lan englan tam

මනස ලෙඩ කරන රෝග ගැන ඔබ දැනුවත්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝකයේ විවිධ හේතු සාධක නිසා විවිධ වර්ගයේ මානසික රෝග පුද්ගලයන්ට වැළඳේ. ඒවා මෙලෙස දැක්විය හැකිය. මෙම මානසික රෝගවල ඇති විවිධ ලක්ෂණ අනුව මේවා තවත් අනු කාණ්ඩ වලට වර්ගීකරණය කරයි.


ඩිමෙන්ෂියාව (Dementia )

අමතක වීම ප‍්‍රධාන රෝග ලක්ෂණය වේ. එය අසාමාන්‍ය තත්ත්වයකි. මහලූ වයසේ පසුවන පුද්ගලයන්ට මෙම රෝගය බහුල වශයෙන් ඇත. අංශභාගය වැනි රෝග ඇති පුද්ගලයන්ගේ මොළයට සිදුවන බලපෑම සහ හානිය නිසා ද මෙම රෝග තත්ත්වය ඇති වීමට ප‍්‍රවණතාවක් ඇත. මොළයට දැඩි ලෙස හානි සිදුවීම නිසා ද මෙම තත්ත්වය ඇති විය හැක. Vascular Dementia යනු අංශභාගය වැනි රෝග තත්ත්වයන්ගේ බලපෑම නිසා ඇති වන අමතක වීමේ Dementia තත්ත්වයයි.


Substance Abuse

මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය සඳහා අධික ලෙස ඇබ්බැහි වූ පුද්ගලයන්ට මෙම රෝගය ඇති විය හැකිය. මෙහි බලපෑම කොතෙක් ද යත් ඔවුන්ට මත්ද්‍රව්‍ය සහ මත්පැන් නොමැතිව සිටිය නොහැකිය. එය පාලනය කර ගත නොහැකි තත්ත්වයකි. මත්ද්‍රව්‍ය සහ මත්පැන් නොමැතිව සිටීමෙන් බියට පත් වී කෑ ගැසීම, වෙව්ලීම, බොරු කීම, ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම සහ අමතක වීම වැනි ලක්ෂණ ඇති වේ. Dependence Syndrome, Delirium Syndrome, Amnestic Syndrome යනු Substance Abuse ගණයට අයත් අනෙක් රෝගයන්ය.


භින්නෝන්මාදය (Schizophrenia)

දරුණුම මානසික ආබාධයකි. මායාවන් ඇති වීම, කලකිරීම, සැකය, දුක, සියදිවි නසා ගැනීමට තැත් කිරීම, හිස් බව, ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සහ අධික සතුට ආදිය ප‍්‍රධාන ලක්ෂණ වේ. මෙහි රෝග තත්ත්වයන් ගණනාවකි. Schizophrenia අධික සැකය ඇති වීම, Hebephrenic Schizophrenia අධික සතුට සහ ජීවිතය අසාර්ථක බව Catatonic Schizophrenia බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීම, post schizophrenic Depression වලදී දැඩි කලකිරීම සහ නිතරම කල්පනා කිරීම ප‍්‍රධාන ලක්ෂණයන්ය. Persistent Delusional Disorder වල ප‍්‍රධාන ලක්ෂණය වන්නේ අනෙක් අය පිළිබඳව ඇති දැඩි සැකයයි. මෙලෙස රෝග ලක්ෂණ අනුව තව දුරටත් මෙම රෝගය වර්ගීකරණය කර ඇත.


Mood Disorders

මෙම රෝගයේ ප‍්‍රධාන කොටස් දෙකකි. Manic Episode වල ප‍්‍රධාන ලක්ෂණ වන්නේ මෙම රෝගය ඇති පුද්ගලයන් එක් කාලයක දී එක දිගට එක කාර්යයක නිරත වන අතර අධික ක්‍රියාකාරිත්වයෙන් යුක්ත වේ. එමෙන්ම ඉතාම සතුටින් කාලයක දි ජීවත් වෙයි. නමුත් මෙම රෝගයේ අනෙක් අන්තය වන විට එක් කාලයකදී එම රෝගීන් ඉතාම දුකෙන් ජීවත් වෙයි. මුලින් පැවති ක්‍රියාකාරී බව අඩු වේ. නිතරම කල්පනා කිරීම සිදු කරයි. එම තත්ත්වය නිසා විශාදය සෑදීමට ප‍්‍රවණතාවක් ඇත. මෙම රෝගයේ අන්ත දෙකක් ඇති නිසා එය Bipolar Diseases යනුවෙන් ද හඳුන්වයි.


