කුමාර හෙට්ටිආරච්චි කවියෙක්, චිත්‍ර ශිල්පියෙක්. අපිට ඔහුව සමීප වෙන්නේ මුහුණු පොතේ ඔහු ලිවූ කවි තුළින්. මිරර් ආර්ට්ස් ඔහු සමග කළ සංවාදයයි මේ.
මගේ නම කුමාරහෙට්ටිආරච්චි ගාල්ලේ හබරාදූවේ කෝදුගොඩ කියන ගමේ.මම පළමුශ්රේණියේ සිට උසස්පෙළ දක්වා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. අනතරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා උපාධිය නිමකළා. ඒ උපාධියෙන් පසු ජපානයේ සගා විශ්වවිද්‍යාලයේ විෂුවල් කොමියුනිකේෂන් ඩිප්ලෝමා එක කරලා ඉන්පසු මම සාශ්ත්රපති උපාධිය කළා අමෙරිකානු සාහිත්‍ය ගැන.
කෘෂිකර්ම උපාධියක් හිමි ඔබ කොහොමද මේ සාහිත්‍ය සානරය ට ඇතුළ් වෙන්නේ?
ඇත්තටම මම කුඩා කාලයේ සිටම කලාවට බෙහෙවින් ආදරය කළා ඇල්මක් දැක්වූවා. ගාල්ල රිච්මන්ට් පාසලේ තුනේ පන්තියේ සිටම කවි, කෙටිකතා, පුංචි කතා, සිංහල රචනා ආදී සියළු සාහිත්‍ය කටයුතු වල නිරතවීමෙන් ජයග්‍රහණය ලැබුවේ මම.අවුරුදු 16 දී මම නාට්‍යයක් නිෂ්පාදන කළා අවිච්චියාගේ නඩුව කියලා. මම වේදිකා නාට්‍ය 10යක් රචනා කරලා නිෂ්පාදනය කළා.
1981 සමස්තලංකා පාසල් නාට්‍ය තරගයෙන් දිනපු වේරම්භ වාතයත් මගේ වැඩක් .රිච්මන්ඩ් හිටපු ඒ කාලේ මගේ වයස අවුරුදු 19යි.වර්තමානය වනවිටද රිච්ම්න්ඩ් පාසලේ වෙනත් නාට්‍යක් සමස්තලංකා තරගවළින් පළමු ස්ථානයට පැමිණ නැහැ.
කුඩා කල සිටම මම ලියනවා, චිත්‍ර අදිනවා..... චිත්රවලට පාසලේදී මම තෑගි ලබනවා. ඉතින් මම හිතනවා මගේ ඇතුළෙ සිටින මානවයා තමයි කලාකරුවා.
මම කවිය හදාරපු කෙනෙක් නෙමෙයි.මගේ හීනේ තිබුනේ අ.පො.ස සා.පෙ.ට චිත්‍ර කරලා සෞන්දර්යය විශ්වවිද්‍යාලයට යන්න තමයි මගේ හීනය තිබුනේ.1976 ජනවාරි මාසෙ 16 වෙනිදා මහගම සේකර මැරෙනකොට මගේ වයස අවුරුදු 14යි. මහගම සේකර කළුරිය කරයි කියලා දිණමින පත්තරේ මුල්පිටුවෙ දකුණු අත පැත්තෙ පළ කරපු නිව්ස් එක දැකලා මම දුකෙන් බලන් හිටියා. මම එතකොට සේකර ගැන දන්නෙ නැහැ. හැබැයි මට දැණුනා මාර මිනිහෙක් කියලා.ඒ අවුරුද්දෙම මාර්ටින් වික්‍රමසිංහ මැරුණවෙලාවේ තාත්තා මාව එක්කරන් ගියා කොග්ගග.
පේරාදෙණිය විශ්වද්‍යාලය කලාවේ තෝතැන්නක් බඳුයි. ඔබට එහි ආභාෂය ලැබුනද?
