැටි', 'කෝලංකාරයෝ', 'කිඳුරු කුමාරි', 'වජිරා', 'ජීවිතයෙන් ජීවිතයක්', 'බඹර ගීතය.'
මේ අතර වඩාත්ම සුවිශේෂයි සරුංගලය චිත්‍රපටය ?
'සරුංගලය' චිත්‍රපටය නිර්මාණය කරන්න මට අදහස ආවේ ගාමිණී ෆොන්සේකා නිසා. මොකද මම ඒ කාලේ යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. ඇත්තටම මම ගාමිණී ෆොන්සේකා හමුවෙන්න ගියේ 'පොඩි මල්ලී' චිත්‍රපටයේ පොඩි චරිතයක් සඳහා සම්බන්ධ කරගැනීමට. තිස්ස අබේසේකර ලියපු තිර නාටකයත් ඔහුගේ අතට දුන්නා. ඔහු තිර නාටකය බලලා කිව්වා මට මේකේ චරිතයක් නැහැ, ඔබ කැමැති නම් මාව චිත්‍රපටයකට ගන්න. ඔබ යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කරන හින්දා මම යෝජනාවක් කරන්න කැමැතියි මා ළඟ තියෙනවා මීට අවුරුදු පහළොවකට විතර කලින් ලියපු කතාවක්. ඒ කතා තේමාවෙන් කේ. ගුණරත්නම් චිත්‍රපටයක් කරන්නත් ගියා. තිරනාටකයකුත් ලියන්න පටන්ගත්තා. ඔබ කැමැති නම් මම ඒ කතා සංකල්පයත්, තිර නාටකයත් ඔබට දෙන්නම්. හැබැයි මට ප්‍රධාන චරිතය ඕනෑ කියලා ගාමිණී ෆොන්සේකා මට කිව්වා. එහෙම තමයි සරුංගල චිත්‍රපටය ආරම්භ වෙන්නේ. නැතිනම් සරුංගලය මගේ අතින් නිර්මාණය නොවන්න තිබුණා. සරුංගලය චිත්‍රපටයේ හතරෙන් තුනක්ම රූගත කිරීම් සිදුකළේ යාපනයේ.
සිරිබෝ අයියා ගැනත් කතා නොකරම බැහැනේ ?
චිත්‍රපට ගණනාවක් කළාට මුල් වතාවට දක්ෂතම අධ්යක්ෂවරයා, හොඳම නිෂ්පාදනය ඇතුළු ජනාධිපති සම්මාන දොළහක් මුල වරට මගේ තෙවැනි චිත්‍රපටය වන 'සිරිබෝ අයියා' චිත්‍රපටයට ලැබෙනවා. 'සරුංගලය' මගේ සිනමා ජීවිතයට ඉතා වැදගත් චිත්‍රපටයක්. මෙහි නිෂ්පාදක රංජිත් පලන්සූරිය මම ඉගෙනගත්තු නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ආදි සිසුවෙක්. ඔහුගේ පියා සුප්‍රකට කවියෙක් වූ සාගර පලන්සූරියගේ සහෝදරයා. ඉතිං මේ ආදි සිසුවාට වුවමනා වෙනවා තමාගේ පියාගේ කෙටි කතාවක් වූ 'සිරිබෝ අයියා 'කෙටි කතාවෙන් චිත්‍රපටයක් කරන්න. ඔහුගේ ගම රත්නපුරය. ජෝ අබේවික්රමගේ ගම ලෙල්ලුපිටියේ. ඊට අල්ලපු ගම තමයි පලංසූරිය මහත්මයාගේ ගම. මේ කතාව චිත්‍රපටයට ගන්නා අතරේම පියදාස පලසූරිය මහත්මයා මගෙන් ඉල්ලීමක් කළා මෙහි ප්‍රධාන චරිතයට ජෝ අබේවික්‍රම ගන්න කියලා. අන්තිමේ ඔහු ඉතාම කැමැත්තෙන් මේ චරිතය භාරගත්තා.
ගාමිණී, විජය, ජෝ, කලංසූරිය, කොස්තා වගේ දැවැන්ත නළුවන් ඔබට අධ්‍යක්ෂණය කරන්න ලැබෙනවා. ඔබතුමාට නිර්මාණයක් කරනකොට නළුවෝ තෝරාගැනීමේදී ලොකු අර්බුදයක් ගොඩනැගෙන්න ඇති නේද?
