lan englan tam

සෙමින් ආහාර ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකර වන්නේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රූපවාහිනිය නරඹන අතරතුර හෝ දුරකතනය භාවිත කරමින් ඒ වෙත අවධානය යොමු කර සිතීමකින් තොරව ආහාර ගැනීම පහසු නමුත් අධ්‍යයනවලින් පෙනී යන්නේ, සෙමින් සහ අවධානයන් යුතුව ආහාර ගැනීම සැබවින් ම උපකාරී විය හැකි බව යි.

ආහාර දිරවීමේ සහ තෘප්තියේ සිට බර කළමනාකරණය සහ සමස්ත සෞඛ්‍යය දක්වා අප ආහාර ගන්නා වේගය අපගේ ජීවිතවලට බලපායි.

ජීර්ණය

"ආහාර හෙමින් හපද්දී ඒවා සෙමෙන් කුඩා කැබලිවලට කැඩිලා දිරවීම පහසු කරනවා. මම බොහෝ අවස්ථාවලදී මගේ රෝගීන්ට සරල උදාහරණයක් මතක් කරලා දෙනවා: 'බඩේ දත් නැහැ, ඒ නිසා ආහාර විශාල කැබලිවලින් ආවා ම, ආහාර දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී වනවා වගේ ම කාර්යක්ෂමතාව අඩු වනවා," බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයේ පුහුණුව ලත් පෝෂණවේදිනියක වන ලිවියා හසෙගාවා පැහැදිලි කරයි.

"ඊට අමතරව, හපද්දී කෙළවල තියෙන ආහාර ජීර්ණ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරනවා වගේ ම, පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි දියුණු කරනවා," යනුවෙන් ද ඇය පැහැදිලි කරයි.

ආහාර නිසි ලෙස සපා නොකන්නේ නම්, ආමාශයට පැවරෙන කාර්යභාරය වැඩි වන අතර එය බඩ පිපීම සහ ආහාර දිරවීම ප්‍රමාද කිරීමට හේතු විය හැක.

"ඒ නිසා තමයි සමහර අයට කෑම කෑවට පස්සේ පැය ගණන් බඩ පිපිලා තියෙන්නේ සහ අලස බවක් දැනෙන්නේ," හසෙගාවා තවදුරටත් පවසයි.

ආහාර සැපීම සඳහා නිශ්චිත වාර ගණනක් නියම කර නොමැති වුව ද, ඒ ගැන අවධානය යොමු කිරීම හෝ ගණනය කිරීමට වඩා ආහාර ගිල දැමීමට හැකි වන ලෙස මෘදු, කළමනාකරණය කළ හැකි ආකාරයෙන් ආහාර සැපීමට අවධානය යොමු කළ යුතු බවට එම විශේෂඥයා උපදෙස් ලබා දෙයි.

"ඊට අමතරව, අවධානය වෙනතකට යොමු කර ආහාර ගන්න එක, ඒ කියන්නේ රූපවාහිනිය නැරඹීම, දුරකතනයක් භාවිත කරමින් හෝ නොනවත්වා කතා කර කර ආහාර ගැනීමේදී හපන එකට ඍණාත්මකව බලපාන්න පුළුවන්. මේකෙන් ආහාර ගැනීමේ වේගය වැඩි වීම හෝ බඩ පිපීමට හේතු වෙන වාතය වැඩියෙන් ඇතුළු වීම සිද්ධ වෙන්න පුළුවන්,"ඇය තවදුරටත් පවසයි.

තෘප්තිය සහ බර වැඩි වීම

මෙමගින් ආහාර දිරවීමට ඇති කරන බලපෑම් සමග ම, බර වැඩිවීමේ ගැටලුව ද පැමිණේ.

"ඉක්මනින් ආහාර ගැනීම, ශක්තිය ලබා ගැනීමේ වේගය කරනවා. ඒකෙන් විනාඩියකට ගන්න කැලරි ප්‍රමාණයත් වැඩි වෙනවා. පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ, වේගයෙන් ආහාර ගැනීම අධික ලෙස ආහාර ගැනීම පහසු කරවනවා කියලා," පෝෂණ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සහ නිව් යෝර්ක්හි කෝනෙල් විශ්වවිද්‍යාලයේ ෂ්ලයිෆර් ෆැමිලි මහාචාර්ය සැන්ඩර් කර්ස්ටන් විස්තර කරයි.

සෙමින් ආහාර ගැනීමෙන් ඔබේ මුඛයේ ආහාර දිගු කාලයක් තබා ගත හැකි බවත්, එය ඔබේ ශරීරයට ආහාරවල රසය හොඳින් දනවා දිරවීම කලින් ආරම්භ කර හෝමෝන මුදා හැරීමට උපකාරී වන බව ඇය පවසයි.

"තෘප්තිමත් බව දනවන හෝමෝන මුදා හරින්න මොළයට මිනිත්තු කිහිපයක් ගතවනවා. ඉක්මනින් ආහාර ගන්නා පුද්ගලයින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පරිභෝජනය කිරීමට නැඹුරු වෙනවා, මොක ද ඔවුන්ගේ සෑහීමට පත්ව ඇති බවට සංඥා කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොමැතිවීම නිසා."

