"මම තව එක්වරක් සටනට එළඹෙමි ,
මම දැනගෙන සිටි හොදම සටනට , ඒ දිනයේ ජීවත්ව සිට මියැදෙනු වස් "
Joe Carnahan විසින් 2011 වසරෙදි නිර්මාණය කරනවා "ද ග්‍රේ " නමින් සුවිශේෂී සිනමාපටයක්. "ග්‍රේ" සිනමාපටය එදා මෙදා තුල ලෝක සිනමාව තුල Survival , Thriller ශානරය තුල නිමවුනු අන්ඩරේටඩ්ම වගේම විශිෂ්ටතම නිර්මාණයක් විදිහට බය නැතුව ලේබල් කරන්න පුලුවන් චිත්‍රපටයක් .ග්‍රේ හී ප්‍රධාන චරිතය වෙන්නෙ ජෝන් ඔට්වේ නැමැති කම්කරුවා. ජෝන් ඔට්වේගෙ චරිතය රගදක්වන්නෙ ලියාම් නීසන් විසින්. ග්‍රේ චිත්‍රපටය තුල අන්තර්ගත වූ දාර්ශනික තේමාව මෙන්ම ඔට්වේ ලෙස වූ ලියාම් නීසන්ගේ ප්රශස්ත රංගනයද විචාරකයන්ගේ දැඩි පැසසුමට ලක්වෙනවා. ඇලස්කාවට කඩා වැටුනු ගුවන් යානයකින් ජීවිතය බේරා ගත් කම්කරුවන් හත් දෙනෙකු සිය ජීවිතය බේරා ගන්නට සිදු කරන අරගලය චිත්‍රපටයෙන් විකාශනය වනවා.
චිත්‍රපටයෙ එක් අවස්ථාවක අලු වෘකයන්ගෙ මරණීය තර්ජනයන්ගෙන් වගේම දැඩි සීතලෙන් හෙම්බත්ව සිටින කම්කරුවන් කිහිපදෙනා රාත්‍රියේදිත් වෘකයන්ගෙ ග්රහණයෙන් මිදීමෙන් අනතුරුව ගිනි මැලයක් වටා සිට ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී පුද්ගලයන් , ජීවිතය පිළිබදව කතා බස් කරනවා , පාපොච්චාරණය කරනවා. කතාකිරීමේ අවස්ථාව අපේ කතානායකයා වුන ඔට්වේ ට ලැබුණු විට ඔහු විසින් තමා මම සටහන මුලදී සදහන් කල කවිය පිලිබදව සිය පිරිසට පවසන්නේ.
" මම තව එක්වරක් සටනට එළඹෙමි ,
මම දැනගෙන සිටි හොදම සටනට , ඒ දිනයේ ජීවත්ව සිට මියැදෙනු වස් "
මම පෞද්ගලිකව හැමදාම විශ්වාස කරපු , කරන දෙයක් තියෙනවා. ඒක මම මටම හදා ගත්ත එකක්.
" මට කවදා හරි හිතෙනවා නම් මට දැන් ඇති , ට්‍රයි කලා ඇති ,මේ මදෑ කියලා , අන්න එදාට මම මගෙන්ම අහනවා ප්‍රශ්නයක් මට ඇත්තටම අදයි හෙටයි විතරක් ට්‍රයි කරලා මේක නවත්තන්න බැරිද කියලා "
ඔන්න ඔය කාරණාව හන්දා ග්‍රේ චිත්‍රපටයෙ ඒ කවිය මට සෑහෙන්න වැදුන තැනක්. ඔට්වේ චිත්‍රපටය පුරාම ඉන්නෙ කලකිරීමකින්. ඔහු තවදුරටත් ජීවත් වීම ගැන ඉන්නෙ කලකිරීමකින්. නමුත් ජීවිතය කියන්නෙ ජීවිතය , මරණය කියන්නෙ මරණය . ජීවිත්වීම තුල ජීවිතය ගැන නොසිතන තාක්කල් ඔහුට අයිතියක් නෑ එය අබිඹවා ගොස් මරණය ගැන සිතන්නට. ඒ මොහොත තුල ජීවත්වීම ගැන සිතන්නට ඔට්වේ හුරු වෙන්නෙ එහෙම. ඔහු ඔහුටම ජීවත්වීමට බලකරනවා , ජීවිතය තුල ජීවත්වන්නට සටන් කරනවා.
චිත්‍රපටය අවසාන බාගයේදී ඔහුගෙත් බලාපොරොත්තු බිද වැටෙනවා , ඔහු ඔහුගේ සෙසු සගයන්ගෙන් දුටු ජීවත් වීම අත්හැරීම ඔහු ඔහුට ආරෝපනය කරගන්නවා. එච්චර වෙලා බලාපොරොත්තු තබාගෙන ඉබාගාතෙ ඇවිදපු ඔහුට දෛවය පිළිබඳව කලකිරෙනවා. ඔහු දෙවියන්ගෙන් ප්‍රශ්න කරනවා " මේ මොහොතෙදි ඔබ මට පිහිට වන්නෙ නැත්නම් හෙට පිහිට වෙලා ඇති තේරුම කුමක්ද " ලෙස.
අවසානයේදී නැවතත් සිය ජීවිතය , දෛවය තමන්ගෙ අතටම ගන්න ඔට්වේ සිතනවා. තමන්ගේ ජීවිතයේ ,ජීවත් වීම හෝ ජීවිතය අත්හැරීම තමා සතු තීරණ විය යුතුයි කියන තැනට ඔට්වේ එනවා. ඔහු ජීවිතය අත්හැර දමන්නට තීරණය කරනවා , නමුත් ජීවත්වීමට සටන් නොකොට එය අත්හැර දමන්නට ඉඩදෙන්න ඔට්වේගෙ දෛවය සූදානම් නැහැ. දෛවය ඔහුට ජීවිත්වීමට සටන් කිරීමට අවස්ථාවක් ඔට්වේට නිර්මාණය කර දෙනවා , එක අන්තිම සටනකට ඔහු වෙනුවෙන් දෛවය පිටපත සකසනවා.
ඉතින් ඒ මොහොතෙදි ඔට්වේ ආයෙ හිතනවා ,
" මම තව එක්වරක් සටනට එළඹෙමි ,
මම දැනගෙන සිටි හොදම සටනට , ඒ දිනයේදී ජීවත්ව සිට මියැදෙනු වස් "
#හිරුස් - හිරුෂ කසුන් - සිනමාවේදීන් කාණ්ඩයේ පළ කළ ලිපියකි.