මම චිත්‍රපටයක් කරනකොට අද දක්වා එකම නළු නිළියෝ කොට්ඨාසයක් සමග වැඩකළේ නැහැ. ඒක හින්දා මගේ චිත්‍රපටවල විවිධ නළු නිළියන් වැඩකළා. අද වෙනකොට මගේ පරපුරේ චිත්‍රපට අධ්යක්ෂවරුන් අතර මට තරම් දැවැන්ත පරාසයක නළු නිළියන් පිරිසක් අධ්‍යක්ෂණය කිරීමේ වරම කාටවත් හිමිවුණේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. මොකද රුක්මණී දේවි, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන්. ඒ තුන්දෙනාම මගේ චිත්‍රපටවල රඟපෑවා. ඊට පස්සේ ඇන්තනී සී. පෙරේරා, දොන් සිරිසේන, ප්‍රෙඩී සිල්වා, සන්ධ්‍යා කුමාරි වගේ අයත් මාත් සමග වැඩකළා. ඒක හින්දා මට හිතෙනවා රුක්මණී දේවි, එඩී ජයමාන්නගේ ඉඳලා මේ දක්වා විශාල නළු නිළි පරම්පරාවක් මගෙත් එක්ක වැඩකරලා තියෙනවා.
ඒ වගේමයි නේද කාර්මික ශීල්පීන් ?
අමරදේව, කේමදාස ඇතුළු විශාල පිරිසක් සංගීතය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. කැමරාශීල්පීන් බැලුවත් සිංහල සිනමාවේ පළමු කැමරාශිල්පියා වන ඩබ්ලිව්. ඒ. ද සිල්වා, වී. වාමදේවන්, ඩී. බී. නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ, කේ. ඩී. දයානන්ද, චන්න දේශප්‍රිය, සුමින්ද වීරසිංහ වගේ විශාල කැමරාශිල්පීන් පිරිසක් වැඩකරලා තියෙනවා.
හැට හැත්තෑව දශකය කියන්නේ සිනමාවේ ස්වර්ණමය යුගය. මේ කාලේ ඔබතුමා සිනමාවට හඳුන්වාදුන් නළු නිළියන් එහෙමත් ඇති නේද?
මම සිනමාවට හඳුන්වාදුන්නේ නළු නිළියන් නෙමෙයි. ගීත රචකයෙක් වෙලා ඉඳලානේ චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසෙන්නේ. මම දන්නවා කොච්චර සතුටක් වින්දාද කියලා මට පළමුවෙන් චිත්‍රපටයකට ගීතයක් ලියන්න ලැබුණ අවස්ථාව.
ඇත්තටම ඔබතුමාට පළමුවෙන්ම චිත්‍රපටයට ගීතයක් ලියන්න ලැබුණ අවස්ථාව මතක් කළොත් ?
සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ 'මාතරආච්චි', කේ. ඩබ්ලිව්. පෙරේරාගේ 'ලොකුම හිනාව', රංජිත් ආරියසිංහගේ 'නිම් වළල්ල' වගේ චිත්‍රපටවලට ගීතයක් ලියන්න ලැබුණාට පසුව මම පුදුම විදිහට සතුටට පත්වුණා. ඒ හින්දා මම මෑතක් වෙනතුරුම උත්සාහ කළේ අලුත් ගීත රචකයන්ට තැනක් ලබාදෙන්න.
එහෙමනම් දැන්වත් කියමුනේද මහැදුරු සුනිල් ආරියරත්නයන් රිදී තිරයට හඳුන්වාදුන් ගේය පද රචකයන් කවුද කියලා ?
කුලරත්න ආරියවංශ, දයා ද අල්විස්, විමලේන්ද්‍ර වතුරේගම, සුනිල් සරත් පෙරේරා, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රභාත් මානවසිංහ, උදය මානවසිංහ මේ වගේ අඩුම වශයෙන් චිත්‍රපට ගීත රචනයට ගීත රචකයන් විසිපහක් විතර හඳුන්වාදීලා තියෙනවා.
ඒ කාලේ තිරයේ හිටියේ දැවැන්ත නළු නිළියන්. ඔවුන්ව අධ්‍යක්ෂණය කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?
දැවැන්ත නළු නිළියන් විජය, රවීන්ද්‍ර, ගීතා මාලනී වගේ ඉහළම පෙළේ නළු නිsළියන් අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. විජය කුමාරතුංගයන් මගේ චිත්‍රපට තුනක රඟපෑවා. අනුපමා, කිඳුරු කුමාරි, ක්‍රිස්තු චරිතය කියන චිත්‍රපට තුනේම රඟපෑවා.
ගාමිණී ෆොන්සේකා ගැන විවිධ අධ්යක්ෂවරු විවිධ කතා කිව්වා. මහැදුරු සුනිල් ආරියරත්නයන් ගාමිණී ගැන හිතන්නේ මොන විදිහටද?
හුඟාක් අය ගාමිණී ෆොන්සේකා දිහා බැලුවේ ටිකක් චකිතයකින්. හුඟාක් දෙනෙක් හිතුවා තරුණයන්ට ඔහු යටත් නැහැ කියලා. ඔහුව අධ්‍යක්ෂණය කරන්න බැහැ. ඔහුව චිත්‍රපටයකට ගන්න ගියොත් තමන්ගේ ස්ථානය අහිමිවෙයි කියලා විවිධ සැක සංකාවන් තිබුණා. මම ගාමිණී ෆොන්සේකා හමුවුණාට පසුව බොහෝ දෙනා තුළ තිබුණ ඒ සැකසංකා දුරුවුණා කියලා මට හිතෙනවා. සරුංගලය චිත්‍රපටය හරහා ගාමිණී ෆොන්සේකා මගේ බොහොම කිට්ටු මිත්‍රයෙක් වුණා. ගාමිණී ලියූ කවි පොතක් පිදුවේ ඔහුගේ ගුරුවරයා වූ අරිසෙන් අහුබුදුට හා මටයි. ඒ තරම් අපි අතරේ මිත්‍රත්වයක් ගොඩනැගුණා.
ගේයපද රචකයෙක් විදිහට ඔබතුමාගේ චිත්‍රපටවලට ගායකයන් තෝරාගැනීම ගැනත් කතා නොකර බැහැනේ. ඒ ගැනත් කියමු නේද?
මම එතැනදීත් කළේ සුදුසු චිත්‍රපටවලට සුදුසු ගායකයන් තෝරාගැනීම තමයි සිදුකළේ. උදාහරණයක් හැටියට ජෝතිපාලට මම ලියලා තියෙන්නේ ගීත තුනක් විතරයි. නමුත් ඔහු මගේ චිත්‍රපට තුනක පසුබිම් ගායනයට තෝරාගන්නවා. අනුපමා, ජීවිතයෙන් ජීවිතයක් වගේ චිත්‍රපටවලට. ගායකයන් විදිහට අමරදේවගේ ඉඳලා කසුන් කල්හාර දක්වා ශීල්පීන්. ගායිකාවන් විදිහට ලතාගේ ඉඳලා නිරෝෂා විරාජනී, උරේෂා රවිහාරි දක්වා තෝරාගෙන තිබෙනවා. ඒ වගේ මම එතැනදී ලොකු පරාසයක ශිල්පීන්ගෙන් ප්‍රයෝජන ලබාගත්තා.
ඒ කාලේ චිත්‍රපට තිරගතවෙන කොට ඔබට ලැබුණ ප්‍රතිචාර එහෙම කොහොමද?
උසස් නිර්මාණ කිරීම සඳහා ප්‍රශංසා ලැබුණා විශේෂයෙන්ම 'සරුංගලය', 'සිරිබෝ අයියා', 'පොඩි මල්ලි', 'සුදු සෙවණැලි' සහ 'උත්පලවණ්ණා 'චිත්‍රපටවලට. නමුත් ඇත්තම කිව්වොත් මට වඩාත් ප්‍රතිචාර ලැබුණේ 'කුසපබා' සහ 'පත්තිනි' චිත්‍රපටවලින් කියලා කිව්වොත් නිවැරදියි. මොකද මම පළමු වතාවට තමයි දැක්කේ මගේ චිත්‍රපට නරඹන්න සිනමාශාලාවල ප්‍රේක්ෂකයන් පොරකනවා. මුල් වතාවට දැක්කා ප්‍රේක්ෂකයන් ප්‍රවේශපත්‍ර නැතිව හැරිලා යනවා.
දිනේෂ් විතාන