පසුගිය සතියේ පැවැත්වුණ 'දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස්'හි Best Sri Lankan Rock Video - Winner, Best Concept - Winner සම්මාන දිනූ 'කන්‍යාවි' ගීතය පිළිබඳව සටහනක් එම ගීතයේ නිර්මාතෘ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් පළ කරනු ලැබ තිබේ.
සිය නිර්මාණය ආරම්භක දිනයේ පටන් කටයුතු කළ ආකාරය මෙන්ම සම්මානයට බොහෝ දෙනා දායකත්වයත් තමන් ඒ සම්බන්ධයෙන් දක්වන අත්හැරීමේ ප්‍රතිචාරයත් කසුන් එහිදී සඳහන් කර ඇත.
වීඩියෝවේ අදහස වෙනුවෙන් කසුන් පුස්සෙවෙල සම්මානයට හිමිකම් කීවද ඔහු වෙනුවට එය ලබාගත්තේ ගීතය ගායනා කරන මිහිඳු ආරියරත්නයි. කසුන් මේ වන විට විදේශගතව සිටී.
ස්තුති කතාව
2021 සහ 2022 වසරවලදී නිකුත් වූ සංගීත වීඩියෝ නිර්මාණ ඇගයීම පාදක කරගත් දෙරණ මියුසික් වීඩියෝ සම්මාන ප්‍රදාන රාත්‍රිය ඉකුත් 14 වැනිදා කොළඹදී පවත්වා තිබිණි. එය ලංකාව තුළ සංගීත විෂය ක්ෂේත්රයේ වීඩියෝ නිර්මාණ හා තිරයෙන් පිටුපස සිදුවන නිෂ්පාදන වෘතීයන් ඇගයුමට ලක් කරන එකම සම්මාන උළෙල ලෙස සැලකිය හැක. ඔවුන් විසින් නව සංකල්පයක් ලෙස ලංකාවට හඳුන්වාදුන් ' සංගීත වීඩියෝ සම්මාන' උළෙල වෙත පැකිලීමකින් තොරව ගෞරවය පුද කරමි. එලෙසම එහි ආරම්භයේ සිට 8 වැනි වර දක්වා සංවිධාන කාර්ය ඉටු කර පවත්වාගෙන ඒම වෙනුවෙන් එම ආයතනයටද, එයට දායක වූ සියළුම සේවක පිරිස් වෙත හා එම ආයතනයෙන් පරිභාහිරව කටයුතු කළ ප්‍රවීන විනිශ්චය මණ්ඩලයටද අප කන්ඩායමක් ලෙසද, මා පෞද්ගලිකවද ස්තූතිය මින් පුද කරමි. එහිදී සම්මාන ලැබූ, නිර්දේශ වූ සහ ඒ දෙයංශයටම නිර්දේශ නොවූද, තම නිර්මාණ ඉදිරිපත් නොකෙරූද සියළුම කලාකාරුවන්ට, නිර්මාණවලට හා තිරයෙන් පිටුපස සිටින සියල්ලටම අප කන්ඩායමක් ලෙස සුබපතමු. පෞද්ගලිකවද මා සුබපතමි.