ඇත්තටම ඔව්. මම වැඩි කාලයක් ගතකළේ කලා පීඨයේ.ඒ කාලේ මහාචාර්ය කේ.එන්.ඔ් ධරමදාස, පුංචි බණ්ඩාර මීගස්කුඹුර සහ මහාචාර්ය ඈෂ්ලි හල්පෙ ඇතුළුව මහාචාර්යවරු 14 දෙනෙක් ගිහින් උපකුලපති මුණගැහිලා කිව්වා කෘෂිවිද්‍යා පීටයෙන් අයින් කරලා කලා පීඨයට දෙන්න කියලා. මේ මිනිහට ෆර්ස්ට් ක්ලාස් එකක් නෙමේ සුපර් ෆරස්ට් ක්ලාස් එකක් හම්බවෙනවා මේ මිනිහා අපිට දෙන්න කියලා. නමුත් කෘෂිවිද්‍යා පීඨයේ පීඨාධිපිති එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඔහු විරුද්ධවුනා.
ඔබේ කවි මා දකින්නෙ අන්තර්ජාලයෙන් . කවිය ඔබට සමීප වෙන්නේ කොහොමද ?
මගේ සිහිනය තිබුනෙ සිනමා කරුවෙක් වෙන්න.ලාංකේය සිනමාවේ මගේ වීරයා ධර්මසේන පතිරාජා.ඒ සිහිනය ඉෂ්ට කරගැනීමට නොහැකිවීමේ කනගාටුවක් මගේ තිබුනා.මම හිතන්නේ ඒ ඉෂ්ට කර ගැනීමට නොහැකිවීමේ කනගාටුව මා යටි සිත තුළ තිබෙන්නට ඇති. නමුත් කවිය කොහොමද සමීප වෙන්නේ කියන ප්‍රශ්නෙට පැහැදිළි පිළිතුරක් දෙන්න මට පුළවන් කමක් නැහැ.ඒ සිතුවිළි ගලා එනවා.
මගේ පළමු කවිපොත 1985 සක්මන් මළුව කියලා ප්‍රකාශ කළා. නමුත් ඇත්තටම මට හිතෙනවා මම මේ ලියන්නේ කවිද කියලා.මොකද මම කවිය හදාරලා නැහැ. සිංහල භාෂාව හදාරලා තිබෙන්නේ සා.පෙ. දක්වා පමණයි.මම අනුභූතිය කියන වචනේ තේරුම් ගන්න කොට පොත් කිහිපයක් මුද්‍රණය කරලාත් ඉවරයි.
ඔබේ කවිපොත් මොනවද?
මම කරලා තියෙනවා සක්මන්මළුව, භෂ්මාවශේෂ, රුවන් සක්මන, මහාද්වීපය සදාකාලික මධ්‍යාහ්නය . එයට රාජ්‍ය සාහිත්‍ය සමමාන ලැබුනා 1992. ඉන්පසු මම අවුරුදු 20 කිසිම දෙයක් ලිව්වෙ නැහැ.
දශක දෙකක් ලිවීම අත්හරින්න ඔබට හේතුවූ කාරණා මොනවද?
ඇත්තටම මම ජපානයට පැමිණීමත් හේතුවක් වුනා, ඒත් ඇත්තටම හේතුව වුනේ සාහිත්‍ය ක්ෂේත්රයේ පුද්ගලයන් පිළිබඳව බරපතළ ලෙස කළකිරීමක් ඇතිවුනා,කවි ලිවීම රාජ අපරාධයක් වගේ තැනකට දාලා කතා හදන්න පටන් ගත්තා, ඉතින් මට හිතුනා මගේ භාෂාවෙන් කියනවනම් මොන මගුලකටද මම කවි ලියන්නේ මට නිකම් ඉන්න බැරිය කියලා, ඉතින් ඒ නිසා මම ලිවීම නවතලා චිත්‍ර අඳින්න පටන් ගත්තා,
නමුත් ඔබ යළිත් ලිවීම ආරම්භ කරනවා,
ඇත්තටම ජපානේ ඉන්නකොට මම කවිි ලියනවා. ගලාඑන සිතුවිළි මම සටහන් කරනවා. නමුත් පොත් ලෙස එළිදැක්වීම් කළේ නැහැ. මම චිත්‍රශිල්පියෙක් ලෙසින් ජපානෙදී මුදල් උපයන්න පටන් ගත්තා. විශාල මුදල් ලැබෙනකොට මට මතක්වුනා අපේ දුප්පත් අවදිය.
පාළු හේනක සුවඳ
ගෙනෙයි යටගිය දවස
අමුඩ කෙටියෙන් මෙපිට
දෙයක් නොමවිය අපිට
ටෝකියෝවට ගලන
මහාජන ගගට පැන
දෑත් වරළින් සරන
කුඩා මාළුවෙකි මම
හැබැයි මට දැනෙනවා මම ජපානේ ජීවත්වුනාට ගමෙන් ගැලවිලා නැහැ කියලා.
