'නිරූපිකාවී' ඔබේ අලුත් නවකතාව මේ දිනවල කතාබහට ලක්වෙනවා. එය නිරූපණ ශිල්පිණියක් පිළිබඳ විරල තේමාවක්. මෙම අත්දැකීම පෝෂණය කරගැනීමේදී ඔබ මුහුණ දුන් ගැටළු මොනවාද?
මෙය සිංහල නවකතා වංශයේ මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ විෂය ක්ෂේත්‍රයක්. නිරූපිකාවක් කියූ පමණින් අපේ සිහියට නැඟෙන්නේ මෝස්තර නිරූපණ ශිල්පිණියක් නැතිනම් සිනමා නිළියක්. එහෙත් මගේ 'නිරූපිකාවී' නවකතාවට විෂය වන්නේ චිත්‍ර ශිල්පීන්ගේ මානව දේහ අධ්‍යයනය සදහා අදාර්ශ මානව රූප වෙනුවෙන් ස්වකීය නග්න දේහය ප්‍රදර්ශණය කරන විවාහක කාන්තාවක්.
මෙය අපේ රටේ සැඟවුණු වෘත්තියක්. චිත්‍ර ශිල්පීන් ගේ අධ්‍යයනය සදහා නග්න දේහය ප්‍රදර්ශනය කරන කාන්තාවන් එම වෘත්තිය රහසිගතව පවත්වාගෙන යන්නේත් ලාංකේය සමාජය තුළ නිරූපිකාවක පිළිබඳව පවතින අධිපති මතවාදය අනුව, එකී වෘත්තියෙහි යෙදෙන්නන් නගර සෝභිනියන් යනුවෙන් සලකන නිසයි. අනෙක් අතට විවිධ ඉරියව් වලින් පෙනී සිටීම නිසා මේ වෘත්තියෙහි නිරතවන කාන්තාවන් අධික රුධිර පීඩනය, නහර ගැටගැසීම, කොන්ද ඇවිලීම වැනි රෝග පීඩාවනට ගොදුරු වෙනවා. එසේ රෝගාබාධවලට ගොදුරුවූ අවස්ථාවලදී ඔවුන් අසරණයි. ඒවා ට වන්දි ගෙවීමත් හෝ රෝග සුව කරගැනීමහ සදහා විහේෂ දීමනා හෝ ඔවුන් සේවය කරන ආයතන වලින් ලබා දෙන්නේ නෑ. කොටින්ම ඔවුන් හැම අතින්ම අනාරක්ෂිතකයි. එහෙත් බොහෝ දෙනා සිතා සිටින්නේ එබඳු වෘත්තීන්වල නිරතවන ස්ත්‍රින් සුව පහසු සැහැල්ලු ජීවිත ගත කරන බවයි. මෙම කාන්තාවන් ගේ ජීවිත අතීශය කටුක මෙන්ම ශොචනීය බව අසා දැනගත් පසු ඒ පිළිබඳව කළ ගවේශනයක ප්‍රතිඵලයක් මේ නවකතාව . එහිදී මා මුහුණ දුන් ප්‍රධාන ගැටළුව වූයේ නිරූපණ ශිල්පීනියන්ගේ වෘත්තීය අත්දැකීම් සොයාගැනීම් ගැනීමයි.
මෙම තේමාවේ බර නිසි ලෙස පාඨකයාට එත්තු ගැන්වීමට අවශ්‍ය තරම් හේතු සාධක ඔබ ගොනු කර නැතයි මට සිතෙනවා
මේම නවකතාව තුළ මට අවශ්‍ය වූයේ එහි එන ගයනී තමැති නිරූපිකාව වෘත්තිය වශයෙන් මුහුණ දෙන ප්‍රශ්ණ සහ එම වෘත්තිය සඳහා අවතීරණය වීමේදී ඇය පෞද්ගලික ව මුහුණ දුන් කටුක අත්දැකීම් ගොනු කරගන්නා අතරම ඇය චිත්‍ර ශිල්පීගේ සුරා කෑමට ලක්වන අයුරූ සාකච්ඡා කිරීමටයි. මෙම විෂය ක්ෂේත්‍රය සුවිශේෂ නිසා ඒම සුවිශේෂත්වය තුළ ඇය මුහුණ දුන් අත්දකීම් ගොනු කර ගැනීමටයි. ඒ නිසා මෙම නවකතාව තුළ ගයනි නමැති නිරූපිකාව මුහුණ දෙන කම්කටොලු සහ ඇගේ ජීවන අරගලය, ප්‍රස්තුතයට අදාල වන අයුරින් පමණක් යොදා ගන්නට මා පරිස්සම් වුණා. තමන්ගෙ වෘත්තිය තුළ ඇය මුහුණ දෙන අත්දැකීම්වල සංකීර්ණ බව යටි පෙළ තුළ රඳවා ගනිමින් සරල ආඛ්‍යාන රටාවකින් කියන්නට මා වෙහෙසුනේ සිතාමතාමයි. මා එසේ කළේ නවකතාවක් පළමුවෙන්ම එක දිගට කියැවිමේ ආසාවක් පාඨකයා තුළ ජනිත කිරීම වැදගත්ම කාර්යයක් නිසා. කියැවීමේ රුචියක් පාඨකයා තුළ දැනවිය නොහැකිවුවහොත් නවකතාවක් කෙතරම් සංකීර්ණ වුවත් ඵලදායි වන්නේ නෑ.
