අපි පොඩි කාලෙ අපේ තාත්තා විවේකයෙන් ඉන්න ගමන් කවි පංති කීපයක් කියන්න පුරුදු වෙලා හිටියා.
ඒවා ඔහුටම අනන්ය වුනු කවි !
අනන්යයි කිව්වෙ ඒ කවි ඔහුගෙන් ඇරෙන්න කාගෙන්වත් ඇහිලවත් කොහෙන්වත් කියවලවත් නැති නිසා..
හැබැයි මේවා තාත්තත් කාගෙන් හරි අහලා හෝ කියවලා මතක තියාගත්තු ඒවා මිසක් එයා නිර්මාණය කරපුවනම් නෙවෙයි.
ඒවා අතරින් කීපයක් තමයි
පැටියා වෙසක් බලන්න කොළඹ ගිය හැටි
ගමයා බතල තැම්බූ හැටි
සර් කොතලාවල,නෙයිනගෙ සූදුව අල්ලපු හැටි (මේ දයානන්ද ගුණවර්ධනගෙ මධුර ජවනිකාවෙ තියන ගී නෙවෙයි)
මේ හැම එකක්ම අහගෙන ඉන්නකොට චිත්තරූප මැවෙන එන්ටටේනිං කවි පංති.
ඔය අතරෙ තිබුනා තරමක ඛේදනීය කවියකුත්
"ගමට උතුම් ගම මායින්නොළුවේ ඔපිසරගේ දුව පොඩිනෝනා..
එච්චර ලස්සන පොඩිනෝනා..එල්ලිලා මැරුණනෙ පොඩිනෝනා.."
මේ පටන්ගන්න විදිහ,එතනින් එහාට මගෙ මතකයෙ නෑ..
"මායින්නොළුව"කියන්නෙ වරකාපොලින් රුවන්වැල්ල-කරවනැල්ල පාරෙ යනකොට වරකාපොල නගරයට ආසන්නයෙන්ම හම්බවෙන ගමක්.
වෙන මායින්නොළුවක් ලංකාවෙ නැති නිසා මම හිතනවා මේ ඛේදවාචකය පහුගිය සියවසේ මුල් බාගයෙදි හෝ ඊටත් පෙර සියවසේ අවසන් දශකයන්වලදි සිදුවෙන්න ඇත්තෙ මේ ගමේදි තමයි කියලා..
මේ කවි අහලා ටික කාලයකට පස්සෙ තමයි "එරංගා සහ ප්රියංග" ගායනා කරන,
"ඔච්චර බලගතු ඔපිසර ගේ දුව
එල්ලිලා මැරුණනෙ පොඩිනෝනෝ ..." රේඩියෝ එකෙන් ඇහෙන්නෙ..
මුලින්ම මම පුදුම වුනා මේ වගේ අතීත ප්රාදේශීය සියදිවි නසා ගැනීමක්,රටම දන්න ගීතයක් වුනෙ කොහොමද කියලා..
කොහොමහරි තාත්තා කියපු කවියෙ සහ මේ ගීතයෙ පද, ළඟින් යන ඒවා..
හැබැයි ඒකෙත් මුල් ගීතය එරංගා සහ ප්රියංගටත් වඩා පරණයි.
ඔපිසරගේ දුව ගීතයෙ මුල් දිවෙන්නෙ ටවර්හෝල් යුගයට..
එරංගාගෙ පියා වන ලෙනාඩ් වීරසිංහ සහ ලක්ෂ්මි බායි විසින් ගීතය මුලින්ම ගයන්නෙ සිංහලයෙන් සහ ඉංග්රීසියෙන් වෙන වෙනම.
මේක අතීත ප්රවාදයක් ඇසුරෙන් හැදුනු ගීයක් වුනත් එරංගා සහ ප්රියංග ගායනා කලාම,ඒක එවකට හිටපු ඉහළ රාජ්ය නිලධාරියෙකුගෙ දියණියගෙ සියදිවි නසාගැනීමට සමපාත වුන නිසා ගීතය තහනම් වුනාය, ඒනිසා ඇතිවුනු කලකිරීම ඔවුන් දෙදෙනාගේ රට හැර යාමටත් හේතු වුනාය කියල ක්ලැරන්ස් විජේවර්ධන පසුකාලීනව කියල තිබුනා.
ඒ ගමේ කීයෙන් කීදෙනෙක් මේ සිදුවීම ගැන දැන් දැනුවත්ද කියල දන්නෙ නෑ.
හැබැයි අදටත්, මායින්නොළුව හරහා යද්දි මට එච්චර ලස්සන පොඩි නෝනව සිහියට නැගෙන එක වළක්වගන්න බෑ..
නිරෝෂ් ගුණසේකර විසිනි.