මා වඩාත් ඇලුම් කරන්නේ සාහිත්‍යයට නොව සිනමාවට ය. එසේ හෙයින්දෝ මට නිකොස් කසන්ට්සාකිස් ගේ ‘සොර්බා ද ග්‍රීක්’ නවකතාව කියවන්ට පෙර එය අලළා ග්‍රීක සිනමාකරු මයිකල් කැකොයානිස් අධ්‍යක්ෂණය කළ එනමින් ම යුතු චිත්‍රපටය නරඹන්ට ලැබී තිබිණි. මේ චිත්‍රපටයට මා බෙහෙවින් ම ප්‍රිය කළේ ඇන්තනි ක්වින් නම් වූ ඇමෙරිකානු නළුවා එහි ඇලෙක්සිස් සොර්බාගේ චරිතය නිරූපණය කළ නිසා ය. ඇන්තනි ක්වින් යනු පසුගිය සියවසේ ලෝක සිනමාවේ පහළ වූ විශිෂ්ටතම චරිතාංග නළුවන් ස්වල්ප දෙනාගෙන් කෙනෙකි. ‘සොර්බා ද ග්‍රීක්’ හී ඔහුගේ රංගනය සැබවින් ම අද්විතීය ය. එහෙත් පුදුමයකට මෙන් ඔහු මෙම චිත්‍රපටය එළි දුටු 1965 වසරේ හොඳ ම නළුවා ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර නොවූයේ ය. ඒ වසරේ හොඳ ම නළුවා වූයේ ‘මයි ෆෙයාර් ලේඩි’ නම් වූ කබල් චිත්‍රපටයේ කබල් රඟපෑමක් ඉදිරිපත් කළ රෙක්ස් හැරිසන් ය. කෙසේ වෙතත් ‘සොර්බා ද ග්‍රීක්’ චිත්‍රපටයට වෙනත් සම්මාන තුනක් (හොඳ ම කැමරාකරණය, හොඳ ම සහාය නිළිය හා හොඳ ම කලා අධ්‍යක්ෂණය) ලැබිණි.
‘සොර්බා ද ග්‍රීක්’ නවකතාව 2000 වසරේදී ප්‍රකට දේශපාලනඥයකු වූ සද්ධාතිස්ස වඩිගමංගාව විසින් සිංහලට පරිවර්තනය කරන ලදි. ඒ ‘සොර්බා නම් වූ ග්‍රීකයා’ යනුවෙනි. වඩිගමංගාව ද මා මෙන් මුලින් ම නවකතාව කියවා නොතිබිණි. ඔහු දැක තිබුණේ ද චිත්‍රපටයයි. ඒ; එකල විශ්ව සම්භාව්‍ය චිත්‍රපට රැසකින් යුතු පුස්තකාලයක් පවත්වාගෙන ගිය දේශපාලනඥ අනුර බණ්ඩාරනායක මහතාෙග් නිවෙසේදීය.
ඉන් ටික කලකට පසු පදික වේදිකා පොත් වෙළෙන්දකු ළඟ තිබී ‘සොර්බා ද ග්‍රීක්’ නවකතාවේ පිටපතක් වඩිගමංගාවට අහම්බෙන් මෙන් සොයා ගන්ට ලැබිණි. ඒ සත පනහකට ය. ඔහු පොත පරිවර්තනය කරන්ට පටන් ගත්තේ ය. ‘සොර්බා නම් වූ ග්‍රීකයා’ පොත එළිදක්වද්දි වඩිගමංගාවගේ වයස අවුරුදු හැත්තෑ දෙකකි. වයසින් කෙසේ වෙතත් සිතුවිලිවලින් නම් හෙතෙම තරුණයකුව සිටි බව මේ පරිවර්තනය මනාව සාක්ෂාත් කළේ ය. එය ඔහුගේ පළමු සහ එකම පරිවර්තන කෘතියයි. දේශපාලන මඩ ගොහොරුවට නොවැටි තරුණ වියේ සිට ම සාහිත්‍ය කලා කෙරෙහි උද්යෝගයක් දක්වා එහි ක්‍රියාකාරි විණි නම් වඩිගමංගාව ගෙන් අදාළ ක්ෂේත්රයන්ට මීට වැඩි සේවයක් ලබාගන්ට ඉඩ තිබිණැ යි අපට කිව නොහැකි ද?
