කලාත්මක සිනමාව හුදු හිතළුවක් ලෙසට ලඝු කර ඇති ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය විනෝදාස්වාදනය අලෙවි කරන වෙළද පොලක් බවට පත්වී බොහෝ කල් ය. ඒ අතරතුර වුව ද දුරාවාරයේ පන්තිමය සමාජ ව්‍යුහයක, සමාජය විසින්ම ආන්තිකකරණය වූ ජන කණ්ඩායම්වල ඛේදනීය ඉරණම සිනමා අත්දැකීමක් ලෙස අපට සම්මුඛ කිරීම සිනමා කර්මාන්තය විසින්ම ආන්තිකකරණය කළ අප යළි සිනමා ශාලාව වෙත කැන්දන ආකර්ෂණයක් බව සඳහන් කළ යුතු ය. එවැනි සිනමා කෘතියකින් ඇතිවන සසල වීම ජීවිතය පිළිබඳ තේරුම් ගැනිමට වෙනස් කවුළුවක් අපට විවෘත කරදීම කි.
පුබ්බරු පුතේ දුක බෝමයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
නුඹත් හඬනවා පැටියා මළ දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද
ජන ශ්රැතියේ එන ගායනයක් බඳු මේ ගැයුම වෙන්වීම හැඟවීම පමණක් නොව ඒ හැඟීම දැනවීම සඳහා අවශ්‍ය පරිසරය ද අපේ සිත තුල නිර්මාණය කරන්න කි. පළමුවරට ගැයුමක් ලෙස සිනමා ශාලාව තුලදී මෙය ඇසූ විගස මෙහි මුලාශ්‍රය සොයා යා යුතු යැයි අපට හැඟුණි. වැලපුම් ගීයක ස්වරූපයෙන් හා ස්වර රටාවන් ගෙන් හෙබි මේ ගැයුම චිත්‍රපටයේ මුඛ්‍යාර්ථය සමග සහසම්බන්ධ වන්නේ අවියෝජනීය ලෙස ය.
චිත්‍රපටය : විෂම භාග
අධ්‍යක්ෂක : ලලිත් රත්නායක
නූතන ශ්‍රී ලංකාව නූතන දැයි සිතෙන තරමට සෑම ක්ෂේත්රයකම දකින්නට ලැබෙන්නේ එක්කෝ යල්පැනගිය ක්‍රමවේදයන් භාවිතයට ගැනීම කි. නැත්නම් එකිනෙකට නොගැලපෙන දේ එකට පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම කි. මෙය බොහෝ ප්‍රශ්න හා ගැටළු තව තවත් නිර්මාණය කිරීමට හේතුවක් වී තිබෙන බව සරල අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට වටහාගත හැකි ය. අනෙක් ක්ෂේත්රයන්ට සාපේක්ෂව ගත් කල රටක අධ්‍යාපන ක්ෂේත්රය යනු එහි අනාගත පදනම බව අවිවාදිත ය. එහෙත් වර්තමාන ශ්‍රී ලාංකික අධ්‍යාපනය ඒ අනාගත පදනම ශක්තිමත්ව සකස් කිරීමේ අවංක උවමනාවෙන් කටයුතු කරන්නේ දැයි සැක සහිත වේ. තවමත් ලංකාවේ පාසැල් තුල ක්‍රියාත්මක වන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය විනා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නොවේ. මේ යල්පැන ගිය ක්‍රමය දරුවන් තුල ඇති සුවිශේෂ නිසඟ විභවතාවන් උපන් ගෙයිම මරා දමන්නට සමත් වේ. ලලිත් රත්නායක නම් වූ සලරූ අධ්යක්ෂවරයා සිය ප්‍රථම නිර්මාණය සඳහා යොදාගන්නේ මේ සමාජ ගැටළුව යි.