එහි ප්‍රතිඵලය වන්නේ කැලරි අතිරික්තයක් වන අතර ශරීරය ඒවා මේදය ලෙස ගබඩා කර ගනියි.

දිගු කාලීන සෞඛ්‍ය අවදානම්

ඉක්මනින් ආහාර ගැනීමෙන් අම්ල පිත්ත රෝගය (acid reflux) සහ ගැස්ට්‍රයිටිස් වැනි ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ගැටලු තවත් උග්‍ර විය හැකිය. ඊට අමතරව, අම්ල පිත්ත රෝගය ඇති ඊට නැඹුරු පුද්ගලයින් ඉක්මනින් ආහාර ගැනීම හේතුවෙන් ඔවුන්ගේ රෝග ලක්ෂණ තවත් උග්‍ර විය හැකිය.

හසෙගාවාට අනුව, "තවත් තීරණාත්මක දෙයක් තමයි වන්නේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන්ට ඇති කරන බලපෑම. ආහාර විශාල කැබලිවලින් බඩවැල්වලට ගියා ම, ඒක බඩවැල්වල ඉන්න බැක්ටීරියාවල සමතුලිතතාවට බාධා කළ කරන්න පුළුවන් වගේ ම, සමස්ත ආහාර ජීර්ණ පද්ධතියට ම බලපානවා."

මෙම පුරුද්ද දිගුකාලීනව පැවතියොත්, විශේෂයෙන් අනෙකුත් සෞඛ්‍යයට අහිතකර හැසිරීම් සමග එකතු වූ විට, එය තරබාරුකමට හේතු විය හැකි බව ත්, දෙවන වර්ගයේ දියවැඩියාව, අක්මාවේ මේදය තැන්පත් වීම, හෘද රෝග, අධිරුධිර පීඩනය සහ මහා අන්ත්‍ර, පියයුරු සහ අග්න්‍යාශ පිළිකා වැනි ඇතැම් පිළිකා වර්ග ඇතුළු විවිධ පරිවෘත්තීය සංකූලතා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බව ත් ඇය පෙන්වා දෙයි.

ආහාර ගැනීමේ වේගය අඩු කර ගැනීමට උපදෙස් කිහිපයක්

වඩා හොඳ ආහාර පුරුදු ඇති කර ගැනීමට බලාපොරොත්තු වන අය සඳහා, හසෙගාවාගේ පළමු ඉඟිය වන්නේ, ඔබේ ආහාර ගන්නා විට වරින් වර ඔබ භාවිත කරන හැඳි ගෑරෙප්පු පිඟාන මත තබන ලෙස ය.

"හැන්ද නැත්නම් ගෑරුප්පුව හැම වෙලාවෙ ම අල්ලගෙන ඉන්න එපා, මොකද ඒකෙන් ඔයාට නොදැනුවත්ව ම ගොඩක් වේගයෙන් කන්න පුළුවන් වෙනවා," ඇය පැහැදිලි කරයි.

"හැඳි ගෑරෙප්පු මේසය මත තියලා නැවත ගැනීම යන සරල ක්‍රියාවෙන් වේගය අඩු කරනවා. ඒක තමයි පළවෙනි ඉඟිය. හැඳි ගෑරෙප්පු පාවිච්චි කරන්න. කටක් කන්න. ඊළඟ කට කන්න කලින් පිඟානෙන් තියෙන්න."

ආහාර මෘදු වන තෙක් සහ මුඛයට ආහාර 'තලපයක්' ආකාරයෙන් දැනෙන තුරු හපන ලෙසට ද හසෙගාවා යෝජනා කරයි.

"ඒ හැඟීම ඔබ හොඳින් හපන බවට සංඥා කරනවා. එතකොට ස්වභාවිකව ම ඔබේ වේගය අඩු කරනවා."

අවධානය වෙනතකට යොමු කරන දේවල් වළක්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ. රූපවාහිනිය නරඹන අතරතුර හෝ ඔබේ දුරකතනය භාවිත කරන අතරතුර ආහාර ගැනීමෙන් ඔබ කොපමණ ප්‍රමාණයක් සහ කොපමණ වේගයෙන් ආහාර ගන්නවා ද යන්න පිළිබඳ අවබෝධය නැති විය හැකිය. ආහාර ගැන අවධානයෙන් සිටීම ද උපකාරී වේ.

"කෑම කන අතරතුර ඕනෑවට වඩා කතා නොකිරීමට උත්සහ කරන්න. සංවාද ඔබේ අවධානය වෙනතකට යොමු කළ හැකි අතර ම ඔබ නොදැනුවත්ව ම ඔබේ ආහාර ගැනීමේ වේගය වැඩි කරන්න පුළුවන්. ඒ නිසා අඩුවෙන් කතා කිරීම ඔබ ඔබේ ආහාර වේලට වඩා ත් සම්බන්ධ කර තබා ගැනීමට උපකාරී වෙනවා," හසෙගාවා සඳහන් කළා.

 

කර්තෘ - ජූලිය ග්‍රැන්කි

මූලාශ්‍රය - (BBC News සිංහල ඇසුරිනි)

Back to top
Go to bottom