නූතන සිංහල සාහිත්ය වංශ කතාවේ ප්රබල භූමිකාවකට පණ පෙවූ ශාස්ත්රඥයෙක් පසුගියදා දැයෙන් සමුගත්තේය. ඒ මහාචාර්ය ආරිය රාජකරුණා ය.
සිංහල සාහිත්ය විචාරයේ පමණක් නොව ජපන් සාහිත්යය සිංහල පාඨකයාට සමීප කිරීමට ඔහු කළ කාර්යභාරය සුවිශේෂීය.
මේ සංවාදය මහාචාර්ය ආරිය රාජකරුණා කළ සාහිත්ය මෙහෙවරට උපහාර දැක්වීමට ගන්නා උත්සාහයකි
ඒ වෙනුවෙන් අප සම්බන්ධ කරගත්තේ රාජකරුණා මහාචාර්යවරයා ඉතා සමීපව ඇසුරු කළ රුහුණ විශ්වවිද්යාලයේ සිංහල අධ්යයන අංශයේ විනේතෘ මහාචාර්ය ජයන්ත අමරසිංහයන්ය.
- ඔබ, මහාචාර්ය ආරිය රාජකරුණා බොහොම සමීපව ඇසුරු කළා. ඉතා මෑතක ලියූ ලිපියකදී ඔබ, ඔහු හඳුන්වා තිබුණේ ‘පේරාදෙණි වසත් සමයේ පිපුණු අසලියා කුසුම’ ලෙසින්...
ඔව්, රාජකරුණා මහාචාර්යතුමන් මට හමුවෙන්නේ ගුරුවරයෙක් විදිහට. මා විශ්වවිද්යාල අධ්යාපනය ලැබූ අසූව දශකයේ මුල් කාලයේ ඔහු අපට නාට්ය කලාව ඉගැන්වූවා
ඊට පෙර උසස් පෙළ ශිෂ්යයෙක් විදිහට ඉන්න කාලයේ ඔහුගේ පොත් මම කියවා තිබුණා. ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්යාලයට යද්දි මෙවැනි කීර්තිමත් ආචාර්යවරයෙක් ඉන්න බව මම දැන හිටියා.
මට එතුමා කෙරෙහි ශාස්ත්ර ගෞරවයක් තිබුණා. නුවර එන බෞද්ධයෝ දළදා වඳින්න යනවා වගේ, මම පේරාදෙණියට ගියොත් රාජකරුණා මහාචාර්යතුමාගේ නිවසට ගිහින් ඔහු බැහැ දකින සිරිතක් තිබුණා. ඒ වගේම මට කාලයකින් එහේ යන්න බැරිවුණොත්, එතුමාත් දුරකථන ඇමැතුමකින් හරි මගේ දුක සැප විමසනවා. ඒ ගුරු සිසු සබඳතාව අපි දෙදෙනා අතර කාලයක් තිස්සේ පැවැතුණා. එය බොහොම අසිරිමත් සබඳතාවක්.
- මහාචාර්ය රාජකරුණා මූලික උපාධිය ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්යාලයෙන්. පසුව ආචාර්ය උපාධියට ඉගෙන ගන්න යන්නේ ජපානයට. බොහෝ දෙනා ආචාර්ය උපාධියට එංගලන්ත විශ්වවිද්යාල තෝරාගන්න සමයක ඔහුගේ මේ ජපන් තේරීම ඔබ දකින්නේ කොහොම ද?
මහාචාර්ය රාජකරුණා ජපානයට යොමුකරන්නේ පේරාදෙණියේ හිටපු බොහොම දූරදර්ශී මහාචාර්යවරයෙක් වුණු ඩී. ඊ. හෙට්ටිආරච්චි.
මේ මහාචාර්යවරයා පේරාදෙණියට බඳවාගත්ත තරුණ ආචාර්යවරු නොයෙක් ක්ෂේත්රවලට යොමුකරනවා. සුගතපාල ද සිල්වා වාග් විද්යාවට, හේමපාල විජේවර්ධන සංස්කෘත කාව්ය විචාර සිද්ධාන්ත ඉගෙන ගන්න ඉන්දියාවේ පූනේ විශ්වවිද්යාලයට යොමුකරනවා.
