'Judgementall Hai Kya' - රාවණාට මුහුණු ගොඩයි
Dark Comedy කියන චිත්‍රපට ෂානරය බොහෝ විට විකාරරූපී සොබහවයකින් යුක්තයි. හමුවන චරිත බොහෝමයක්ම විෂම මානසික තත්ත්වයන්ගෙන් යුක්ත වූවන්. හාස්‍යය කියන දේ ඉස්මතු කරන අතරතුරදීම දරුණු දේත් ඊටම ඇතුළත් කරවනවා. බොලිවුඩය තුළින් මෑතකදී දකින්නට ලැබුන Dark Comedy රටාව තුළ හැමදාමත්ම නැවුම් බවක් දකින්නට ලැබුනා. 'Judgementall Hai Kya' කියන්නෙත් එවන් වෙනස් රසයක් ගෙන දෙන අමුතුම වර්ගයේ චිත්‍රපටයක්.
"බොබී" එහෙමත් නැත්නම් කුඩා කලදී මුහුණ දුන් දරුණු සිදුවීමක් නිසාම පසුකාලීනව මානසිකව ව්‍යාධියකට ලක් වූ නමුත් හඬකැවීම් ශිල්පිනියක් ලෙසින් වෘත්තීයක නියැලෙමින් ඇයගේ භූමිකාව විවිධාකාර මට්ටමේ හැළහැප්පීම් වලින් යුක්තයි. ඇගේ වෘත්තීය තුළ ඈ නිපුණියක්. නමුත් ඇගේ හැසිරීම් රටාව තුළ නම් යම් යම් අවුල් සහගත තත්ත්වයන් පවතිනවා. හිතමිතුරන් රහිතව හුදෙකලාව ගෙවන ඇගේ දිවිය තුළ සමීපතමයන් අල්පයි. ඔවුන්ටත් ඇගේ හැසිරීම් රටාවන් එක්ක ඔට්ටු වෙන්නට අපහසුයි. ඈ සැකෙන් පෙළෙන්නියක්. කුඩා කල සිදුවීමෙන් හටගත් කම්පණය හේතුවෙන් සැබෑ ලොව තුළ ඈ දකින සියල්ලම අනාරක්ෂිතයි. කවුරුන් කොයි වෙලේ කාට අනතුරක් සිදුකරාවිද, වහාම අනතුරට පත්වන්නට නියමිත පුද්ගලයාට අනතුරු ඇඟවිය යුතුය, අනතුර සිදුකරන්නාට එරෙහිව සටන් කළ යුතුය යනාදී වශයෙන් ගොඩනැගෙන මානසික අසමතුලිතතාවකින් ඇගේ මනස තුළ නිරන්තරයෙන්ම රැව් දෙනවා.
මේ අතරතුරදීයි ඇගේ නිවහනේ ලැඟුම් ගන්නට එන අලුත් බැඳපු යුවළකගේ ආගමනය සිදුවන්නේ. ආගන්තුක පිරිමියාව දුටු පළමු මොහොතේ පටන්ම මෙන්න ඇගේ සිත තුළ සුපුරුදු සැකය පහළ වෙලා. මේ මනුස්සයා ගුප්තකාරීයි. මොහුගෙන් අනතුරක් සිදුවිය හැකියි. මොහු සැබෑ මුහුණ සඟවාගත් වෙස් මුහුණක් දමා ගත් අයෙක්. මොහු ගැන ඇස ගසාගෙනම සිටිය යුතුයි. මේ සියල්ල ඇගේ සිතේ පැළපදියම් වන විට ඈ කෙටි කාලීනව මානසික රෝහලක ප්‍රතිකාර ලබා පැමිණියා පමණයි. නැවතත් සුපුරුදු පිස්සුව ඇරඹීමට නියමිතයි. එතැන් පටන් ඇරඹෙන "බොබී - කේශව්" අතර හටගන්නා අපූරු සංග්‍රාමයක තතු සමඟින්, නොසන්සිඳෙන කුතුහලයක උපරිම පහස මැදින් දිගහැරෙන කතන්දරය තුළ නරඹන්නට ලැබෙන සියලුම දේ නොනවතින රසාස්වාදයකට නතුයි.
රධාන වශයෙන්ම මෙම නිර්මාණයේ අඩංගු සුවිශේෂීම දේ වෙන්නේ අදාළ චරිතයට වඩාත්ම ගැළපෙන රංගන ශිල්පිනියව තෝරාගැනීමේ ගුණාංගයයි. බොබී වෙනුවෙම් Kangana Ranaut ගේ නිරූපණය අති සාර්ථක අති ආකර්ශනීය එකක්. වියවුල් සහගත වගේම අභියෝගාත්මක චරිත විස්තරයක් වෙනුවෙන් ඇගේ දායකත්වය උපරිමයෙන්ම දකින්නට හැකියි. චිත්‍රපටය තුළ වැඩිම අවධානයක් ලැබෙන්නේත් ඇගේ භූමිකාව කෙරෙහිම පමණයි. අනපේක්ෂිතව ඇගේ සැකයට භාජනය වීමෙන් දැඩිව අපහසුකාරී තත්ත්වයකට පත් වන ඇගේ ප්‍රතිවාදියා කේශව් වෙනුවෙන් හොඳ සහායක් Rajkumar Rao ගෙන් ලැබෙනවා. සාමාන්‍යයෙන් ලැබෙන සෑම චරිතයකටම හොඳ සාධාරණයක් ඉටු කරන්නෙකු විදිහට මෙහිදී ඔහුට පැවරෙන බොබී ගේ උමතුවට ප්‍රතිචාර දක්වන්නාගේ භූමිකාවක් වෙනුවෙන් හොඳ රංගනයක් ඔහුගෙන් දකින්නට හැකියි. පසුතළයන් සහ ඇඳුම් නිර්මාණයන් ඇතුළු සමස්ත කලා අධ්‍යක්ෂනය කෙරෙහිත් වැඩි අවධානයක් යොමු වෙන්නේ භාවිතා කර තිබෙන වර්ණවත් බව නිසායි. සිදුවීම් පෙළගැස්වීමත්, සැබෑ ලොව සහ විකාරරූපී මනෝ ලොවත් එකම තළයක දර්ශනය කරවන්නට සමත් හොඳ තිරපිටපතකින්ද සමන්විතයි. නූතන පරම්පරාවේ තෙළිඟු සිනමාවේ නිර්මාණකරුවෙක් විදිහට Prakash Kovelamudi ගේ ප්‍රථම හින්දි චිත්‍රපටය විදිහට සිදු කරන ලද සිනමාත්මක වෙනස ප්‍රශංසනීයයි. Psychological අතින්, Comedy අතින් සහ Suspense thriller අතින් කෙටි කාලයකින් වැඩි රසාස්වාදයක් ලබාදෙන චිත්‍රපටයක් විදිහට නිර්දේශ කළ හැකියි.
සටහන : Luckshman Aranwala
සිනමාවේදීන්