අාරුගම් බොක්ක මතින් රාජපක්ෂලා බලහත්තාරයෙන් උදුරාගත් මිනිසුන්ගේ දහදිය,කඳුළු, ලේ හැළුණු ශාස්ත්රවෙල , රාගම්වෙල පසුකර සහජීවනයේ ගම්මානය පානම බලා අප පිටත් වුණෙමු. අතීතයේ පානම හැදින්වූයේ "පානම් පත්තුව" ලෙසින්ය. පානම් පත්තුව පිළිබද ලිඛිත ඉතිහාසයේ මෙන්ම කමටහන් සාහිත්‍යයේද බොහෝ තොරතුරු අන්තරගත වේ. දිගාමඩුළු දනව්වේ විචිත්රත්වය සහ සශ්‍රීකත්වයේ පහසින් පානම ද පෝෂණය වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. පානම ගොඩ නැගෙන්නේද එක්පැත්තකින් වෙනස් අයුරකින්ය.
වසර 1818 දී වෙල්ලස්සේ කැරැල්ලේදී ඉංග්‍රීසීන්ගේ වියරුවට මැදිව දිවි ගලවාගෙන පලා ආ සිංහලයින් නැගෙනහිර මුහුදු තීරයේ කෙළවර පානම එහෙමත් නැතිනම් පානම් පත්තුවේ තම ජීවිකාව අලුතින් ආරම්භ කළේය. නැගෙනහිර මුහුදු තීරයේ අවසන සිංහල ගමක් ගොඩනැගෙන්නේ එලෙසය. සිංහල දෙමළ සම්භවයක් ඇති පානම වැසියන් බෞද්ධ දේවභක්තිකයෝය. තවමත් අව්‍යාජ වූ ගැමිකම හා බැඳුණු මිත්‍රශීලීකම හා සංග්රහශීලීකම උපරිමයෙන් ම පානම ජනතාව තුළ ඇත. ආගන්තුක සත්කාර මෙන්ම අන්‍යෝන්‍ය බැඳීම පානම ජනාතාව තුළ ඇති උතුම්ම ගුණයයි.
“අපේ අය සිංහල, දෙමළ මුස්ලින් අයත් මේ ලඟපාත ඉඳලා තියෙනවා. ඉතින් සමහරක් අය හිතුවක්කාරෙටත් තමත් කට්ටියක් අම්මා තාත්තාගේ කැමැත්තෙනුත් කසාද බැඳලා බැඳගෙන තියෙනවා. ඉතින් මේ ජාතීන් ඔක්කොමලා කලවම් වෙලා තියෙන්නේ. මේ අය බෞද්ධ වුනත් දෙවියන්ට තමයි ලඟ.”
ගමේ පන්සලත් අනෙක් පැත්තෙන් පත්තින් දේවාලයත් කතරගම දේවාලයත් (පානම ගම්වැසින් කතරගම දෙවියන් අළුත් දෙවියන් ලෙස හඳුන්වයි) ඇත. මෙම දේවාල භූමියේ වසර සිය ගණනක් පැරණි සියඹලා ගස් දෙකක් ඇත. මෙහි දෙවිවරු වැඩ වසන බවත් ලංකාවට පැමිණි ස්කන්ධ කුමරු මෙම භූමියේ ගිමන් හැරිය බව පානම වැසියන්ගේ විශ්වාසය වී තිබේ.
මෙකී දෙවියන් පුදලබනු පිණිස ගම් වැසියන් වාර්ෂිකව පවත්වාගෙන යන පෙරහැර අවසානයේ සාම්ප්‍රධායික අං ඇඳීම සිදු කරනු බලයි. අළුත් දෙවියන් එහෙමත් නැතිනම් කතරගම දෙවියන් වෙනුවෙන් එක් පිලක්ද පත්තිනි දෙවියන් සඳහා අනෙක් පිලද පිල් දෙකට බෙදී අං ඇඳම සිදුකරන අතර මින් දෙවියන් සඳහා පුද පූජා කිරීම වගේම ගොවි තැනින් බතින් බුලතින් ගම සශ්‍රීක වේ යැයි ඔවුන් විශ්වාස කරති. දෙවියන් කෙරෙහි පානම වැසියන්ට ඇත්තේ පුදුමාකාර භක්තියකි.
පානම කළපුවත් මුහුදත් අතර වැද වැටී ඇති ස්වභාවික වැලි කඳු වලල්ලෙන් පානම ගමට ලැබී ඇත්තේ ඉමහත් ආරක්ෂාවකි. වසර පුරාම පාහේ පවතින මූදු සුළඟ ගම් වැදීම වැලෙකෙන්නේ මේ කඳු පද්දතිය නිසාය. ඒ දෙවියන්ගෙන් භග්‍යයක් ලෙස පානම වැසියන් සලකනු ලබයි.
