lan englan tam

පුවත්

මද සීත නල රැල්ල ලියූ ගිනි කූරු රැවුල්කාරයා; මානෙල් පෙරේරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මට ඔහු මුළින්ම ඇස ගැසෙන්නේ මා තරුණයා පත්තරයට එක් වූ දා සිටය.එතකොට මා කුඩා කෙල්ලකි. ඔහු විශේෂයෙන් මගේ මතකයට එක් වනුයේ කෙසේදැයි කියමි. අනේ මා එය කියන්නේ නොකියා බැරි බැවිණි. ගිණිකූරු රැවුළ... හත්තිලවුවයි.. මම ඊට කළින් එවැනි රැවුළක් දැක ඇත්තේ අතීතයේ ඒ පරණ චිත්‍රපට නළුවන් වෙතින් වුවත් මේ ගිණිකූරු රැවුළ මට ටිකක් හෝ ඊට පසු දැක පුරුදු කරුණාරත්න අබේසේකරයන් වෙතිනි. මේ ගිණිකූරු රැවුළ් මහත්තයා තරුණයා පත්තරේට ආවා ගියා වුණත් ඔහු අපේ කන්තෝරුවේ ලංකාදීප පුවත් පතේ අයෙකි. තරුණයා පත්තරේ ඔහු කුමක් කරයි ද , පිනා,ස් වර්ල්ඩ් ලියන්නේ තරුණයෙකියි මම සිතා සිටියෙමි. එහෙත් පිනා,ස් වර්ල්ඩ් අත් පිටපත යටින් මානෙල් පෙරේරා නම් නමක් තිබේ..