‘සොර්බා ද ග්‍රීක්’ නවකතාව ලියූ නිකොස් කසන්ට්සාකිස් ද එක් අතෙකින් දේශපාලනඥයෙකි. ඔහු වරක් ග්‍රීසියේ අධ්‍යාපන ඇමැති ධුරය පවා දැරුවේය. කසන්ට්සාකිස් සාහිත්‍යකරුවකු, පරිවර්තකයකු, නාට්‍යකරුවකු, කවියකු, දේශාටකයකු මෙන් ම දේශපාලනඥයකු ලෙස ද සාමාන්‍යයෙන් හැඳින්වෙයි.
කසන්ට්සාකිස් ඇතැන්ස් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා පසුව පැරිසියේදි දර්ශනවාදය ද ජර්මනියේදි සාහිත්‍ය හා කලාවද හැදෑරුවේය. ඔහු හෝමර්, ඩාන්ටේ, ගතේ වැනි ලේඛකයන්ගේ කෘති ග්‍රීක බසට පරිවර්තනය කර ඇත.
කසන්ට්සාකිස් නවකතා කීපයක් ම ලියා ඇත. ඒ අතරින් ‘ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජිසස් ක්රයිස්ට්’ පොතද ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය. (මෙය මාර්ටින් ස්කෝසිස් විසින් සිනමාවට නඟන ලද) මෙම නවකතාවෙන් කියැවෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇන ගසා සිටිද්දි උන්වහන්සේට ඇතිවන දුර්පරීක්ෂාවක් හේතුවෙන් කුරුසියෙන් බැස මරිය මග්දලේනා සමඟ විවාහ වී ලෞකික ජීවිතයක් ගත කිරීම පිළිබඳ කතා පුවතකි.
මෙබඳු පෙරළිකාර කෘති නිසා කසන්ට්සාකිස් ග්‍රීක පල්ලියෙන් නෙරපා හරිනු ලැබිණි. ලියූ පොත් ඉල්ලා අස්කර ගන්නා ලෙස බලපෑම් කෙරිණි. එහෙත් ඔහු ඊට අවනත වූයේ නැත. ඔහු මිය ගියායින් පසු ඔහුගේ මළ සිරුරටවත් පල්ලියට නොගැනීමට දේව සභාව කටයුතු කළේය. ‘සොර්බා ද ග්‍රීක්’ කෘතියේ එක් තැනක මෙසේ ලියැවී ඇත.
“දෙවියන් වහන්සේ හොඳ විනෝදයෙන් ඉන්නවා. මිනී මරනවා. අයුක්ති වැඩ කරනවා. ආදරය කරනවා. කරන්න බැරි අමාරු වැඩ කරනවා. හරියට මේ මං වගේ! එයාට හිතු දේ කනවා, හිතූ විදියට ගෑනු ගන්නවා. පැහැදිලි වතුර වගෙ හැඩවැඩ ඇති අලුත් ගෑනු ළමයෙක් යනවා දැක්කොත් ඇති. පපුව ගැහෙන්න ගන්නවා. එතකොට ක්‍රමය පෑදෙනවා. එයා අතුරුදන් වෙනවා. එයා යන්නෙ කොෙහද? කවුද අරගෙන යන්නේ? එයා හොඳ ගෑනු කෙනෙක් නම් එයා කියනවා දෙවියන් වහන්සේ අරං ගියා කියලා. එයා වෛශ්‍යාවක් නම් කියනවා යක්ෂයා අරං ගියා කියලා. ඒත් ලොක්කා දෙවියන් වහන්සේයි යක්ෂයායි එක්කෙනෙක් ම කියලා මං ආයෙත් කියනවා. (පිටුව 272)
දෙවියන් අරභයා කසන්ට්සාකිස් තුළ තිබූ මත චින්තාව නීට්ෂේගේ දර්ශනවාද ඔස්සේ පැන නැඟුණක් යැයි සිතිය හැකිය. දිනක් නිට්ෂේ මහදවල් ලන්තෑරුමකුත් රැගෙන පාරවල් දිගේ ගියේය. එය දුටු ඇතැමෙක් ‘ඔබ සොයන්නේ කුමක්දැ”යි ප්‍රශ්න කළේය. “මං දෙවියන් වහන්සේ සොයනවා” නිට්ෂේ ඊට පිළිතුරු දුන්නේය. කසන්ට්සාකිස් තම උපාධි නිබන්ධයට ලීවේද නීට්ෂේගේ දර්ශනය ගැනය.
