නිදහස හොඳින් විඳින්නට නම් කන්දක මුදුනටම යායුතු වුවත් මෙවර අප නිදහස විඳින්නට ගියේ පොළව අභ්‍යන්තරයටයි. ඒ රක්වාන පන්නිල හුණුගල් ගුහාවටයි. සිංහරාජයට මායිම්ව වැසි වන්නාතරයේ පහස ලබමින් නිසොල්මන්ව හිඳින මේ හුණුගල් ගුහාව, අප මීට පෙර ගිය වවුල්පනේ ගුහාව හා හාත්පසින්ම වෙනස් විය. ඉතාම පිරිසිදු තත්වයේ මෙය පැවතිණි. උදෑසන 6.30 පමණ වන විට රත්නපුරයට ළඟා වූ අප තිදෙනාගෙන් යුත් කණ්ඩායම උදෑසන ආහාරයද ලබාගෙන මාදම්පෙ දක්වාත් එතැනින් පන්නිල ග්‍රාමය දක්වාත් ගමන් ඇරඹීමු. මාර්ගයේ පැවති අබලන් තත්වය නිසා ඉතා අසීරු ගමනක් වුවද උදෑසන 9.00 පමණ වනවිට ගුහාව පැවති කැලයට යන මාර්ගය අසලින් බැස ගැනීමට අපට හැකිවිය.
එතැනින් හමුවූ ගම්මුන් කිහිපදෙනකුගෙන් දැනගත් පරිදි පෙන්වූ මාර්ගය දිගේ අප ඉදිරියටම ගියෙමු. ගම්මුන් පැවසූ ආකාරයට කැලයේ යම්කිසි ශාක වර්ගයක් පවතින බවද එය ගැවුණහොත් එතැනින් එහාට ගමන් කිරීමට අපහසු බවද ඔවුන් අපට දැන්වීය. ඉතා සුන්දර වෙල් යායවල්, කුඩා ඇළ පාරවල් ආදිය පසුකරමින් පැමිණි ඒ ගමන මොහොතකට අපව අතීත ගම්මානයකට රැගෙන ගියේය. මී හරක්, උන් වටකරගත් කොක්කු රෑන්, ඔබ මොබ පියාඹන පක්ෂී සමූහයන් හා ඇළ පාරේ එහෙ මෙහේ පීනා යන තිත්ත පැටව් ඒ පරිසරයේ සුන්දරත්වය තවත් වැඩි කරවීය.
කුඹුරු යාය අවසන් වීමට පෙර වම් පසට තිබුණු කුඩා අඩි පාර දිගේ කැලයට ඇතුළු වූ අපට ඇළ මාර්ගයක් හමු විය. ඉන්පසු ඇළ පාර දිගේ ඉහළට ගමන් අරඹන ලද අපට අසීරු ගමනක යෙදෙන්නට සිදුවිය. දිය සෙවළ සහිත ගල්, ගස් කඳන් ආදිය පසු කරමින් කන්දේ ඉහළටම ගියෙමු. ඉතා පිරිසිදු වූ ජලය පානයට සුදුසු විය. නමුත් තවමත් හුණුගල් ගුහාවේ සාක්ෂියක්වත් හමුවුණේ නැත. හුණුගල් සෑදීමට නම් වතුරේ කිවුල් ස්වභාවයක් තිබිය යුතුය. නමුත් ජලයද කිසිම ලෙසකින් කිවුලෙන් යුක්ත නොවිණි. නමුත් ඉහළට ඇදෙන විට ගල් වල පැහැය වෙනස් වන බව පෙනෙන්නට තිබුණි. රතු පැහැයට හුරු පැහැයකින් යුක්තව ගල් දකින්නට ලැබුණි. ගස් අතු කැඩී තිබු නිසා මින් පෙර මිනිසුන් ගිය බවද පෙනෙන්නට තිබුණි. කුඩා නමුත් සුන්දර දිය ඇලි කිහිපයක්ද මගදී අපට හමුවිය.
