ජනප්‍රිය ප්‍රේමණීය ගීතාවලියකින් රසාලිප්ත වූ මාම මියා ඇබා සාමාජිකයන් වූ බෙනී ඇන්ඩර්සන්, උල්වෝස්ගේ තනු පාදක කරගෙන බ්‍රිතාන්‍ය නාට්‍ය රචිකා කැතරින් ජොන්සන් විසින් රචිත සංගීතාවලියකි. 2008 වසරේදී ප්‍රේමණීය ප්‍රහසන එනමින්ම යුතු සිනමාවලියක් එම මධුර සංගීතයෙන් රසවත් විය.
කලෝකයිරි ග්‍රීක දුපතේ, මනාලියක වීමට සිටින සොඳුරු යුවතියක වූ සොෆී ඇයගේ දෙවැනි මනාලියන්ට (යෙහෙළියන්ට) මවට හොර රහසේ පිරිමින් තිදෙනකුට ආරාධනා කරන බව දන්වයි. මවගේ දින පොතේ එම තිදෙනාගෙන් කෙනෙක් සොෆීගේ පියා බව ලියා ඇත. දියණියට සැබෑ පියාවත් මවට පැරැණි හිතවතුනුත් මුණ ගස්වන මාම මියා ! 2008 හොලිවුඩ් සිනමා අන්දරය එම වසරේ පස්වැනි තැනට වැඩිම ආදායමක් ලද සිනමා පටය විය. සිනමා පටයේ පියකු නොමැතිව දියණිය හදා ගන්නා මවගේ චරිතය නිරූපණය කළේ සම්මානනීය නිළි මෙරිල් ස්ට්රීප්ය. හරියටම ඉන් දස වසරකට පසු ඔවුන් යළි හොලිවුඩ් තිරය ආක්‍රමණය කර ඇත.
දස වසරකට පසු කලොකයිරි ග්‍රීක දූපතට යන ප්‍රේක්ෂකයන්ට සොෆී ගැබිනියකවී ඇති සුබාරංචිය දැන ගැනීමට ලැබෙයි. මව නැති අතරේ ඇය අසීරුවෙන් විශාල නිවහන පාලනය කරන්නේ ටානියාගේ සහ රෝසිගේ මග පෙන්වීම ඇතිවයි. ඇය සියල්ල මැද මවගේ අතීත තතු සොයා බලන්නීය. මේ අතරේ බලාපොරොත්තු නොවු. අනාරාධිත, කිසිදා හමුවී නැති අමුත්තියක පැමිණෙයි. ඇය අන් කිසිවකු නොව රූබි මිත්තණියයි. මවගේ පැරැණි තොරතුරු සොයමින් සිටින ඇයට මිත්තණියගෙන් කෙබඳු සහායක් ලැබේවිද? ‘මාම මියා! හියර් වී ගෝ අගේන්’ යළිත් කුතුහලය කුළුගන්වයි.
සිනමා පටයේ මෙරිල් ස්ට්‍රීප්, ලිලී ජේම්ස්, ඇමන්ඩා සේෆ්‍රයිඩ්, ක්‍රිස්ටීන් බරන්ස්කි, ජුලී වෝල්ටර්ස්, පියර්ස් බ්‍රොස්නන්, කොලින් ෆර්ත්, ස්ටෙලන් ස්කාස්ගාඩ්, ඩොමිනික් කූපර් සහ චේර් යන නළු නිළියෝ රඟති. මාම මියා ! හියර් වී ගෝ අගේන් ජුලි 20 වැනිදා තිරගත වීමට නියමිතය.
