මාලක දේවප්‍රිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ “බහුචිතවාදියා” සිනමාපටය ලගදීම දිවයින පුරා සිනමාශාලා වල තිරගත කිරීමට සූදානම් බව වාර්තා වෙනවා.
‘බහුචිතවාදියා’, නාගරික පීඩිත තාරුණ්‍යයේ ඉරණම අළලා නිර්මිත අපූර්ව හා ආන්දෝලනාත්මක සිනමාපටයක් බවයි අවස්ථා කිහිපයකදීම එය නැරඹු පිරිසගේ පොදු අදහස වූයේ. ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව, පාරදිගේ’ හා ‘මතුයම් දවස’ සේම වසන්ත ඔබේසේකරගේ ‘වල්මත්වූවෝ’ හා ‘පළඟැටියෝ’ යන සිනමාපට පිළිබඳ මතකය අවදි කරන්නටත් ‘බහුචිතවාදියා’ සමත්.
පහතින් දැක්වෙන්නේ ඉදිරියේදී තිරගත වීමට සූදානම් මෙම චිත්‍රපටය පිළිබඳව එහි අධ්‍යක්ෂක මාලක දේවප්‍රිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකි.
* අපි මුලින්ම කතා කරමුකෝ, මේ චිත්‍රපට නාමය ගැන?
බහුචිතවාදියා ටිකක් නුහුරු වචනයක් වගේ හැඟවුණාට ඒක ඉතාම සරලයි. බොහෝ අදහස් ඇති මිනිසා නැතිනම් එක අදහසක් නැති මිනිසා යන්න මෙයින් අර්ථවත් වෙනවා.
සංස්කෘතික ධනවාදය විසින් අත්පත් කර දී ඇති මෙවලම් වන ස්මාර්ට් ෆෝන්, සමාජ ජාලා හරහා සැරි සරමින් මෙරටින් පිටව වෙනත් රටකට සංක්‍රමණය වීමේ පරම ඉලක්කය කේන්ද්‍රගත කරගනිමින් චාරිකාවේ යෙදෙන ගිෆ්ට් නෙට් නම් භාණ්ඩ බෙදා හරින ආයතනික සේවය කරන පුද්ගලයෙකු කේන්ද්‍ර ගත කර ගනිමින් ඔහුට මුණ ගැසෙන තවත් විවිධ චරිත පාදක කර ගනිමින් මේ කතා වස්තුව ගලා යනවා. මෙහි ප්‍රධාන රංග භූමිකාව වන සසිත වන්නිගමගේ චරිතය නිරූපණය කරන්නේ කලණ ගුණසේකර. ඊට අමතරව ලක්ෂ්මන් මෙන්ඩිස්, වීනා ජයකොඩි, දමිතා අබේරත්න, සමනලී ෆොන්සේකා, ඩීබී ගංගොඩතැන්න, නිල්මිණි බුවනෙක, ප්‍රසාදිනී අතපත්තු, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්‍රීගේ, සුලෝචනා විතානාරච්චි රංගනයේ නියැලෙනවා.
* ඔබ මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් කරලා සෑහෙන කාලයක් ගත වුණා නේද?
මේ චිත්‍රපටිය සංකල්පයේ මගේ මනස තුළට ආවේ සමාජ මාධ්‍ය ජාල ආරම්භ වූ ගිය දශකයේ මුල් කාර්තුව තුළ. මෙහි ප්‍රබන්ධ වන්නේ සමකාලීන ලාංකීය තාරුන්‍ය හා සමාජ ජීවිතයේ එක්තරා ස්වරූපයක පිළිඹිඹුවක්. විධිමත් අධ්‍යයනයක් නොලැබීම නිසා රැකියා සුරක්ෂිත භාවයක් නොමැති නිසා මුදල් සෙවීමේ පහසු මාර්ග සොයමින් විදේශගතවීමේ උන්මාදයෙන් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය හා ඊට ඈඳුණු ලබන සෙසු චරිත ආශ්‍රයෙන් සමකාලීන ලාංකේය සමාජය බිහිසුණු දෙදරීමකට ලක්ව ඇති ආකාරය තමයි එහි තේමාව. මේ වන විට සමාජ මාධ්‍ය සඳහා භාවිත සන්නිවේදන මෘදුකාංග වල තාක්ෂණය ආරම්භක යුගයට වඩා ඉතා දියුණු වෙලා තියෙනවා. ආරම්භක යුගයේ භාවිතා වූ Skype, වෙනුවට Whats app, viber, Imo, Messenger ආදි රාශියක් අලුතින් එකතු වෙලා තියෙනවා. කිහිපදෙනෙක් මගෙන් ඇහුවා දැන් ඔබේ සිනමා කෘතියෙ පෙන්වන ස්කයිප් වැඩිය භාවිතාවන් නොමැති නිසා බහුචිතවාදියා සිනමා කෘතිය පරණ වෙනවා නේද කියලා. මගේ උත්තරය කිසිසේත්ම නැහැ කියලා. මොකද මම චිත්‍රපටය හදලා තියෙන්නේ තාක්ෂණික මෘදුකාංගවල සංවර්ධනයක් පෙන්වන්න නෙමෙයි. එහි තේමාව අන්තර්ගත වන්නේ තාක්ෂණික මෘදුකාංග භාවිතා කරමින් අපි මොනවද කරන්නේ කියන එක ගැන ප්‍රකාශ කරන්න. කලාකෘතියක් කියන්නේ වයින් බෝතලයක් වගේ. ඒක කවදාවත් පිළුණු වෙන්නෑ කිරි හොද්දක් වගේ. හොඳ වයින් එකක් ඕන වෙලාවක ඕන කාලයක බොන්න පුළුවන්. බිව්වම වදිනවා. කලාකෘතියක් සර්වකාලීනයි.