‘සොර්බා ද ග්‍රීක්’ හී ප්‍රධාන චරිතය ඇලෙක්සිස් සොර්බා ය. ඔහු අපූර්ව චරිතයකි. ජීවිතය පිළිබඳ, සමාජය පිළිබඳ ඔහුගේ දැක්ම ඔස්සේ මේ චරිතය විහිද යයි. කිසාන්ට්සාකිස් මේ චරිතය මැවුවේ ඔහුට මුණ ගැසුණු ජෝර්ජ් සෝර්බාස් නමැති පතල්කරුවකු ඇසුරෙන් බව පැවසේ. කසන්ට්සාකිස් සොර්බා ගැන මෙසේ ලියා ඇත. “රුසියාවේ සිට ආපසු පැමිණි මම මගේ සිහින ලොවෙන් බැහැර වී සාමාන්‍ය මිනිසුන් සමඟ වැඩ කරන්ට අපේක්ෂා කළෙමි. ඒ සමඟ ම මෙන් මට ඇලෙක්සිස් සොර්බා නම් වයසක පතල් කම්කරුවකු හඳුනාගන්ට ලැබිණි. ජීවත් වන්නන් හෝ මියගියවුන් අතරින් මගේ අරගලයේදී මට උදව් දුන් පිරිස ඉතා අඩුය. මගේ ආත්මයෙහි වඩාත් ගැඹුරට සලකුණු රැඳවූ අය නම් කරන්ට මා අදහස් කළොත් හෙන්මර්, බුද්ධ, නීට්ෂේ, බර්ග්සන් හා සොර්බා සඳහන් කරන්ට මට සිදුවනු ඇත. ජීවිතයට ආදරය කිරීමටත් මරණයට බිය නොවීමටත් සොර්බා මට ඉගැන්වූයේය.”
සෝර්බා ගැන නවකතාවේ කථකයා විස්තර කරන්නේ මෙපරිද්දෙනි.
“ඔව්, මට තේරෙනවා ඔපමණ කලක් මා සොයපු පලකට නැති මිනිහා තමයි සෝර්බා. හොඳ හදවතක්, කෑදර කටක්, රාගාධික ජීවිතයක් තම ලෞකික ආශාවන්ගෙන් ඈත් වී නෑ. කලාව, ආදරය, සුන්දරත්වය, පවිත්රත්වය, අනුරාගය යන මේ සියල්ලෙහි තේරුම මට මානුෂිකව ඉතාම ලිහිල් බසින් වටහා දුන්නේ මේ කම්කරුවායි” (පිටුව 22)
කසන්ට්සාකිස් සංචරක සටහන් ද ලියා ඇත. ඔහු රටවල් ගණනාවක සැරිසැරුවෙකි.
හෙතෙම වරක් ලංකාවට ද පැමිණ තිබේ.
කසන්ට්සාකිස්ට සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබි යුතු බවට අවුරුදු කීපයකදීම යෝජනා වූයේය. එක් අවස්ථාවකදි (1952) එය ඔහුට නොදී මොරියැක් නමැති ආගමික සාරධර්ම කරපින්නා ගෙන පොත් ලියූ ප්රංස ලේඛකයාට දුන්නේය. මෙය විවේචනයට ලක් කළ ශොන්පෝල් සාර්ත්‍රේ, “දෙවියන් වහන්සේ මෙන් ම මොරියැක් ද කලාකරුවකු නොවේ” යැයි උපහාසාත්මකව කියා සිටියේය.
1957 දි කසන්ට්සාකිස්ට නොබෙල් ත්‍යාගය නොලැබුණේ එක ඡන්දයක් අහිමි වීම නිසාය. එවර එය ඇල්බෙයා කැමුට හිමි වූයේය. කැමු පසුකලෙක කියා සිටියේ නොබෙල් තෑග්ගට තමාට වඩා කසන්ට්සාකිස්ට සිය වතාවක් වුව සුදුසු බවයි.
මෙම ලිපිය හමාර කරන්ට මත්තෙන් කෘතියේ එන කථකයාට සෝර්බා පවසන මේ වදන්වැල් මෙසේ බහාලීම සුදුසු යැයි සිතේ.
“ලොක්කා, එක් එක් මිනිහාට වෙන් වූ ස්වර්ග තිබෙන බව මං මීට කලින් ඔබට කියා තියෙනවා. ඔබට ස්වර්ගය කියන්නේ තීන්ත කූඩුවයි, පොතයි. තව කෙනකුට වයින්, රම්, බ්‍රැන්ඩි. තව කෙනකුට සල්ලි ගොඩවල්. මගේ ස්වර්ගය නම් මේ තමා. සුවඳ කළ කාමරයක්, බිත්තියේ එල්ලපු ලස්සන වෛවර්ණ පලස්, සුවඳ සබන්, දුනු සහිත ඇඳක් සහ පරිණාමයෙන් බෙදී ආ ගැහැනිය.”
(පිටුව 176)
සුනිල් මිහිඳුකුල