මොවුන් බිහිවන්නේ කොහෙන්ද, මොනලෙසකින්දදැයි දන්නේ ,දෙවියන් ම පමණි. ඉන්පසු මෙවැනි අය බිහි නොවන්නේ ඇයිදැයි දන්නේද දෙවියන් ම පමණි.
1952 වර්ෂයේ "සිරිසඟබෝ" නම් සිංහල චිත්‍රපටයක් තිරගත විය. ඒ මුල්ම සිංහල චිත්‍රපටය බිහිවී අව්රුදු 5ක් පමණ ගිය පසුවය.
ට්රෑම් රථ රියදුරෙක් ලෙස හා පසුව දෙවන මහා ලෝක යුද්ධයේදී සෙබළෙකු ලෙස සේවයකිරීමෙන් පසු , සිරිසේන විමලවීර ගේ "රොඩී කෙල්ල", "ශ්‍රී සමුද්‍ර දේවි " යන නාට්‍ය වල රගපාමින් කලා ලොවට පියමන් කළ එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ චතුර්වීදී අභිනය, මුහුණින් පෙන්වීමට හැකි වූ ,කිසිදු ආයාසයකින් තොරව, විදුලි වේගයෙන් මුහුණේ හැගීම් මාරු කළ හැකි,රංගන ශිල්පියෙකු මෙම "සිරිසඟබෝ" චිත්‍රපටයෙන් බිහිවිය.
දැනට සිංහල සිනමාව 70 වසරක් පසු කලද , මොහුගේ මේ මුහුණින් පෙන්වන අභිනය,අභිබවන්නට කිසිවෙකුට නොහැකි විය. මොහුගේ ඇහි බැමි, ඇස් පිහාටු, ඇස් වල කළු සහ සුදු ඉන්ද්‍රියන් , තුලින් ඔහු රගපාන මුළු චරිතයම හදුනාගත හැකි විය. ඔහුගේ නාසය, නාස් පුඩු, ඔහු හැසුරුවේ, එම රඟපාන චරිතයට උචිතම ලෙසය. ඔහුගේ දෙතොල, සිනාව, එකී චරිතයන්ට ආවේනික ලෙස වෙනස් කරමින් එම චරිතයන් ඒ අයුරින්ම ප්‍රේක්ෂකයන්ට හදුන්වා දෙයි. ඔහුට චරිතයක් ජීවමාන කිරීමට ඇඟ පසග හෙලවීමට අවශ්‍ය නැත. වේගය,ආවේගය, සංවේගය,සංතෘෂ්ඨිය, කාමය,රාගය මෙන්ම සටකපට බව ඒ සියල්ලම ඔහු ලබා දෙන්නේ ඔහුගේ ඇහිබැමි, ඇස්වල කළු හා සුදු ඉන්ද්‍රියන්, නාසය, නාස් පුඩු,හා දෙතොල් වලිනි.
1915 මරදාන මාලිගාකන්දේ උපන් 'හීල්ල ලියනගේ දොන් පියදාස ගුණසේකර' මුලික අධ්‍යාපනය ලැබුයේ කොළඹ ආනන්ද විදුහලෙනි. 1952 වසරේ තිරගත වූ , "සිරිසඟබෝ" චිත්‍රපටයෙන් සිනමාවට පැමිණියේ, මේ පියදාස ගුණසේකරමය.
"සිරිසඟබෝ" චිත්‍රපටයේ ඔහු රඟපෑවද ඇත්තවශයෙන්ම එය ඔහුගේ සිනමාගමනයේ හදුන්වාදීමක් පමණි. 1955 දී ටී.සෝමසේකරන්ගේ "සැඩ සුළං " චිත්‍රපටයෙනි, පියදාස නියම අන්දමට සිනමාවට පැමිණි බව දැනුනේ. එහී ගණන්කාර චරිතයක් වූ "ඇක්මන් " ට පණ පෙවූ ආකාරයෙන්ම, මේ එළි බැස තිබෙන්නේ එසේ මෙසේ නළුවෙකු නොවන බව, එකල බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ටද ,විචාරකයන්ටද වැටහිණි.
ප්‍රවීණ විචාරකයෙකු වූ ජයවිලාල් විල්ලේගොඩ ප්‍රසංසාවක් කරන්නේ නම්, ඒ කරන්නේ ඒ ප්රසංසාව ලැබිය යුත්තෙකුටමය. "සැඩ සුළං " විල්ලේගොඩ ගේ, දැඩි විවේචනයකට බඳු වූවද, එහි හොදම රංගන ශිල්පියා ලෙස සදහන් කළේ මේ ඇක්මන් ගේ චරිතය රඟපෑ පියදාස ගුණසේකරය.