ලලිත් සිය නිමිත්ත සිනමා ආඛ්‍යානයක් ලෙස ගොඩ නගන්නේ සිනමාව යනු සාහිත්‍යමය කටයුත්තක් නොව රූපමය කටයුත්තක් බව තරයේ අවබෝධ කර ගනිමිනි. ඒ නිසා ලලිත් සෑම විටම රූපය සිය ප්රමුඛ ප්‍රකාශන මාධ්‍ය බව දැන මුලු සිනමාපටය පුරාම එය අපූරුවට භාවිතා කර යි. වියළි කර්කෂ භූමියක පැල වෙන්නට වෙර දරන දරුවන් දෙදෙනෙකු හා ඔවුන් මුහුණ දෙන ජීවන අරගලය පදනම් කරගෙන චිත්‍රපටයේ මූලික කතා පුවත ගොඩ නැගේ. බැලූ බැල්මට බොහෝ දෙනෙකුට මෙහි කතාවක් නොමැති බව පෙනී ගිය ද තල දෙකකින් දිවයන කතා පුවතක් ඊට අන්තර්ගත වේ. එය හුදු කතාන්දරයක් නොවේ. කතා නිමිත්ත කි. ඒ නිමිත්ත ඔස්සේ තම තමන්ගේ ජීවිත යළි පිරික්ෂා බලන්නැයි ලලිත් ප්‍රේක්ෂකයාට ආරාධනා කර යි. නිවුන් සොහොයුරන් වන රුවන්සිරි (පන්සිළු වික්‍රමරත්න) හා කමල්සිරි (පංකජ වික්‍රමරත්න) ඉතා දුෂ්කරව සිය අධ්‍යාපනය කරගෙන යාමට උත්සාහ දරන්නෝ ය. නිවුන් සොහොයුරන් වුව ද දෙදෙනා එකිනෙකාට පරස්පර වේ. වැඩිමල් දරුවා ලෙස රුවන්සිරි සිය පවුලේ දුෂ්කරතා අවබෝධ කරගත්තෙ කි. ඔහුගේ වැඩි නැඹුරුවක් හා දක්ෂතා ඇත්තේ සෞන්දර්ය විෂයන් කෙරෙහි ය. නමුත් බාල සොයුරා කමල්සිරි පවුලේ කටයුතු වලට වඩා සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි නැඹුරු වූවෙ කි. රුවන්සිරි ගණිතය ට අකමැති අතර කමල්සිරි ගණිතයට ප්‍රිය ය. ලලිත් මෙහිදී සංකේතාත්මකව ගණිතයේ එන විෂම භාග පාඩම චිත්‍රපටයට භාවිතා කර යි. සොහොයුරන් දෙදෙනා නිවුන් අය වුව ද, එක් මව කුසින් උපන්නේ වුව ද එකිනෙකාට වෙනස් ය. දෙදෙනා විෂම භාගයන් ය.
රුවන්සිරි කිසියම් මානසික පීඩාවකින් ද පෙළෙ යි. පියා වකුගඩු රෝගයෙන් මිය ගොස් ය. සීයා රෝගී ය. මව රෝගී වෙතැයි ඔහු තුල ඇත්තේ අනියත බිය කි. ඒ නිසාම බොන්නට පිරිසිදු වතුර සොයා ඔහු දුරබැහැර කඳු මුදුනක් වෙත ගොස් ස්වාභාවිත ජල උල්පතකින් ජලය රැගෙන එයි. අනෙක් පැත්තෙක් සම්ප්‍රදායික ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ඔහු පාසැලේ දී පීඩාවට පත් කර යි. ගණිත ගුරුවරයා සිතන්නේ ගණිතය සමත්වීම ජීවිතය ගලවා ගැනීමේ ඒකායන මාර්ගය ලෙස යි. සෞන්දර්ය විෂයන්ට නැඹුරුවීම ඔහුට අනුව දරුවන් කැලේට දැක්කීම කි. නමුත් රුවන්සිරි ගේ සතුට උපදින්නේ සෞන්දර්ය විෂයන් ඇසුරේ ය. ඔහු සිනාසෙන එකම තැන සංගීත කාමරය යි. මේ උභතෝකෝටිකය මුලු චිත්‍රපටය පුරාම දිවෙන්නෙ කි. ලලිත් එය සිනමාරූපී රූපමය බසකින් අපට කිය යි. ඔහු බොහෝ විට රූප රාමුව දෙකට බෙදා වෙන්වන ආකාරයේ දර්ශනයන් රූ ගත කර යි. යුගල වස්තූන් භාවිතය ද වරින් වර සිදු කර යි. ඒ සෑම එකකින් ම චිත්‍රපටයේ තේමාව තුල දිවෙන ද්විඝටනාත්මක බව අපට වරින් වර පෙන්වා දීම කි. පුවක් ගෙඩියේ පියළි දෙක, වැලේ වනා ඇති සුදු කමිස දෙක, ලී කුළුණක් මැදිකර දැක්වෙන මැදි දුර රූප චිත්‍රපටයේ වරින් වර දක්නට ලැබේ.