Dissociative Disorders

මෙම රෝගයේ ප‍්‍රධාන ලක්ෂණය වන්නේ පුද්ගලයාගේ යටි සිතෙහි ඇතිවන ක්‍රියාරයාකාරිත්වය සහ මතකය නැති වීම නිසා තමා කවුද යන්න පිළිබඳ පවා අමතක වී තමාගේ අනන්‍යතාවය පවා හඳුනා ගැනීමට නොහැකි වීමයි. මෙහිදී එවැනි රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයන් විවිධ අවස්ථාවන්වල විවිධ පුද්ගලයන් වශයෙන් හැසිරේ. නිදසුනක් වශයෙන් මෙම රෝගය ඇති වෛද්‍යවරයෙකු වන අයෙක් කාලයකදී අතුරුදන් වී වෙනත් ස්ථානයක අත් උදව්කරුවෙකු වශයෙන් සේවය කිරීම. මෙම රෝගය ඇති පල්ලියක සේවය කරන එක්තරා පූජකයෙකු සම්බන්ධ කතාවකට අනුව ඔහු එක් කාලයකදී පල්ලියෙන් අතුරුදහන් වේ. එහිදී ඔහු වෙනත් ප‍්‍රදේශයකට ගොස් වෙළෙඳ සලක අත් උදව්කරුවෙකු වශයෙන් සේවය කරයි. එහි දී ඔහුට තමන් පූජකයෙකු බව මුළුමනින්ම අමතක වේ. මෙය එම රෝගයේ ස්වභාවයයි.


Somatoform Diseases

අනෙක් අයගේ අවධානය ලබා ගැනීමට නිතරම කටයුතු කරයි. තමාට ඇත්තටම රෝගයක් නොමැති වුවද කුමන හෝ රෝගයක් ඇති බවට අඟවා ඒ තුළින් අනෙක් අයගේ අවධානය ලබා ගැනීමට උත්සාහ කරයි.


Eating Disorders

මෙම රෝගයේ වර්ග රාශියක් ඇත. ඇතැම් පුද්ගලයන් ආහාර සම්බන්ධ කරුණුවල දි මානසික රෝගයන්ගෙන් පීඩා විඳින බව ඔබ දන්නවා ද? Anorexia Nervosa යන රෝගයේ දී ඉතාම කෙට්ටු පුද්ගලයන් තමා ඉතා මහත බව සිතා ආහාර පාලනය සිදු කරයි. තරුණ කාන්තාවන්ට මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින බව සොයාගෙන ඇත. Bulimia Nervosa යන රෝගයේ දී වැඩියෙන් ආහාර ගෙන තමා ආහාර ගත්තා වැඩි යැයි සිතා එම ආහාර වමනය කිරීම සිදු කරයි.


Sleeping Disorders

නින්දේ ඇතිවන අක‍්‍රමිකතා සහ මානසික ව්‍යාකූලත්වය යටි සිතෙහි ඇති වියවුල් සහගත බවල මානසික කම්පනය වැනි තත්ත්වයන් මෙම රෝගී තත්ත්වයට හේතු වේ. මෙහි ප‍්‍රධාන කාණ්ඩ කිහිපයකි. ඒ අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.


Insomnia - නින්ද නොයෑම ප‍්‍රධාන ලක්ෂණය වේ
Hypersomnia - නිතරම නිදා ගැනීම ප‍්‍රධාන ලක්ෂණය වේ.
Sleep Walking -නින්දෙන් ඇවිදීම මෙය දරුණු රෝගයක් නොවේ. නමුත් එහිදී එම පුද්ගලයාට අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත.
Night Mares - නින්දෙන් අවදි වීම, භය වීම, හීනෙන් කතා කිරීම ප‍්‍රධාන ලක්ෂණ වේ. කුඩා ළමුන්ට මෙම තත්ත්වය බහුලව ඇත.
Night Terrors - මෙය ඉතාම දරුණු තත්ත්වයකි. නින්දෙන් අවදි වීම සහ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම, ඇතැම් විට මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට ද යොමු වේ.