ඉන්පසු ඔහුට රඟපෑමට ලැබුණේ "වන මෝහිනී" හී කාමුක වංචාකාරී පූසාරියා ලෙසය. "මහා දේවි මහා දේවි " කියමින් කළ රංගනය, පියදාසව ජනප්‍රියත්වයේ ඉහලටමත්, රංගන දක්ෂතාවයේ ඉහළටමත් එසැවිය. එහෙත් එයින් ඔහුට සිදුවූ අසාධාරණය නම් ඔහුව නපුරු,කපටි,කාමුක චරිත වලට සීමා වීමය. කෙසේ හෝ පියදාස සිනමාවට එනවිටත් වයස 40 කිට්ටු වී තිබු අතර, "සැඩ සුළං" චිත්‍රපටය තිරගත කරන විට ඔහුට අවුරුදු 40 ය සපිරී තිබුණි. එහෙයින් ඔහුට තීරයේ පෙම්වතෙක් වීමට නොහැකි විය. එහෙත් ඔහුට දැඩි රංගන පිපාසයක් තිබුණි. ඔහු ඔහුගේ උපරිමය එනතෙක්, ලැබෙන හැම චිත්‍රපටයකටම තම රංග දක්ෂතාවය විදහා දැක්වූයේ, ඇතැම් අවස්ථාවල එහී ප්‍රධාන නළුවාවත් අභිබවාය .
50 දශකය තුළ "සිරිසඟබෝ" සහ "වනමෝහිනි "ට අමතරව "සුරසේන" "දෙයියන්ගේ රටේ", "සිහිනය" යන චිත්‍රපට වල රඟපෑ පියදාස ගුණසේකර , 60 දශකය තුල "හඳපාන", "සුබ සරණ සැප සිතේ", "දීපසිකා","සාරවිට","වන සරා" "සැනසුම කොතනද?", "සැඟවෙන සෙවනැල්ල" "මහා රෑ හමුවූ ස්ත්‍රිය","ඇතුල්වීම තහනම්","සම්පත" "හතර කේන්දරය " "සොරුන්ගෙත් සොරු" "දරු දුක","සැඩොල් කඳුළු","රෑන ගිරව්","පිනිබිඳු ","හැංගි හොරා", "දෙහදක දුක","හරි මග", "පාරා වළලු","රෝමියෝ ජුලියට් කථාවක්", "බිනරමලී" :"හිත ගිය තැන", "බඩුත් එක්ක හොරු" වැනි චිත්‍රපටවල විවිධ චරිත රඟපෑවේය.
මෙයින් "සැනසුම කොතනද?" චිත්‍රපටයේ වෙනස්ම අහිංසක චරිතයක් රගපෑමට ඔහුට හැකි විය. මාටින් නම් වූ මෙම චරිතය දොස්තර රාජා ( ගාමිණී ෆොන්සේකා) රෝද පුටුවට වැටුණු පසු ඔහුට සත්කාර කරන චරිතයක් විය. එම දශකයේ ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන චරිතය වූයේ "බිනරමලී" චිත්‍රපටයේ වෙඩික්කාරයාගේ චරිතයයි. එකල ගුවන්විදුලියේ ඉමහත් ජනප්‍රියට පත් "මුවන්පැලැස්ස" කථාවට ගැඹ්වූ මෙම චරිතය, පියදාස ගුණසේකර, හොද හැටි අවබෝධ කරගෙන තිබුණි. ඔහු එය මොනතරම් දක්ෂ ලෙස රඟපෑවාද කිවහොත් එම වසරේ හොදම සහය නළුවාට හිමි "සරසවිය"සම්මානය දිනා ගැන්මට ඔහුට හැකි විය.
හැත්තෑ දශකය තුල, ඔහුට ඔහු එතෙක් බලා සිටි උපරිමයට යෑමට හැකිවිය. එය ලාංකේය සිනමාව පවතින තාක් සදානුස්මරණ වූ ප්‍රබල රංගනයක් තුලිනි . 1970 වේ "නිම් වළල්ල " චිත්‍රපටයේ රඟපා 70 දශකය ආරම්භ කල පියදාස ගුණසේකර, 1971 වර්ෂය තුල "මහා හේනේ රීරි යකා", "දැවෙන පිපාස", යන චිත්‍රපටවල රඟපෑවේය. 1971 දෙසැම්බර් මාසය ඔහුගේ සිනමා ජීවිතය උඩු යට හැරුණි . ඒ "ජේම්ස් සෙනවිරත්න" තුළිනි. සත්‍ය චරිතයක් වූ ජේම්ස් සෙනවිරත්න අපට සිනමාවේදී හමුවූයේ ටයිටස් තොටවත්තයන්ගේ "හාර ලක්ෂය " චිත්‍රපටය හරහාය. හාරලක්සේ මංකොල්ලයේ ප්‍රධාන සැලසුම්කරුවා වූයේ ජේම්ස් සෙනෙවිරත්නය.
ජේම්ස් සෙනවිරත්නගේ චරිතයට තොටවත්තයන් එයට සුදුසුම නළුවාව තෝරා ගති. ඒ, පියදාස ගුණසේකරවය. සිය සිනමා රංග කලා ජීවිතයේ පියදාස ඉදිරිපත් කළ ඇති විශිෂ්ට චරිතාංග නිරූපණය මෙය විය. පියදාස, මේ චරිතයේ සූක්ෂ්මතා මැනවින් වටහාගෙන එය ප්‍රබල ලෙස ජීවමාන කළේය.
