චින්තන ධර්මදාස ගේ ඇවිළෙන සුලුයි කොරෝනා වළින් පසුව ලංකාවේ ප්‍රදර්ශණය වුනු පළමුවන සිනමා නිර්මාණය . චිත්‍රපට දහයක් දොළහක් කරලා නැතිවුනත් තරුණයෙකු හැටියට ඔහු අභියෝගයක් බාරගෙන වසංගතයකින් පසු සිනමාගාරයට පේ්රක්ෂකයෝ එයි කියලා විශ්වාස කරලා චිත්‍රපටය නිදහස් කළා. ඊට පස්සේ සිද්ධවුන දේවල් ගැන චින්තන අපූරු විශ්ලේෂණාත්මක සටහනක් ෆේස්බුක් හි ලියා තිබුනා. පේ්රක්ෂකාගාරය පිළිබඳව වගේම සිනමාව ගැනත් මේ තුළින් කියව ගන්න පුළුවන්. ඇත්තටම අද ලංකාවේ සිනමා පේ්රක්ෂකයො ඉන්නවද ?
මගේ චිත්‍රපටිය පෙන්නලා මං ඉගෙන ගත්ත දේවල්.
'ලංකාවෙ චිත්‍රපටිවලට ඇත්ත ප්‍රේක්ෂාගාරයක් නෑ. ඒ ඉන්න සුලුතරයෙන් චිත්‍රපටිය දුවන්න බෑ. චිත්‍රපටි දුවන්නෙ ලව් කරන්න එන කොල්ලො කෙල්ලො හින්ද.
ඒක හින්ද අනිවාර්යෙන්ම චිත්‍රපටියක් හෝල් එකට යනවා නම් ඒක පැය එකහමාරකට වඩා දික්වෙන්න ඕන. පැය දෙකක් දෙකහමාරක් නම් වඩාත් හොඳයි. කතාවෙ මැද හිල් අබල දුබලකම් අදාලම නෑ. කලර්බාර්ස් හරි දිගට පෙන්නන්න ඕන.
එක කපල් එකක් සාමාන්‍යයෙන් දෙතුන් පාරක් ෆිල්ම් එකක් බලනවා. ඒක නිසා ෆිල්ම් එක මාර ඩිප්‍රෙස් හෝ සෙක්ස් වෙන්න බෑ. කතාව සරලව පොඩි ලල් එක තියෙනවා නම් තමයි වැඩ කරන්නෙ. මාරක හොල්මන් සහ වල් ෆිල්ම්වලට කෙල්ලො එන්න බෑ කියනවා.
ලංකාවෙ දුවන්න පුළුවන් එකම චිත්‍රපට වර්ගය ළමා චිත්‍රපටයි. නැත්තං පවුලේ චිත්‍රපටයි. මේ ෆිල්ම් බලන්න පවුල් පිටින් එනවා. එන්නෙ ළමයාට ෆිල්ම් එකක් පෙන්නන්න. ළමයාට එකකුයි අම්මට තාත්තට තව එකකුයි බලන්න ආර්තිකයක් රටේ ගොඩකට නෑ. ඔක්කොටම එකයි.
හෝල් එකේ දුවන්නම හදන ෆිල්ම් එකක සාර්ථකත්වය පවතින්නෙ වියදම් කරන ගාන අඩුකරගැනීම උඩයි. එතකොට අඩු ප්රේක්ෂාගාරයකින් වියදම් කවර් කරගන්න පුළුවන්.
හෝල්වලින් ලැබෙන සහයෝගය අන්තිමයි. ඒක ඒ ආකෘතියෙ නන්නත්තාරකම හින්දම වෙන දෙයක්. ඒ අද්භූත වෙලාව මාරු කිරීමේ ක්‍රමයට කවුරු හරි හෝල් එකට එද්දි පෙන්නන්නෙ එයා බලන්න ආපු ෆිල්ම් එක නෙමෙයි. එහෙම මිස් කරගන්න ප්‍රේක්ෂකයෙක් ආපහු මළාට හෝල් එකට එන්නෙ නෑ.
ෆිල්ම් එකක් බලන්න හෝල් එකට එන බහුතරය ෆිල්ම් එක බලන්න එනවා නෙමෙයි. ඒ ගොල්ලොන්ගෙ වෙන වැඩකට ෆිල්ම් එක උදව්වක් වෙනවා විතරයි. එතකොට නිර්මාණකාරයෙකුට හිතන්න වෙනවා තමන් හෝල් එකේ ෆිල්ම් එක පෙන්නන්නෙ කාටද කියල. ඩීවීඩී එක ගහනකොට වුනත් නිරුවත් ගෑනු රූපයක් ඉස්සරහට දැම්මොත් පොඩි ඉල්ලුමක් තියෙනවා. ඒකෙනුත් වෙන්නෙ ෆිල්ම් එක අදාල නැති ප්‍රේක්ෂකයෙක් ෆිල්ම් එක බලන එක. ඇත්තටම ලංකාවෙ චිත්‍රපටි හදන එක සිද්ද වෙන්නෙ අදාල නැති අය අදාල නැති ෆිල්ම් බලන එක උඩ මිස ෆිල්ම් එක බලන ප්‍රේක්ෂකයෙක් හින්ද නෙමෙයි.
අපිට තියෙන ලොකුම අභියෝගය චිත්‍රපටි බලන ප්‍රේක්ෂකයෙක් හොයාගන්න එක. ඒ ගොල්ලො මේ වෙද්දි හෝල් එකේ නෑ.
(මේක කියවන ගොඩක් අය ෆිල්ම් හදන එක පාඩුයි වගේ අදහසක් අරන් තියෙනවා . ෆිල්ම් හදන එක පාඩු වැඩක් නෙමෙයි . ෆිල්ම් එකකට තියටර් රිලීස් එකෙන් ලාබගන්න බෑ කියන එකයි මේ අදහස. චිත්‍රපටියක ආදායම හොයාගන්න මේ වෙද්දී ගොඩක් ක්‍රම තියෙනවා )
චින්තන ධර්මදාස