පායලා දේදුන්න
ජපන් රට වෙත නැමුන
දේදුන්නේ එහා කොන
ගමේ බඩ වැටියටම
අම්මා මගෙන් ඉල්ලීමක් කළා පුතේ පොත් ආපහු ගහන්න කියලා.ඇය 2009 අපෙන් සමුගන්නවා. ඉන්පසුව මම අම්මගෙ ඉල්ලීම නිසාම යළිත් පොත් එළිදැක්වීම් කළා.ඒ 2010 පාරජම්බුල කවිපොත.ඉන් පසු සයංජාත සන්ජානණ, සඳ කත්මිණි ගගුල පතුලේ සහ අන්තිමට ලිව්වේ සාරාසංඛ්‍ය අග්නි වාෂ්ප
ඔබ වෘත්තියක් ලෙස කරන්නෙ මොනවද?
මම මේ වනවිට වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.මම විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා ප්‍රථමයෙන් දකුණු පළාත් සභාවේ මාධ්‍ය නිළධාරීලෙස වසර තුනක් රාජකාරී කළාගඉන්පසු මම ජපානෙට ආවා.
ඔබ ජපන් රටේ පැළවුනේ කොහොමද?
මම සගා විශ්ව විද්‍යාලයට ආවත් මට නවතින්න කන්න බොන්න මුදල් තිබුනෙ නැහැ.ඇතුල්වීමේ ගාස්තු ගෙවන්නවත් සල්ලි තිබුනෙ නැහැ. මම පාර්ට් ටයිම් ජොබ්ස් කරමින් හිටියෙ.මේ අතරෙදි මට ජපන් භාෂාව උගන්වපු අම්මා කෙනෙක් මට කිව්වා 'කුමාර් සාන් ට චිත්‍ර අඳින්න පුළුවන් ලස්සනට අපි චිත්‍ර ප්‍රදර්ශණයක් කරමු' කියලා ප්‍රදර්ශණයක් කළා. ඉතින් මගේ මුල්ම චිත්‍ර ප්රදර්ශණයෙන් ලක්ෂ පහක ආදායමක් ලැබුනා.ඉන් පස්සේ ඒකට සම්බන්ද වෙච්ච ජපන් ජාතික මිත්‍රයෝ එක්ක දිගටම මගේ චිත්‍ර ප්‍රදර්ශණ පැවැත්වුවා.විවිධ පුංචි නගරවල.ඒ ප්‍රදර්ශන වළින් මම ලබපු මුදලින් ගාල්ලෙ ආරම්භ කළා කින්ග්ස්ටන් ජාත්‍යන්තර පාසල යනුවෙන් කුඩා මට්ටමේ මොන්ටිසෝරියක්. ඒක දිගටම පවත්වගෙන එමින් තවත් අධයාපන ආයතනයක් පටන් ගත්තා British College කියලා ගාල්ලෙම.ඒ දෙකම සාර්ථක වුනා. ඉතින් මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වෙන්නෙ ඒ විදිහටයි.
10වෙනි ශ්‍රේණිය දක්වා සිංහල භාෂාවක් ලෙස අධ්‍යාපනය හැදෑරූ ඔබ කවිය සඳහා භාෂාව හොයාගන්නේ කොහොමද?
මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරනවා ලක්ෂමන් ජයතිලක.බද්‍රජී මහින්ද ජයතිලකයේ සහෝදරයා.එතුමා තමයි මම පේරාදෙණියෙ ඉන්න කාලෙ හිටපු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා.එතුමා මට කියපු දෙයක් තමයි 'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' කියලා. හැබැයි මම හිතන්නේ කියැවීම මිනිසා සම්පූර්ණ නොකරයි කියලා.මම දැන් කියවන්නේ නැහැ. නමුත් ඒ කාලෙ මම මහගම සේකරගෙ පොත් සියල්ල කියවලා ඉවරයි. මම හතේ පන්තියේ ඉන්නකොට කරුණාසේන ජයලත්ගෙ ,කුමාර කරුණාරත්නගේ පොත් කියවලා ඉවරයි.අටේ නමේ පන්තිවලදි ජීබීසේනානායක, මහාචාර්ය සරත්චන්ද්,ර මාර්ටින් වික්‍රමසිංහගෙ පොත් සියල්ල කියවලා ඉවරයි .
