lan englan tam

පුවත්

දැන් තියෙන්නේ අරටුව නැති නාට්‍ය; දයා වයමන් 'මතක පද සමග'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාට්‍ය හා රංගකලාව පාසල් අධ්‍යයන විෂය මාලාව සැකසීමේදි එහි සාමාජිකත්වය ගත් කමිටු සාමාජිකයින් 15 දෙනෙකුගෙන් වර්තමානයේ ජීවතුන් අතර සිටින්නේ දෙදෙනෙකි. ඉන් එක් අයකු වන දයා වයමන් යනු තවමත් තමන් මෙහෙවර කළ නාට්‍ය කලාවේ අභියෝග සමග දශක 07කට ආසන්න කාලයක් ගැටෙමින් නාට්‍ය, චිත්‍රපට, රඟපෑම් සමග සිය ජීවිතය ගෙවා දමමින් සිටින ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි.

වසර 84කට පෙර මාතර, 'බෙලිඅත්ත කඩේ' ඉපදී, රටේ අගනුවරට පැමිණ නාට්‍ය කලාවේ පය ගැසූ එකී දයා වයමන් මෙවර 'මතක පද' සංවාදාත්මක යූටියුබ් වැඩසටහන සමග එක් වූයේය.
සුප්‍රකට සාජන් නල්ලතම්බි චරිතය හඳුන්වා දීමේත් හාස්‍යෝත්පාදක නාට්‍ය කලාවේ සදා නොමැකෙන සලකුණක් වන 'නෙයිනගෙ සූදුව' වේදිකා නාට්‍යය නිර්මාණය කිරීමේත් පුරෝගාමී චරිතය වන්නේ දයා වයමන් වේ.
"1975දී නැටුම්, සංගීතය විෂය පාසල්වල තිබුණට නාට්‍ය හා රංගකලාව තිබුණේ නෑ. ධම්ම ජාගොඩ ලේකම් වෙලා නාට්‍ය හා රංගකලාවට විෂය මාලාවක් හදන්න කමිටුවක් හැදුවා. ඒකෙ ආචාර්ය සරච්චන්ද්‍රගෙ ඉඳලා හිටපු 15 දෙනාගෙන් 13ක් දෙනෙක් දැන් මිය ගිහින්. එක්කෙනෙක් නාමෙල් වීරමුණි. එයා ඉන්නෙ හාන්සි පුටුවේ. මම විතරයි තාමත් මේක ප්‍රායෝගිකව කරන එකම කෙනා. අද නාට්‍ය කලාව ගැන කියලා වැඩක් නෑ. සරලයි. අද තියෙන්නේ අරටුව නැති නාට්‍ය." දයා වයමන් 'මතක පද' පූරක ගැමුණු වන්නිනායක සමග පැවසීය.

"නිහාල් සිල්වාව හුඟ දෙනෙක් ගොනාට ඇන්දුවා. අදත් නිහාල් සිල්වා ඉන්නවා හිතුවක්කාර නොවී හිටිය නම්. නෙයිනගේ සූදුවෙ පඩි වැඩි කරලා ඉල්ලුවා. 1983දී මම හැමෝටම හොඳින් පඩි ගෙව්වා." යනුවෙන්ද ඔහු නෙයිනගෙ සූදුව, තවත් නාට්‍ය සහ නාට්‍ය ප්‍රධාන චරිත රඟපෑ නළු නිළි මෙන්ම අනෙකුත් චරිත පිළිබඳව සිය මතක දිගහැරීය. කලාවේ විවිධ අංග තුළ මේ වන විට සාජන් නල්ලතම්බි සහ අනුකාරක චරිත කොතෙක් ජීවමාන වුවද වයමන් හැදූ නල්ලතම්බිව මරාගැනීමට තවමත් කිසිවෙකුට හැකියාව ලැබී නොමැත.
වේදිකාව, පුංචි තිරය, රිදී තිරය ඇතුළු කලා ක්ෂේත්‍ර ඔස්සේ දශක හතකට ආසන්න කාලයක් රංගනයෙන් රසික හදවත් ඇද බැඳ තබා ගත් මෙම නාට්‍යකරුවා, පිටපත් රචකයා, චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයා සිය අත්දැකීම් සමුදාය රසවත් නාට්‍යයක් හැටියටම ප්‍රේක්ෂකයා අභිමුව තබමින් මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය සමග එක් වී තිබිණි.
'මතක පද' සෑම සිකුරාදාවකම සවස එම යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

Back to top
Go to bottom

Popular News