පානමෙන් පිටත්වුණු අපි දර්ශනීය වන වදුලු, ඔය පාරවල්, කළපු, කෙත්වතු පසුකර ස්කන්ධ කුමරුට වල්ලි මුණ ගැසුණු ඔකඳට ගියෙමු. පානම සිට ඔකඳට කිලෝමීටර් 17 ක් පමණ දුරක් ගෙවා පැමිණිය යුතුය. ඔකද ඉතිහාස පුවත රසවත්ය, අනෙක් පැත්තෙන් තාර්කිකය. ලංකා ඉතිහාසය පිළිබද වඩාත් ඉහළ අවබෝධයක් සොයායන්නෙක්ට මෙම තොරතුරු ඉතා වැදගත් වනු නියතය.
ඔකඳ දේවාලයේ දේව මෙහෙවර ඉටු කරන කපු පරම්පරාව 1818 වෙල්ලස්සේ කැරැල්ලෙන් පසුව ඉංග්‍රීසීන්ගෙන් බේරී ආ උඩරට සිංහල ජනතාවයි. මගේ මතකයේ හැටියට එම කපු පරම්පරාවේ හත්වැනි පුරුක වූ මුතු බණ්ඩා මාමාගේ නාමය වූයේ දිසානායක මුදියන්සේලාගේ මුතුබණ්ඩා සේදරාජ් දිසානායක මහතායි. මීට ටික කාලයකට පෙර ඔහු හදිසියේ මිය ගියේය. ඊලඟට දේවාලයේ බස්නායක නිළමේ කාර්ය බාරය හිමිවුයේ ඔහුගේ වැඩිමහල් පුතා වූ මුදියන්සේ දිසානායකගේ ලදන් සේදරාජ් මුතුබණ්ඩාටය. බස්නායක නිලමේ කාර්යය ඔහුට කිරීමට හැකි වුයේ මාස තුකන් වැඩි ටික කාලයක් පමණකැයි අසල්වාසීන් අපට පවසා සිටියේය. ඔහුද මිය ගියේය.
මේ සම්බන්ධයෙන් ගම්වැසියන්ගේ මතය වුයේ පරණ දේවාල ගොඩනැගිල්ලේ පාදමේ වෙනස් කමක් කිරීම නිසා වස් වැදී ඇති බවත්ය. ඒ හේතුවෙන් පරම්පරාවෙන් පිට බස්ණායක නිලමේ ධූරය දැරිය යුතු බවත්ය. සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් එය දේවලේ බැතිමතුන්ගේ මතයයි. පරම්පරාගත චාරිතය අනුව මුතුබණ්ඩා මාමාගේ දෙවැනි පුත්‍ර රත්නය වූ “නලීන්” අපගේ මිතුරාට බස්නායක නිළමේ ධූරය හිමිවිය. ලදන් බස්නායක නිළමේ මියගොස් මාස තුනක් යාමටත් මත්තෙන් අප මිත්‍රයා වූ නලීන් සේදරාජ් මුතුබණ්ඩාද මිය ගියේය. මරණය යන්න ස්වාභාවිකය. එහෙත් මිනිසුන්ගේ විශ්වාසය අනුව ඔවුන් මිය ගියේ දෙවියන්ගේ කාර්යභාරය කරමින් දෙවියන්ටම කැපවූවන් අහේතුකවම අකාලයේ වස් වැදී මිය යනවානම් දෙවියන් කුමටදැයි වරෙක සිතේ.
“මස් මාංශ කාලා, මළ ගෙවල්, කොටහලු කිලි, වැදුං ගෙයි කිලිවලට අහුවෙලා කිසි කෙනෙක් ඔකඳ දේවාලයට පය තියන්නේ නෑ. මස් මාංශ, මත්පැන් ආදියෙන් වැළකිලා පේවෙලා භක්තියෙන් එහි පැමිණෙන කවර බැතිමතකුගේ වුවත් කන්නලව්වකට කඳ සුරිඳුන්ගේ පිහිටාරක්ෂාව ලැබෙනවා සත්තයි” මේ පොදු මතයයි.
නලීන් අප මිතුරා ඊට විරුද්ධ මතයක් සෑම විටම දැරුවේය. මම ඉපදිලා තියෙන්නෙත් අම්මෙකුට. මේ ලෝකේ හැම පිරිමියෙක්ම ඉපදිලා දිලා තියෙන්නේ ගැහැණියෙකුට දාව. ඉතින් ජීවියෙක් බිහිකරන්න ගැහැණියෙකුගේ ශරීරයේ ස්වාභාවිකව වෙන ක්‍රියාවලිය කිල්ලක් වෙන්නේ කෙහොමද? ඔහු සෑම විටම ප්‍රශ්න කලේය. මාසික ශුද්ධිය නිසා කිළි කියා දේවාලයේ ඇතුලට නොයෙන කාන්තාවන්ට කිළි කියලා දෙයක් නැහැ ඇවිත් පුද ජූජා කරන්නයැයි ඔහු සෑම විටම කාන්තාවන්ට පවසා සිටියේය.