මම පේරාදෙණියට ඇතුළ් වූ කාලයේ මට කියැවීම එපා වුනා.මම කවිපොත් කියවන්නෙත් නැහැ. මට පොඩි බයක් තිබුනා ඒ කවි කියෙව්වහම ඒ කවි ගති ලක්ෂණ මට ඇතුළ් වෙයි කියලා.මම කියවන්නේ ජීවිතය.පොදු තැන්වල, අතන මෙතන ගත කරන විට මම බලන්නේ, විඳින්නේ ලෝකය.මට පේන් දකින මිනිස් ජීවිත මම කියවනවා. ඒ මුහුණු දැක්කහම ඒ හැම මුහුණකම කවි තියෙනවා කියලා මට හිතෙනවා.මගේ සමීප මිත්‍රයෙක් ගාමිණී විජේතුංග මම ඔහුට කිව්වහම මට පොත් කියැවීමේ උවමනාවක් නැහැයි කියලා ඔහු මට කිව්වෙ මල්ලි ඔයා ලෝකයම පොතක් විදිහට කියවනවා කියලා.
මට වචන කියන ඒවා ලියනවිට එන දේවල්. නෝණ්ඩිය, කිණ්ඩිය වගේ වචන එනකොට මම ඒවා එහෙම්මම දානවා.මට මේ වෙලාවෙ මතක් වෙනවා මහගමසේකරගෙ තුම්මන් හන්දිය කෘතිය. එහි මෙහෙම තියෙනවා.
ඌරන්ට කියන්ට තරාලට යයි. කෝකියන්ට කියන්ට ගම්පහට යයි.
මගේ කාව්යලෝකෙ බුදුහාමුදුරුවො මහගම සේකර . මම මහගමසේකරගෙ වඳින කවිය කොන්තනෝනා. මෙහි තියෙන්නේ ගැමි පද රබන් පද. එහෙන් බැලුවත් කොන්ත නෝනා. මෙහෙන් බැලුවත් කොන්ත නෝනා.ගමේ ඉන්න අහිංසක ගැමි තරුණයෙක් කොන්ත නෝනා කියනා ගැහැනියකට ආදරේ කරනවා.මේ ගැහැනියව බලන්න ගමේ ඉන්න පිරිමි යනවා මේ කාන්තාවගේ ගෙදරට.මේ ගැන ලියන්න සේකරට යන්නේ පද දෙකයි. මම ලිව්වනම් එහෙම නානවා...
එළිවෙන ජාමෙට බස්සො හඩන්නා
කම්මල්වත්තේ බල්ලො බුරන්නා...
ඔබේ කවියෙහි ආකෘතිය හතර පද පමණක්ද?
මෙහෙමයි සන්ධර්භය විසින් ආකෘතිය නිර්මාණය වෙනවා.හැබැයි මම ලියනකොට එහි ආකීතිය පිළිබඳව සැලකිළිමත් වෙන්නේ නැහැ .මම ලියනවා.මම විශේෂයෙන් කියන්න අවශය කාරණයක් තියෙනවා. මට ලිවීම සඳහා උල්පත් සපයලා තියෙනවා අපේ ගමේ තොවිල්.මම තොවිල් නරඹලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක. තොවිල්වල සංවාද. තොවිල් කවි මට ආභාෂයක් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
ඔබේ කවි ගැන ඔබට දැනේනේ කොහොමද?
අවංකවම මම මෙහෙම කියන්නම් භෂ්මාවශේෂ පොත මම ලිව්වෙ දවස් දෙකෙන්. රාජ්‍ය සම්මාන දිනපු පොත ලිව්වෙ දවස් තුනෙන්. මම ලියන්න කාලය ගන්නේ ඉතා කෙටි කාලයක්.මම මගේ කවි පිළිබඳව මම සතුටු වෙනවා.
රසය හැරුණ විට කවියෙන් පාඨකයෙකුට ජීවිතයට ගන්න දෙයක් තියෙනවද?
