අහිමි පාරාදීසයක සංවේදනා නොහොත් තරංග ලක්නාත්ගේ කවි සු-ලකුණු
දසදහසක් වදන් අතරෙහි ගැටි ගැටී ඇවිදින ලොවක ගැවසෙමින් වුව ද, අත්දැකීමක් පරිකල්පනය කරනු වස් උචිත ම පද තම සංගෘහිත වදන් කෝෂයෙන් ගෙන, නියමිත රිද්ම මාත්‍රාවෙන් පිරිමැද හසුරුවන්නන්, කවියන් ලෙසින් මම හඳුන්වමි. එලෙසින් ම උචිත ම මොහොත උප නෙතකට හසුකරගැනීමට, නියමිත ආලෝක අනුපාතය කලාත්මකව කෝණගත කිරීම ඡායාරූප ශිල්පියකුගේ හැකියාව ලෙස ද නම් කරමි. මෙකී කලා ශක්‍යතා ද්වයට ම පොදු තේමාවක් වෙයි. එනම් ශිල්පීය පක්ෂය හැසිරවීමෙහි බුහුටිකමයි. එය කවියටත් සේයාරුවටත් එකසේ භාවිත කරන්නට සමත්වූවෝ අපට හමුවෙති. ලාල් හෑගොඩ, මංජුල වෙඩිවර්ධන, බූපති නලින්, කාංචනා අමිලානි, අනෝමා රාජකරුණා, කල්පනා ඇම්බ්‍රෝස්, විකුම් ජිතේන්ද්‍ර සහ නූතනයේ නිර්මාණශීලී තවත් පිරිසක් මෙහිලා ගිණිය හැකිය. තරංග ලක්නාත් අප හඳුනාගත යුත්තේ ඡායාරූප ශිල්පියකු ලෙස නොවන බව සැබැවි. එහෙත් සුදුසු ම මොහොත තෝරා බාගත කරන සේයාරූ අනුව, ඔහු කදිම සේයාරූ එකතු කරන්නෙකු මෙන්ම ඊ පරයා නැගෙන දාර්ශනික කාව්‍ය රචනා ගෙන එන්නකු ලෙසද හඳුනාගත හැකිවේ. ඔහුගේ තෝරාගත් කවි කිහිපයක් මෙහිලා විමසා බලමු.
නූතනයේ මුහුණුපොතට සේයාරූ එක් කරන්නෙකු හැටියට පමණක් නොව තරංග, සෘජු දේශපාලන මතයක් දරන, සමස්තය සුණුවිසුණු වූ භූමියක අතීත ස්මරණ සහිත පරම්පරාවක් නියෝජනය කරන්නෙකු මෙන්ම ගූඪව සැඟවී සිටින කලාකරුවෙකු වශයෙන්ද හඳුනාගත යුත්තෙකි. ලොව තරම දන්නා තැනැත්තා සියල්ල දකිමින්, තමා ම විශ්ලේෂණය කරමින් සිටින අතරතුර එයින් වටිනා ම සිතිවිල්ලක් දෙකක් පිටතට දමන්නේ යම් සේ ද තරංග කවියක් ලියන්නේත් එපරිද්දෙනි. ඔහු පක්ෂී කෝණයකින් ලොව දෙස විමසුම් ඇස හෙළන්නෙකි. සමස්තය දකිමින් එහි ම රැඳෙමින් එය ම නව කෝණයතින් ප්‍රතිනිර්මාණය කරන්නෙකු වන අප කවියා, (ඔව්, එනමින් හඳුන්වමි) සඳලුතයෙන් මහ පොළවට බැස කවි ලියන්නැයි නූතන කවියන්ට ආරාධනා කරන්නාක් වැන්න. කවි බිහිවිය යුත්තේ, සමාජ අසාධාරණය, පන්ති අරගලය, පීඩිත ජීවිත අතරින් පැන නැග නැවත පල්ලම් බසින, ඇති පමණ ජීරණය වූ අත්දැකීම් ගොන්නකින් බව ඔහු මතක් කර දෙයි.