එම සම්මාන උත්සවය සංවිධානය කරන ලද දෙරණ නාලිකාවේ අර්ථපතිත්වය සහ නාලිකාවේ මාධ්‍ය භූමිකාව පිළිබඳ කුමන චෝදනා, විවේචන, අනාචාරධර්මී සාධක තිබුණද ඇගයුමට ලක්නොවන නිෂ්පාදන පිරිසක් ඇගයුමට ලක්කිරීම උදෙසා පවත්වනු ලබන එම 'සංකල්පමය කාර්ය' කිසිඳු විටෙකත් අවප්‍රමාණය කළ නොහැක. ඇගයීමට ලක් නොවෙන තිරයෙන් පිටුපස පිරිස ඇගයීම වෙනුවෙන් ගත් උත්සාහය මා කිසිඳු විටෙකත් අවප්‍රමාණය කරන්න කිසිඳු විටෙකත් උත්සාහ නොකරමි. එහි අර්ථපතීත්වය, ප්රාග්ධනය සහ දේශපාලනය කිසිඳු කළෙක යුක්තිසහගත වූවක් නොවේ. එය කිසිඳු කලෙක අප දන්නා යුක්තියේ මාර්ගය තුළද, ශිෂ්ඨ සමාජ ධර්මතා තුළද, ජනමාධ්‍ය භාවිතාව සමගද සමපාථ නොවනු ඇත. එමගින් සිදු වූ සිදුවීම් කිසිඳු කළෙක - කිසිඳු විටෙක සාධාරණය කිරීමට හෝ නැවත හානි පූර්ණය කළ නොහැකි සිදුවීම් ගොන්නක් ලෙස මා තරයේ විශ්වාස කරමි.
ආදර, ගෞරව කතාව
එම උත්සවයේදී අප කන්ඩායම විසින් නිර්මාණය කෙරුණු කන්‍යාවී ගීතයට පහත සඳහන් සම්මාන හා නිර්දේශයන් ලැබී ඇත.
Best Sri Lankan Rock Video - Winner
Best Concept - Winner
Best Direction - Nominated
Best Alternative Video - Nominated
Best Music Video of the Year - Nominated
Best Oveall Act by Singer or Group -Nominated
[හොඳම ශ්‍රී ලාංකීය රොක් විඩියෝව - සම්මානය
හොඳම සංකල්පය - සම්මානය
හොඳම අධ්‍යක්ෂණය - නිර්දේෂිත
හොඳම විකල්ප විඩියෝව - නිර්දේෂිත
වසරේ හොඳම සංගීත වීඩියෝව - නිර්දේෂිත
ගායකයෙකුගේ හොඳම රංගනය - නිර්දේෂිත]
මිහිඳු, ඔබ එම උත්සවයේදී මෙම නිර්මාණයේ සම්පූර්ණ වටිනාකම අයිති මා වෙතත් මධුනි ඇතුළු නිෂ්පාදන කන්ඩායම වෙතත් බව කීපවරක්ම ප්‍රකාශ කරන ලදි. එහෙත් ඔබ එය ගායනා නොකරන්නට, යොහාන්, ලීන්, ජගා ඇතුළු ඔබ සංගීත නිෂ්පාදන කන්ඩායම සමග තනු නිර්මාණය නොකරන්න සහ විධායක නිෂ්පාදනයට දායක නොවන්න මෙවැන්නක් නිර්මාණය නොවනු ඇත. ආදරණීය මිහිඳු, ඔබේ වචනවලින් ' අඩෝ මචං, පිස්සුද බං, බොක්ක' මාගේත් අපගේත් ආදර බර මේ ස්තුතිය සහ ගෞරවය බාරගන්න.