අනිවාර්්‍යයෙන් තියෙනවා.කවිය ජීවිතය ඥාණනය කරන නිර්මාණයක්.සෞන්දර්යයාත්මකව ඥාණනය කිරීම කලාවේ කාර්්‍යභාරය කියලා මම විශ්වාස කරන්නේ.ජීවිතය ඥාණනය කිරීමෙන් තමයි යහපත් මනුස්සයෙක් ඇති කරන්න උපකාරීවෙන්නෙ.එය සමාජ ප්රගමණයකට, සමාජ පෙරළියකට යන්න පුළුවන් . මිනිස් සිත ඥාණනය කිරීමේ බලය කවියට තිබෙනවා.කවිය, සිනමාව, චිත්‍රය, කෙටිකතාව මිනිස් සිත වෙනස් කරන්න සාධයකයක් වෙනවා. අපි දන්නාව පිකාසෝගේ Guernica දෙවන ලෝක යුද්ධයේ කෲරබාවය කොයිරම් හොඳින් ලෝකයට කිව්වද කියලා.
වර්තමාන ලෝකයේ කවිය සහ සාහිත්‍ය අද තිබෙන්නේ කොතැනද ඔබේ අත්දැකීම් අනුව?
ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ ඇතිව තිබෙන අතිවිශාල සංවර්ධනය තුළ තත්ත්පරයකට කිලෝ මීටර් තුන්ලක්ෂයක වේගයෙන් පණිවිඩ හුවමාරුවන ලෝකයක් මේක..මේ ලෝකය තුළ කලාවේ හැඩරුව වෙනස් වෙලා ඇති.සිනමාව වෙන්න පුළුවන්, වේදිකා නාට්‍ය නිර්මාණ වෙන්න පුළුවන්. මේ කවර දේ වෙනස් වුනත් මම හිතනවා පොදු ලක්ෂණ ඉතිරිව තිබෙනවා කියලා. මම මෙහෙම ලියලා තියෙනවා. භාෂාව නවකතාවේදී මහණ වී, කෙටිකතාවේදී උපසම්පදා ලබා, කවියේදී රහත් වෙයි කියලා. මම මේ ලගදි කල්පනා කළා චතුරාර්්‍ය සත්‍ය අපිට කවිය, ගීතයට, සිනමාවට, වේදකාවට, නවකතාවට ගන්න පුළුවන් කියලා. දුක, දුකට හේතුව,දුක නැතිකිරීම,දුක නැතිකිරීමේ මාර්ගය, මම හිතනවා කවිය සිනමාව චිත්‍රය කෙටිකතාව ඇතුලු මේ සියල්ල සඳහා අපි ගන්න ඔනේ චතුරාර්්‍ය සත්‍යයේ මුල් කොටස් තුන කියලා.දුක, දුකට හේතු සහ දුක නැතිකිරීම. දුක නැතිකිරීමේ මාර්ගය සකස් කරන්න ඔිනේ දේශපාලනයෙන්.අනිත් ටික අපිට කරන්න පුළුවන්.පරම දර්ශණය හැමදාම එකක් කියලයි මම හිතන්නෙ.
අපි ට ඉතිහාසයෙන් සිනමාව කවිය නවකතාව වේදිකාව චිත්‍රය ආදී වශයෙන් ගත්විට බිහිවී ඇති ශ්‍රේෂ්ට මිනිසුන් ට සාපේක්ෂව ඔබ හිතනවද වර්තමාන පරම්පරාවෙන් අනාගතට එවන් ශ්‍රේෂ්ටයන් ඉතිරිවෙයි කියලා.
මගේ මේ ප්රකාශණය සැහැසි වුනොත් මට සමාවෙන්න. කේමදාස මාස්ටර් නැතිවුන වෙලාවේ මම කියපු දෙයක් තමයි ආපහු කේමදාස කෙනෙක් අපිට බිහිවෙන්නෙ නැහැ.ගාමිනී ෆොන්සේකා,ජෝ අබේවික්‍රම වැනි අය අපිට ආපහු එන්නෙ නැහැ.මම කැමතිම නවකතාව විරාගය. මම කැමතිම කෙටිකතා පොත සයිමන් නවගත්තේගමගේ සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා. මම කැමතිම කවි පොත රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත.මහගමසේකර, සරත්චන්ද්‍ර, ජීබී සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, ලෙස්ටර්, පතිරාජා අදී වශයෙන් ගත්තහම මේ අය ගියාට පස්සේ අලගු තියන්නවත් කෙනෙක් එන්නෙ නැහැ.මට හිතෙන්නේ මගේ ජීවිත කාලේ මහාපුරුෂයන් බිහිවේයැයි හිතන්නට බැහැ.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?