මීගස්කුඹුර පූනේ විශ්වවිද්යාලයට යොමු කරන්නේ වාග් විද්යාව ඉගෙනගන්න.
කේ. එන්. ඕ. ධර්මදාස සමාජ වාග් විද්යාව ඉගෙනගන්න යොමුකරන්නේ ඕස්ට්රේලියාවේ මොනෑෂ් විශ්වවිද්යාලයට.
රාජකරුණා මහාචාර්යවරයා යන්නේ ජපානයට. ඒ පශ්චාත් උපාධි පාඨමාලාවේදී ඔහුට ජපන් භාෂාව මුල සිටම හදාරන්න ලැබෙනවා.
- රාජකරුණා මහාචාර්යවරයා වරක් පවසා තිබුණා ඔහු ජපන් විශ්වවිද්යාලයට යෑමට බලපෑවේ මහාචාර්ය සරච්චන්ද්රයන් බව. ආචාර්ය උපාධිය ගන්න එංගලන්තයට යන ගමන් මාර්ගය වෙනස් කරන්නේ නැත්තේ ඇයි කියා ඔවුන්ගෙන් මහාචාර්ය සරච්චන්ද්ර විමසූ බව...
ඒක හරියට හරි. හෙට්ටිආරච්චි මහාචාර්යතුමා ගැන මම සඳහන් කරන්න හේතුව, එතුමා තමයි පාලි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් වුණු එදිරිවීර සරච්චන්ද්ර පේරාදෙණියේ සිංහල අංශයට බඳවාගන්නේ. නූතන සාහිත්යය කෙරෙහි රාජකරුණා මහාචාර්යවරයාගේ ඇල්ම වැඩෙන්න සරච්චන්ද්ර බලපෑවා. ඒ නිසා සරච්චන්ද්ර මහාචාර්යවරයාත් ඒකට දායක වුණා කියන එක නිවැරැදියි.
- ඔහුගේ මේ ජපන් ගමන සිංහල සාහිත්යයට බලපෑම් සහගත ගමනක් වුණා නේ ද?
ඔව්, ඉන් ලැබුණු ප්රතිලාභය තමයි, ජපන් සාහිත්ය කෘති, සිනමා නිර්මාණ ඔහු අතින් සිංහල භාෂාවට පරිවර්තනය වීම. ලංකාවේ පළමු වතාවට ජපන් සාහිත්ය කෘති ජපන් බසින් සිංහලයට ගෙනාවේ මහාචාර්ය රාජකරුණා.
නවසිය හැත්තෑපහේදී ඔහු පරිවර්තනය කරනවා ‘සම්භාව්ය ජපන් නාට්ය සංග්රහය’ කෘතිය. නවසිය අසූතුනේ කෙටිකතා සංග්රහයක් පළ කළා ‘කවබතා යසුනරි ගේ කෙටිකතා’ නමින්. ඔහුගේ පරිවර්තනවල තිබුණු සුවිශේෂී බව තමයි සිත්ගන්නාසුළු භාෂා විලාසය. ඒ නිසා මුල් ජපන් කෘතියේ රස එලෙසම විඳීමට සිංහල පාඨකයාට හැකිවුණා.
ඔහුට තිබුණු සිංහල භාෂාවේ ප්රවීණත්වය ඒකට එක ප්රධාන හේතුවක්. අනෙක ජපන් භාෂාව ප්රගුණ කර තිබීම.
ඔහුගේ තවත් වැදගත් පරිවර්තනයක් තමයි ‘රෂෝමොන්’. චිත්රපටයේ තිර පිටපත පමණක් නෙවෙයි, චිත්රපටයේ මුල් තිර නාටකය, එහි රූපගත තිර නාටකය. රෂෝමොන් චිත්රපටය ගැන විමර්ශනයක් එම කෘතියේ අඩංගු වුණා.
මගේ මතකය අනුව ඔහු ජපන් සිනමා නිර්මාණ හයක් පමණ සිංහලයට පරිවර්තනය කළා.
