සංගීතඥයකු වටා ගොඩ නැගුනු අපූරු සිනමා ප්‍රබන්ධය Mr. Holand Opus
හොලිවුඩ් සිනමා කර්මාන්තය ධනවාදයේ මූලිකම අපේක්ෂාව වන ලාබය පරමාර්ථ කර ගැනීමෙන් විනිර්මුක්ත නැත. ලෝක ව්‍යාප්ත බහු ජාතික සමාගම් උදෙසා අවශ්‍ය රසඥතාව නිශ්පාදනය කිරීමේ එක් ඒජන්සියක් ලෙස හොලිවුඩ් සිනමාව ද හැඳින්විය හැකියි. මීට අමතරව ඒ සඳහා විවිධ මාධ්‍යයන්ද වෙයි. මුද්‍රිත මාධ්‍ය අතර FHM, GO, VOGE වැනි අන්තර්ජාතික සඟරාවලට ප්‍රධාන තැනක් හිමි වේ. තත්වය මෙසේ උනත් සමහර හොලිවුඩ් චිත්‍රපට නොතකා හැරිය නො හැක්කේ ඒවා ජනප්‍රිය සංස්කෘතියට ඔබ්බෙන් යන අවස්ථාද දැකිය හැකි බැවිනි.
1995 දී Stephen Herek විසින් අධ්‍යක්ෂණය කල Mr. Holand Opus නැමැති ඩ්‍රාමා ෂානරයට අයත් අමෙරිකානු සිනමාපටය එවැනි එක් අවස්ථාවකි. Herek විසින්ම මීට සමාන සිනමා පටයක් Dead Poet Society නමින් නිපදවා තිබේ.
Mr. Holand Opus සිනමාපටය සංගීතඥයකු වටා ගොඩ නැගුනු අපූරු ප්රබන්ධයකි. Holand එක් අතකින් වෘත්තීමය වශයෙන් පවතින ක්‍රමයට බැඳී සිටින්නෙකි. අනෙක් අතට කිසිඳු බැඳීමකට ලක්ලකල නොහැකි සංගීතඥයකු ද (කලා කරුවෙකු) ඔහු තුල සිටී. කලාකරුවා ජීවත් කරවන්නට නම් ඔහුට මහා පරිමාණ කැප කිරීම්කරන්නට සිදු වේ. රැකියාව අහිමි වුවහොත් ඔහුට කුටුම්භය රැක ගැනීමට නොහැකිය. කෙසේ නමුත් අවසානයේ Holand සංස්කෘතික වීරයෙක් බවට පත් වේ.
කලාව, දේශපාලනය, පෞද්ගලිකත්වය සහ වෘත්තීමය ජීවිතය වටා ගොඩනැගෙන චිත්‍රපටය මේ පිළිබඳ වර්තමාන සංවාදයට ද යොදා ගත හැකි බව පෙනේ.
60 දශකයේ අග භාගයේ සිට 90 දශකයේ කාල පරාසය චිත්‍රපටය තුල නියෝජනය කෙරේ. දෙවන ලෝක යුද්ධය අවසන් වී ඇති අතර බොහෝ යුරෝපා රටවල් මෙන් ම අමෙරිකාව ද යලි ගොඩ නැඟෙමින් ඇති කාලයකි. විශේෂයෙන්ම වර්ගවාදී ගැටුම් උත්සන්න කාලයකි. යුදමය පරිසරය සහ විද්‍යාවේ නම නිපැයුම් හමුවේ බොහෝ රටවල් වලට හිස ඔසවන්නට හැකි වූ යුගයක් ලෙස ද හැඳින්වෙයි. මෙම විද්‍යාත්මක, ආර්ථික, දේශපාලන ගතිකත්වය යුරෝපා සමාජය ඇතුලු අමෙරිකාව ද මොහොතින් මොහොත වෙනස් කළේ ය.
මේ නව තත්වය තුල නව ආකාරයේ දේශපාලන ව්‍යාපාර ද ඇති විය. නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි වැන්නන් වාර්ගිකත්වය පිළිබඳ දේශපාලනයක නියැලුනේ ඒ ඒ රටවල් වලට ගැලපෙන ක්‍රමවේදයන්, මූලෝපායන් සහිතව ය. ජෝන් ලෙනන් සහ බීට්ල්ස් (The Beastles) සංගීත කණ්ඩායම රොක් ඇන්ඩ් රෝල් සංගීතය යොදා ගන්නේ 'සාමය උදෙසා අරගලය' වෙනුවෙනි.