ඒ කියන්නෙ පිනා ස් වර්ල්ඩ් ලියන්නෙ එතකොට ගැහැණු ළමයෙක්ද ? මේවා එකළ මට මහා ගැටළුය.
මම ඒ ගැන නන්දනී කුමාරි ගාල්ලගේ අක්කාගෙන් ඇසුවෙමි. එහෙත් ඇය ඒ වෙලේද තරුණයා වෙත පැමිණ සිටි කලිසමකින් කමිසයකින් ජැන්ඩියට සැරසී සිටි මානෙල් ව අඳුන්වා දුන්නාය. ඒ මහත්මයෙකි.අපූරුවට ගිණිකූරු රැවුලක් නඩත්තු කළ මානෙල් අයියා ට එතැන් සිට මා ප්‍රිය කරන්නට වූයේ හාස්‍ය රසය මතු කරන්නට ඔහුගෙ අකුරු වලට තිබූ අපූරු හැකියාව නිසාය.
ඩොලියගේ ඩයරිය , මී අඹ සෙවනේ කෝකිලා මෙන්ම එළොවින් මෙලොවට , මෙළොවින් එළොවට දුලානි සහ,සිරිනාග ගේ ලියුම් හුවමාරු කළේද මේ කියන මානෙල් පෙරේරාය
කීර්ති පැස්කුවල් අයියාත් දීපිකා සන්දනායක ( අද ඇය ආසිරි වණිගරත්නයන්ගේ බිරියයි) පෙනී සිටි පිංතූර කතාවක් වූ ලියතඹරා කතාව සිරිකතට ලීවේද මානෙල් අයියායි.පිනට යටවුණ පවුකාරයෝ නවකතාවද , පිස්සාගේ පළා මල්ලද මානෙල් අයියාගේ අකුරු මල්ලෙන් ගෙතුණු ලස්සන වියමන්‍ ය.
මානෙල් අයියා උපහාස රසය මතු කරමින් හිටිවන කවි ලියන්නට මුළු රටටම හිටි අඟනා කවියෙකි.
මේ කියන සිදුවීම ඔහුගේ කාව්‍යමය හැකියාවේ වපසරිය හා අදාල බැවින් මා එය පවසන්නට අදහස් කළෙමි.
දවස, එදවස ඉතාම ජනප්‍රිය පුවත්පතකි. මානෙල් අයියාද එහි උප කතුවරයෙකු ලෙස සේවයේ යෙදී සිටියදී දවස දියකිඳුරිය තේරීමේ තරගයක් දවස ,පුවත් පතින් සංවිධානය කර දියත් කර ඇති අතර එහි කාන්තා ඉසවුවකදී උඩුබැලි අතට පිහිනීමේ තරග අවස්තාවක් තිබී ඇත. .
එදවස දිවයිනේම ජනප්‍රිය නිවේදකයෙකුව සිටි කරුණාරත්න අබේසේකරයන් තරගය පිළිබඳ නිවේදන කටයුතු මෙහෙයවූ අතර දවස පත්තරේ උප කතුවර කවියෙකු වූ මානෙල් පෙරේරා හිටිවන කවියෙන් තරග විස්තර විචාරයේ යොදවා තිබිණි.
නාන ඇඳුමින් සැරසුන හැඩැති අඟනුන් මේ පිහිණුම් ඉසවුවට කැළණි ගඟ දියට එක් වූ අතර සුරූපී අඟනුන් ගඟ දියේ උඩු අතට පීනමින් තරග කළාය. නිවේදක මහතා තරග ඉසවුව ගැන නිවේදනය කළ පසු අපේ මානෙල් පෙරේරා කවියා දිය කෙළියට වන් අඟනුන්ගේ රූපාලංකාරය වන මින් හිටිවන කවි ඉදිරිපත් කලේය .මුල් තෙපදය නොව අවසාන පදය පමණක් අද මෙහි සඳහන් කරනුයේ මානෙල් පෙරේරා තැඹිලි කවියා කරන්නට ඒ කවි පදය හේතු වූ නිසාමය .
පාවේ තැඹිලි ගෙඩි දෙක දෙක කැළණි ගඟේ
මේ මානෙල් පෙරේරා කවියා සිය හිටිවන කවිය අවසන් කළ පදයයි.
මේ කවිය පසුදා පුවත් පතටද එක් වූ අතර මානෙල් පෙරේරා තැඹිලි කවියා වූයේ එසේය.
මානෙල් පෙරේරා කවියටම උපන්නේ කෙසේද ? මානෙල් පෙරේරා කවියාගේ ගම තිහාරියයි. තිහාරියේ පීටර් පෙරේරා නම් අති දක්ෂ කවියා පැරණි මුල් කණ්ඩායමේ කවියෙක් සහ පසුව දෙවැනි කවි පරපුරද නියෝජනය කළ සුපිරි කවියෙකි.එමෙන්ම මේ ජේෂ්ඨ කවියා සය දරු පියෙකි.වෘත්තීයෙන් ගුරුවරයෙකි .ඔහුට ඒ හයදෙනාගෙන් දෙවැනි දරුවා ලෙස හා වැඩිමහල් පිරිමි දරුවාවී උපදින්නේ මානෙල් පෙරේරාය. ලේ වලින්ම කවිත්වය ගෙන ආ මානෙල් පෙරේරා ලියූ ගීත අතරින් සරත් සන්දනායකයන් හා දයා හේමන්තා අබේසේකර වහල් දූපත චිත්‍රපටයට ගැයූ මද සීත නළ රැල්ල දැඟලිල්ල පා ගීතය අදටත් ජනප්‍රියය.විමලනාත් දිසානායකයන්ගේ මාතෘ භූමි චිත්‍රපටයේ ගීත සියල්ලම( ගීත 09 ක්) ඔහු ලියූ ඒවාය ජී එස් බී රාණි පෙරේරා මහත්මියත් මිල්ටන් පෙරේරා මහත්මයාත් මුල්වරට ගැයූ යුග ගීතය වන