ඒ විතරක් නෙවෙයි, ජපන් සිනමා නිර්මාණ ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කිරීම ඔහු කළ තවත් වැදගත් වැඩක්. කවදාවත් ඉංග්රීසි භාෂාවට පරිවර්තනය නොවුණු ජපන් සිනමා කෘති තිබුණා. ඔසු යසුජිරෝගේ ‘Early Summer’ එවැනි පරිවර්තනයක්. ඒ නිසා මහාචාර්ය රාජකරුණාගෙන් ජපන් සාහිත්යයටත් විශාල සේවයක් වුණා.
- ඒ වගේම ඔහු සිංහලයට ගෙනාපු ජපන් හයිකු කවි බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්වුණා...
ඔහු හයිකු කවි පරිවර්තනයට එන්න පෙර, හයිකු කවි විදිහට අපි රස වින්‌ෙඳ් ඉංග්රීසි පරිවර්තනවලින් සිංහලයට ආපු කවි. ඒ පරිවර්තනවලින් හයිකු කවියේ සැබෑ හැඩරුව හඳුනාගන්න ලැබුණේ නැහැ.එවැනි කාලයක මුල් කෘතිය අනුසාරයෙන් ජපන් හයිකු කාව්යයේ ආවේණික ගුණාංග හරියටම හඳුනාගෙන, ඒවා නිවැරැදිව සිංහලයට පරිවර්තනය වෙන්නේ මහාචාර්ය රාජකරුණාගේ ‘ජපන් හයිකු කවිය’ කෘතියෙන්.
එහි ඔහු හයිකු කවියේ විශේෂාංග පිළිබඳව දීර්ඝ හැඳින්වීමක් ලිව්වා. පැරැණිම අවධියේ සිට විවිධ අවධි නියෝජනය වන හයිකු කවි 1054 එම කාව්ය සංග්රහයේ පළකළා.ඒක හරියට සීගිරි කුරුටු ගී පරිවර්තනය කළා හා සමාන වැඩක්. සීගිරි කැටපත් පවුරේ ඒ තරම් කවි ප්රමාණයක් තිබුණා කියලා අපි දැනගත්තේ පරණවිතාන ඒවා පළ කළාට පසුවනේ. ‘ජපන් හයිකු කවිය’ කාව්ය සංග්රහය ජපන් හයිකු කවි සහ ඊට අදාළ විෂයය ක්ෂේත්රයන් හදාරන සැමට අත්පොතක්.
- මහාචාර්ය ආරිය රාජකරුණා ලේඛනයට පිවිසෙන්නේ සාහිත්ය විචාරකයෙක් විදිහට. මුල් කාලයේ ඔහුගේ සාහිත්ය විචාරවලට බොහෝ දෙනා පහර ගහනවා. ඒ වගේම මහාචාර්ය රාජකරුණා කියනවා තමනුත් විචාරයේදී පහරදීම් කළ බව. සිංහල නවකතාවේ ආරම්භය ගැන තමාගේ ගුරුවරයෙක් වූ මහාචාර්ය සරච්චන්ද්රයන්ගේ මතය සමගත් ඔහු ගැටෙනවා...
මහාචාර්ය රාජකරුණා සාහිත්ය විචාරයට එද්දි, ඔහු අවුරුදු විසිහතක තරුණයෙක්. ඒ කාලයේ විචාරකයෙක් විදිහට යම් යම් අඩුපාඩු තියෙන්න ඇති. ඒ කාලයේ තමයි ඔහු ‘නූතන සිංහල කාව්ය 1-2’ කෘති දෙක ලියන්නේ. හැබැයි ඒ කෘතියේ තියෙනවා සමස්ත සිංහල කාව්යයේ ප්රවණතා ගැන හකුලුවා දක්වන්නාවූ අදහස් සමූහයක්. එය ඉතා ප්රබල ඉතා හොඳ කොටසක්.
ඒ වගේම ‘සාහිත්ය රුචිය හා නවකතා විචාරය’, නවසිය හැත්තෑදෙකේදී පළ කළ ‘සිංහල නවකතාවේ ආරම්භය’ සහ නවසිය අනූහතරේ දී පළ කළ ‘දහනව වැනි සියවසේ සිංහල ගද්ය සාහිත්යය’; මේ කෘති අමතක කරන්න බැහැ.
