"මනුස්සයෙකුට නොදන්න දීපංකරේකදි තමන්ගෙ රට බබලන නාමයක් ඇස ගැටුණොත්? ඒක අභිමානයක්. සතුටක්. ආඩම්බරයක්. ඒත්
ඒ සතුට අභිමානය එක්කම කම්පනයකුත් ඇති වෙනව නම්? ඔව් එහෙම අත්දැකීමකට පැය 20ක පමණ ගුවන් කාලයක් පුරාම මම අත් වින්ඳ. මට කියල කරන්න කිසිම දෙයක් නැති තැන මට පුලුවන් වුණේ ඒ අභිමානය මගේ ලඟ තියාගෙන ඒ කම්පනය අකුරු කරන එක විතරයි. ඔව් මම මට පුලුවන් විදියට යමක් ලියල ඔවුන්ට දුන්න.කාර්ය මණ්ඩලයෙ තිදෙනෙක්ම ආසනය ලඟට ඇවිල්ල තමන්ගෙ හදවතත් ඒ කෙටි සටහනෙන් සතුටු වුණා වගේම කම්පාවට පත් වුණු බව කිව්වා. නිල වශයෙන් ඔවුන්ට තීරණ ගන්න බැහැ. නමුත් ඔවුන්ට පුලුවන් උපරිම මනුෂ්‍යත්වයෙන් ඒ ගැන බලන බව කිව්ව. පහළ අමුණල තියෙන්නෙ මම ලියල දුන්නු ලියුං කෑල්ල සහ පරිවර්තනය."
- හිතවත් කපිතාන්තුමණි,
පළමුවෙන්ම ඔබ ඇතුළු qatar airways ගුවන් කාර්ය මණ්ඩලයේ සුහදශීලී සහ සංග්‍රහශීලී සේවාව වෙත මාගේ ආදරය පිරිනමමි. මාගේ මව්බිම වන පුංචි ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 14,000කට වඩා ගෙවා මා ගමන් කරමින් සිටින්නේ new york නගරය වෙතයි. ගමනාන්තය වෙත මාව සුරක්ෂිතව ගෙන යමින් තිබෙන ඔබලාට නැවතත් ස්තුති කරමි. මේ සටහන ඔබ ඇතුළු කාර්යමණ්ඩලය වෙත සටහන් කර එවීමට සිත්වූයේ ඔබ ගුවන් සමාගම මා වෙත ලබා දෙමින් තිබෙන ප්‍රනීත ආහාර පානාදිය අතර මෙනුවේ සඳහන් ප්‍රධාන උණුසුම් පානය වූ Freshly brewed ceylon tea යන නාමය දුටු විට ඇති වූ ආඩම්බරය හා කම්පනය හේතුවෙනි. මෙම සටහන ලියන අතරතුරද මාද, යම්ලෙසක මෙම සටහන ඔබ කියවන මොහොතේද අප දෙදෙනාම පානය කරමින් සිටින්නේ ලෝකයේ අංක එකවන ceylon tea විය හැකිය. මාගේ පුංචි රටේ නිෂ්පාදනයක් ලෝකයේ අංක එකේ ගුවන් සමාගම්හි ප්‍රධාන උණුසුම් පානය වීම මට දනවන්නේ මගේ රට පිළිබඳ ඉමහත් ආඩම්බරයකි. ගෞරවයකි. දූෂණය, වංචාව, අයුක්තිය සහ දූෂිත දේශපාලන තන්ත්රය අතින් මාගේ රට අවලස්සන අවුවද ceylon tea නාමයත්, ලෝක මත්ස්‍ය අපනයනය වෙළෙඳපොල තුළ රසවත්ම හා ගුණාත්මකම ටූනා අපනයනයට හිමි නාමයත් මාගේ පුංචි රටට ලැබී තිබීම තුළ මට ඇත්තේ ඉමහත් සතුටකි.
හිතවත් කපිතාන්තුමනි,
අනෙක් අතට මා දැඩි කම්පනයට පත්ව ඇත. මෙම සටහන ලියන මොහොත වනවිට මාගේ රටේ තේ කම්කරුවන්ට දෛනික වේතනය ලෙස තේ සමාගම් ගෙවන්නේ ඩොලර් 3.5කටත් අඩු මුදලකි. ඔවුන්ට යහපත් නිවාස නැත. ඇත්තේ ඉතාම කුඩා, ජලය විදුලිය තබා අවම සනීපාරක්ෂක පහසුකම් හෝ හරියට නැති පේළි නිවාසය. ඒවාද ඔවුන්ට හිමි ඒවා නොවේ. කොටින්ම ලිපිනයක් නැත. ඔවුන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් හෝ පෝෂණයක් නැත. වහලුන් නොමැති මගේ රට තුළ එම ජනකොටස තවමත් වහලුන් හා පීඩිත ජනතාවක් ලෙස ජීවත් වනබව ඔබ නොදන්නවා විය හැකිය. වතු සමාගම් වෙතින්ද, රජයෙන්ද දෛනික වැටුප අඩුම තරමේ රුපියල් 1000ක් එනම් ඩොලර් 5.5ක් කරදෙන ලෙස කාලයක් පුරා එම ජනතාව ඉල්ලා සිටියද සමාගම් හා රජය එම මානුෂික ඉල්ලීම තවමත් ඉටු නොකරමින් සිටී. එම වැටුප් අරගලය වෙනුවෙන් ප්රගතිශීලී සංවිධානයන් හා සිවිල් සමාජ කන්ඩායම් ගණනාවක් පසුගිය කාලය පුරාම පාරට බැස අරගල කරන ලදි. එමෙන්ම මම මේ සටහන ලියන මොහොත වනවිට සමාජ ජාල හරහා '1000ත් එක්ක ජීවිතේ' දෙන්න යන මැයෙන් ලියන ලද පාඨයක් සහිතව ප්රගතිශීලී මිනිසුන් වතු කම්කරුවන් වෙනුවෙන් සිය ජායාරූප පළ කරමින් සිටී. ඒ හැර තවදුරටත් අරගල කිරීමට සූදානමින් සිටී.
හිතවත් කපිතාන්තුමනි,
යම් හෙයකින් ඔබ සහ ඔබේ කාර්යමණ්ඩලය හෝ ගුවන් සමාගම සමාජ ජාලය හරහා මේ පිළිබඳව යම් සටහනක් තැබුවහොත්, ඉල්ලීම් පාඨය සහිතව ජායාරූපක් පළ කළහොත් මගේ රටේ තේ වතු කම්කරුවන්ගේ ජීවිත හා බොහෝ දේ වෙනස් වීමට පිලිවෙන. ඔබලාගේ කුඩා මැදිහත් වීමක් නිසා ඔවුන් අවම මට්ටමින් හෝ දැනට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට ඉඩ ඇත. ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන, කුසට රස අහරක් ලබන ජීවිතයක් ලැබෙනු ඇත. එතෙක් මාද ඔබද බොමින් සිටින ceylon tea කෝප්පය දකින විට මට සිහියට නැගෙන්නේ තේ පැහැය සහ සුවඳ වෙනුවට තේ කම්කරුවන් වගුරන ලෙයෙහි පැහැය හා කඳුලු උණුසුම පමණි.
ස්තුතියි.
කසුන් පුස්සෙවෙල
17.03.2019