එහෙම සැළසුමුක් නැහැ. මම ජපානෙට වෙලා චිත්‍ර අඳිනවා. මෙහේ අය කලාවට හරි ආදරෙයි.මගේ අත්දැකීමක් කියන්නම්. මම චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වද්දි... නාඳුනන වයසක පුද්ගලයෙක් ආවා. මම එයාගෙන් ඇහුවා 'ඔබ කව්ද'? කියලා. ඔහු කිව්වා 'මම මාලු කඩයක අයිතිකරුවෙක්' කියලා.මම ඇහුවා 'ඇයි ඔබ මෙතෙැනට ආවේ'? කියලා එයා කිව්වා 'මම දැක්කා චිත්‍ර ප්‍රදර්ශණයක් තියෙනවා කියලා ශ්‍රීලංකාවේ කෙනෙකුගේ මම චිත්‍රප්‍රදර්ශණය බලලා චිත්‍රයක් අරන් යන්න ආවේ' කියලා කිව්වා. මම ඇහුවා 'ඇයි ඔබ මගේ චිත්‍රයක් ගන්න හිතුවෙ'? කියලා. එතකොට කියනවා 'මම මාළු විකුණලා ලබන ආදායමෙන් කොටසක් වියහියදම් කරනවා... චිත්‍රයක් ගන්න, පොතක් ගන්න, චිත්‍රපටයක් බලන්න, ඔපෙරා එකක් බලන්න .මම ඒ කොටස අයින් කරන්න ඔිනෙ.එතකොට තමා ඒ කලාකෘති කරන අයත් ආරක්ෂාවෙන්නේ කියලා' ඔහු කිව්වා.ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ අගය කිරීමත් වැදගත් කියලා කිව්වා.ඔහුගෙ වැදගත්ම කතාව තමයි.. අපි සමාජයක් හැටියට වෙන්වෙලා ඉන්න ඔිනෙ නැහැ අපි සේරම එක ට බැඳී සිටීම වැදගත් කියලා.ටොයෝටා කොම්පැණිය මිලියන ගණනාවක් ෆයින් ආර්ට්ස් වෙලට වෙන්කරනවා. ඔවුන්ගේ දර්ශණය හරි වෙනස්. ඔවුන් කලාව සෞන්ධර්යයට හරිම සංවේදීයි. සිනමා, සංගීත, බැලේ, ඔපෙරා, වේදිකා මේ හැම තැනකම සෙනග උතුරනවා.ඉතින් මම ජපානෙ චිත්‍ර ප්‍රදර්ශණ කරමින් ඉන්නවා. අනාගත සැළසුමුක් ඉදිරි නිර්මාණ පිළිබඳ විශාල සැළසුමු නැහැ.
(කෘතිය රුවන් සක්මන)
.
- නුග ගසේ ගාථාව -
.
සදාකාලෙ ට
නොසෙල් වී ගෙන
හන්දියේ වැඩ හිඳින්නී
ආදරේ උල්පත සොයා ගෙන
මව්බිමේ මුල් අදින්නී
.
හිරු දියෙන්
ගත දොවන්නී
ධූලි ඔසරිය අඳින්නී
සඳ දියෙන් අතු තෙම තෙමා
ආදරෙන් අත වනන්නී
.
තුරුල්ලේ
මගේ උණුහුමේ
පියාසර කළ පැටවුණේ
අනේ කොයිබක සැඟවුණේ
කැදැල්ලේ
ලේ ගඳ දැනේ
බිඳී ගිය අත්තටු පෙනේ
කොයි මගේ දරුවෝ අනේ
.
පොරෝ තලයෙන්
කපව් මා ළය
කියත් තලයෙන් ඉරව් අත පය
බලව් අරටුව පලා වැගිරෙන
උතුම් මව් සෙනෙහසේ රුධිරය
.
භාවනාවට පසේ බුදුවරු
මගේ සෙවණට වඩින දවසක
කෑ ගසා අවනඩුව කීමට
මං බලාගෙන ඉන්නවා.
.
කුරුලු බිජුවට කෝටි ගණනක්
අතුපතර තුරුලේ තබාගෙන
ආදරය විකසිත කරන්නට
මව් බිමේ මුල් අදිනවා
.
- කුමාර හෙට්ටිආරච්චී -
සංවාද සටහන මනෝහාරී හේවාවසම්
https://casite-737679.cloudaccess.net/chat/4591-poem-art#sigProId874ad91b96