Sexual Disorders

ලිංගිකත්වය මත ඇතිවන මානසික රෝගයන්ගෙන් ඇතැම් පුද්ගලයන් පීඩා විඳියි. මෙම රෝග තත්ත්වය පිරිමි පුද්ගලයන් අතර බහුලවම දැකිය හැකිය. මෙම රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් සමාජයට බෙහෝ කරදර සිදු වේ. කුඩා දරුවන් සහ සෑම වයස් මට්ටමකම පසුවෙන කාන්තාවන්ට මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාවන් නිසා දැඩි ලෙස අපහසුතාවන්ට ලක් වේ. මෙම මානසික රෝගයන්ගෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන් මනුෂ්‍ය ඝාතන පවා සිදු කිරීමට පෙළඹේ. එමෙන්ම පවුල් ජීවිත අසාර්ථක වීමට ද මෙවැනි රෝග තත්ත්වයන් බලපායි. මෙවැනි රෝගීන් ඉතාම දරුණුය. මෙවැනි රෝග සඳහා මානසික ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. රෝග ලක්ෂණ අනුව මෙහි වර්ග කිහිපයකි.


Lack of Desire - ලිංගික ක්‍රියාවන්ට දැඩි ලෙස අකමැති වීම මෙහි ප‍්‍රධාන ලක්ෂණයකි.
Vaginismus - ලිංගික කටයුතු සඳහා උනන්දුවක් නොමැති වීම. අතවරවලට ලක් වීම වැනි වේදනාකාරී ලිංගික අත්දැකීම් ඇති බොහෝ කාන්තාවනට මෙම තත්ත්වය ඇත.


මීට අමතරව Failure for Sexual Arousal, Orgasmic, Preamture Ejaculation, Excessive Sexual Desire යනුවෙන් මෙම වර්ගයේ තවත් රෝග ඇත. මෙම රෝග බොහොමයක්ම අසාමාන්‍ය ලිංගික ආශාවන් සහ අසහනයන් නිසා හෝ ලිංගික කටයුතු සඳහා අකමැති වීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් වේ.


Personality Disorders (පෞරුෂ ආබාධ)

පුද්ගලයාගේ පෞරුෂයේ ඇතිවන විවිධ ආබාධ නිසා මෙම මානසික රෝගී තත්ත්වය ඇති වේ. සුවිශේෂිත රෝග ලක්ෂණ අනුව පෞරුෂ ආබාධ වර්ග කිහිපයකි.


Obsessive Compulsive Disorder (OCD)

අධික පිරිසිදු බව අධික පිළිවෙළ සහ එකම කි‍්‍රයාව නැවත නැවත සිදු කිරීම නැවත නැවත එකම දේ පිළිබඳව සිතීම ඒ නිසා මානසික වශයෙන් ඇති වන අසහනකාරී බවක් ඇති වේ. නමුත් අනෙක් මානසික රෝග මෙන් ජීවිතයට එතරම් බලපෑමක් ඇති නොවේ. මෙම රෝග තත්ත්වය ලංකාවේ මිනිසුන්ගෙන් 7%කට පමණ ඇත. මෙහිදී එකම සිතුවිල්ල නැවත නැවත සිතීම නිසා එකම ක්‍රියාව කිහිප වරක් කිරීම දැකිය හැකිය. (Obsession ), (Compulsion)¡. අනිවාර්යෙන්ම මෙම රෝග ලක්ෂණයන්ගෙන් එකක් තිබිය යුතුය. මොළයේ සිදුවන ක්‍රියාකාරිත්වයේ ඇතිවන අසමතුලිතතාවයන් මොළයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් සහ ජානමය හේතු සාධක මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපායි. ඖෂධ ප‍්‍රතිකාර සහ මනෝ උපදේශනය යන ප‍්‍රතිකාර ක‍්‍රම දෙකම මෙහිදී ලබාදිය යුතුය. Medication Psychotherapy, CBT, Exposure and Response Prevention යන ප‍්‍රතිකාර ක‍්‍රම ද මෙම රෝගය සඳහා නිර්දේශ කරයි. Exposure and Response Prevention යන ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් රෝගියා එකම ක්‍රියාව නැවත නැවත සිදු කරන වාර ගණන අඩු කිරීම සිදු කරයි.