තුරු මත ලපළු කැකුළු පිපේ
ගීතයද අපේ මානෙල් අයියාගේ රචනයකි.දාමරිකයෝ චිත්‍රපටයේ ගීත තුන ද මානෙල් අයියාගේ ගීත රචනා ය.එතකොට මේ ගීත කෝ..? අවාසනාවකට මානෙල් අයියාවද මතක නැති අය එදා මේ ගීත පටිගත කිරීම් කර සංරක්ෂණය කර නැත.
අද මානෙල් අයියාගේ කවිවල උපහාස රසය හෝ සෘංගාර රසය ආදී මෙලෝ රහක් මතක හෝ දන්නා අඳුනන ඒවා මතක ඇති පිරිස් නැත. කොටින්ම කියනවා නම් ඔහුගේ පිංතූරයද සොයා ගත්තේ පුදුම අසීරුවකිනි. ඒ මානෙල් අයියා රූපයෙන් අඳුනන අය අද විරල නිසා මිස මානෙල් අයියාගේ පිංතූර මාධ්‍ය ආයතන පුස්තකාලවල නැති නිසා නොවේ.
මිනිසුන්ගේ සිත නොරිදවන්නට වග බලා ගන්නා මානෙල් අයියා බාසාවට එකතුකළ එක ඉංග්‍රීසි වචනයක් ද තිබේ .ඒ, බ්‍රම්පට් එකයි.
දවස පත්තරේ පළකරන්නට චායාරූප ශිල්පීන් ගෙනෙන පිංතූර පළකිරීමට නොසුදුසු වනවිට මානෙල් අයියා ඒවා ප්‍රතික්ෂේප කර අදාල ශිල්පියා මානසිකව නොවට්ටා එය පළකරන්න බැරි බව කියන්නේ මෙසේය .
කෝ අයිසෙ මේ පිංතූරවල බ්‍රම්පට් එක..? බ්‍රම්පට් එක නැතිව මේක දාලා අපිට ගෙදර යන්න තමයි වෙන්නෙ..?
අනේ එහෙමද සර්.. හොඳයි එහෙනම් ආයෙ පිංතූර ගනිද්දි බ්‍රම්පට් එකත් එක්ක අරන් එන්නම්කො..!
චායාරූප ශිල්පියා තවමත් බ්‍රම්පට් එක සොයනවාද දන්නේ නැත.
වරක් එකල ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යක නිළියක් අපි කන්තෝරුවට ගෙන්වා ගතිමි. ඒ ලිපියක් සඳහා තොරතුරු ගන්නටය. ලියූවේ මමය. එතනට ආ මානෙල් අයියාට මම ඇය හඳුන්වා දුනිමි. මේ අහවල් ටෙලි නාට්‍යයේ අහවලා. මානෙල් අයියත් බලනවද
ඒක.
අපේ සුන්දර ගිණිකූරු රැවුළා කීවේ මෙවැන්නකි.
පේන නිසා බලනවා. බලන නිසා පේනවා.
ඒ ඔහුගේ විහිළුවල හැටිය බඩ අල්ලාගෙන හිනැහෙන්නට , මතක්වන විට උන් හිටි තැන් අමතකව බකස් ගා හිනා යන්නට තරම් ඒවා සැබෑ විහිළුය.
මානෙල් අයියා යන්න ගොස් අවුරුදු දහපහළොවක් වුණත් තාමත් මට නම් ඔහු අමතක නොවේ. මේ පත්තර කලාව බැබලවූ සොඳුරු කවියා පත්තරවලට දායාද කළ එකම පුතා අසංක දේවමිත්‍ර පෙරේරාය. ඔහු ද සුපිරි දක්ෂයෙකි. නමුත් මම මෙහි සඳහන් කළ තොරතුරු වෙනුවෙන්වත් ඔහුව අමතන්නට නොසිතූවෙ ඇතැම් විට ඔහුටද මේ තොරතුරු සෙවීම ප්‍රශ්නයක් වෙන්නට ඇතැයි සිතාය.නමුත් ඔහුට ස්තූතියි කියමි . ඒ රටක් වටින පියාගේ අඩිපාරේ පැමිණ පුවත්පත් කලාවටත් ගීත ගායනයටත් රංගනයටත් දක්වන දායකත්වය හේතුවෙනි. පොත් දහයක් ලීවත් ලියා නිමකරන්නට බැරි මේ සොඳුරු කවියා පත්තරකාරයාව කාලයේ වැලි තලයෙන් වසා දමන්නට ඉඩ නොදී නොදිරන නාමයෙන් ඔහුව ජීවත් කරමු. ඒ ඔබ දන්නා තොරතුරුත් ලිවීම මගින්.
තොරතුරු සොයා ගන්නට උදවු කළ රොඩ්නි විදානපතිරණ මහතාටත් පිං.

නාලිකා රාජපක්ෂ

Back to top
Go to bottom

Popular News