අතීතයේ නිර්මාණය කළ බොහෝ කලා කෘති වර්තමානයේ වගේම අනාගතයෙත් අපිට එක ලෙස විඳින්න පුළුවන්.
මේ චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කරන්නේ ලංකාවේ ප්‍රධාන චිත්‍රපට සමාගමක් සමග. නමුත් ඔවුන්ට චිත්‍රපටය අවසන් කිරීමට කිසිදු උනන්දුවක් නොවූ නිසා මෙම චිත්‍රපටය නිෂ්පාදන සමාගමෙන් මිලට අරගෙන එහි පසු නිෂ්පාදන කටයුතු හමාර කරමින් ප්‍රදර්ශන මට්ටමට රැගෙන ආවා. චිත්‍රපටයේ කටයුතු අවසන් වෙන්නේ වෙන්නේ 2017 දී.මේ සල්ලි හොයාගත්තේ හතළිස් දෙදෙනෙකුගේ දායකත්වයෙන්. මම චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස රූපාන්තරණය වුණත් ඇත්ත වශයෙන්ම මට කිසිම ප්‍රාග්ධනයක් නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීම පමා වීමේ ප්‍රධානම සාධකයක් ලෙසට එය මෙතෙක් කල් බලපෑවා. මොකද ප්‍රචාරණය සඳහා ප්‍රචාරණ පිරිවැයක් අවශ්‍යයි. උදේ හවා කැකෑරෙමින් ඒ සඳහා මුදල් සොයා ගැනීම මෙන්ම කළ යුත්තේ කුමක්ද කියා විවිධ ව්‍යාපෘති සිතමින් කාලෙ ගත වුණා.චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රචාරක වියදම් සොයා ගැනීම උද්ගත වූ කොවිඩ් වසංගතය වගේම ඇති වූ ආර්ථික අර්බුදය එය තවත් අසීරු තත්ත්වයට පත් කළා. අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත ඒ සඳහා සහාය ලැබුණා. ව්‍යාපාරික දයානන්ද බෝඹුවල මේ සඳහා දැක්වූ අනුග්‍රහය සුවිශේෂීව සිහිපත් කරන්න අවශ්‍යයි. මේ දුෂ්කරතා හමාර කර සාර්ථකත්වයට පත් කරගනිමින් ප්‍රදර්ශනය සඳහා අවකාශ සැකසී පවතිනවා. මෙම කටයුත්ත මල්ඵල ගන්වන්නේකොළඹ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සංවිධානය විසින් කරන ලද මැදිහත් වීම නිසාවෙනුයි. එහි සියලු විධායක සභිකයින්ට මම මේ වෙලාවේ මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. නමුත් මා හට වර්තමානයේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වෙන්කරන විශාල ප්‍රචාරණ ප්‍රාග්ධනයක් නැති බවත් කියන්න ඕනි. එවන් පසුබිමක සමාජ මාධ්‍ය වෙනත් විකල්ප මාධ්‍යවල සහාය අතිශයින්ම වටිනවා.
* ගතවුණු කාලය තුළ බහුචිතවාදියා සම්මාන ගණනාවකට පාත්‍ර වුණා නේද? ඒ මොනවාද
සම්මාන
01. ශ්‍රී ලංකාවේ 5 වැනි දෙරණ සිනමා සම්මාන උළෙල හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය.
(ලක්ෂ 50 රූපවාහිනී ප්‍රචාරණ අනුග්‍රහය සහිතව)
02. ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උළෙල හොඳම ස්වාධීන චිත්‍රපටියට හිමි සම්මානය..
03. සරසවිය සම්මාන 34 වැනි උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය.
04. 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය හා
හොඳම ශබ්ද නිර්මාණ සම්මානය.