'උස් චිමිනි
කොත් කැරලි කුරුස කණු
නුහුරු සංඛ්‍යාත අතර
පයුරු පාසානමක පැටලී
දිවි ගැටගැසී
උනුන් නස නසා
යා යුතු නොයා යුතු තැන්
මඟ හැරී
සන්ධ්‍යාවන් ගිල ගනී
සඳක් කොහිවේද නුබ ගැබක
තරුත් සැඟවුනිද කලුවරෙක...'
පශ්චාත් නූතන, අධිතාක්ෂණික, චීනකරණ මෙන්ම අතුරුදන්වීම්, මරණ සංඛ්‍යා, සිරගතවීම් යන මෙකී සියලු දෝලනවලට ලක්ව හෝන්දුමාන්දු වී සිටින නූතන මිනිස් වර්ගයා ධනවාදී ලොවක තරගකාරී ජීවන රටාවක් තුළ කොටුවෙමින් වුවද පාරිසරික සුන්දරත්වයෙන් මානුෂීය හැඟීම් අතරින් යළි දිවිය සොයමින් යන ලකුණු මෙකවට විෂය වී තිබේ. සංකේත, කේත, පණිවිඩ සපිරි භෞතික ලොවක සැනසුම් සුව සොයමින්, උනුන් නසන මනුෂ්‍ය වර්ගයා ධනේෂ්වරය උරුම කරන සෝතාපයෙහි ගිලෙයි. උක්ත කවියෙන් හැඟෙන අදහස එයය.
කවියකු වීමට හෝ ලියන සිතුවිලි කවි ලෙසින් හැඳින්වීමටවත් තරංග ලක්නාත් කැමති නොවන මුත්, ඛලීල් ජිබ්රාන් හෝ ඕමාර් ඛයියාම් වැනි කවියකුගේ පරිණත සහ දාර්ශනික කාව්‍ය චින්තාවන් ඒවායින් ගලා එනු පෙනේ. 'සෑම හොඳ කවිය ම කිසියම් දාර්ශනික ආලේපයක් නිධන්ගතව ඇතැ'යි පවසන ආරියවංශ රණවීර වැනි කවියකුගේ කවියක් කියවීමෙන් පසු සහෘදයා නැවත සිතීමට පෙළඹෙන්නේ යම් සේද මදින් මද ඛණ්ඩනය වෙමින් විරාමය අයදින තරංගගේ කාව්‍ය සිතුවිලි අපවද මදකට නවතා පුහු ව්‍යාජ චින්තාවන් උස්සා අල්ලා පොළොවේ ගසයි. මෙ කවි එවැන්නකි.
මා පිටුපාන
ඈ දෙවඟන
හැම අහුමුල්ලෙම
මුලුතැන්ගෙයම
මිටින්ගෙන
කිරෙන් පිස
තෙලෙන් බැද
දිය දෙබෑකර
රෙදි කඳු අඹරා
වේලා අහස් නිල දමා
සුදෙන් සුදු කර
කන්තෝරු ඉස්ටෝරු
ආයතන සංග්‍රහ
මුදල් රෙගුලාසි
හාල් දෙස නොබලාම
දෙයියන්ගෙ ණයට ණය වී
සීට්ටු පණමකින්
අඩුව පිරිමසා
කැඩුනු සෙරෙප්පු
ඇණ ගසා මෝස්තර දමා
හැන්දෑවට හීන්කෙදිරියට
ඒත් මං උඩ ඈ යට
මා පිටුපාන
ඈ දෙවඟන...