පළමු සිනමා පටය ලද අති සාර්ථකත්වය හොලිවුඩ් චිත්‍රාගාරයේ ප්‍රධානී, යුනිවර්සල් පික්චර්ස් සම සභාපති ඩේවිඩ් ලින්ඩේ දෙවැන්නක් නිර්මාණය විය හැකි බවට ඉඟි කළේය. ඇබා සුමධුර ගීතාවලියේ තවත් ගීත රැසක්ම ඇති නිසා ඔහු ඇබා සාමාජිකයන්ගේ අනුමැතියද පැතුවේය. ඔවුන්ගේ එකඟතාවද ඇතිව 2017 මැයි 19 වැනිදා මාම මියා ! හියර් වී ගෝ අගේන් ස්ථිරවම නිර්මාණය වන බව නිවේදනය කෙරිණි. මෙවර සිනමා පටයේ පිටපත හා අධ්‍යක්ෂණය ඔල් පාකර් ගෙනි. මුලින්ම “වෙන් අයි කිස්ඩ් ද ටීචර්”, “අයි වොන්ඩර්”, සහ “ඒන්ජල් අයිස්” ගීත සිනමා පටයේ අන්තර්ගත බව බෙනී ඇන්ඩර්සන් විසින් තහවුරු කරන ලදී. ප්රවිණ අමෙරිකානු නිළි ගායිකා හැත්තෑ දෙහැවිරිදි චේර් සිනමා පටයකට එක්වන්නේ අට වසරකට පසුවය. ඇය සොෆීගේ මිත්තණිය ලෙස රංගනයේ යෙදෙන්නීය. පොප් දේවතාව සේ ඇතැම්විට හඳුන්වන ඇය මෙරිල් මෙන්ම ඇකඩම් සම්මාන ලාභීනියකි.
පළමු වැන්නෙහි රඟ පෑ සේෆ්‍රයිඩ්, ඩොමිනික් කූපර්, මෙරිල්, ෆර්ත්, බ්‍රොස්නන්, ආදී පළමු වැන්නෙහි රැඟූ තරු රැසක්ම මීට එක්වී ඇත. ගිනි කොන යුරෝපයේ ක්රෝෂියා දූපතේ රූගත කිරීම් කෙරුණු අතර ඇතැම් ගීතමය ජවනිකා එංගලන්තයේ සෙපර්ටන් චිත්‍රාගාරයේ සිදු කර තිබේ. ඇබා ගීත 13 ක් පමණ මෙහි අඩංගු බව කියැවේ.
මාම මියා! හියර් වී ගෝ අගේන් ට්‍රේලරය 2017 දෙසැම්බරයේදී නිකුත් කළ අතර එය අතිශය ජනප්‍රිය වී තිබේ. මෙහි කැපී පෙනෙන තාරකාව වී ඇත්තේ චේර්ය.
එහෙත් මෙරිල් තිරයේ අඩුවෙන් දිස්වීම දැනෙන බව බොහෝ රසිකයන් සහ විචාරකයන් පවසයි. මෙරිල්ගේ දර්ශන කෙතරම් සීමාසහිත වූවාද කිවහොත් ඇයගේ රූගත කිරීම් සතියකින් නිමවී ඇත. මෙරිල් හා චේර් යන සම්මානනීය තාරකා යුවළ මින් පෙර සිල්ක්වුඩ් (1983) සිනමා පටයේද එකට රඟපා තිබේ.
මෙරිල්ගේ මව ලෙස චේර් සිනමා පටයේ රඟපෑවද සැබෑ ජීවිතයේ ඔවුනගේ වයස් පරතරය සිව් වසරක් පමණි.
මෙහි ඇබා සාමාජිකයන් වන ජෝන් “වෙන් අයි කිස්ඩ් ද ටීචර්” ගීතමය ජවනිකාවේ කෙටි දර්ශනයකට පෙනී සිටි අතර බෙනී ඇන්ඩර්සන් සරසවියේ කුලපතිවරයකුසේ සුළු රංගනයක යෙදෙයි. 2018 වසරේ මැයි මාසයේදී බොක්ස්ඔෆිස් මැගසින් මඟින් සිනමා පටය ආරම්භක සතියේදී ඩොලර් මිලියන 25 – 30 ක ආදායමක් අමෙරිකාවෙන් හා කැනඩාවෙන් ලැබෙනු ඇති බවට විශ්වාස කරයි.
චම්පිකා දීපානි රණසිංහ