අවසානයේ හුණුගල් ද්වාරයට අසලට අප පැමිණ සිටියෙමු. එය සිතුවාට වඩා කුඩා එකකි. ඇතුළාන්තය ඝන අන්ධකාරයෙන් වෙලී පවතින බව එළියට පෙනෙන්නට තිබුණි. සිත තුළ යම්කිසි චකිතයක් ඇති කරන්නට සමත් එම ගුහාව වටපිටාවද තරමක් අමුතු විය. අමුතු හැඩැති ගල් ගස් ආදීයද දකින්නට තිබුණි. වටපිටාවද නැරඹීමෙන් අනතුරුව අප ගුහාව තුළට ඇතුළු වුණෙමු. ඒ විදුලි පන්දම් ආදාරයෙනි. ගුහා ද්වාරය ඉතා කුඩා වූ නමුත් ඇතුළත තරමක් විශාල වෙන බව පෙනෙන්නට තිබුණි. ආරම්භයේම වතුර වලකට බැස එතෙර වීමට සිදුවිය. වියළි කාළගුණයක් සහිත කාලයක් නිසාවෙන් වතුර වැඩියෙන් නොතිබුණි. ඇතුළත ඇති හිරි ලඹ, හිරිටැඹ, අමුතු හැඩතල, රේඛා, වර්ණ නිසාවෙන් අභ්‍යන්තරිකව වෙනම ලෝකයකට ඇතුළු වූවා සේ අපට දැනුණි. අප ආ නිසා වවුලන් කිහිපදෙනෙකු කලබල වූ බව පෙනුණි. ගුහාව තුළ සිටියේ සතුන් කිහිප දෙනෙක් පමණි. ඒ ගෙම්බන්, මකුළුවන් හා වවුලන්ය. ක්‍රම ක්‍රමයෙන් විශාල වූ ගුහාව මීටර් 50 – 100 පමණ දුරකට පැතිර තිබුණි. නැවතත් ඇතුළු වූ දොරෙන්ම පිටවීමට වූයේ මෙම ගුහාවට වෙනත් ද්වාරයක් නොමැති නිසාවෙනි. තැනක තරමක් විශාල කාමර ලෙසද දැකිය හැකි විය. නමුත් මේ සුන්දර සිරි නරඹන අතරතුර සිතට දුක් ගෙනෙන කාරණාවක් ද දකින්නට තිබුණි. ඒ එම ස්ථානයට පෙර පැමිණි පිරිස් ගුහා බිත්ති තුළ තමන්ගේ නම් ගම් ආදිය කොටා තිබෙනු දැකීමයි.
අවසන ගුහාවෙන් එළියට පැමිණි අප පෙර අසා තිබූ පරිදි දෙවන ගුහාව සොයා යන්නට වූ නමුත් එය සොයා ගන්නට නොහැකි විය. ගුහා ද්වාර වැනි කිහිප තැනක්ම තිබූ නමුත් ඇතූළට යා නොහැකි ලෙස ඒවා අවහිර වී තිබුණි. එය සොයාගත නොහැකි නිසා කාලයේ අපතේ නොයවා නැවත එන්නට පිටත් වුණෙමු.
නමුත් සිදුවූයේ නොසිතු දෙයකි. එනම් ගම්මුන් පැවසු ආකාරයේ ශාකයක් කකුලේ ගැවීමයි. මොහොතකින් ඇතිවුණ වේදනාව කියා විස්තර කළ නොහැකි තරම්ය. දැනගත් ආකාරයට එහි නම මාඋස්සා ය. පාවට්ටා කොළයට සමාන කොළයකින් යුතු එම ශාකය තුළ ඇහැට නොපෙනෙන තරමේ බූවක් තිබේ. දින දෙක තුනකට වඩා වේදනාව පවතින බවත් සමහර විටෙක උණ පවා ගන්නා බවත් ගම්මුන් අපට පැවසීය. පිළිස්සීමෙන් ඇතිවන වේදනාවට සමාන වේදනාවක්ද සමඟ නැවතත් පැමිණි ඇළ මාර්ගයේම පහළට බසින විට හමුවූ ඇල්ලෙන් නා පිරිසිදු වී යන ලෙස කතිකා කොට ගත්තත් මාඋස්සා ගෑවුණ දණිස ආසන්න ප්‍රදේශයේ වතුර ගෑවෙන විට ඇතිවන වේදනාව ගැන කීමට වචන නොමැත. පොල් තෙල් ගාන ලෙසද නැතිනම් කිරිමැටි ගා එම බූව ඉවත් කළ හැකි බවද ගම්මුන් අපට දැන්වීය.
ආසිරි කුලතුංග
https://casite-737679.cloudaccess.net/life/tours/1092-pannila#sigProIdc99bb3bbe8