පුරුෂෝත්තම සමාජයේ ස්ත්‍රිය වරනැගෙන අන්දම තරංග දකී. එය කියාපෑමට ඔහු බොරු කැටයම් කවි පද පිහිටටට නොගනී. සාමාන්‍ය මිනිසෙකු සේ පොදු ජනයාගේ නිවසට පිවිසෙන කවියා මුළුතැන්ගෙයි පටන් නිවසෙහිම දර දිය ඇඳ ඊට ම දියවූ දෙවරක් පීඩිත ස්ත්‍රියගේ පාර්ශ්වයේ සිට ගනී. දිය දෙබෑකර, රෙදි කඳු අඹරා, අහස් නිල දමා යන වැකි සංස්කෘතිය විසින් ස්ත්‍රිය මත පටවා ඇය පීඩාවට පත්කළ ඒක පාර්ශ්වීය ගෘහස්ත කාර්යයන් පෙළගස්වයි. අප හද සසලවන්නේ 'ඒත් මං උඩ- ඈ යට' යන්නෙනි. ගම්ලත් වරක් සඳහන් කළේ ගෘහස්ත ඉවුම් පිහුම්, සේදිලි, දරුවන් බලාකියාගැනීම් යන මේ සියල්ල සමාජයේ වෙනම අංශ වෙත පවරා සමස්ත ජනතාව ජීවිතය වින්දනය කරන ආකාරයේ තත්වයකට ගමන් කළේ නම් ස්ත්රීන්ගේ පීඩනය අවම වන බවයි. තරංගගේ වදන් අපව එකී අහිමි පාරාදීසයෙන් පිටතට කැඳවයි. එවැනි සිහිනයක් නරඹන්නටවත් ඉඩ නොදෙන තරමට තිත්ත කල්කය දිවගාන්නට සලස්වයි. මේවා පණ ගැහෙන වදන්, වන්නේ එබැවිනි. 'බත්පතක කෙස්ගස' කවි චින්තාවද මෙම මැයට අනුගතය.
බටහිර අනුකාරකවාදී ලක්ෂණ සහිත වුවද, තරංගගේ අනන්‍යතාව ඉස්මතු වන දුර්ලභ කවි බහුතරය හමුවන්නේ ඔහුගේ දීර්ඝ කවි අතරෙහිය. ස්වභාවෝක්තිය හෝ වාර්තාමය ලකුණු පෙන්වන කෙටි වැකි ගොනුවක වුවද කවි සුලකුණු හමුවේ. තරංග සේයාරුවක් අරබයා මෙ කවි ලකුණු සලකුණු කළද, කවිය පමණක් කේවලව ගෙන වුවද රසවිඳීමෙහි බාධාවක් නැත.
'පාලු හිස්
ඉඩම් යැයි කියයි
කැලෑවට ගොසින්
යැයි කියයි
කැලෑ මල් යාය
යැයි කියයි
සතා සිව්පා
විමනයයි කියයි
ඒ කිසිවක්
සිත්තරෙක් නම් නොකියයි'
උක්ත කවියේ රිද්මය සම්භාව්‍ය සාහිත්‍යයේ ස්මරණ අතරින් එන්නකි. බුත්සරණ, අමාවතුර වැනි කෘතියක ද මෙවැනි ම ගද්‍ය පාඨ හමුවේ. ඒවා රිද්මයකට කිව හැකි ස්වරූපයක් දරයි. තරංග ගන්නා රිද්මය මෙන්ම කවියෙන් කියවෙන අර්ථයද එකී ස්මෘතියට අප රැගෙන යයි. ප්‍රායෝගික යථාර්ථය සහ ෆැන්ටසිමය සිහින යන දෙපක්ෂය එකිනෙක ප්රතිපක්ෂ වන අවස්ථාවක් මෙහි එයි. පාලු වූ හිස් ඉඩම් රාජ සන්තකය, බලධරයන් සන්තකය. එබැවින් ඒවායේ ඇවිදයන්නට පෙම්කරන්නට බැරිය. පිටිසරබදකට ගොසින් ලා විමසුවහොත් ඒවා වල් වැදිලා, කැළෑවට ගිහිල්ලා, පුරන්වෙලා යැයි ඇසෙනු ඇත. පෙම්වතකුගෙන් ඇසුවහොත්, නෑ ඒ කැලෑ මල් යායක් යැයි කියනු ඇත. වැඩිහිටියන් නම් දරුවන්ට සතා සිව්පා විමානේ, යන්න එපා යැයි කියනු ඇත. එහෙත් සිත්තරෙක් ඒ හේතු කිසිවක් හේතු නොවේ. ඒ සියල්ල ම කලාවක් පමණි.
