විඩාබර ජීවිතය
නිදන ඇසිපිය මතට
දැනෙන රෑ කලුවරක
සකල පිරිපත නිවා
එතැයි අතැ'ඟිලි නොගැන
හිරුට පෙර හිමිදිරිය
සොයා යා යුතුව ඇත
අළුගෝසු කලුවරට
බිය ව තැතිගෙන දුරක
පළාගිය ජීවිතය
යළිදු කැඳවිය යුතුය
කලු, අඳුරු බිම්කඩට
තරු එළිය වුව වැටෙත
ඉදින් ඒ හිමිදිරිය
නොමැත ඈතක, දුරක
ගනඳුරම හතරවට
පිපේනම් කලුවරට
තව මියුරු ගී කුමට
උදෑසන ගැන අපට
සුළඟ සමගින් යළිදු
සුවඳ කැඳවනු මිසක
සමනලුන් වී කුමට
මල් නොපිපි බිම්කඩක
- හැටේ වත්තේ මග්දලේනා (2013) - සෞම්‍ය සඳරුවන් ලියනගේ