Paranoid Personality Disorder - අනෙක් අය නිතරම සැක කිරීම

Anti-Social Personality Disorder ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම ප‍්‍රධාන ලක්ෂණය වේ. ඔවුන් නිතරම සමාජයේ ජීවත් වේ. මත්පැන් සහ මත් ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම ස්තී‍්‍ර දූෂණය මිනිස් ඝාතන සිදු කිරීම සොරකම් කිරීම මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම වැනි සමාජ විරෝධී කි‍්‍රයාවන් වල මෙවැනි පුද්ගලයන් නිරත වන අතර ඔවුන්ට තමන් කරන වැරදි පිළිබඳ පසුතැවීමක් ද නොමැත. සමාජය පිළිගත් සම්මතයන්ට පටහැනි චර්යාවන් මෙම පුද්ගලයන් තුළ දැකගත හැකිය.


Borderline Personality Disorder - නිතරම ආවේගශීලි ලෙස හැසිරීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමේ ඇති වන දුෂ්කරතා ප‍්‍රධාන ලක්ෂණය වේ. මෙම පුද්ගලයන්ට ඇත්තේ තාවකාලික සම්බන්ධතාවන්ය.
මීට අමතරව කුඩා ළමුන්ට ඇති මානසික ආබාධයන් කිහිපයක් ද ඇත.


ADHD - අධි ක්‍රියාකාරී දරුවන් ආවේගශීලි හැසිරීමල වැඩි වෙලාවක් අවධානය රඳවා තබා ගැනීමට නොහැකි වීම මෙහි ප‍්‍රධාන ලක්ෂණ වේ.
Conduct Disorder - සොරකම් කිරීම සතුන් මැරීම සහ අන් අයට හිංසාවන් සිදු කිරීම වැනි සමාජ විරෝධී ක්‍රියාවන් සිදු කිරීම.
Oppositional Defiant - අන් අයට සවන් නොදීම සහ දැඩි අකීකරු බව
Elective Mutism - අන් අය සමග කිසි විටෙකත් කතා නොකිරීම - පාසලේදී යහළුවන් සමග කතා නොකිරීම
Tic Disorders - අසභ්‍ය වචන භාවිතය සහ ආවේගශීලි බව
Enuresis - වයස අවුරුදු හතෙන් පසුව දරුවාට නිතරම රාත්‍රියේදී නින්දේ දී මුත‍්‍රා පිට වීම රෝගී තත්ත්වයකි.
Encopresis - නිරන්තරයෙන් දරුවාට නිවසෙන් බැහැරව සිටින විට නිදසුනක් වශයෙන් පාසලේදී නිතරම මළපහ විම ද රෝගී තත්ත්වයකි.
Stammering - කතා කරන විට ගොත ගැසීම


කුඩා ළමුන්ට ඇති මෙම මානසික ආබාධයන් එතරම් දරුණු ඒවා නොවන අතර ඒ සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම ලබා දී සුවය ලබාගත හැකිය.
ඉහත දක්වා ඇත්තේ මානසික රෝග පිළිබඳ කෙටි හැඳින්වීමකි. ඉහත සඳහන් කරන ලද මානසික රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. එම ප‍්‍රතිකාර මගින් රෝගීන්ට සුවය ලබාගත හැකිය. ඉහත සඳහන් කරන ලද මානසික රෝගයන්ට අමතරව තවත් මානසික රෝග බොහොමයක්ම ඇත. මෙම මානසික රෝග ඇති පුද්ගලයන්ගේ ක්‍රියාවන් කිසිසේත්ම ඔවුන් සිතා මතා සිදු කරන දේවල් නොවේ. එය රෝගයේ ස්වභාවයයි. එම චර්යාවන් ඔවුන්ට පාලනය කරගත නොහැකිය

.
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ පාඨමාලාව ඇසුරෙනි.)

කේ.ජී. හර්ෂණී එරන්දිකා කුමාරි
පර්යේෂණ සහකාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Back to top
Go to bottom