කඳුකර සාහිත්‍යයෙහි පුරෝගාමියකු වූ ඇන්ටනි ජීවා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු கொழுந்து (කොළුන්දු) සඟරාවේ කර්තෘවරයා ලෙස ද කටයුතු කළා.
1944 වසරේ උපත ලැබූ ඇන්ටනි ජීවා ලේඛකයෙක්, නාට්‍යකරුවෙක්, නළුවෙක්, වෘත්තිය සමිති සමාජිකයෙක්, සඟරා කර්තෘවරයෙක්, ප්‍රකාශකයෙක්, කෙටි කතා රචකයෙක් ලෙස කඳුකර සාහිත්‍ය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කළේය.
‘කොළුන්දු’ සඟාරවේ 31 වන කලාපයේ සිට වසර 20කට ආසන්න කාලයක් එහි සංස්කාරක ලෙස ඔහු කටයුතු කර ඇත.
තිනකරන්, සුදන්දිරන්, මානවන්, තමිල්අරුවි, තිරුමගන්, කලෛමලර්, මානවමලර්, මාලෛමුරසු, ඊළනාඩු, සින්දාමණි, සිරිත්තිරන්, අමුදම්, දේසභක්තන් සහ නවමණි ඇතුළු සඟරා රාශියකට ඔහු ලිපි මෙන්ම කෙටි කතා සම්පාදනය කර ඇත.
විශ්වවිද්‍යාල සමයේ ඇන්ටනි ජීවා විසින් රචිත ‘මුල්ලිල් රෝජා’ නාට්‍ය 1970 වසරේදී වේදිකාගත කරන ලදී.
එම වසරේදී කම්කරු පන්තිය මුහුණ දෙන ගැටලු තේමා කරගත් අක්කිනිපූක්කල්, වීණෛ අළුකින්රදු යන නාට්‍ය ඔහු නිෂ්පාදනය කළේය.
කඳුකර සාහිත්‍යකරුවන්, භාෂා ප්‍රවීණයන් සහ සටන්කරුවන් ඇතුළු 12 දෙනෙකුගේ තොරතුරු ඇතුළත් ‘මලෛයග මාණික්කංගල්’ (කඳුකර මාණික්‍යයන්) නමැති ග්‍රන්ථය 1998 වසරේදී ප්‍රකාශයට පත් කළේය.
කෝ. නඩේසයියර්, මිනාච්චි අම්මාල්, පෙරි. සුන්දරම්, රාමානුජම්, ජේ.එස් පෙරෝ, ජොර්ජ් ආර්. මේත්තා, මලෛයග ගාන්ධි රාජලිංගම්, වි.කේ වෙල්ලයන්, සී.වී වේලුපිල්ලෛ, ඒ. ඇලිස්, සෝමසුන්දරම්, අසෝකා බි.ඩි රාජන් යන අයගේ විස්තර ඊට ඇතුළත් කර තිබිණි.
එමෙන්ම ඊළත්තින් තමිල් නාඩගම් - 1981 (ලාංකීය දෙමළ නාට්‍ය), අන්නෛ ඉන්ධිරා - 1985, ගාන්ධි නඩේසයියර් - 1990, මලෛයගමුම් ඉලක්කයමුම් - 1995 (කඳුරයත් සාහිත්‍යයත්) අක්කිනි පූක්කල් - 1999, සී.වී සිල නිනෛවුගල් - 2002, කුරිංජි කුයිල්ගල් - 2002, මලෛයග තමිල් ඉලක්කියත්තිර්කු මුස්ලිම් එළුත්තාලර්ගලින් පංගලිප්පු - 2002, මලෛයගම් වලර්ත කවිදෛ - 2002, කණ්ඩි මාවට්ට තමිලර්ගලින් වරලාට්ටෘ පතිවුගල් - 2002, තිරුන්දිය අසෝකන් - 2003, නෙංජිල් පදින්ත අයිරෝපිය පයනම් - 2003, මලෛයග තොළිල් සංග වරලාරු - 2005, සිරගු විරින්ද කාලම් - 2007, ඔරු වානම්පාඩියින් කතෛ - 2014 යන ග්රන්ථ ඇන්ටනි ජීවා රචනා කර ඇත.