අද මෙරට නවකතා ක්ෂේත්‍රය සක්‍රීයයි. තරගකාරීයි. මේ තත්ත්වය තුළ නවකතාකරුවකුගේ පැවැත්ම රඳා පවතින්නෙ කවර කාරණා මතකද?
මේ සක්‍රීය බව සහ තරගකාරීත්වය කෙරෙහි සම්මාන උත්සව සෘජුවම බල පා ඇකි සැටි පෙනෙනවා. සම්මානලාභි නවකතාවලට වෙළෙඳපොල ඉල්ලුමක් ඇති බැවින් එය ප්‍රකාශකයාටත් ලේඛකයාටත් අත මිට සරු වීම කෙරෙහි බලපානවා. අනෙක් අතට එසේ සම්මානයට පත්‍රවන නවතකා ඇසුරින් පසුව ටෙලිනාට්‍ය බිහිවෙනවා. එහිදීත් නවකතාකරුට ගෙවිමක් සිදු කෙරෙනවා. මේ ඉල්ලුම හමුවේ සැපැයුමක් වන්නට බෙහෝ දෙනෙකු වසර අවසාන වන්නට මත්තේන් නවකතාවක් එළිදක්වන්නට වෙහෙසෙනවා. ඒවායින් බෙහොමයක් සම්මාන උත්සවලදී නිර්දේශ වෙනවා. නැතිනම් සම්මාන දිනා ගන්නවා. හැම සම්මාන උත්සවයකම එසේ සම්භාවනාවට, සම්මානයට පත්වන ලේඛක ලේඛිකාවන් පිරිසක් සිටිනවා . ප්‍රශ්ණය වන්නේ එසේ ඉලක්කගත කාලයක් තුළ ලියන නවකතා සියල්ල ගුණාත්මක මට්ටමක තිබෙනවාද කියන කාරණාවයි.
මේ සංදර්භය තුළයි අද නවකතාකරුවකුගේ පැවැත්ම තීරණය වන්නේ. එසේ වුවත් කිසිදු සම්මාන උත්සවයක අවධානයට හෝ අගැයීමට ලක් නොවූ නිර්මාණාත්මක මට්ටමින් ඉහළ නවකතා අපට හමුවෙන අවස්ථා එමටයි.
ඔබ සාහිත්‍ය කලා තීරක මණ්ඩලවලත් කටයුතු කරනවා. වර්තමාන ග්‍රන්ථ විචාරය ඔබ දකින්නේ කෙසේද?ි
එදා අපට බරසාර සාහිත්‍ය විචාර කලාවක් තිබුණා. පුවත්පත්වල සාහිත්‍ය පිටු, සාහිත්‍ය සංවාදවලින් පිරී තිබුණා. ඒ සංවාදවලට අමතරව ග්‍රන්ථ විචාරයටත් විශාල ඉඩකඩක් වෙන් වුණා. සාහිත්‍ය විචාරයටම වෙන්වුණු වාර සඟරා තිබුණා. ලේඛකයාට වගේම පාඨකයාටත් ඒ සංවාද සහ විචාර බෙහෙවින් වැදගත් වුණා. කාලයක සිට ඒ සියල්ල අභාවයට ගියා. නිල විචාරකයන් නිහඩ වුණා. ඒත් අන්තර් ජාලය ව්‍යාප්ත වුණාට පසුව පොත පත පරිශිලනයෙන්ම වර්ධනය කරගත් දැනුමෙන් විචාරයේ යෙදෙන නව පුරපුරක් බිහිවී තිබෙනවා.. ඒ අනුව එදා පුවත්පතින් ඉටුවූ කාර්යය එම සහෘදයන් අතින් වෙනත් මානයකින් සිදු වෙනවා. එය එක්තරා සාධනීය ලක්ෂණයක්. නමුත් සාහිත්‍යයේ ප්‍රගමනයකට සහ පැවැත්මට එය ප්‍රමාණවත් නෑ.
නවකතා කිහිපයක් ලියා පළ කොට ඇතත් සිනමා කලා විචාරකයෙක් හැටියටයි ඔබේ අනන්‍යතාව ගොඩනැඟී තිබෙන්නේ. ඔබ පළමුවෙන් විචාර කාර්යයට පිවිසීමේ පදනම සකස් වන්නේ කෙසේද? අනතුරුව එම විචාර කාර්යය ඔබේ නිර්මාණකරණයට බලපෑවේ කෙසේද?