60 දශකයේ සිට 90 දශකය වන විට පැවති සමාජ ආර්ථික ස්වභාවය තුල ගොඩ නැගෙන Holand ගේ ජීවිතයේ සිදූවීම් හරහා ඉන් පිටතට ද ඒවා සම්බන්ධ කරන්නට සිනමාකරුවා උත්සාහ කර තිබේ. සාම්ප්‍රදායික වටිනාකම් වලින් සුසැදි ලෝකය උඩු යටිකුරු වීමත් සමඟ (ඒ සඳහා බල පෑ කරුණු දෙකකි. එක් යුදමය පරිසරයයි, අනෙක විද්‍යාවේ නව නිපැයුම් ය.) අදහස් ප්රකාශනයේ සහ මානව බැඳීම් වල පදනම් ද වෙනස් විය. මේ නව ක්‍රමය මඟින් Holand ගේ ජීවිතය ද ගොදුරු කර ගන්න් සැබෑ කලාකරුවාගේ සදාතනික පැවැත්මේ අර්බුදය ප්‍රේක්ෂකයාට අනාවරණය කරමිනි. Holand තම පුතු වෙනුවෙන් ඔකෙස්ට්‍රාවක් නිමවන්නේත්, අයිරිෂ් (Holand ගේ බිරිඳ) තම සැමියා වෙනුවෙන් සමු දීමේ උත්සවයක් සංවිධානය කරන්නේත්, පවුල ඇතුලු අනෙකුත් සාමාජීව අවකාශය ඇතුලත ද නම්ය වූ ආකාරයේ මානව සබඳතා සඳහා පරමාදර්ශයක් ඇති කිරීම සඳහා ය. තව දුරටත් පවුලේ පැවැත්මට පැරණි සදාචාරයන් වලංගු නොවූ විටෙක අන්‍යෝන්‍ය ආදරය, කැප කිරීම, ඉවසීම සඳහා නිර්ණායක සපන්නේ කෙසේ ද? ඒ සඳහා සිනමාව යොදා ගත් අවස්ථාවක් වශයෙන් ද මෙම සිනමාපටය හැඳින්විය හැකි ය.
චිත්‍රපටයේ පරිධිය ගොඩ නැඟී ඇත්තේ සංගීතයෙනි. එහි කේන්ද්‍රය බවට පත් වන්නේ කුටුම්භයයි. එය කලාකරුවෙකුගේ කුටුම්භයයි. පවතින ක්‍රමයට පහසුවෙන් ඇතුලු විය නොහැකි කුටුම්භයකි එය. එය පවතින ක්‍රමයට දිය වන්නේ වෘත්තීමය ජීවිතයෙනි. මක් නිසාද යත් මේ කලා කරුවාගේ ජීවිතය පවත්වාගෙන යන්නේ වෘත්තීමය ජීවිතයෙන් වන බැවිනි. නමුත් කලාකරුවෙකුට එම සීමාව තුල කොයි තරම් දුරකට රැදී සිටිය හැකි ද? ලබා දී ඇති සීමා බිඳීමෙන් කලාකරුවා බිහි වක අතර එවාට පුද්ගලික ජීවිතය මියැදෙයි (ලෙනන් මෙන්) පුද්ගලික මිනිසාගේ ජීවත් වීම කලාකරුවාගේ මිය යෑම සනිටුහන් කරයි. එක්කෝ ලෙනන් මෙන් විය යුතුය. නැතිනම් Holand කෙනෙකු විය යුතුය. Holand කෙනෙකු වෙනවා යනු වෘත්තීමය සහ පවුල්මය වශයෙන් බැඳුණු මිනිසෙකු වීමයි. නමුත් Holand පවා එබඳු ජීවිතයකට කැමති නැත. කුටුම්භයෙන් ඇති වන පීඩනය තීව්ර කර පෙන්වීම සඳහා පුතු ගේ ගොලු බිහිරි බව යොදා ගෙන තිබෙයි. පුතණුවන්ගේ අසම්පූර්ණ පැවැත්ම Holand සහ අයිරිෂ් ට කෘතීමය අත්දැකීමකි. Holand ට ඔහුව මඟ හැරෙන්නේ එය දරා ගැනීමට නොහැකි නිසා ය. නමුත් චිත්‍රපටයේදී අවධාරණය කෙරෙන්නේ එය නොවේ. ඔහුව මඟ හැරෙන්නේ Holand ගේ කලා ජීවිතය නිසා බවයි ඉන් කියැවෙන්නේ. Holand පුද්ගලික ජීවන සිහිනයකට ඇඳ දැමීමට 'රුවීනා' නම් දෛව ස්ත්රියටද නොහැකිය. අවසානයේ මේ සියලු හැල හැප්පීම් අභිබවා යමින් සංගීත ක්ෂේත්රයේ සිහිවටනයක් නිමවමින් Holand සංස්කෘතික වීරයෙක් බවට පත් වේ.
ලෙනන් මෙන් නොවී පවතින මග සීමා කම් තුලම රැදෙමින් පරමාදර්ශී මිනිසෙකු වන්නට පෙළඹවීමක් කරන්නට මෙම චිත්‍රපටය සමත් නොවන්නේ ක්‍රම විරෝධී විකල්ප සිනමාකෘති මීට වඩා උසස් සිනමා ධාරාවක් වශයෙන් තවමත් අරගලය අත නොහැර ඇති බැවිනි.
| ප්‍රියන්ත ජයරත්න
ඉතින්