එතැන් පටන් වීඩියෝවක් නිර්මාණය වීම සහ එය සමාජගත කිරීමේ නිෂ්පාදන ක්‍රියාවලිය දීර්ඝ හා වෙහෙසකාරී වූවකි. කලා ක්ෂේත්රයේ ප්‍රවීනයන් වූ ප්‍රියන්ත දිසානායක, චරිත් වික්‍රමතිලක, දිනිඳු ජාගොඩ, ලහිරු මධුශංක, හැරල්ඩ් කරුණාතිලක, සවන් පවිත්‍ර, දිනූපා කෝදාගොඩ, ඩෙස්මික, නුවන්, දෙව්ලි, දර්ශිකා, ප්‍රසාද් අලුත්වත්ත ඇතුළු නම් සඳහන් නොවූ පිරිසකගේ වෘත්තීය දායකත්වය මෙහෙයවමින් නිෂ්පාදන කටයුත්ත සිදු කලේ මධුනි විසිනි. කැමරාවද ඇයය. බිරිඳ සහ සැමියා ලෙස සාමාන්‍යයෙන් අප පිට කසා නොගන්නා දෙදෙනෙකි. එහෙත් ඇගේ දක්ෂ මෙහෙයවීම හා නිෂ්පාදන කාර්ය නොවන්න එක් දිනක් තුළ, මිහිඳු චරිත 12කට ආසන්න ප්‍රමාණයක් නිරූපනය කරමින් සිදුකළ රූගත කිරීම් අවසන් නොවන්න ඉඩ තිබිණි. ඒ සඳහා ඇයට නිතැතින්ම හිමිවන ආදරය සහ ගෞරවය මා නිවස තුළදී ලබා දුන්නද සමාජ මාධ්‍ය භාවිතා නොකරන ඇය වෙනුවෙන් නැවතත් එය මෙහි සටහන් කරමි. එමෙන්ම එම වසරේදීම ඇය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ගයාන් පෙරේරාගේ ' හිතන තරම්' ගීතය ප්‍රධානතම සම්මාන ඛාන්ඩ 8 ක් සඳහා නිර්දේශ වී තිබිණි. සංකල්පය, අධ්‍යක්ෂණය, පොප් වීඩියෝව, රැප්, කලා අධ්‍යක්ෂණය , වසරේ හොඳම වීඩියෝව, කැමරා අධ්‍යක්ෂණය යන අංශ වෙනුවෙන් අපගේ මිත්‍ර සහෝදර භාරත හෙට්ටිආරච්චි, චරිත් වික්‍රමතිලක, කුලරුවන් ගමගේ වැනි පිරිසක් නිර්දේශව තිබීම අපට වඩාම සතුට දනවන්නක් විය. මචං අයියලා මේ ආදර මතක් කිරීම අප පසුපසින් සිට අපිව දිරි ගැන් වූ ඔබ වෙනුවෙනි.
ප්‍රතික්ශේප කිරීම
තිරය ඉදිරිපස සහ පිටුපස වෘත්තීකයන්ගේ සමූහ මහන්සිවීම් පෞද්ගලික ගොනුවලට ලඝු කිරීම කිසිඳුවිටෙකත් කළ නොහැක්කකි. එලෙසම එවැනි කන්ඩායම් වැඩකට ලැබෙන ඇගයුම් කිසිසේත්ම ප්‍රතික්ශේප කිරීමේ අයිතියක්ද, වැලැක්වීමේ අයිතියක් මට නැත. මා එසේ කිරීමට බලාපොරොත්තු වන්නේද නැත. ඒ ඔවුන්ගේ වෘත්තීය දායක්ත්වයට හිමි ගෞරවයයි. ඒවා ඔවුන්ට හිමිය. කන්‍යාවී ගීතයට හිමි වූ සම්මාන ද්විත්වය හා නිර්දේශ නාම අතරින් ' Best Concept - Winner [හොඳම සංකල්පය - සම්මානය]' යන සම්මානයට පමණක් මේ ලියමන ලියා අවසන් වන මොහොත තෙක් ' මට හිමි වූ' සම්මානයක් ලෙස ආත්මාර්ථකාමී වචනයක් යෙදීමට අවසර ලබා දෙනු ඇතැයි අප කන්ඩායමෙන් මා විශ්වාස කරමි. ඕනෑම මනුස්සයෙකු සමාජයේ කොහෙන් හෝ ඇගැයුමට ලක්වීමට සහජයෙන්ම ප්‍රිය කරති. මාද ඒ හා සමාන සාමාන්‍ය මනුස්සයෙකි. වෘත්තීය වශයෙන් පුවත්පත් හා මුද්‍රණ මාධ්‍යයේ මාධ්යකරුවෙකුව සිටි මා අද පූර්ණකාලීන නොවන, නමුත් නිදහස් මාධ්‍යකරුවෙකු පමණි. සංගීතය හා රූප නිර්මාණ කලාවේ සුහුඹුලෙකු හා ආධුනිකයෙකු වූ මා නිර්මාණ දායකත්වය සැපයූ පළමු නිර්මාණයම එම ක්ෂේත්රයේ දැවැන්තයින් අතුරින් මෙවැනි සම්මාන කීපයකට නිර්දේශ වීමද, සම්මානිත වීමද මට සතුටකි. එසේ නිහතමානී සතුටක් භුක්ති නොවිඳි බව කියයි නම් එය ප්‍රෝඩාවකි. එහෙත් උක්ත කී පරිදි ආත්මාර්ථකාමී අර්ථයෙන් කිවතොත් 'මගේ නමට හිමි වූ' සම්මානය මගේ හෘදසාක්ෂියට එකඟව යුක්තිය සහ පීඩිතයින් වෙනුවෙන් මෙතෙක් කල් පෑන එසවූ දෑතින් මට ලබා ගත නොහැක.
