ලියෝනාඩෝ ඩා වින්චි: පැරිස් - ලුවර් කෞතුකාගාරයේ ඇරඹුණු දිගු කලක් අපේක්ෂිත ප්‍රදර්ශනය
ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පි ලියෝනාඩෝ ඩා වින්චි මියගොස් වසර 500ක් සැමරීම සඳහා, ලොව වඩාත් මිල අධික චිත්‍ර ප්‍රදර්ශණ අතරට එක්වන දැක්මක් දැන් පැරිසියේදී මහජනතාවට විවෘත වේ.
දශකයකට අධික කාලයක් පුරා සූදානම් කෙරුණු මේ ප්‍රදර්ශණයට රාජ්‍යතාන්ත්‍රික බාධා එල්ල නොවූයේ ද නොවේ.
කෙසේවෙතත්, ඩා වින්චි ගේ ප්‍රකට මොනා ලීසා චිත්‍රයට නිවහන වූ පැරිසියේ ලුවර් කෞතුකාගාරයේ දොරටු, පුනරුද යුගයේ චිත්‍ර හා පින්තාරු 160 වැඩි ප්‍රමාණයක් එළිදැක්වෙන ප්‍රදර්ශණය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 24) විවෘත කෙරිණ. එහි ඇති නිර්මාණ අතරින් ඇතැම් ඒවා දෙවෙනි එලිසබෙත් මහරැජින මෙන්ම බිල් සහ මෙලින්ඩා ගේට්ස් යුවලගෙන් ණයට සපයාගත් ඒවා වේ.
ඉදිරි මාස හතර තුළදී ලක්ෂ පහකට අධික පිරිසක් ප්‍රදර්ශණය කරා ඇදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි අරමුණ වී තිබෙන්නේ අධෝරක්ත තාක්ෂණය සහ වර්චුවල් රියලිටි (virtual reality) මෙන්ම ලියෝනාඩෝ ඩා වින්චි ගේ සටහන් පොත් උපයෝගී කරගනිමින් ඔහුගේ නිර්මාණකරණයේ යෙදුනු ක්‍රමවේද පිළිබඳ ගැඹුරු අවබෝධයක් සැපයීමය.
ඔහුගේ වඩා ප්‍රචලිත චිත්‍ර නිර්මාණ මත හෙලුනු දිදුලන අධෝරක්ත එලියෙන් රහස් රැසක් හෙළිකරගෙන තිබේ. ඩා වින්චි අවසන් කරන ලද නිර්මාණයේ යටින් රූ රටා ස්ථර ගණනාවක් වීම ද ඊට අයත් වේ.
මෙය අදාළ ක්‍රමවේදය උපයෝගී කරගත් පළමු අවස්ථාව නොවේ. ලියෝනාඩෝ ඩා වින්චි ගේ 'ගල් කුළේ කන්‍යාවි' (The Virgin of the Rocks) නම් වූ චිත්රයේ පෘෂ්ඨයට යටින් 'සුරදූතිය හා ළදරු ක්‍රිස්තුන්' සඳහා කෙරුණු රූ රටා සොයාගැනීමට පසුගිය අගෝස්තු මාසයේදී විශේෂඥයෝ සමත් වූහ. ඒ සඳහා macro X-ray fluorescence maps සහ infrared මෙන්ම hyperspectral imaging යන විශේෂ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගැනිණි.
මානව හැඩය මෙන්ම සත්ත්ව හා ශාකවල හැසිරීම පිළිබඳ සිත් ඇලවුණු ලියෝනාඩෝ ඩා වින්චි ඉංජිනේරුවෙක්, මෝස්තර නිර්මාණ ශිල්පියෙක්, විද්‍යාඥයෙක් හා චිත්‍ර ශිල්පියෙක් ද විය.
ගස්වල වැඩීමේ සිට පක්ෂීන් පියා සැලීම දක්වා ඇති සංකීර්ණතා අධ්‍යයනයේ යෙදුනු ඩා වින්චි, චිත්‍ර අනුසාරයෙන් ඒවා සටහන් කොට තැබීය. පියාසර කිරීම ගැන සිත තුළ ඇතිවූ දේ හේතුවෙන්, පියාඹන යන්ත්‍රයක ආකෘතියක් නිමැවීම සඳහා වවුලෙකුගේ පියාපතින් ඔහුට පදනම සැකසිනි. ඒ චිත්රවලින් සමහරක් ද ප්‍රදර්ශනයට එක් කොට තිබේ.