මුල් යුගයට අයත් අපිට පරිශීලනය කරන්න නොලැබෙන කෘතිවල උදෘත විශාල ප්රමාණයක් අරගෙන ඒවා පිළිබඳ විග්රහ කරමින් කරන වැදගත් ප්රවේශයක් ‘දහනව වැනි සියවසේ සිංහල ගද්ය සාහිත්යය’ කෘතිය තුළ තියෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන්, නවකතාව සම්බන්ධයෙන් ඒ වන විට තිබුණු ඇතැම් මත සමග ඔහු එකඟ නොවූ අවස්ථාත් තිබුණා. මූලාශ්රය පරිශීලනය කර, සත්ය තොරතුරු ලබාගෙන ඒ නිර්මාණ සම්බන්ධයෙන් ඔහුගේ ස්වාධීන නිරීක්ෂණ පවා ඉදිරිපත් කළා.
මේ ගැන කතා කරද්දි මට සයිමන් ද සිල්වාගේ ‘මීනා’ නවකතාව මතක් වෙනවා. සිංහල නවකතාවේ යම්කිසි කලාත්මක ආරම්භයක් සටහන් කළ නවකතාවක් හැටියට එම නවකතාව ගැන ඔහුගේ ස්වාධීන අදහස එහිදී ඉදිරිපත් කළා. ඔහු ඒ නවකතාවට ප්රස්තාවනාවක් ලියා පසු කාලයක පළ කළා. සිංහල නවකතාවේ ආරම්භය පිළිබඳව ඔහු ඉදිරිපත් කර ඇති අදහස් ඉතාමත් ප්රයෝජනවත්.
- පේරාදෙණිය ගුරුකුලය ඇතුළේ මහාචාර්ය ආරිය රාජකරුණා ප්රබල චරිතයක් කියන අදහසට ඔබට එකඟ ද?
‘පේරාදෙණිය ගුරුකුලය’ කියන අදහසට මම එකඟ නැහැ. ලංකාවේ ගුරුකුල තිබුණා.‘හෙළ හවුල’ ගුරුකුලයක්. මොකද න්යායාචාර්යවරයෙක්, නායකයෙක් ඉන්නවා. හැබැයි පේරාදෙණිය ගුරුකුලය කිව්වාට, එහි නායකයෙක් හෝ විධිමත් සංවිධාන ව්යුහයක් නැහැ.
ඇත්තටම කොළඹ විශ්වවිද්යාලයේ ඊ. එෆ්. සී. ලුඩොවයික්, ජෝතිය ධීරසේකර, ඈෂ්ලි හල්පේ වැනි අය මුල්වෙමින් සම්භාව්ය නාට්ය නිර්මාණ කරමින් ඇති කළ ප්රබෝධය පේරාදෙණියට යද්දි මල් පළ දරමින් තිබුණා. ‘මනමේ’, ‘සිංහබාහු’ බිහිවුණා. අනෙක් පැත්තෙන් ‘කල්පනා ලෝකය’ වගේ කෘති බිහිවෙනවා.
ගුණදාස අමරසේකර දන්ත වෛද්ය ශිෂ්යයෙක් විදිහට ‘රතු රෝස මල’ කෙටිකතා සංග්රහය ලියනවා. පනස්පහේදී ඔහු ‘භාව ගීත’ ලියනවා.
සිරි ගුනසිංහගේ ‘මස් ලේ නැති ඇට’ නිදහස් කාව්ය සංග්රහය පළවෙනවා. ඉංග්රීසි අංශගේ හිටපු කථිකාචාර්යවරයා සරච්චන්ද්ර වීරසූරිය සිංහල නවකතාව ගැන ලියනවා. මේවා හරිම ආන්දෝලනාත්මක දේවල් වුණා. පේරාදෙණිය මුල්කරගෙන ඇතිවුණ මේ සාහිත්ය ප්රබෝධය, බාහිරෙන් හිටපු අය දැක්කේ ගුරු කුලයක් විදිහට.