ඊට මාගේ හේතු පාඨ
මා ඉපදුණු 1989 වර්ෂය වනවිට එවක ජේ.ආර් ප්‍රේමදාස දේශපාලන යුගය විසින් හැටදහසකට අධික තරුණ සංහාරයක් කර තිබිණි. ඒ පිළිබඳ දැනීමක්, මතකයක් මට නැතත් අද වනවිට තිස්හතර වියෙහි වසුවන මා එදා එලෙස ඝාතනයට ලක් වූ, අතුදන් කෙරුණු සිය සැමියා, බිරිඳ, දුව පුතා සහ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මහ පාරේ යුක්තිය ඉල්ලා ගමන් කරන මව්වරුන් පියවරුන් සිය දහසක් දැක ඇත. ඔවුන් සමග යුක්තිය ඉල්ලා මහ පාරේ ගමන් කර ඇත. ඔවුන් සමග යුක්තිය වෙනුවෙන් ගෙවුණු දශකයට අධික කාලයක් පුරා ඔවුන්ගේ පැත්තේ සිටගෙන ඇත. අදටත් ඔවුන් සමග ගමන් කරමින් සිටිමි ඔවුන් වෙනුවෙන් සිටගෙන සිටිමි. මගේ සම්පූර්ණ ජීවිත කාළයට සමාන කාළයක් පුරා යුක්තියක් නොලද ඔවුන් ඉදිරියේ යුක්තිය සහ නීතියේ දෙවඟන වෙනුවෙන් ලැබෙන සම්මානයක් මා කෙලෙස නම් අතට ගන්නද?
දේශපාලනය, කලාව, ජනමාධ්‍ය හෝ යුක්තිය යන සංකල්පයන් පිළිබඳ දැනුමක් නොතිබූ ළමා කාලය තුළ චන්ද්‍රිකා දේශපාලන යුගය ගතවිය. එම කාලය තුළ සිදු වූ අයුක්තීන් පිළිබඳව පසුකලෙක විනිර්මුක්තිය පොත හරහා පරිච්චේජයක්ම මා වෙන් කිරිණි. රනිල්ලාගේ බටලන්දට හා සූරියකන්දට යුක්තිය ගෙනෙන බව කියා ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකා යුගය කිසිවක් යුක්තිය වෙනුවෙන් ඉටු කලේ නැත. ඝාතනය කෙරූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා වෙනුවෙන් මව්වරුන්ගේ පෙරමුණ සැදූ මහින්ද- මංගල සුසංයෝගය ඇයගේ අගසව් විය. නීතීඥ මහින්ද රාජපක්ෂ සූරිය කන්ඳේ ළමා ඇටසැකලි වෙනුවෙන් රත්නපුර උසාවියේ කළු කෝටය සමගින් සිය මැතිවරණය ප්‍රචාරණය ඇරඹීය. ඔහු ජනාධිපති වූ ඉන් දශකයකට පමණ පසුව සූරිය කන්ඳ පාසල් ළමුන්ගේ සමූහ ඝාතනය වෙනුවෙන් පාර්ලිමේන්තුව අසල ඉදිකර තිබූ අහිංසකාරාම ස්මාරකයද ඩෝසර් කරනු ලැබීය. ඒ ඔහුගේ සහෝදරයා වූ එවක ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ ලස්සන කිරීමේ සංකල්පය අනුවය.