මා කලා ක්ෂේත්‍රයට පිවිසුණේ නිර්මාණකරුවකු ලෙසිනුයි. විචාර කාර්යයට එළැඹෙන්නේ දෙවනුවයි.
කියවන පොතක්, නරඹන නාට්‍යයක් හෝ චිත්‍රපටයක් විචාරක්ෂියෙන් බැලීමේ පුරුද්දක් තරුණ අවදියේ සිටම මා තුළ තිබුණා. ඒ කාලයේ මා නැරැඹු, කියැවූ හැම දෙයක් ගැනම විචාරයක් ලියා තැබීමත් මගේ පුරුද්දකුත් තිබුණා. හාපුරා කියා පත්‍රකලාවේදීයකු ලෙස කටයුතු කරන්නට 'ඇත්ත' කර්තෘ මණ්ඩලයට එක්වූ පසු කියවන, නරඹන සෑම දෙයක්ම විචාරයට ලක් කරන්නට මට එහිදී අවස්ථාව සැලසුනේ විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කළ සිරිලාල් කොඩිකාර මහතාගේ ඇරැයුමෙන්. මගේ විචාරයේ නිර්දයකම 'ඇත්ත' පත්‍රයේ තියුණු බස සමග ගැලපුණා. ඒ නිසා ඒවා බොහෝ දෙනකුගේ අවධානයට ලක්වුණා. අදත් බොහෝ දෙනා මා හඳුනා ගන්නේ 'ඇත්ත' සිනමා විචාරකයා ලෙසින්.
මා පළමුව නිර්මාණකරණයට පිවිසෙන්නේත් නවකතාකරුවකු වශයෙනුයි. මගේ මුල්ම නවකතාව 'සිත්තරකුගේ ආදර කතාවක්' නමින් පළ වුනා. අනතුරුව 'එළියක් නැති ගමනක්' 'පූර්වෝක්තිය' සහ 'එහෙම නොවුණු එහෙම දෙන්නෙක්' නමින් කෙටිකතා සංග්‍රහ තුනකුත් ලියා පළ කළා. ඉන්පසු 'සමීප ආගන්තුකයා' සහ 'කෑම්ප්එක වත්ත' මැයෙන් නවකතා දෙකකුත් ලියා පළ කළා. නමුත් මා සිනමා විචාරයට වැඩිපුර නැඹුරුවීම නිසා නිර්මාණකරණයට අවශ්‍ය විවේක බුද්ධීය සීමා වුණා. ඒ නිසා නිර්මාණකරුවා යටපත් වී විචාරකයා උඩට ආවා. ඉදිරියේදී වැඩි කාලයක් නිර්මාණකරණයට යොදවන්ටයි බලාපොරොත්තු වන්නේ.
ඔබේ 'සිත්තරකුගේ ආදර කතාවක්' 'සමීප ආගන්තුකයා' 'කෑම්ප්එක වත්ත' නවකතා තුනේම ප්‍රධාන චරිතය චිත්‍ර ශිල්පියෙක්. 'නිරුපිකාවී' නවකතාව චිත්‍ර කලාව සහ එහි නිරත ශිල්පීන් ගැන සාකච්ඡා කිරීමක්. එසේ වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
ඒක අවිඥාණිකව සිදුවුණු දෙයක්. ප්‍රධාන චරිතය චිත්‍ර ශිල්පියකු විය යුතුයයි එම නවකතා ලිවීමේදී මා තුළ පූර්වනුමානක් තිබුණෙ නෑ. නමුත් මා පාසල් වියේ සිටම පෑනෙන් , පැන්සලෙන් සහ පැස්ටල් වලින් චිත්‍ර ඇන්ඳා. ඉන්පසු කැන්වස් මත තෙල් සායමින් චිත්‍ර ඇන්ඳා. අදටත් අඳිනවා. ඒ අතර ලොක ප්‍රකට චිත්‍ර ශිල්පින්ගේ චිත්‍ර එකතු කරනවා. ඔවුන්ගේ ජීවන චරිත කියවනවා. චිත්‍ර සහ චිත්‍ර ශිල්පයට මා දැඩි ලෙස පෙම් බඳින්නකු නිසාත් චිත්‍ර ශිල්පියකු වන්නට නොහැකිවීම නිසාත් මා තුළ සැඟවුණු ඒ ප්‍රෙමය නවකතා ඔස්සේ ඉස්මතුවූවා විය යුතුයි. . අදටත් මා වඩාත් කැමති ලේඛන කලාවට වඩා චිත්‍ර කලාවටයි. මේ වනවිට මගේ ප්‍රෙමය පන්හිඳට වඩා තෙලි තුඩටයි.
ඉරිදා ලංකාදීප 2021 නොවැම්බර් 27
'අමාවතුර' සාහිත්‍ය සංවාදය - පුෂ්පා ඉලංගන්තිලක