හාරලක්ෂය විශිෂ්ඨ චිත්‍රපටයක් වූයේ පියදාස ගුණසේකර ගේ අද්විතීය රඟපෑම නිසාය. හාර ලක්ෂය ජනප්‍රිය චිත්‍රපටයක් වූයේද, පියදාසගේ මේ අද්විතීය රංගනය නිසාමය. ඔහු හාරලක්ෂය තුලින් ඔහු විසින්ම ඉලක්ක කරගත් උපරිමයට පැමිණීය. එතැන් පටන් ඔහු "මහා නළුවෙකු "විය., මහා "රංග වේදියෙකු"විය. ලෝ පතල ඕනෑම නළුවෙකුට අභියෝග කරන්නට තරම් ඔහු දක්ෂ විය.
ඉන්පසු ඔහුට චිත්‍රපට ගලා එන්නට විය. එම චිත්‍රපට මොන ප්‍රමිතියේ තිබුනද ඔහුගේ හැම රඟපෑමක් ම ඉතාමත් උසස් විය. "හතර වටේ" "වන රජා","අපරාධය සහ දඬුවම","සිහසුන""කල්‍යාණි ගංගා","ජීවන ගංගා ","ඔබයි මමයි" "සිකුරු ලියා" "සසර" "ටොම් පචයා", "වනගත කෙල්ල","ජනක සහ මංජු" "විශ්මය" "නෑදෑයෝ" "හරි යනකොට ඔහොම තමයි" "සජා" "නිලුකා" "හිඟන කොල්ලා" "රජ කොල්ලෝ" "සුගන්ධි", "සවුදන් ජෙමා","ලසදා"."වීදුරු ගෙවල්", "හිතුවොත් හිතුවාමයි" "දිවි තිබෙන තුරු", යන චිත්‍රපට වල ඔහු 70 දශකයේ රඟපෑවේය. මෙම චිත්‍රපට අතරින් ,"සිකුරු ලියා" "වන රජා", "කල්‍යාණි ගංගා " "විශ්මය" හා "නෑදැයෝ " රංගනයන් කැපී පෙනුණු අතර, " ලසදා " හී ඩොමී ජයවර්ධන ගේ සගයා වූ සිල්වා මහත්තයා ගේ චරිතයත්, "හිඟන කොල්ලා" හී විජය කුමාරණතුංග සමග කල "වයියාගේ" චරිතයත් සුවිශේෂීත රංගනයන් ලෙස සනිටහන් කළ හැක.
80 දශකය තුල තිරගත කල හැම චිත්‍රපටයක්ම ඔහු හැත්තෑ දශකයේ රූ ගත කල චිත්‍රපටිය. . ගාමිණි ෆොන්සේකාගේ "රෑ මණමාලි ", මෙන්ම, "මිස් මල්ලිකා", "අජාසත්ත" "මව්බිම නැත්නම් මරණය", "සීතා","සඳා","රජ දවසක්", "සුදු අයියා", "මුවන් පැලැස්ස 2", "සසරක පැතුම" යන චිත්රපටවය 80 දශකයේ තිරගත කළේ . දේවදත්ත ලෙස "අජාසත්ත" චිත්‍රපටයේ කළ රඟපෑම එම දශකයේ ඔහුගේ කැපී පෙනුණු රංගනයකි.
බිනරමලී’ චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් ලැබූ හොඳම සහාය නළුවා සඳහා වන සම්මානය හැරුණු කොට පියදාස තවත් සම්මාන දෙකකට හිමිකම් කියා ඇත. ඒ 1965 වසරේ පැවති එක්සත් ලංකා රසික සංගමයේ සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා (‘සුබසරණ සැප සිතේ’ චිත්‍රපටය වෙනුවෙන්) සහ 1974 දීපශිඛා සම්මාන උළෙලේ විශේෂ බහුමාන සම්මානයයි.
එසේම ඔහු ‘පර්පල් ප්ලේන්’, ‘එලිපන්ට් වෝක්’, ‘ස්ටාර් ඕවර් කලම්බු’ වැනි විදෙස් සිනමාපටවලට ද නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී ඇත.
පියදාස ගුණසේකර ලාංකේය සිනමාව තුල සනිටහන් කෙරුවේ ප්‍රබල නාමයකි. ලාංකීය සිනමාවේ 70 වසරක් ගෙවී ගියද, එම නාමය අදද ඉතාමත් ප්රබලය. ගාම්භීරය. එලෙසම සදාකාලිකය. වෙන රටක නම් අද ඔහු ජාතික වීරයෙක් කර ඇත. ලංකාවේද ඔහුව ජාතික වීරයෙක් ලෙස සිනමාවට ලැදී බොහෝ අයට පෙනෙනවා නොඅනුමානය.
මේ අද්විතීය රංගධාරියා, ලංකේය සිනමාවේ ප්‍රබලම සලකුණක් සදාතනිකව තබමින් අවුරුදු 65 ක් ආයු වළදා වර්ෂ 1980 වේදී මෙලොව හැර ගියේය.
(ශෝන් මැක්ස්මස් දිසානායකගේ සටහනකි)