පාසල් සමය අවසන් වනවිටම යුද්දයද අවසන් වූ අතර මාද එදා මහ පාරේ සතුට සැමරීය. එතැනින් එහාට උසස් අධ්‍යාපනය ලබන්නත්, ජනමාධ්‍ය, නීතිය වැනි විෂයන් උගත්ම, දේශපාලනය, ජනමාධ්‍ය, යුක්තිය, යුද්දය යන්න කාගේ වුවමණාවන් වෙනුවෙන් සිදුවන දෑද යන්න ක්‍රමයෙන් අවබෝධ විය. ජනමාධ්‍ය විෂය උගැනුම අවසන්ව පළමු වෘතීය ලෙස රාවයට එනවිට මහින්ද රාජපක්ෂ දේශපාලන යුගයේ දෙවන අර්ධය ආරම්භව තිබිණ. ඒ වනවිටත් කළු කෝට් කාරයෙකු හා පුවත්පත් කතුවරයෙකු වූ ලසන්ත කොළඹ අධිආරක්ෂක කලාපය තුළ ඝාතනය කර අවසන්ය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර අවසන්ය. ධර්මරත්නම් සිවරාම් ඝාතනය කර අවසන්ය. මිරිහානේදී පෝද්දල ජයන්තව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් දස වද දී මහ මග දමා ගොස් අවසානය. එලෙසම කීත් නොයර්, උපාලි තෙන්නකෝන්ට පහර දී අවසන්ය. ලාල් හේමන්ත මාවලගේ, අනුරසිරි හෙට්ටිගේ වැනි මාධ්‍යකරුවන් දැලි පිහිවලින් කපා අවසන්ය. ඝාතනය කෙරුණු, පැහැරගෙන ගොස් අතුරුදන් කෙරුණු හෝ පහර කෑමට ලක් වූ උතුරේ හා දකුණේ ජනමාධ්‍යවේදීන් ප්‍රමාණය සියකට අධිකය. සිරස, සියත, ලංකා ඊ නිව්ස් ගිනි තැබිණි. උතුරේ තිබූ දෙමළ මාධ්‍ය ගණනාවකට එල්ල වූ ප්‍රහාර නිමක් නැත. ඔවුන් වෙනුවෙන් අදටත් යුක්තිය ඉටු නොවුණු වටපිටාවක යුක්තියක් නොලද ඔවුන් ඉදිරියේ යුක්තිය සහ නීතියේ දෙවඟන වෙනුවෙන් ලැබෙන සම්මානයක් මා කෙලෙස නම් අතට ගන්නද?
එපමණක්ද? යුද්දය අවසන් වනවිට සිංහල- දෙමළ කුමන භේදයක් යටතේ වුවද ඝාතනය වූ හෝ අතුරුදන් වූ පිරිස ලක්ෂයකට ආසන්නය. උතුර එලෙස අවසන් වනවිට දකුණේ ළමුන් ඇතුළු පියවරුන් 11 දෙනෙකු සුදු වෑන් මගින් පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන තිබිණි. එවැනි තනි පුද්ගල පැහැරගෙන යාම් ද, අතුරුදන් කිරීම්ද නිශ්චිත ගණනක් නැත. රවිරාජ්, මහ්ස්වරන් වැනි දෙමළ දේශපාලඥයින් ගණනාවක් මහ පාරේදී ඝාතනය විය. හලාවත ඇන්ටනීලා,වසීම්, රතුපස්වල, අන්තරයේ සිසුන් මහ පාරේ ඝාතනය විය. වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස,ගාල්ල, මහර බන්ධනාගාර තුළ නිරායුද සිරකරුවන් බුරුතු පිටින් ඝාතනය කෙරිණ. ඒ බොහෝ දේ වෙනුවෙන් දශකයකට වැඩි කාළයක් යුක්තිය ඉල්ලා පෑන මෙහෙය වූ අතින් යුක්තිය පිළිබඳ ලද සම්මානයක් මා ගන්නද? මේ සියල්ල විකුණමින් බලයට ආ යහපාලන රනිල් මෛත්‍රී හවුල ඒ කිසිවකට යුක්තිය ඉටු නොකරන ලදි. ඔවුන් වෙනුවෙන් අදටත් යුක්තිය ඉටු නොවුණු වටපිටාවක යුක්තිය සහ නීතියේ දෙවඟන වෙනුවෙන් ලැබෙන සම්මානයක් මා කෙලෙස නම් අතට ගන්නද?
එපමණක් ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චකාරවරිය එක් රැයකින් ගෙදර යවන ලදී. පූර්ණ විධායක බලය සියතට ගනින් ප්රජාතන්ත්රවාදයට තිබූ එකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වූ 17 වැනි සංශෝධනය අතුගා දමමින් 18 වැනි සංශෝධනය ගෙනෙන ලදී. මැතිවරණ කොමිසමේ සිට අධිකරණයේ අග්‍ර විනිශ්චයකාර පත් කිරීම දක්වා බලය සියතට ගන්නා ලදි. කොටින්ම එවක සිටි අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සුදු වෑන් මගින් පැහැරගෙන යාම දක්වා යුක්තිය කෙලෙසනු ලැබිණි. එවැනි අනීතික මිලේච්ජ යුගයකට පසුව පත් වූ යහපාලන දේශපාලනය යුගය යටපත් කර තිබූ නඩු කිහිපයක් නැවත පරීක්ෂණ හා නඩු පටිපාටි වෙත ගෙන එන ලදි. ඒ සියළුම පරීක්ෂන අවසන් තැනින් නතර වූයේ රාජපක්ෂ රජගේ වංගුවෙනි. ලසන්ත, කීත්, උපාලි තෙන්නකෝන් ඝාතන හා පහරදීම් සඳහා පැමිණි කන්ඩායමත්, නිල රථවාහන නතර වූයේ කොළ ට්‍රිපෝලි කඳවුරෙනි. ප්‍රගීත් අතුරුදන් කිරීම් පරීක්ෂණ නතර වූයේ ගිරිතලේ හමුදා කඳවුරෙනි. ළමුන් ඇතුළු 11 දෙනා අතුරුදන් කිරීම නතර වූයේ නාවික හමුදා මූලස්ථානයේ හිටපු නාවික හමුදාපති රථගාලෙන් හා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරෙනි. වසීම් ඝාතනය කොළඹ දකුණ බාරව සිටි ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක හා අරලිය ගහින් නතර විය. රවිරාජ්, මහේස්වරන් වැනි නඩු නතර වූයේද එකම තැනකිනි. යහපාලන රනිල් මෛත්‍රී හවුල නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන පරමාධිපත්‍ය කිසිඳු සැලකීමකට නොගෙන අනීතිකව රාජපක්ෂ කඳවුර වෙනුවෙන් දින 52කට බලය පාවා දෙන ලදි. මිලේච්ජ පාස්කු ප්‍රහාරය දියත්විය. අහිංසකයන් දෙසීයකට වැඩිය ඝාතනය විය. ජනාධිපතිවරණ කැම්පේන් ආරම්භ කෙරිණි. ඒ කිසිවකුට යුක්තිය හෝ දඬුවම් අදටත් නැත. මෙවන් වකවානුවක මාද ඇතුළුව අප පරසක්වල ගැසූ නඩු කටයුතු අහවර විය. ඔවුන් වෙනුවෙන් අදටත් යුක්තිය ඉටු නොවුණු වටපිටාවක යුක්තිය සහ නීතියේ දෙවඟන වෙනුවෙන් ලැබෙන සම්මානයක් මා කෙලෙස නම් අතට ගන්නද?