දරුවන් දෙදෙනාගේ ගති ලක්ෂණ පෙන්වන රූප රාමු ගණනාවක් ද ලලිත් මෙහිදී භාවිතා කර යි. දරුවන් දෙදෙනා පාසැල් යන ආකාරය මෙයට කදිම උදාහරණය කි. කමල්සිරි ට ඇත්තේ වේගවත් ගමනක් ය. රුවන්සිරි ට ඇත්තේ සෙමෙන් ගමනක් ය. රුවන්සිරි සතුන්ට ආදරය කර යි. කමල්සිරි එසේ නොවේ. මග වඩින හාමුදුරුවන් කමල්සිරි ගණනකට නොගනී. රුවන්සිරි නියරින් බැස හාමුදුරුවන්ට ගෞරවනීය ලෙස ඉඩදෙයි. රුවන්සිරි නිවස දෙසට හැරුනෙකි. නිවසේ කටයුතු කෙරෙහි ඔහු සිය වයස ඉක්මවා ගිය මැදිහත්වීමක් කර යි. කමල්සිරි එසේ නොවේ. දෙදෙනා සමාන භාග නොවී විෂම භාග වන්නේ එලෙසිනි. ගණිත ගුරුවරයා වන හේමචන්ද්‍ර මේ දෙදෙනා අතර ඇති මේ වෙනස් කම අවබෝධ කරගැනීමට අසමත් වේ. රුවන්සිරි ට පාසැල අප්‍රසන්න තැනක් බවට කෙමෙන් පත් වේ. ලලිත් එය අපූරූ රූපමය දර්ශනයකින් අපට ඉඟිකර පෙන්ව යි. එකම වැලේ වනා ඇති රුවන්සිරි ගෙත් කමලසිරි ගෙත් පාසැල් සුදු කමිස දෙකෙන් එකක් සුළගට හසුව වැලෙන් ගිලිහී යන දර්ශනය අපට සන්නිවේදනය කරන්නේ එය යි. ලලිත් නළු නිළි මුවගට නගන දෙබස් වලින් නොව රූපයෙන් අප සමග සන්නිවේදනය කරන්නේ එලෙසිනි.
චිත්‍රපටයේ දෙවන තලයේ දිවෙන කතාව වන්නේ බැර ලෝහ සහිත පොහොර හා විෂකාරක නාශක ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා වියළි කලාප ආශ්රිත ගොවීන්ගේ ජීවිත විෂමකාරී ව්‍යසනයන්ට පත්වෙන ආකාරය යි. අධ්‍යාපනයේ සමාජ ගැටලුවත් කෘෂිකර්මාන්තයේ සමාජ ගැටලුවත් එකිනෙක හා බද්ධවන ආකාරයෙන් ලලිත් සිය නිර්මාණය තුල වෙළුකවන්නේ (Twisting) ඉතාම නිර්මාණශීලී ආකාරයෙනි. එක් තැනක බණ්ඩාරගේ (ප්‍රියන්ත සිරිතුමාර) මුවට නංවන දෙබස "තව ටික දවසකින් හාල් වලටත් තෙල් ගහන්න වෙයි." යන්න කෘෂිකර්මාන්තයේ වත්මන් අර්බුදයේ ස්වභාවය සාරාංශ ගත කරන්න කි.
විෂම භාග චිත්‍රපටයේ සමස්ත නලුනිළියන් හැසිරවීමේ දී ඔවුන්ගෙන් 100% ක් ලබාගැනීමට ලලිත් සමත් වී ඇති ආකාරය ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් නවක ළමා නලුවන් වන පංකජ හා පන්සිළු ඔහු හසුරවන්නේ මැටි පිඩකින් පිළිම නෙලන්නෙකු ලෙසිනි. එයින් ද රුවන්සිරිගේ චරිතය නිරූපනය කරන පන්සිළුගේ රංගනයන් දියුණු තලයක තබා හසුරවන්නට ලලිත් සමත් වේ. රුවන්සිරිගේ මුහුණෙන් හැඟීම් දැනවීම (Facial Expressions) අත්දැකීම් සහිත රංගන ශිල්පියෙකුගේ රංග කාර්යයක් ඉක්මවා යන්න කි. ඉතා කෙටි පෙනීසිටීමක් වුව ද සංගීත ගුරුවරිය වන සකුන්තලා (තිලක්ෂිනී රත්නායක) ගේ නිරූපන හැකියාව ද පෙරා ලබා ගන්නට ලලිත් සමත් වී තිබේ. ලලිත් කිසිම විටක දෙබස් උපයෝගි කර චරිත හඳුනාගන්නට ඉඩ සලස්වන්නේ නැත. චරිතයේ රංගන ස්වභාවයන් ඔස්සේ ප්‍රේක්ෂකයාට චරිතය ත්රිමානිකව හඳුනාගැනීමට ඉඩ සලස යි.