ඇත්තට ම ඒක ගුරුකුලයක් නෙවෙයි. ‘පේරාදෙණිය සාහිත්ය කුලකයක්’. සාහිත්යය කෙරෙහි ඇල්මක් ඇති පිරිසක් මේ කාලයේ පේරාදෙණිය භූමියේ එකට වාසය කළා. ඒ කුලකයේ මහාචාර්ය රාජකරුණා ලොකු කාර්යභාරයක් කරනවා.
- මහාචාර්ය ආරිය රාජකරුණා ගැන කිසිම අවධානයක් නැති කාලයක ‘ආරිය රාජකරුණා ලිපි සංග්රහය’ නමින් උපහාර කලාපයක් පළ කරමින් ඔහුට උපහාර දක්වන්න මැදිහත්වෙන්නේ රුහුණ විශ්වවිද්යාලයේ මහාචාර්වරයෙක් වුණු ඔබ. මහාචාර්ය රාජකරුණා තමන්ගේ සේවය උපරිමයෙන් ලබාදුන්න පේරාදෙණිය විශ්වවිද්යාලයට ඔහු මතක් වුණේ නැහැ...
පේරාදෙණියට එතුමා පිළිබඳ අමතක වුණා ද? නැත්නම් අමතක කළා ද? කියලා මට නිශ්චිතව කියන්න බැහැ.
සිංහල සාහිත්යය විචාරය තුළ එක් අවධියක ප්රබල භූමිකාවක් කළ, සමස්ත ජපන් සාහිත්යයේ පැතිකඩක් සිංහල පාඨක ලෝකයට විවර කරවීමේ විශිෂ්ටම කාර්යභාරයක් ඉටුකළ විද්වතා හැටියට ආරිය රාජකරුණා මහාචාර්යවරයා මගේ මතකයේ සදාකල් ලැගුම් ගෙන තිබුණා.
එතුමා කෙරෙහි මගේ හිතේ විශාල ගෞරවයක් තිබුණා. අන්න ඒ ගෞරවය නිසා එතුමා සමඟ සමකාලීනව කටයුතු කළ විද්වතුන්ගේ සහය ලබාගෙනයි මම මේ කර්තව්ය කළේ.
විශේෂයෙන්ම මහාචාර්ය ගනනාත් ඔබේසේකර, මහාචාර්ය ඈෂ්ලි හල්පේ, මහාචාර්ය මර්ලින් පීරිස්, ආචාර්ය අමරදාස වීරසිංහ ආදී පේරාදෙණියේ සිටි කීර්තිමත් විද්වතුන් සියලු දෙනා බොහොම කැමැත්තෙන් ඒ උපහාර කලාපයට ලිපි දුන්නා.
මේ කර්තව්ය වුණේ දෙදහස් හතර වර්ෂයේ. කොළඹ කෞතුකාගාර ශ්රවණාගාරයේ පැවැත්වුණු මේ උත්සවයට විශාල පිරිසක් එකතු වුණා.
විශේෂ ආරාධිතයා වුණේ ජපන් තානාපතිවරයා. ඒ වෙද්දි ආණ්ඩුවේ ප්රබල ඇමැතිවරයෙක් වෙලා හිටියත් තමන්ගේ ගුරුවරයෙක් වුණු මහාචාර්ය ආරිය රාජකරුණාට ගෞරව දැක්වීමට ආචාර්ය සරත් අමුණුගම මේ අවස්ථාවට සහභාගි වුණා. එදා ඔහු පවා ප්රශ්න කළේ ඇයි පේරාදෙණියට මහාචාර්ය රාජකරුණා අමතක වුණේ කියලා.
- ඒ වගේම ඔහු සිංහලයට පරිවර්තනය කළ ජපන් චිත්රපට කිහිපයක් මෙරටදී ප්රදර්ශනය කිරීමටත් ඔබ මැදිහත් වුණා...