ලියනගේ අමරකීර්ති ලියු 'පහන සහ කැඩපත' කෘතියෙහි 'කවියාගේ හුදෙකලාව නැවත සලකා බැලීම-ආරියවංශ රණවීරගේ කවි ඇසුරින්' යන ලිපියෙහි එන 'දිදුලන රූපකය වෙනුවට අරපරිස්සමින්ද සූස් කට්ටකමින් හෙවත් කලාත්මක සූක්ෂමතාවකින්ද', 'දුවන්න එපා පොඩ්ඩක් ඉන්න වැනි කවි', 'හුදකලාවට ආදරය කරන්න - එහි වේදනාව උසුලන්න' ආදී තැන් තරංගගේ සමහර කවි විඳිමින් සිටින මට සිහියට නැගේ. වෙඩිවර්ධනගේ කව්බසක් හා සම වන පැදි ද ඒ අතර වෙයි.
'යාතිකා සුළඟකට
රැගෙන යාහැකිද
සීතලව ගල්ගැසුණු
ආදරේ පණිවිඩය'
ප්‍රේමය, අත්හැරීම, උපේක්ෂාව, කළකිරීම වැනි පොදු මිනිස් චින්තාවන් සෘජු සහ ක්ෂණික පෑන් පහරින් කවියට නගන අප කවියා නැවත එය සංස්කරණයට කාලය නාස්ති නොකරයි. හොඳට හෝ නරකට ලියුවොත් ලියුවා සේම තබයි. මෙය සාර්ථක වන තැන් මෙන් ම අසාර්ථන වන තැන්ද ඇත. ඉක්මන්ව ලියා අදහස් පිටකිරීමට ගත් උත්සාහ හේතුවෙන් කාව්‍යමය රිද්මය සහ නැවුම් පරිකල්පන හැකියාවන් යටපත්ව වාර්තාමය ස්වභාව මතුවේ. උපහාසය කට කොනින් රැගත් පරිණත එහෙත් නිහඬ කලාකරුවකුගේ ස්වභාව දරන අප කවියා යොදන ඇතැම් වදනක් දෙකක් නිසා සමස්ත කවියේ ම අර්ථ, හැකිලෙයි. එක්කෝ ඉස්මතු නොවෙයි. එක තැන රැඳෙයි. රසයට බාධා පැමිණෙයි. ගලා නොයෙයි. ඇතැම් සිතුවිලි, සිතුවිලි ලෙසින් ම මිස කවියක් ලෙසින් හැඳින්විය නොහැකි වෙයි. එවැනි තැන් පිරියම් කරගතහොත් සුප්‍රකට කවියකු වීමේ ජනප්‍රියත්වයට නොයන, හුදෙකලාව ලොව විමසන මේ මිනිසාගේ අභ්‍යන්තරයේ ඇති තවත් ස්මෘතිගත කවි ලකුණු අපට රසවිඳිය හැකිවනු ඇත. 'කැඩපත් රූපයෙ'හි බර්ටි. බී.කුඩාහෙට්ටිගේ වදනක් දක්වමින් මෙම සටහන අවසන් කරමි. කොරෝනා, ලෝක දේශගුණික විපර්යාස ආදියෙන් ගිනිගමිනිමින් ඇති ලෝකයේ, පීඩිත භූමියක තරංගගේ කලා දිශානතියට මෙම වැකි කිහිපය ඌන පූර්ණයක් වේවා!
'කලා නිෂ්පාදකයා කියන්නේ රොබින්සන් කෘසෝ වගේ හුදකලා වූවෙක් නෙමෙයි. ඔහු නිශ්චිත යුගයකට අයත් වෙනවා. නිශ්චිත පන්තියකට අයත් වෙනවා. නිශ්චිත සමාජයකට අයත් වෙනවා. අනෙක් මිනිසුන් වගේම ඔහුත් වාර්ගික, සාමාජික, දේශපාලනික, අනුරාගික සත්වයෙක්. ඔහු දීර්ඝ නිෂ්පාදන පරපුරක එක් සාමාජිකයෙක්. එනම් ඔහු ම සම්බන්ධතාවක්. දීර්ඝ කාලීනව, වෙනස්වෙමින්, හැඩගැසෙමින්, වැඩෙමින් ආ සම්ප්රදායක සිට ඔහු තම පරිකල්පනය හසුරුවනවා. ඔහු ඔහු ම වන අතර ඔහු ම පමණකුත් නෙමෙයි. ඔහු කලාත්මක නිෂ්පාදන පරපුරක තනි සමස්තයක්'
සටහන : ඩිල්ෂානි චතුරිකා දාබරේ