ඉන් පසුව මෙම ගීතය නිර්මාණය වූ 2022 වසර වනවිට බලයට පත්ව සිටියේ ගෝඨාභය රාජපක්ෂය. 88-89 මාතලේ විජය විද්‍යාලයේ ස්ථාපිතව තිබූ බව කියවෙන වධ කඳවුර බාරව සිටි කැරලි මර්ධන සම්බන්ධීකාර හමුදා නිලධාරියා ඔහුය. ඔහුගේ දෙවනියා වූයේ ශවේන්ද්‍ර සිල්වාය. එවක මාතලේ බාර ජ්‍යෂ්ඨ පොලිස් නිලධාරියා වූයේ මහින්ද බාලසූරියය. ඉන් දශක දෙකකට පසුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද පසුව ජනාධිපතිද, හමුදාපතිද, පොලිස්පතිවරයාද වූයේ මොවුන්ය. හලාවත ධීවර ඇන්ටනී ඝාතනයෙන් හා නිදහස් වෙළඳ කලාපයේදී රොශේන් චානක පොලිස් වෙඩි පහරින් ඝාතනය කෙරුණු පසුව බාලසූරියට දඬුවමක් ලෙස අබුඩාබි තානාපතිකම් ප්‍රධානය කොට විශ්‍රාම යවන ලදි. 2019 ගෝඨාභය ජනාධිපති වූ වහාම සිදු දෑ නොකිවමනාය. යුක්තිය සම්බන්ධයෙන් මන්දගාමීව ඉදිරියට ඇදුණු නඩු සියල්ලම පාහේ නතර කෙරිණි. අධිකරණයේ පවතින නඩුද සිය විධායක බලයේ අනුහසින් ජනාධිපති කොමිසමක් පත් කර අහෝසි කිරීමට යෝජනා කෙරිනි. අපරාධ විමර්ශකයින්ට ජීවිතාරක්ෂාව පතා රටින් පිටමං වීමට සිදු විය. ශානි අබේසේකර වැනි විමර්ශන නිලධාරින්ට පදනම් විරහිතව සිරබත් කෑමට සිදු විය. මේ සියල්ල වන වටපිටාවක නීතිය පිළිබඳ හොඳින්ම දන්නා අයෙකු වූ ජනාධිපති නීතිඥවරයෙකු අධිකරණ අමාත්‍ය ධුරය හෙබවීය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට දින දෙකකට පෙර ලසන්තට එරෙහිව වාරණ නියෝගය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ සමග ගොස් ජනාධිපති නීතිඥ අලි සබ්රිය. ඉන් හරියටම වසර 10කට පසු ගෝඨාභය ජනාධිපති ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා වූයේද අලි සබ්රිය. පෝද්දල ජයන්ත මිරිහානේදී පැහැරගන්නා විට එම ප්‍රදේශය බාරව සිටි පොලිස් ප්‍රධානියා දේශබන්ඳු තෙන්නකෝන් ය. ගෝල්ෆේස් නිරායුද පුරවැසියන්ට පහර දුන් පසුගිය වසරේ ඔහු ඒ දෙස බලා සිටි ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිය. අද ඔහු රටේ පොලිස්පතිය.
මේ තරම් අටෝරාසියක් දිග උදාහරණ දීමට සිදු වූයේ එක් හේතුවක් මතය. 2004/2010 සහ 2019 ජනාධිපතිවරණ සියල්ලෙහිම 'සංකල්පමය' මැතිවරණ කැම්පේන් සිදු කලේ දිලිත් ජයවීරය. මෙය මාගෙ ප්‍රකාශයක් නොවේ. ඔහු විසින්ම ප්‍රසිද්ධ මාධ්‍යයේ කියු දේය. රටම දන්නා දේය. එවන් ඉතිහාසයක් ගොඩ නැගූ අර්ථපතීත්වයකින් හා එවන් ඉතිහාසයකට හිමිකම් කියන ආයතනයකින් යුක්තිය පිළිබද සංකල්පනාවකට මා සම්මානයක් ලබා ගන්නේ කෙසේද? කන්‍යාවිය තුරුල් කරගත් මේ පිරිමි ගොඩටම මට එකතු වීමට මාගේ හෘදසාක්ශියද, මාගේ වෘත්තීය ඉතිහාසයද අනාගතයද කිසිඳු විටෙකත් ඉඩ නොදෙනු ඇත. එවන් වටපිටාවක යුක්තිය සහ නීතියේ දෙවඟන වෙනුවෙන් ලැබෙන සම්මානයක් මා කෙලෙස නම් අතට ගන්නද?