ඔව්, මහාචාර්ය රාජකරුණා පරිවර්තනය කළ ‘රෂෝමොන්’, ‘අපායේ දොරටුව’ වැනි ජපන් චිත්රපට හයක් ගෙන්වා පේරාදෙණිය විශ්වවිද්යාලයෙත් ප්රදර්ශනය කළා.ඒ එවක එම විශ්වවිද්යාලයේ කලා මණ්ඩලයේ සභාපති හැටියට කටයුතු කළ ආචාර්ය මයිකල් ප්රනාන්දුගේ ආරාධනයෙන්. කියන්න කණගාටුයි, ඒ සම්භාව්ය සිනමා නිර්මාණ නරඹන්න පේරාදෙණියේ පහළොවකට විස්සකට වඩා පිරිසක් හිටියේ නෑ. පේරාදෙණිය ඒ තරමට පුරන් වෙලා තිබුණේ.
- ඔහු සිංහල සාහිත්යයට දායාද කළ විචාර, පරිවර්තන කාව්ය, චිත්රපට තිරනාටක ආදී වටිනා කෘති රාශියක් තියෙනවා. ඒ ඇතැම් කෘති අද හොයාගන්නත් නැහැ. ඔහු මියගියත් ඔහුගේ මේ කෘති ජීවමානව පවතින්න වැඩපිළිවෙළක් අවශ්යයි නේ ද?
මීට මාස කීපයකට පෙර මම එතුමා බලන්න ගිය වෙලාවේ ඔබ කියූ කාරණයට අවශ්ය මුල පිරීම සිදුකළා. ඒ අනුව සරසවි ප්රකාශන ආයතනයට ඔහු ලියූ සියලුම පොත් ප්රකාශනයට පත් කිරීමේ නීත්යානුකූල බලය පැවරුවා. ඒ මහාචාර්ය රාජකරුණා සහ ඔහුගේ බිරිඳගේ කැමැත්තෙන්. ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුම පවා සරසවි ප්රකාශන ආයතනය සමඟ මහාචාර්යතුමා මියයන්න පෙර අත්සන් කළා. ඒ නිසා ඔහුගේ කෘති තවත් කාලයක් මේ රටේ පවතීවි.
- මහාචාර්ය රාජකරුණා නියෝජනය කළ සාහිත්ය පරම්පරාව දැන් කෙමෙන් අභාවයට යනවා. ඔහු වැනි ශාස්ත්රඥයන් මියයෑමෙන් සිංහල සාහිත්ය ක්ෂේත්රයේ මතුවන මහා හිඩැස්වලට ආදේශ කළ හැකි චරිත ඉදිරියේදී බිහිවෙයි ද?
දැනට මේ පවතින තත්ත්වය අනුව නම් ඔහු වැනි අය නැවැත බිහිවෙන්නේ නැහැ. අද පවතින්නේ මාරාන්තික ධාවන ක්රමයක් මිස අධ්යාපන ක්රමයක් නෙවෙයි.ඒ අධ්යාපන ක්රමය ඇතුළේ රාජකරුණා වැනි මහාචාර්යවරු බිහිවෙන්නේ නැහැ.එවැනි පරිසරයක ශාස්ත්රඥයන් බිහි නොවුණත් තවමත් ස්වාධීනව යම් යම් තැන්වලින් බුද්ධි අංකුර එක දෙක ලියලමින් තියෙනවා.භාෂාව ගැන සාහිත්යය ගැන ඒ ආකාරයට පඬිවරුන් බිහිවෙලා තියෙනවා.ඔවුන් බිහිවුණේ කාගේවත් මැදිහත්වීමකින් නෙවෙයි. ගෙදර පසුබිම, ගෘහස්ත පුස්තකාල සහ ඔවුන්ගේ තියෙන උත්සාහයෙන්, කැමැත්තෙන්.ඒ නිසා ආරිය රාජකරුණා වැනි ශාස්ත්රඥයන් ඉදිරියේදී බිහිවුණොත් ඒ පාසලකින්, විශ්වවිද්යාලයකින් හෝ වෙනත් ශාස්ත්ර ආයතනයකින් නෙවෙයි. ඉදිරියේදී ලංකාවේ ශාස්ත්ර ආයතනවලින් බිහිවෙන්නේ කිසිදු දෙයක් කරන්න බැරි වඳ පීදුනු පරම්පරාවක්.
සංවාදය - ලක්මාල් බෝගහවත්ත
(මූලාශ්‍රය -2025 .04 .13 සති අග අරුණ පුවත්පත ඇසුරිනි)