ආයුධ, මෙවලම් හා උපකරණ ආකෘති නිමැවූ අතර වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි තාක්ෂණ ක්‍රමවේද ද ඔහුගේ සටහන් පොත්වල ඇතුළත් වේ.
ණයක් ලෙස ලුවර් හි ප්‍රදර්ශණයට එක් කරගත් වඩා ප්‍රචලිත නිර්මාණ අතරට, චතුරශ්රයක් හා වෘත්තයක් තුළ ඉතා නිවැරදි ප්‍රමාණාත්මකව පෑනක් හා තීන්තෙන් කළ Vitruvian Man (විටෲවියන් මෑන්) නම් චිත්‍රය ද ඇතුළත් වේ.
එය සති අටක් පුරා ප්‍රදර්ශණයේ අංගයක් වනු ඇත. ඉතාලියෙන් පිටට ගෙන යාම තහනම් කිරීමකට උත්සාහ දැරුනු එම චිත්‍රය පැරිසිය වෙත ගෙනෙනු ලැබුවේ පසුගිය සතියේදීය.
එම නිර්මාණය පසෙක හිඳිමින් ප්‍රදර්ශණයේ සම ආවේක්ෂක වින්සන්ට් ඩෙලියුවින් පැවසුවේ විද්‍යාව හා කලාව අතර සබැඳියාවේ වැදගත්කම මේ චිත්රයෙන් පෙන්වන බවය. "ඒ අනුව, මානව ශරීරයේ ශෝභාව මෙයින් පෙන්වනවා" යැයි ඔහු කීය.
"චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔහු කවරෙක්ද, ලියෝනාඩෝ මෙතරම් වැදගත්වන්නේ ඇයි සහ කෙසේද යන්න පෙන්වන්නට අප බලාපොරොත්තු වනවා. විද්‍යාව පදනම් කරගත් සුවිශේෂී හා ආවේණික ක්‍රමවේදයක් ඔහු උපයෝගී කරගත්තා" ඩෙලියුවින් සඳහන් කළේය.
අතිශයින් ප්‍රකට මොනා ලීසා චිත්‍රය මේ ප්‍රදර්ශණයට එහි භෞතික ස්වරුපයෙන්ම එක් නොකෙරෙනු ඇත. ලුවර් කෞතුකාගාරයේ වෙනත් තැනක ආරක්ෂිත වීදුරු වැස්මකින් ආවරණය කර තැබෙන එය අමුත්තන්ට නැරඹීමට ලැබෙන්නේ එම වීදුරුවෙන් එහා සිටය.
වර්චුවල් රියලිටි (virtual reality) අත්දැකීමක් වන එය ලුවර් හිදී ඉදිරිපත් කෙරෙන එවැනි පළමු අත්දැකීම වේ. එය, පියවි ඇසට නොපෙනෙන චිත්රයේ ඇති අංග නිරාවරණය කිරීම සඳහා වූ විද්‍යාත්මක පර්යේෂණ හා බැඳුනු ක්‍රමයක් බව එම ව්‍යාපෘතියේ නිර්මාපකයින් වන විවේ ආර්ට්ස් පැවසීය.
දෙවෙනි එළිසබෙත් රැජිනගෙන් ණයක් ලෙස ලබාගෙන ප්‍රදර්ශණයට ඇතුළත් කෙරෙන අනෙකුත් නිර්මාණ අතරට, බාහිර ලෝකයට විවෘත නොවී රාජකීය වින්ඩ්සර් කාසල් හි රඳවා ඇති නිර්මාණ කිහිපයක් ද වේ.
දෑත පිළිබඳ ලියෝනාඩෝ කළ අධ්‍යයන හා පුරාවෘත්තයන් හි එන ට්‍රෝයි හි හෙලන්ගේ මව, ලීඩා ගේ හිස ද ඒ අතර ඇත.
"තමන්ගේ එකතුවේ ඇති නිර්මාණ 24 ක් එවීමට තරම් එළිසබෙත් රැජින ත්‍යාගශීලී වුණා. ඇය නිසාම, ඔහුගේ චිත්රවල හොඳම එකතුවක් පෙන්වන්නට අපට හැකිවී තිබෙනවා" යැයි ඩෙලියුවින් පැවසීය.