පාලිත පෙරේරාගේ සිනමා ඡායාරූපකරණය රූප සත්කාරය යනු කුමක්දැයි හදාරන විද්‍යාර්ථීන්ට අභ්‍යාස වැඩබිම කි. පාලිතගේ අඳුර හා අලෝක සංකලනය, කාල අවකාශ තරණය, දුර රූප, මැදි රූප හා සමීප රූප සංකලනය කාව්‍යමය රූප බස කි. පොළොව විෂකුරු වී ඇති බව හඟවන වියලි ගිය කුඹුරක් මතින් සමීප රූපයකින් කැමරාව මදක් ඉහළින් ධාවනය කිරීම අපූරූ රූපමය උපක්‍රමය කි.
චාමර රුවන්තිලක නම් නවක සංගීත අධ්යක්ෂවරයා ගැන ද යමක් සඳහන් කළ යුතු ය. කතා තේමාවේ අභ්‍යන්තර ගති ලක්ෂණ, චිත්‍රපටයේ රිද්මය හා ලය මනාව හඳුනාගෙන ඔහු සංගීතය නිර්මාණය කර තිබීම අනාගතය පිළිබඳව අප තුල බලාපොරොත්තු දනවන්න කි. ඉහත සඳහන් පැදි පෙල ගායනයේ දී ද ඔහු මුසු කරන වේදනාත්මක සංගීත ඛණ්ඩය චිත්‍රපටයේ සමස්ත ශෝකී බව මිටට හකුලාලන්න කි.
චිත්‍රපටය පුරා උච්චතම අවස්ථා (Climaxes) ගණනාවක් නිර්මාණය කරන ලලිත්ගේ තිර පිටපත ඒ සෑම අවස්ථාවකම ප්‍රේක්ෂකයා මංමුලා කරව යි. උච්චතම අවස්ථා ලිහී සාමාන්‍ය තත්වයට පත්වන්නේ ප්‍රේක්ෂක සිතුවිලි පරාසයෙන් පරිබාහිරව ය. එය කිසියම් නාටකීය ගුණයක් හා ප්‍රේක්ෂකයා හා චිත්‍රපටය අතර අවිචින්න සම්බන්ධකමක් ගොඩනග යි. චිත්‍රපටයේ අවසානය ද එබන්ද කි. භාග සුළු කිරිමකට රුවන්සිරි හසු කරගන්නට උත්සාහ කරන ගුරුවරයාට රුවන්සිරි සිය සීයාගෙන් උගත් වැලපුම් ගීතය ගායනා කර යි. මේ ප්රතිවිරෝධය (Contrast) ජීවිතය මෙබඳු යයි අප සිතා සිටින දෙය කෙරෙහි අනෙක් අතට කරන බලපෑම කි. එය අපූරු ය.
කෙසේ වෙතත් ලලිත් රත්නායක නම් අධ්යක්ෂවරයාගේ පළමු සිනමා සම්ප්රාප්තියෙන්ම ඔහු කෙබඳු අධ්යක්ෂවරයකු වන්නේදැයි තේරුම් ගැනීමට අපට ආලෝකයක් සපය යි. ඔහු රූපයෙන් සිනමාකරණයේ නියැලෙන, සිනමාවේ ප්රමුඛ සන්නිවේදන මාධ්‍ය වන්නේ රූපය බව තරයේ විශ්වාසකරන අධ්යක්ෂවරයෙ කි. සිනමාවේ දී ඔහුට දෙබස් ද්විතීයක කාරණයක් වේ. එසේම ඔහු සිනමා කාව්‍ය රචකයෙකි. ඔහුගේ රූපමය බස කාව්‍යමය බස්වහර කි. අපව සිනමා ශාලාවේ අසුන් මත කෙලින් සිටවන්නේ මේ සෞන්දර්ය ගුණය යි. සිනමා නිර්මාණයකට මහා දිග කතන්දර අවශ්‍ය නොවන බව "විෂම භාග" අපට කියා දෙයි. අවශ්‍ය වන්නේ ක්ෂුද්‍රමය වශයෙන් ජීවිතයේ අංශුවක් ගෙන ඒ මත නිර්මාණාත්මක පරිකල්පනයක් ගොඩනැගීම පමණි. එයින් ජීවිතය යළි කියවීමට ඉඩ සැලසීමක් පමණි. ලලිත් රත්නායක සිය පළමු උත්සාහයෙන්ම එය අපූරුවට ජයගෙන ඇති බව "විෂම භාග" උස් හඬින් සහතික කර යි.
© කපිල එම්. ගමගේ