05 . 40 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල NETPAC තරඟාවලියේ සඳහා
* චිත්‍රපටය එළිදැක්වීම හා සමගාමීව තවත් විශේෂ කටයුත්තකට ඔබ සූදානම්
ඔව් බහුචිතවාදියා තිර රචනයත් සිනමා කෘතිය ප්‍රදර්ශනය සමගාමීව එළිදැක්වීමට මම බලාපොරොත්තු වෙනවා. ධර්මසේන පතිරාජ ගුරුතුමා ආදී තවත් විචාරකයින් ගණනාවක් රචනා කළ විචාර පඨිත ඊට ඇතුල් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
* වර්තමානයේ විශාල ලෙස සිනමාපට නිෂ්පාදනය වෙමින් තිබෙනවා නේද?
ඉතා පොහොසත් තරුණ සිනමාවක් ලාංකීය පරිසරය තුළ ගොඩනැගෙමින් තියෙනවා. ඔවුන් සිනමාව මුදල් ඉපයීම අරමුණු පරයා සිය ප්‍රකාශන ඉදිරිපත් කරන භාවිතාව හඳුනා ගන්න පුළුවන්. ප්‍රබල සිනමා නිර්මාණ කරුවන් රාශියක් ලංකාවේ ඉන්නවා. යම් අයට මගේ වගේම තමන්ගෙ කෘති තාම පෙන්වා ගන්න නොහැකි වෙලා තියෙනවා විවිධ ගැටලු හා අර්බුද නිසා.ඒ අයටත් තමන්ගේ කෘති ජනගත කරන්න අවකාශය සකස්කර දීමේ ක්‍රම දැන් දැන්ම ආරම්භ කරන්න ඕනා. දියුණු රටවල චිත්‍රපට පෙන්වන්න විවිධ ක්‍රම හදලා තියෙනවා. ප්‍රධාන ධාරානෑවෙන් මිදී විකල්ප ක්‍රමවේද රාශියක් විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා. කුඩා සිනමා ශාලා, පාසල් තුළ, දුම්රිය ස්ථාන තුළ ආදි විකල්ප අවකාශ තුළ නිර්මාණය කරලා තියෙනවා. ජංගම තිර තිබෙනවා. එවන් පසුබිමක ඒ ඒ රටවල සිනමාකරුවන්ට තමන්ගේ නිර්මාණය පෙන්වා ගන්න ලොකු අවකාශ රැසක් ලැබෙනවා. අපට එවැනි විකල්ප ධාරාවන් ඇත්තේම නැති තරම්. මේ ඇවිත් තියෙන්නේ අපිත් එවැනි වැඩපිළිවෙළක් සකස් කරගත යුතු කාලයකට. අපට අපේ සිනමාපට සංසරණය කිරීමේ අවකාශය ලබාදෙන්න පුළුවන් නම් අපි ලෝකයේ ආර්ට් බලනවා වගේ අපේ ආර්ට් ලෝකයට ගෙනියන්න අපටත් ලබා දෙන්න පුළුවන් අවකාශ නිර්මාණය වෙන්න ඕනේ.
*සිනමා නිර්මාණකරුවන් ප්‍රෙක්ෂකයා අමතක කර නිර්මාණ බිහි කිරීම තුළ කිසියම් ආකාරයකට අර්බුදයක් නිර්මාණය වූවා යැයි චෝදනාවක් පවතිනවා
පසුගිය කාලයේ ඇතිවූ එක්තරා තර්කයක් තමයි සිනමාවේ පෙන්නන්න පුළුවන් චිත්‍රපටි කරනවා නම් ලාංකීය සිනමාවේ කිසිදු අර්බුදයක් නොමැති බව යන පුහු තර්කන. පෙන්නන්න පුළුවන් ගැන අර්ථකථනය කවුද දෙන්නෙ? ප්‍රේක්ෂකයෝ අහවල් කෘති වර්ගය පමණක් අපට පෙන්වන්න කියලා කියන්නේ නැහැ. ඕනෑම කෘතියක් හොඳ ප්‍රචාරණයක් හරහා සමාජගත කරන්න පුළුවන්. සිනමාව කලාවක් විදිහට රැඳී පවතින්නේ විවිධ ආඛ්‍යාන වලින් විවිධ ආකෘති වලින් විවිධ ප්‍රවේශ වලින් කරන අලුත් අත්හදා බැලීම් වල . කොකිස් අච්චුවෙන් කොකිස් හදනවා වගේ එකම විදිහෙ ප්‍රකාශන කිසිම නිර්මාණකරුවෙකුට කරන්න බැහැ. සිනමාකරුවන්ගේ ප්‍රකාශනය එකින් එකට වෙනස් විය හැකියි. කලාත්මක මෙන්ම වාණිජ මට්ටමේ විවිධ ප්‍රකාශනයන් ජනතාව වෙත රැගෙන යන්න ඉඩ කඩක් තමයි අපි විවර කළ යුතු වෙන්නේ.
තනූජා සූරියබණ්ඩාර
සංස්කරණය -රුවන් ජයවර්ධන (මොනරා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිනි)