අතීත මතක රැගෙන ආ සුළඟක් මා වත දැවටුණු බව හැඟුණා. සියලු මතක එකින් එක මනසේ තුළ සිත්තම් වෙද්දී ජීවිතයේ අරුත මට ටිකෙන් ටික සිහි වුණා. කඳුලත්,මදහසත්, සතුටත්, දුකත් ඔබෙත් මගෙත් ජීවිතවලට අරුමයන් නොවෙයි. අපේ හමුවීම අහම්බයකැයි කෙනෙක් සිතාවි.
ඒත් අපේ හමුවීම අහම්බයක් නොවන බව මා දන්නවා. ඉතිං අහම්බයක් නොවූ හමුවීම දෛවය ලෙස මා දකිනවා.
ආලය සේම විවාහයත් එකින් එක වෙන් නොකළ අපි විවාහය ආලයෙන් වෙලා ගත්තා. ඔබේ සිහිනය වූ විවාහය මගේ ආලයෙන් අර්ථ ගැන්වුණා. කාලය ගෙවෙද්දී අපේ ජීවිත ඉක්මනට ගෙවී ගියා. ආයෙත් යන්න බැරි, දෑතින් වැළඳගන්න බැරි, නිදහසේ තනි වෙන්න බැරි අතීතයක් අපේ උරුමය වුණා.
මටනම් එය සිතුවම්පටයක්. මතක සිතුවම්පට ඉරා දම් මල් වැස්සක් වී මා වෙත වැටෙන්න. එවිට ඔබේ හඬ, ඔබේ සුවඳ, ඔබේ මදහස මා දකීවි. මට තනිකමක් නෑ. ඔබ මා අසල බව වැටහෙනවා. ඉතිං ඔබ එන්න. මතු දිනෙක මා රැගෙන යන්න. එතෙක් මම රැඳෙන්නම්.
2016 වසරේ ප්රදර්ශනය වූ Sanam Teri Kasam සිනමාපටය හින්දියටම අවේනික සිනමා ලක්ෂණවලින් යුතු සිනමාපටයක්. සංස්කෘතික බැඳීම, විවාහය, ආදරය යන කාරණා ජීවිතය හා බද්ධ වන ආකාරය ආකර්ශනීය ලෙසත්, හැඟීම්බර ලෙසත් මෙහි නිරූපිතයි.
___අයේෂ් ලියනගේ___