කෙසේවෙතත් රුහුණට අධිපති මුරුගන්, වේලන්, කන්දසාමි, ස්කන්ධ කුමරු එසේත් නැතිනම් කතරගම දෙවියන්ගේ බලපරාක්‍රමය පැතිර තිබෙන්නේ පානම,ඔකඳ, කතරගම අඩවියේයැයි විශ්වාස පවතී. වෛදික සාහිත්‍යයට අනුව ස්කන්ධ කුමරු ඉන්දියාවේ ආරක්ෂකයෙකු ලෙස පුද පූජාවට ලබන්නෙක් බවට පත්ව ඇත. ස්කන්ධ කුමාර වන්දනය ලංකාව තුළ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ආර්යයයින් රුහුණු කතරගම ප්‍රදේශයේ ජනාවාස පිහිටුවා ගැනීමෙන් අනතුරුවයැයි පැවසේ. කෙසේ වෙතත් ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධාන තනතුරුරෙන් පිදුම් ලැබූ ස්කන්ධ කුමාර ලංකාවේද ආරක්ෂක දෙවියෙකු ලෙස පුද පූජා ලබන්නෙකු බවට පත්ව ඇත. කතරගම පුද සිරිත් ග්‍රන්ථය ඊට කරුණු කියයි.
“කතරගම දෙවියන් වහන්සේ ගොඩ බැහැලා තියෙන්නේ ඔකන්දේ දේවාලෙටලුනේ. එහෙදි තමයි උන් වහන්සේට වල්ලි මෑණියන්ව මුණගැහිලා තියෙන්නේ. ”
ඒ හා සමගාමීව පවතින තවත් මතයක් නම් ස්කන්ධ කුමාරයාට වල්ලි මුණගැසී ඇත්තේ වර්තමාන "සෙල්ල" ලෙස හදුන්වන සෙල්ල කරතරගම ප්‍රදේශයේදී බවය. මේ ඉතිහාස කතා පුවත් දෙකේ සත්‍යතාව මැන බැලීමට අවශ්‍ය නැත. එහෙත් මේ සිදුවීම් දෙකටම සාධාරණ හේතු ඉතිහාසය විසින් රැගෙනවිත් ඇත. ඒ නිසාවෙන් ස්කන්ධ කුමාර සහ වල්ලි අම්මා යන චරිත සැබෑවටම විසූබවට උපකල්පනයක් ද කලහැකිය.
ඔකඳ දේවාලය ඉදිපස මුහුදු වෙරළ අභියස තැණු කුලුණු හතරකින් යුතු ගොඩනැගිල්ලක් තිබේ. එය ඔවුන් හඳුන්වන්නේ “රන්ඔරුගල” යනුවෙනි. රන්ඔරුගල ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවියන් ලංකාවට ගොඩ බැස්ස ස්ථානය යැයි පොදු පිලිගැනීමයි. එහිදී වල්ලි නම් වැදි තරුණියක් මුණ ගැසුණු බවත් ඇය හා ආදරෙන් බැඳුණු ස්කන්ධ කුමරු කුමන වනය, යාල වනය ඔස්සේ සෙල්ල කතරගමට පැමිණි ඇති අතර සෙල්ල කතරගමදී වල්ලි සරණ පවා ගත් බවත් ජනප්‍රවාද වල සඳහන්ය.
ස්කන්ධ කුමරු එහෙමත් නැතිනම් මුරුගන් සිහිකිරීම පිණිස ඔකඳට එකතුවන දහස් ගණන් දමිළ ජාතික බැතිමතුන් එහි ඇති කතරගම දේවාලයේ (ඔකඳ දේවාලය) පුද සිරිත් ඉටුකොට දින ගණනාවක්ම මහවන මැදින් කතරගමට පැමිණෙන''පාද යාත්‍රාව'' යනු ඒ ආගමික සංචාරයයි. විශේෂත්වය වන්නේ එකී පාද යාත්‍රාව ගමන් ගන්නේ ස්කන්ධ කුමාර කතා පුවතේ මතුකෙරෙන ඓතිහාසික ගමන් මාර්ගය ඔස්සේ වීමය. එකී කටුක මෙන්ම ධෛර්යවන්ත ගමන සිහිපත් කිරීම උදෙසාත්, කතරගම දෙවියන්ට පූජා කිරීම හරහා බැතිමතුන්ගේ ජීවිත සශ්‍රීක වනු ඇතැයි යන විශ්වාසයෙන් අදටත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මෙම ඓතිහාසික වන්දනා මාර්ගයේ පාද යාත්‍රාවේ යෙදෙති.
චාරිකා සටහන සහ ඡායාරූප - හිමාෂි කරුණාරත්න
ගල මුදුනෙහි පිහිටි දේවාලය
රන්ඔරුගල
දේවාලය අසලට පැමිණි ගෝනෙකු
කුමනට ඇතුළුවන දොරටුව