මාගේ පෞද්ගලික සම්මානය ලෙස සලකා " හොඳම සංකල්පනාවට හිමි සම්මානය" ප්‍රතික්ෂේප කරමින් පහත සඳහන් වන්නන් වෙනුවෙන් එය පුද කරමි.
හමාරවරණය
ලසන්තගේ ඉරුදින වසා දමනවිට මා එහි සිටි ප්‍රවෘති කර්තෘවරයාය. රත්මලානේ පිහිටි සන්ඬේ ලීඩර් කාර්යාලයට මා ආ සෑම උදෑසනකම ඉදිරිපස දොරටුව අභියස අප දෙසට තීක්ෂණ දෑස සහ අතැඟිලි යොමා බලා සිටින ලසන්ත ගේ ආලේඛ්‍ය රූපය අපගේ හෘද සාක්ෂිය විමසයි. නිකම් ම භේද වීමෙන් වැඩක් නැත. වඩා වැදගත් වන්නේ කිසියම් අදහසක් ඇති භේදවීමක් ය. අපට අහිමි වූයේ තමා දරන මතය වෙනුවෙන් භේද වීමට තරම් අවංක හදවතක් තිබුණු මිනිසෙකි. ලසන්ත ඔබ මට කෙදිනකවත් හැබැහින් හමූ නොවූ, නොපියවුණු දෑසක් සහ ළගන්නා සිනාවක් හිමිව තිබූ මිනිසෙකි. ලබන ජනවාරි 8 වැනිදාට ඔබව ඝාතනය කර වසර 14කි. එම අනුස්මරණය වෙනුවෙන් මෙම සම්මානය ඔබේ නමට පිරිනමමි. එලෙසම ප්‍රගීත්, සිවරාම් මෙන්ම රිචඩ් ද සොයිසාගේ සිට ඝාතනය කෙරුණු, අතුරුදන් කෙරුණු, පහර කෑමට හා වධහිංසාවට ලක් වූ සියළුම මාධ්‍ය සගයන් වෙනුවෙන්ද පුද කරමි. අප්‍රතිහත ධෛර්යෙන් යුතුව දශක ගණනාවක් පුරා යුක්තිය නැමැති ගමන් මගේ යුක්තියේ දෙවඟන සොයා ගමන් ගන්නා නම් ගම් නොදත් සියළුම මව්පිය සහෝදර සහෝදරියන්ටද, සන්ධ්‍යා, අයේෂා, අචලා වැනි ශක්තිවන්ත මගේ හිතවතියන්ටද පුද කරමි. දෙව්ලොවම කඩා වැටුණද යුක්තිය ඉටු විය යුතු බව මට ඉගැන්වූ ජනමාධ්‍ය ගුරුවරු සහ සගයන්වද ආදරයෙන් මේ සමගම මතක් කරමි.
මේ දීර්ඝ ලියැවිල්ල ඔබට කැමති පරිදි අර්ථගන්වා ගත හැක. යෝජනා චෝදනා ගැරහුම් විවේචන මැදහත්ව බාරගනිමි. " මගේ නමින් යැයි" මදකට ගත් කෙටි අයිතිය මින් අවසන් කරමි. බයිබලයේ කියවෙන පරිදි "යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔවුහු තෘප්තිමත් වන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය.
මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය." හෘදසාක්ශිය නැමති මාගේ ස්වර්ග රාජ්‍යයේ භාග්‍යවන්තයෙකු ලෙස නතර වෙමි.
ස්තුතියි.
මීට,
කසුන් පුස්සෙවෙල
2023.12.19