ලියෝනාඩෝ ඩා වින්චි හැරුණුකොට වෙනත් චිත්‍ර ශිල්පීන්ගේ මූර්ති ඇතුළු පුනරුද යුගයට අයත් නිර්මාණ ද මේ ප්‍රදර්ශණයට ඇතුළත් කර තිබේ.
මීට ඇතුළත්ව ඇති සිත්ගන්නා සුලු නිර්මාණ ගොන්න හේතුවෙන් ලක්ෂ හයක පමණ පිරිසක් ප්‍රදර්ශනය කරා ඇදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඩෙලියුවින් බීබීසී සමග පැවසීය.
1452 වසරේ ටස්කනි හි උපත ලද ලියෝනාඩෝ ඩා වින්චි පුනරුද යුගයේ චිත්‍ර ශිල්පියෙක්, මූර්ති නිර්මාණ ශිල්පියෙක්, වාස්තු විද්‍යාඥයෙක් මෙන්ම ගණිතඥයෙක් ද විණි. 1519 මැයි මාසයේදී සිය ජීවිතයෙන් සමුගන්නට පෙර වසර කිහිපය, ප්‍රංශයේ පළමුවෙනි ෆ්‍රැන්සිස් රජුගේ රාජකීය අමුත්තකු ලෙස එරට දිවි ගෙවීය.
මේ කරුණ, ප්‍රංශය හා ඉතාලිය අතර මෑතදී හටගත් දේශපාලනික හා සංස්කෘතිකමය ගැටුමට මුල් විණි.
ප්‍රදර්ශණය සඳහා ක්‍රියාත්මක වෙමින් පැවති විශාල සැලසුම් පසුගිය වසර අග වනවිට සේදී යන්නට බොහෝ ඉඩ කඩ පැවතියේ, නිර්මාණ කිහිපයක් ඉතාලියෙන් පිට කිරීමට එරට දක්ෂිණාංශික, ජාතිකවාදී ලීගය විරුද්ධ වීම මතය. "ප්‍රධාන දේශපාලනික සිදුවීමක කෙලවර" ඉතාලිය සිටි බව ඔවුන්ගේ චෝදනාව විණි.
"ලියෝනාඩෝ ඉතාලියානුවෙක්. ඔහු ප්‍රංශයේදී මියැදුනා පමණයි. ප්‍රංශයට හැමදේම ලබාගන්න බැහැ" යැයි එවක ඉතාලියේ සංස්කෘතික උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ලුෂියා බොර්ගොන්සෝනි පසුගිය නොවැම්බරයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය.
චිත්‍ර නිර්මාණ රටින් ගෙන යාමට ඉඩ හරිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ වැනිසියේ අධිකරණය "ලුවර් ප්‍රදර්ශණයේ විශේෂිත ගෝලීය අදාලතාවක් ඇති අතර ඉතාලියට සිය උරුමයන්ගේ විභවතාව වැඩි වර්ධනය කිරීමේ අපේක්ෂාව" ඇති බවය.
"දැන් ඉතාලි - ප්‍රංශ විශිෂ්ට සංස්කෘතික මෙහෙයුම අනුව යන ප්‍රදර්ශණ දෙකක්, එනම් ලියෝනාඩෝ පැරිසියේත්, රෆායෙල් රෝමයේත් දැන් අරඹන්නට පුළුවන්" යැයි අධිකරණ තීන්දුවෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉතාලියේ සංස්කෘතික උරුම පිළිබඳ අමාත්‍ය ඩාරියෝ ෆ්රාන්සෙස්චෙනි පැවසීය. වසර ගණනක් පුරා වැනිසියේ පිහිටි දේශගුණික පාලනයකින් යුතු කාමරයක රඳවා තැබුණු Vitruvian Man චිත්‍රය පැරිසියට ගෙනයාමේ එකඟතාවට එළැඹෙද්දී, අර්බුදය ඉතාලි අධිකරණ ශාලාවකදී පසුගිය සතියේ සමථයකට එළැඹිණි.
මාල් සිරෙට්
බීබීසී ප්රවෘත්ති, පැරිස්
උපුටා ගැන්ම: BBC සිංහල සේවය